Wednesday, April 27, 2016

වේයෝ බඳුනෑයෝ

2 comments
ළඟදි දවසක මගේ හොඳම මිත්‍රයෙකුගෙ පියා අඝාතයකට(Stroke) භාජනය වෙලා ප්‍රාදේශීය රෝහලේ වගේම කොළඹ ජාතික රෝහලෙත් නැවතිලා ප්‍රථිකාර ගන්න සිද්ද උනා. ඉතිං ඒ දවස් කීපය තුල මගේ මිත්‍රයාට මුහුණ දෙන්න සිද්ද සිදුවීම් හරහා මටත් අතීතයේ මං මුහුණ දුන්න සිදුවීම් මතක් උනා. විශේෂයෙන්ම නෑදෑයෝ ගැන.

අපි හැමෝටම නෑදෑයෝ ඉන්නවා. අම්මලාගේ පැත්තෙන් , අප්පච්චිලාගේ පැත්තෙන්, දුරින් , ළඟින් නෑදෑ වෙන ආටෝරාසියක නෑදෑ සනුහරයක් අපි හැමෝටම ඉන්නවා. ඉතිං මේ නෑදෑ සමූහයෙන් අපි ගැන ඉත සිතින් ක්‍රියාකරන , අපේ යහපත ප්‍රාර්ථනා කරන ගුණ යහපත් නෑදෑයෝ ඉන්නෙ අතේ ඇඟිලි ගාණට බව මම නං අත්දැකීමෙන්ම දන්නවා. බහුතරයක් “තොට  හෙණ ගහ මට පොල් ගහ“ තියරිය හිතේ තියාගන දිය යටින් ගින්දර ගෙනියන ,  “අනේ තොපිට කෙලම වෙලා පලයං“ කියල හිතන ගමන් මූණට හිනාවෙන ,තියන දෙයක් කඩා වඩා ගන්න බලාගන ඉන්න ආස්සරේට කොටින්ම නුසුදුසු අසත්පුරුෂ මනුස්ස කොට්ඨාසයක්. සමහර පවුල් වල නම් ඒ වගේ නැතිව ගුණ යහපත් ඥාති සමූහයා ඉන්නවා. “අනේ වාසනාවන්“.

නෑදෑයෝ ගැන මට තියන අත්දැකීම් එක්ක බලනකොට මට හිතෙන දෙයක් තමයි ළඟම නෑදෑයන්ගෙන් ඉතාම ස්වල්පයයි අවංකවම හොඳ උදවිය ඉන්නෙ. ඒ වගේම ටිකක් ඈතින් නෑදෑවෙන අය සාපේක්ෂව වඩා හොඳයි. ඒත් ඉතිං එක එක්කෙනාගෙ කර්ම ශක්තිය අනුව ලැබෙන ඥාති සමූහයාගේ ගුණ අගුණත් වෙනස් වෙනවා නෙව.

සමහර නෑදෑයෝ හමුවෙන්නේ අවුරුද්දකට වතාවක්. ඒ මූණිච්චාවට වගේ අලුත් අවුරුද්දට ගියාම. එහෙමත් නැත්තං කාගේ හරි විවාහ උත්සවයකදී. එහෙම හම්බ උනාමත් ගොඩාක් වෙලාවට කරන්නේ තමන් සහ තමන්ගේ ඥාතීන් සසඳන එක. එහෙම නැත්තං තමන්ගේ දරුවන් සහ ගෙදරට ආපු අනිත් නෑදෑ කෙනාගෙ දරුවන් සසඳන එක. එහෙම කරුණු කාරනා කතා බහ කරද්දි තමන්ට වඩා ඒ අනිත් කෙනාට හරි ගිහිල්ලා තියනවා නම් බහුතරයක් දෙනාට වෙන්නේ සතුටු වෙන එකට වඩා හිත කැඩෙන එක. “චික් විතරක් මුන්ට හරි ගිහිල්ලානේ යකෝ“ කියලා හිතෙන එක. ඒ දේ මූණෙන් කතා විලාසයෙන් හොඳින් පෙන්නුම් කෙරෙනවා. ඥාතීන් අතර එක වයසේ ඉන්න ළමයි එහෙම ඉන්නවා නම් මේ තත්වය හොඳටම වැඩියි. නිරන්තරයෙන් තමන්ගෙ දරුවා අනිත් උදවියගේ දරුවන් හා සන්සන්දය කරමින් ඒ දරුවන්ට වඩා ඉහලට යන්න රේස් එකක් දුවවන එක තමයි වෙන්නේ. ඒක කමක් නෑ කියමුකෝ. එහෙම රේස් එකක් දුවවන ගමන් අනිත් දරුවන්ට ඊරිසියා කරන එක, පුලුවන් නම් වලක් දෙකක් කපලා දාන එක. තමන්ගෙ දරුවන්ටත් කුඩුකේඩුකම පුරුදු කරන එක තමයි බහුතරයක් නෑදෑයෝ කරන්නේ.

නෑදෑයෝ දෙන්නෙක් හම්බුනාම තව කරන අමතර වැඩක් තමයි වෙනත් නෑදෑයෙක්ව දෙන්නා එකතු වෙලා පතුරු යවන එක. තමන් ළඟ ඒ නෑදෑයා ගැන තියන හොට් ගොසිප් ටික බෙදා හදාගන්න එක. යන්තං සත්‍ය දේට ලුණු ඇඹුල් එකතු කරලා හාත්පසින්ම වෙනස් කතාවක් ගොතලා පබ්ලිෂ් කරන එක. අඩු ලුහුඬු කම්, කේලාම් කිය කියා නෑදෑයෝ කොටවන එක.

ඉතිං මේ නෑදෑයොම පිට තැනකට ගියාම පිට කෙනෙක් එක්ක තමන්ගෙ වෙන නෑදෑයෙක් හෝ නෑදෑ දරුවෙක් යම් උසස් තැනක ඉන්නවා නම් ඒ කෙනාගේ සමාජ තත්වය හරහා තමන්ටත් යම් සමාජ තත්වයක් ගන්න උත්සාහ කරන එකත් සිද්ද වෙනවා. උදාහරණයක් විදිහට කියනවා නං “ඕකා දොස්තර විභාගේ හොරට පාස් කරලා දොස්තරෙක් උනේ, අපි නං යයි ඕකගෙං බේත් ගන්න මැරුණත්, අපි දන්නෙ නැද්ද ඕකගෙ හැටි“ කියලා නෑදෑයෝ දෙන්නෙක් කතා වෙද්දි කියන උදවියම පිට කෙනෙක් එක්ක “අර අහවල් ඉස්පිරිතාලේ අහවල් දොස්තර මහත්තයා අපේ අහවලාගේ අහවලානේ“ කියලා ගුණ වර්ණනා කරනවා.

පිට මනුස්සයන්ගේ දියුණුව ගැන අල්පමාත්‍රයක් වත් ඊරිසියා කරන්නේ නැති උදවිය තමන්ගේ නෑදෑයන්ට වල කපනවා මං අනන්තවත් දැකලා තියනවා. ඒ තමන්ගේ සමීපයන් එක්ක අනවශ්‍ය තරඟයක් ඇතිවීම නිසාවත්දෝ කියලා මට අනන්තවත් හිතෙනවා. නමුත් එහෙම වෙන්න හේතුව තමයි මට අදටත් හිතාගන්න බැරි. 

ඉතිං ලියන්න හිතං ආවේ එකක්.ලිව්වේ තව එකක්. වේයෝ බඳු නෑයෝ ගැන තවත් කතාවක් වෙන පෝස්ට් එකකින් දාන්නම්. එහෙනං ජය වේවා !!!
Read More...

Monday, April 25, 2016

එන්ට , කැති පාරක් කාල යන්ට

6 comments
මාතෘකාව දැක්කාම අබ්ලික්ද ? වැඩිය හිතන්න දෙයක් නෑ. පරණ ගම කතාවක්.

මීට අවුරුදු පාලොවකට විස්සකට එහා අපේ ගම් පලාතෙ තරුණ උදවිය හිරිගඩු පිපෙන ආශ්වාදයක් ගන්න (ඇඩ්රිනලින් රෂ්) , බයිසිකලේක තමන් පස්සෙන් කෙනෙක් කැත්තං උස්සං එලවං එනවා බලන්න, ඔය ඔක්කොටමත් වඩා නොමිලේ කැති පාරක් කන්න මේ හැම වැඩේටම කලේ එක දෙයයි , ගමේ එක්තරා ගෙයක් ඉස්සරහින් යන ගමන් “අඹ දල්ලෝ........“ කියලා කෑගහන එක විතරයි. 

ඒ මාමට ? සීයට , අපි කියමු X සීයා කියලා. අවුරුද්දේ දවස් තුන්සිය හැටපහේම , දවසේ පැය විසි හතරේම , පෝය දින, රජයේ නිවාඩු දින ආදී කිසිම දෙයක් අදාල නෑ. “අඹ දල්ලෝ....“ කියලා කිව්වනං X සීයා කැත්තක් උස්සං එලවං එන හැටි බලන්න පුලුවන් කම තිබුනා. 

දැං මේ වෙන කොට පාඨක හැම දෙනාගෙම ටිකිරි මොල වලට වැටහෙන විදිහට මේ X කියන සීයගේ කෝඩ් නේම් එක එහෙම නැතිනං අනවර්ථ නාමය “අඹ දල්ලා“ . මේ X සීයගේ දරු මුනුබුරු පරම්පරාව අදටත් ගමේ ජීවත් වෙනවා. ඉතිං එ කෙනෙක්ගේ ඇහට මේ සටහන ගැටුනොත් මේක මේ ලියන්නේ X සීයාට අපහාසයක් උපහාසයක් කරන අරමුනින් නොවන බවත් පරණ ගම කතාවක් සයිබර් ගත කිරීමක් බවත් තේරුම් ගෙන තීර්ථ යාත්‍රිකයාත් එක්ක අමනාප නොවේවායි ඉත සිතිං ප්‍රාර්ථනා කරනවා.

කෝඩ් නේම් එකක් හැදෙන්න නිධාන කතාවක් තියෙන්න ඕන.නිධාන කථා නැති කෝඩ් නේම් නෑ. “අඹ දල්ලා“ කෝඩ් නේම් එක හැදිලා තියෙන්නේ “ගජබින්නාලංකාරය“ ප්‍රගුණ කරපු X සීයා ගමේ කට්ටියත් එක්ක කියපු කතාවකින්ම තමයි.

අඹ දල්ලා - නිධාන කතාව (X සීයා කියන කතාව)

ළමයිනේ මං ඒ දවස්වල හොඳ වෙඩික්කාරයා. පතුරොං තුවක්කුව අතට ගත්තනං මුවෙක්, වල් ඌරෙක් එලාගෙන මිසක් පස්ස බලන්නෙ නෑ. ඒ සංදියේ මගේ මේ ඇස් දැන් වගේ නෙවෙයි පුදුමාකාර දුරක් පේන්නේ. හප්පා ඒ කාලේ මගේ දිවිල්ල තමයි දිවිල්ල , කඟවේනා පරාදයි.

ඔන්න දවසක් හැන්දෑකොරේක තුවක්කු බටේ සුද්ද කර කර ඉන්දැද්දි “මලත්තව වැවේ“ ඉහත්තාවේ වල් ඌරෙක් වතුර බොනවා. දැං කාලේ වගේ නෙවෙයි, ඒ කාලේ වල් ඌරෝ හරි විසාලයි. දල නිකං ඇතෙක්ගෙ වගේ. ඌරු නාම්බා ඇහැ ගැටුන විඩේ වල් ඌරු මස් ඩිංගිත්තක් ඇත්තං කියලා හිතුනා. හනික වෙඩිල්ලක් පත්තුකරලා තුවක්කුව පැත්තකින් තියලා ගම වෙලේ මහ නියර දිගේ වැව් ඉහත්තාවට හැල්මේ යන කොට... මෙන්න බොලේ ඌරු තඩියා තාම වතුර බොනවා. අම්ම මුත්ත කාලෙවත් නොවිච්චි වැඩක් නේ බොලේ, වෙඩිල්ල වැරදුනේ කෝමෙයි කියලා කම්පනා කොර කොර ඉන්නකොට කේතලේ උතුරන්නැහේ වගේ “පෂූ“ සද්දයක් එන්න ගත්තා. වට පිට බලලා අාපහු හැරෙද්දි අම්මද බොලේ මෙන්න උන්ඩේ එනවා, අඹ දල්ල වගේ ලා රතු පාටට. කකුලක් උස්සලා උන්ඩෙට යන්න දුන්නා විතරයි “දඩිස්“ උෟරු මොටා බිම. හැක් හැක්... අන්න එහෙමයි අපි ඒ කාලේ. කොහෙද උඹලට දැං පුලුවනෑ හරියට කැටපෝල පාරක් වත් තියාගන්ට........

නිධාන කතාව නිමි

ඔය වගේ අදහාගන්ඩ බැරි ගල් පර්වත දෙබෑවෙන සයිස් එකේ දාර සයිස්  නයෙක් යවපුවාම කෝඩ් නේම් එකක් හැදෙන එකත් අහන්ඩ දෙයක්ද :D .

ගෙවිච්චි නයා. (අමතර කතා 01)

මරඳවිල කියන්නේ අක්කර දෙදාස් ගාණක් විසාල පොල්වත්තක්. මේක කලින් පුද්ගලික වත්තක්. දැනට රජයට අයිති , නමුත් බොහෝම හොඳට නඩත්තු වෙන විශාල වතු යායක්. වත්තෙ පොල් කඩන දවස කියන්නේ ඉතිං වත්තේ සුපිරින්ටෙන්ඩන්ට් උන්නැහේගෙ ඉඳලා පොල් අහුලන කුලී කාරයාට වෙනකල් වැඩ රාජකාරි අධික දවසක්.X සීයා දවසක් ගියාලු කුලියට පොල් අහුලන්ට මේ කියන මරඳවිල වත්තට. ඒ කාලේ ඉතිං බූට්ස් නෑනෙ සත්තු සරපයින්ගෙන් බේරෙන්න. කටු ඇනුනොත් කියලා පොල්ගහ මක් අලුත්ම ඩී එස් අයි සෙරෙප්පු දෙකකුත් දාගනලු ගියේ. ඉතිං පොල් අහුලගන අහුලගන යනකොට පූෂ් ගාල පිඹින සද්දයක් ඇහුනලු. බැලින්නම් බොහොම විසාල පත නාග රාජයෙක්ලු. පෙනේ කරගෙන පිඹින්නෙ හොඳකට නෙවෙයි කියලා හිතුන හින්දා X සීයා දුවන්න ගත්තලු පණ එපා කියලා. හැරිලා බලනකොට නාග රාජයත් එලවගන එනවලු. ඉතිං මේ අක්කර දෙදාස් ගාණක් තියන මරඳවිල වත්ත වටේ වට හයක් දිව්වත් මේ නාගරාජයා එලවගන එනවලු. මියෙම්වා රැකෙම්වා කියලා හත්වෙනි වටෙත් දුවල ඉවරවෙනකොට කකුලේ ඇනුනලු කට්ටක්. අලුත්ම බාටා දෙකේ කොහොමද කට්ටක් ඇනුනෙ කියලා බලනකොට සෙරෙප්පු දෙකේ පටි දෙක විතරක් තියනවාලු. නයා කෝ කියල බලද්දි පොඩි පෙත්තක් වගේ තියනවාලු පෙනේ විතරක්. ඒ කොහොමද ?? ගෙවිලා යකෝ... මරඳවිල වටේ වට හතක් දුවනවා කියන්නේ සෙල්ලමක්ද ? ඒ කාලේ ඔලිම්පික් තේරීම් කමිටුව එහෙම දැක්කනං ඔලිම්පික් යවන්න තිබ්බා මැරතන් එකට :D

මේවගේම ජෝක් එකක් ටෙනිසන් කුරේගේ මොකද්ද නාට්ටියක තියනවා මං අහලා තියනවා. හැබැයි මේවා ඔරිජිනල්. 70 දසකෙ කතා. 

නටන විලක්කු (අමතර කතා 02)

දෙවියන්ට කිරි ඉතිරවීම කියන්නේ අපේ පලාත්වල නිරතුරුව කෙරෙන දෙයක්. මොකක් හරි අලුත් වැඩක් පටන්ගනිද්දි එහෙම නැත්තං බාරයක් ඔප්පු කරද්දි, එහෙම විශේෂ හේතුවක් නැතිවත් මේ දෙවියන්ට කිරි ඉතිරවීම සිද්ද වෙනවා. මං මේ කියන කිරි ඉතිරවීම , මුට්ටියට කිරි විතරක් දාලා උතුරලා යන්න කරන කිරි ඉතිරවීම නෙවෙයි. හාල්, සීනි, කිරි, වියලි මිදි, රට ඉඳි එහෙම දාලා කිරි ඉතිරවීම කරලා මුට්ටියේ ඉදෙන කිරිබතින් දෙවියන්ට ගොටු එහෙම දීලා ,ඒකට සහභාගී වෙච්චි උදවියත් ඒකෙන් අනුභව කරලා අවසාන කරන කිරි ඉතිරවීමක්. මේකෙදි හැදෙන කිරිබත බොහොම රසයි. ඒක කන එකට අපේ පැත්තේ කියන්නේ “දෙයියන් වඳිනවා“ කියලා.

ඉතිං මේ දෙවියන්ට ගොටු දීමට ප්‍රධාන වශයෙන් හදනවා මල් පැලක්. ඒකට අමතරව උස් මට්ටම් දෙකක කණු දෙකක් හදලා ඒ කණුවලත් ගොටු රඳවනවා. මේ දේවල් බොහොම සද්භාවයෙන් පිරිසිදු කමින් තමයි කරන්නේ.ඒ වගේම කල යුතු චාරිත්‍ර වගේකුත් තියනවා.
ගොටුව කියන්නේ මොකද්ද කියලා කල්පනා කරන උදවියට : කෙසෙල් කොලයකින්  ගොටුවක් හදලා ඒකෙ පොඩි කෙලවරේ ගහනවා ඉරට කෑලි කීපයක්. උඩින් කිරිබත් පුරවනවා. ඒවා තමයි අර කණුවල රඳවන්නේ.මේ ගොටුවලට විලක්කුව බැගින් ගහනවා. පොල් හණස්සක් අරගන ඒකේ තෙලේ පොඟවපු රෙදි කෑල්ලක් ඔතලා ඒකට ගිනි තියලා තමයි විලක්කුව හදන්නේ.

හරි ඔන්න ඉතිං අඹදල්ලා සීයා දවසක් තනියම කිරි ඉතිරවීමකට ලෑස්ති උනාලු වත්ත කෙලවර වෙන්නට තියන වැවේ ඉස්මත්තේ. සියලු වැඩ කටයුතු කරලා ගොටු තියලා විලක්කු පත්තු කරලා බලන කොට කහ දියර එක අරං ඇවිත් නැහැල්ලු. ඉතිං ආයෙත් ගෙදර ගිහිල්ලා කහ දියර එක අරගන එනකොට විලක්කු දෙක වැවේ එහෙට මෙහෙට යනවාලු. මේ මොන හාස්කමක්ද ? කියලා වැඳගන කල්පනා කරන කොට එහෙට මෙහෙට නටන විලක්කු පැත්තෙන් ඇහෙනවාලු මෙහෙම...

“අඹ දල්ලෝ හූ“.........

තොපෙ අම්මලාට %**$&##$&%#%$&$* ආදී වශයෙන් ජාතිය අමතපු අඹදල්ලා සීයා කැත්ත ගේන්න ගෙදර දුවද්දි.. මේ අවලං වැඩේ කරපු 36 වත්තෙ කොල්ලො දෙන්නා ගොටු දෙකත් උස්සගන වාෂ්ප උනාලු...

ඉතිං මෙව්වා පරණ ගම කතා. කට්ටිය එකතු වෙලා කතාකරන කොට ඇහෙන කතා නැතිවෙලා යන්ට දෙන්න හොඳ නැති හින්දා මේ විදිහට සයිබරයට එකතු කලා.
Read More...

Sunday, April 17, 2016

අවුරුදු කජු, අවුරුදු අඹ

6 comments
ගොඩක් පොඩි උං වගේ තීර්ථ යාත්‍රිකයත් පොඩි කාල‍ෙ ගස් නඟින්න හරිම ආසයි. දෙතුන් පාරක් ගස්වලින් වැටිලා තිබුනත් කිසිම හානියක් නං උනේ නෑ ඒ කාලේ. තීර්ථ යාත්‍රිකයලා පොල්ගහවෙල ගෙදර ඉන්න කාලේ ප්‍රියතම ගස් ජාතිය උනේ අඹ ගස්. ගෙදර තිබුනා කරතකොලොම්බන් ගහකුයි, විලාඩ් ගහකුයි, මී අඹ ගහකුයි. ඕකෙන් ප්‍රියතම ගහ උනේ බිම ඉඳලම හතර අතට අතු විහිදුන හුරුබුහුටි විලාඩ් අඹ ගහ. ඕක මුදුනෙ අට්ටාලයක් එහෙමත් හදලයි තිබුනේ. පහල අත්තක ලෑලි ටිකක් තියලා පැදුරක් දාලා හදල තිබුන “නිදි පොට් එක“ පාවිච්චි කලේ තීර්ථ යාත්‍රිකයට වඩා පවුලේ අනික් උදවිය. කරත කොලොම්බන් ගහේ අතු විහිදිලා තිබුනේ උඩ හරියෙන්. ඒ හින්දා ඒ කාලෙ පොඩි එකෙක් වෙච්චි තීර්ථ යාත්‍රිකයාට ඒ ගහ out of scope වෙලා තිබුනේ. අනික මී අඹ ගහ. ඒක දිමි විමානේ. තීර්ථ යාත්‍රිකයා හිතන හැටියට දිමියන්ගෙ අධිරාජ්‍යයක් තිබුනා ඒ ගහේ. හැබැයි අවුරුද්දට දෙපාරක් පිස්සු වැටෙන්න අඹ හැදෙන ඒ ගහේ අඹ පුදුමාකාර රසක් තිබුනේ. ගෙඩි හැදෙන කාලෙට දිමි අධිරාජ්‍යගෙ ආච්චිට හාල් ගරාගන්න කියලා තීර්ථ යාත්‍රිකයලා කොහොම හරි ඔය ගහේ අඹ ටිකත් කඩා ගන්නවා.හැබැයි ඒ ගහේ අඹ වල රසේට ගහන්න රසක් තියන අඹ ජාතියක් තීර්ථ යාත්‍රිකයට තාම හොයාගන්න බැරි උනා.

පොල්ගහවෙල අතෑරලා හලාවත බෝවත්තට පදිංචියට එනකොට තීර්ථ යාත්‍රිකයට අවුරුදු 10යි. අලුතින් ගත්ත ඉඩමේ තීර්ථ යාත්‍රිකයව පිළිගන්න අලුත් ගස් ජාතියක් බලාගන උන්නා. කජු.... පොල්ගහවෙල ඉන්න කාලෙ අවුරුද්දට වතාවක් අප්පචිචිගෙ මහගෙදර ආපුවාම කෑම මේසෙ වරදින්නෙ නැති ව්‍යංජනයක් වෙච්චි කජු කියන්නේ තීර්ථ යාත්‍රිකයට ඒ හැටි හුරු පුරුදු ගස් ජාතියක් නෙවෙයි. පොල්ගහවෙල ගෙදරත් කජු ගස් තිබුනා වත්ත පහලට වෙන්න.ඒත් පාලු ස්වාභාවයක් තිබුන ඒ හරියට පොඩි තීර්ථ යාත්‍රිකයා ඒ කාලෙ වැඩිය ගියේ නෑ.පොල්ගහවෙල තිබුන කලු ලෝම පසට වඩා බෝවත්තෙ තිබුන වැලි පස තීර්ථ යාත්‍රිකයට ගෙනාවෙ අමුතු හැඟීමක්. අප්පච්චි අලුතින් නිවස හදන වැඩ වලට මැදි වෙලා කාර්යබහුලව ඉන්නකොට තීර්ථ යාත්‍රිකයා කලේ අලුතින් හම්බවෙච්චි ලෝකෙ ගවේෂනය කරපු එක.අලුත් ඉඩමේ තිබුනා කජු ගස් 5ක්. ඒ එක්කම සුපුරුදු ගස් ජාතියක නුපුරුදු නෑදෑයො වෙච්චි ඇපල් අඹ ගස් තුනකුත් තිබුනා. උසින් අතු පිහිටලා දිමියො හමුදාවක් බොඩි ගාඩ්ලා විදිහට තියාගන හිටපු අඹ ගසවලට වඩා පහලින් අතු විහිදිලා ගියපු හරි විශාල සුන්දර පෙනුමක් තිබුන කජු ගස් එක්ක තීර්ථ යාත්‍රිකයා පයුරුපාසානම් පවත්වන්න පටං ගත්තා.ළිඳ ගාව තිබුන කජු ගහේ  අඩි දොලහක් විතර උසින් පොලවට සමාන්තරව ගිය අත්තක අප්පච්චි තීර්ථ යාත්‍රිකයාට හොඳ ඔන්චිල්ලාවක් බැඳලා දුන්නා.පොඩි කාලෙ හොඳ ඔන්චිල්ලාවක් කියන්නේ සිහිනයක් සැබෑ වීමක්. ලොකු කඹේකින් බැඳලා, ඉඳගන්න හොඳ පලල ලෑල්ලක් දාලා , ඒක උඩින් කොට්ටයක් දාලා හදපු ඒ ඔන්චිල්ලාව තීර්ථ යාත්‍රිකයා සෑහෙන කාලයක් පැද්දා. හිටගන පදින්න ගිහිං ගුවන් ගත වෙලා බෙල්ල නොකඩාගෙන අනූනවයෙන් බේරිච්චි එක වෙනම කතාවක්. හැබැයි ඒක හොඳ ඔන්චිල්ලාවක් :) .

ගෙදර තිබුන කජු ගස් වලින් තීර්ථ යාත්‍රිකයගෙ ප්‍රියතම කජු ගහ උනේ අලුතින් හදන ගෙදර ආසන්නයේම තිබුන මහ විශාල කජු ගහක්. ඒකේ පහලින් පටන් ගත්ත අතු ඉනිමඟේ පඩි වගේ තිබුන නිසා පහලින් පටං ගෙන මුදුන් දල්ලටම එනකල් යන්න පුලුවන්.ඒ කාලෙ තීර්ථ යාත්‍රිකයගෙ විනෝදාංශය උනේ පොලවට අඩි පහලොවක් විස්සක් උඩින් තිබුන ඒ මුදුන්ම අත්තට ගිහින් හුලඟට පැද්දි පැද්දි ලඟ පාරෙ යන මිනිස්සු දිහා බලාන ඉන්න එක.සමහර වෙලාවට පොඩි හූවක් කියලා ඒ මිනිස්සුන්ව කන්ෆියුස් කරන එකත් හොඳම විනෝදාංශයක් ඒ කාලේ.
අවුරුදු කාලෙ එනකොට කජු ගස් පුහුලන් වලින් පිරෙනවා. පොල්ගහවෙල ඉන්න කාලෙ අප්පච්චි තීර්ථ යාත්‍රිකයාට කියලා දීලා තිබුනා කජු පුහුලන් රසට කන්නේ කොහොමද කියලා. හොඳට ඉදිච්චි කජු පුහුලන් ගහෙන් කඩලා ගන්නවා. ඊට පස්සේ හොඳට හෝදලා පුංචි පුංචි කෑලි වලට කපනවා. ඒ ටික පිඟානකට දාලා ලුණුයි මිරිසුයි ගම්මිරිසුයි දාලා හොඳට කලවං කරනවා.ඉරට කෑල්ලක් අරගන අර කජු පුහුලන් කෑලි වලට ඇන ඇන කන එක තමයි ඊලඟ වැඩේ :) . පුහුලන් කඩද්දි කැහි කොට්ට කඩන්නෙ නැතිවෙන්න ප්‍රවේසම් වෙන්න ඕනි. නැත්තං කැස්ස හදාගන තමයි නතර වෙන්න වෙන්නේ. කැහි කොට්ට කියලා කියන්නේ කජු පුහුලම සම්පූර්ණයෙන්ම ඉදුනේ නැති උනාම. සමහර පුහුලන් තියනවා පහල හොඳට ඉදිලා උඩ හරිය හරියට ඉදුනෙ නැති එව්වා. අන්න ඒවා තමයි කැහි කොට්ට කියන්නේ. කීපයක් කෑවොත් ෆ්රී ඔෆ් චාර්ජ් කැස්සක් හදාගන්න පුලුවන්.

කජු පුහුලන් කන්න පොඩි උං වගේම සත්තුත් හරිම ආසයි.විස ඝෝර පොළොංගුත් කජු පුහුලං බොන්න හරිම ආසයි. ඒ නිසා තමයි උදේ පාන්දරට , හවස පහ හමාරෙන් විතර පස්සේ කජු ගස් යට කැරකෙන එක ඇඟට ගුණ නෑ  කියලා කියන්නේ.ඒ එක්කම බිම වැටිලා තියන කජු පුහුලන් කන්න හොඳත් නෑ. පොළොංගු හප කරපුවා වෙන්න පුලුවන්.

ඉතිං තීර්ථ යාත්‍රිකයා කජු ගස්වල ඔන්චිල්ලා බැඳපු, කජු ගස් වලට බඩගාපු කාලෙන් සෑහෙන අවුරුදු ගාණක් දැන් ගෙවිලා. දැන් ගෙදර වත්තේ තියෙන්නේ කජු ගස් එකම එකයි. අනිත් ගස් විවිද හේතූන් මත කපා දැම්මා. පොල් හිටවන්න ඉඩ ගන්න, ලිඳට කොල වැටෙන හින්දා, ගෙදර වහලෙට කොල වැටෙන නිසා, ගෙදර වහලෙට සත්තු ගොඩවෙන නිසා ආදී වශයෙන්.

අවුරුදු ගාණකට පස්සේ තීර්ථ යාත්‍රිකයා ආයෙත් ගෙදර ඇවිල්ලා. කජු ගහයි අඹ ගසුයි සුපුරුදු විදිහට මල් වලින් සැරසිලා. ඇත් දෙමට ගහ පීදිලා, මල් පිපිලා, ගෙඩි හැදිලා, බට්ටිච්චෝ, සූටික්කෝ පිරිලා. හරියට වැස්සෙ නැති නිසා වියලි කාලගුණය නිසා වෙන්න ඇති මේ පාර  ගෙඩි ටිකයි හැදිලා තියෙන්නේ අඹ ගස්වල. කජු ගහෙත් වැඩිහරියක් තාම මල්. හැබැයි පුහුලන් ටිකක් කඩා ගන අප්පච්චි මීට අවුරුදු ගණනාවකට කලින් කියලා දීපුවිදිහට කජු පුහුලන් හදාගන කෑවා, තීර්ථ යාත්‍රිකයායි තීර්ථ යාත්‍රිකාවයි දෙන්නම එකතු වෙලා.එහෙම කන කොට තමයි සිනමා සිත්තමක් වගේ පොඩි කාලෙ සිද්දීන් දාමයම ආයෙ මැවිලා පේන්න ගත්තේ.ඒක බ්ලොගේ පෝස්ට් එකක් විදිහට ලියන්නේ අද ජීවතුන් අතර නැති උනත් තීර්ථ යාත්‍රිකයට මනුස්සයෙක් වගේ ජීවත්වෙන්න කියලා දුන්න,තීර්ථ යාත්‍රිකයා වෙනුවෙන් අනේක කැපවීම් කරපු  මගේ ඒ ආදරණීය අම්මවයි අප්පච්චියි ආදරයෙන් මතක් කරන ගමන්.
Read More...

Saturday, April 2, 2016

වැටකොලු කොස්සේ ආතල්

2 comments
වැටකොලු කොස්සේ ආතල් දන්නේ ඒක පාවිච්චි කරලා තියෙන උදවියම තමයි මහත්තයෝ :D . දැං උඩ බිම බලන උදවියට සහ වැටකොලු කොස්ස කියන්නේ අතුගාන දෙයක් වගේ කියල හිතන මහත්ම මහත්මීන්ගේ පහන් සංවේගය උදෙසා තමයි පහත රූපය එකතු කරන්නේ.

තවත් අවුල් වගේනම් , මේ තියෙන්නේ වැටකොලු කරල්. හරි දැන් මේවා මොකටද පාවිච්චි කරන්නේ ? නාද්දි ඇඟහෝදද්දි ඇඟ අතුල්ලන්න තමයි. සබන් ගාලා මේ වැටකොලු කොස්සකින් අතුල්ලලා කුණු හෝදලා දානකොට , මේක පාවිච්චි කරලා තියන උදවිය නං කියාවි “හම්මා තියන සනීපේ“  කියලා.

හරි දැං කොහොමද මේකක් හදාගන්නෙ ? හරිම ලේසියි.

  1. මොරපු වැටකොලු කරලක් ගන්න. වැටකොලු වැලෙන් හොඳ කරලක් තෝරලා ඒක වැලේම මෝරලා වේලෙන්න තියන්න ඕනි. ගානට මොරලා වේලුනාට පස්සෙ ඒක තමයි ගන්නේ. ඒකෙ බීජ පාවිච්චි කරලා ඊළඟ පරම්පරාවෙ වැටකොලු වැලක් හදාගන්නත් පුලුවන් ඉතිරි ටිකෙන් වැටකොලු කොස්ස හදාගන්නත් පුලුවන්.
  2. ඇට ටික අරන් දාන්න. ඇට ටික අරන් දාන්නේ මෙහෙමයි. වැටකොලු කරලෙ සිදුරු සටහන් වෙලා තියනවා යන්තමට. විරිදු කියද්දි සිලි බිලි සද්දෙ ඇහෙන්න රබාන හොල්ලන විදිහට වැටකොලු කරලින් අතට තට්ටු කීපයක් දාද්දි ඔය වැටකොලු ඇට ටික සට සට ගාල වැටෙනවා.
  3. පැයක් දෙකක් වතුර බාජනේකට දාල තියන්න.
  4. අරගෙන පිටත තියන පොතු ටික අයින් කරන්න.
  5. දැන් ඔබටත් තියනවා අලුත්ම දිලිසෙන “වැටකොලු කොස්සක්“. ප්‍රීතිවන්න :D

Read More...
.