Friday, March 18, 2016

ඉත්තෑ ගුරුකං

5 comments
පහුගිය දවසක තීර්ථ යාත්‍රිකයාත් ඇඹේනියත් ගෙදර වත්ත සුද්ද කිරීමේ මහා ශ්‍රමදාන ව්‍යාපාරයක් ආරම්භ කලා. කාලයක් තිස්සේ ගෙදර හරිහැටියට රැඳිලා හිටපු නැති නිසා මුලු වත්තම සම්පූර්ණයෙන්ම වල් බිහිවෙලා ඝර්මකලාපීය මහා වනාන්තතරයක් වගේ වෙලා තිබුනේ. ඉතිං අපි දෙන්නා දැහැමින් සෙමෙන් වත්ත සුද්ද කරාගන කරාගන කරාගන යනකොට එකපාරටම හාමිනේ තීර්ථ යාත්‍රිකයාට කතා කරලා මේ පහල තියෙන භාණ්ඩෙ පෙන්නුවා.

හොඳට ලෙලිගහලා ගානට කට්ට කපලා මූණක් ආකාරයට තිබුන  හින්දා හාමිනේ ගත්කටටම ඇහුවේ මොකක් හරි ගුරුකමක්වත්ද මේ කියලා. තීර්ථ යාත්‍රිකයා දන්නා ආකාරයට නං ගුරුකං වලට බන්ධන වලට ගන්නෙ නවසි ගෙඩි. බැලූබැල්මට නවසි ගෙඩියක් නෙවෙයි වගේ. තව ටිකක් වෙලා සිරි නරඹ නරඹා ඉන්නකොට තමයි තේරුනේ මේක ඉත්තෑවෙක්ගෙ අනගිභවනීය කලාකෘතියක් කියලා :D . අනික් පැතිවල නම් කොහොමද දන්නෙ නෑ හැබැයි මේ පොල් ත්‍රිකෝණෙ ඇතුලෙ ඉන්න ඉත්තෑවො නං පොල් කන්න බොහොම මනාප සත්තු කොට්ඨාසයක්. සමහර වතු වල පැල කරන පොල්ගෙඩිය වල හාරලා අරගන යන්න තරං ඉත්තෑවො පොල් වලට මනාපයි. ඉතිං මෙහෙම අරගෙන යන පොල් ගෙඩිය ඉත්තෑවො හොඳට ලෙලිගහලා කට්ට හාරලා තමයි ආහාරයට ගන්නවා ඇත්තේ. ඕන්න හීලෑ කරගන්න පුලුවන් නං මාලු පොල්වලට කට්ටා පොල් වලට පොල් ලෙලි ගහන්න මිනිහෙක්ව කුලියට ගන්නේ නැතිව ඉත්තෑවො කීපදෙනෙක් දාන්න තිබුනා.

තව ටිකක් දුරට සුද්ද කරගෙන යනකොට ඉත්තෑවගෙ සේෆ් හවුස් එක අපිට හම්බ උනා. අයිතිකාරයා ගෙදර හිටියෙ නැති උනාට ලෙලි ගහපු පොල්, ලෙලි ඇති පදං තිබුනා. අපි ගෙදර හිටපු නැති කාලෙ වැටිච්චි පොල් වලිං සෑහෙන ප්‍රමාණයකට මේ ඉත්තෑ උන්නැහේ වගකියන්න ඇතෙයි කියලා අපිට හිතුනා. ඔන්න ඔහොමයි පිංවතුනි ඉත්තෑ ගුරුකං කතාවස්තුව. එහෙනං අසා සිටි ඔබ සැමට ඉස්තූතියි.. මං ගියා....

Read More...

Wednesday, March 9, 2016

පාරිභෝගිකයන්ට බොරු කියන හලාවත ඉන්සයිට් පරිගණක අලවි සහ අලුත්වැඩියා සැල

Leave a Comment
මා සතුව 2012 වර්ෂයේ මිලදී ගත් Core i 3 ටොෂීබා සැටලයිට් වර්ගයේ ලැප්ටොප් පරිගණකයක් ඇත. වසරක් පමණ භාවිතා තදින් භාවිතා කිරීමෙන් අනතුරුව කාර්යාලයෙන් ලැබුන HP Probook ලැප්ටොප් පරිගණකය‍ මම වැඩි වශයෙන් භාවිතා කලා. ඒ ලැප්ටොප් පරිගණක දෙකක් කොලඹ රැගෙන යාමේ සහ ගෙන ඒමේ අවශ්‍යතාවයක් නොමැති නිසා. මාස කීපයකට පෙර සිට ටොෂීබා පරිගණකයේ යම් යම් දෝශ පෙන්නුම් කිරීමක් සිදු වුන අතර වේලාව නොමැති කම නිසාම එයට හේතු බැලීම අතපසු වුනා. මසකට පමණ පෙර ටොෂීබා පරිගණකය යම් කටයුත්තකට ඔන් කිරීමට උත්සාහ කිරීමේදී එය නෝ පවර් තත්වයට පත්වී තිබුනා. ගලවා එය යථාතත්වයට පත්කිරීමට උත්සාහයක් දැරුවත් එහි දෝශය  මා හට නිවසේදී නිවරදි කල නොහැකි බව දැනුන බැවින්  එය රෙපයාර් කිරීම සඳහා ආයතන කීපයකට බාර දුන්නත් කෙටි නිරීක්ෂනයකින් අනතුරුව මව් පුවරුවේ ප්‍රශ්නයක් ඇති බවත් එය ඔවුන්ට අලුත්වැඩියා කල නොහැකි බවත් පවසා  ඔවුන් මට පරිගණකය ආපසු බාර දුන්නා.

මා ටෙක් ලීඩ් වශයෙන් රැකියාව කල මෘදුකාංග ආයතනයෙන් ටික කලකට පෙර මා ඉවත් වූයේ කලක සිට  අර්ධ කාලීනව කරගන යන Aspire Web Team නම් මාගේ මෘදුකාංග සංවර්ධන Startup එකෙහි වැඩ කටයුතු සඳහා පූර්ණ කාලීනව කාලය වැය කිරීමේ අවශ්‍යතාවය නිසායි.මා දැන් වැඩ කරන්නේ නිවසේ සිටමයි එමෙන්ම වැඩි වශයෙන් රාත්‍රී කාලයේදීයි. ඒ නිසා දහවල් කාලයේ විවේකය තිබෙනවා.  දිනක් යාලුවෙකුගෙන් ලැබුන ඔත්තුවකට අනුව මම හලාවත කුරුණෑගල පාරේ පිහිටි ඉන්සයිට් ආයතනයට ගියේ ඇමරිකාවෙන් ආනයනය කල ලෙනාවෝ තින්ක් පෑඩ් ලැප්ටොප් යන්ත්‍ර එහි විකිණීමට තිබෙනවාදැයි බැලීමටයි. ඔවුන් සතුව ඒවා නොතිබුන අතර මට අවශ්‍ය නම් ගෙන්වා දීමට හැකියාව ඇති බව ඔවුන් පැවසුවා.ලැප්ටොප් යන්ත්‍ර අලුත්වැඩියා කරන බව ද සඳහන් කර තිබුන නිසා මම මාගේ ටොෂීබා ලැප්ටොප් යන්ත්‍රය ගැන ඔවුන්ට පැවසුවා. ඔවුන් එහිදී මට කියා සිටියේ ටොෂීබා ලැප්ටොප් යන්ත්‍රවල අලුත් වැඩියා කටයුතු ඉතා පහසු බවත්  මව් පුවරුවල ගැටලු නිරාකරණය කිරීමට ඔවුන් සතුව BGA යන්ත්‍රයක්ද තිබෙන බවත් සහ දින හතරක පමණ කාලයකදී අලුත් වැඩියා කල හැකි බවත්. මදක් විස්මයට පත්වුනත් වෙන වෙන්න නරක දෙයක් නොමැති නිසා මා සෙනසුරාදා දිනයක උදේ වරුවේ ඔවුන්ට ලැප්ටොප් යන්ත්‍රය භාර දුන්නා. ඔවුන් මට කීවේ රුපියල් 7000~8000 ක් අතර මුදලකට මෙය  අලුත් වැඩියා කල හැකිවනු ඇති බවත් එයට වඩා මුදල් වැය වේ නම් මට ප්‍රථමයෙන් දැනුම් දෙන බවත් අලුත් වැඩියාවෙන් පසුව  බ්‍රහස්පතින්දා දුරකතන ඇමතුමක් දෙන බවත් මට ඔවුන් පැවසුවා.

මා බදාදා දිනයේ ඔවුන්ට දුර කතන ඇමතුමක් දුන්නා. ඔවුන් පැවසුවේ තවමත් එහි දෝශය බලන බවත් හෙට(බ්‍රහස්පතින්දා) දුරකතන ඇමතුමක් දෙන බවත්. බ්‍රහස්පතින්දා එනම් පසු දිනයේ ඔවුන්ගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොලැබුන අතර එයට පසුව දා සිකුරාදා මා පුද්ගලික වැඩකට හලාවතට යන අතර තුර ඔවුන්ගේ ආයතනයට ගොඩ වැදුනා. එහිදී එහි සිට පුද්ගලයාගෙන් මා ලැප්ටොප් යන්ත්‍රෙය් තත්වය විමසීමක් කල අතර පෙර දින දුරකතන ඇමතුමක් නොදුන්නේ ඇයි දැයි ත් විමසා සිටියා. එයට ඔහු ප්‍රතිචාරයක් දුන්නේ තවම ලැප්ටොප් එක බලනවා යනුවෙන්. එම ප්‍රතිචාරය ඔහු ලබාදුන්නේ අවිනිෂ්චිත ආකාරයට. එවිට මා ඔවුන්ට දන්වා සිටියේ ඔවුන්ගේ නිරීක්ෂණ ගාස්තුව වන රුපියල් දහසක මුදල ගෙවීමෙන් අනතුරුව මා මගේ පරිගණකය නැවත රැගෙන යන බවයි. එවිට ඔහු මට පැවසුවේ “සර්ගෙ කම්පියුටර් එක හදන්න පුලුවන්. ඒකට අපි දැන් කෑලි වගයක් දාල තියෙන්නෙ, තාම චෙක් කර කර යනවා“ අදී වශයෙන්. එවිට මා විමසා සිටියේ කවදාද එය අලුත් වැඩියා කරන දිය හැක්කේ යනුවෙන්. එයට ප්‍රතිචාර ලෙස ඔහු කීවේ එය හරියටම කිව නොහැකි බව සහ එය ඉතා අමාරු කටයුත්තක් ලෙසයි. එවිට මා ඔහුගෙන්  “එහෙනම් ඇයි එදා කීවේ ටොෂීබා ට්‍රබල් ෂූටින් හරි ලේසියි මදර්බෝඩ් කේස් එකක් තිබ්බත් දවස් හතරෙන් කරන්න පුලුවන් කියලා කීවේ “ යනුවෙන්. එයට ප්‍රතිචාර ලෙස ඔහු මට කීවේ සඳුදා වෙන තෙන් කාලය දෙන ලෙසත් සඳුදා අනිවාර්යෙන්ම දුරකතන ඇමතුමක් දෙන බවත්ය.

සඳුදා දිනයේ ඉන්සයිට් පරිගණක ආයතනයෙන් කිසිදු දුරකතන ඇමතුමක් මට ලැබුනේ නැත.පසුව දා උදයේ මම එයට දුරකතන ඇමතුමක් දී පරිගනකයේ තත්වය විමසුවා. එයට ලැබුනේ සුපුරුදු ප්‍රතිචාරයයි ඒ “ආහ් සර් අපි ඒක තාම චෙක් කරගන යනවා“ යන්නයි. එවිට මා ඔහුට තදින් කතා කරමින් පාරිභෝගිකයන්ට බොරු කියමින් ඔවුන්ව මුලාවේ නොදමන ලෙසත් ඔවුන්ගේ විශ්වාසය බිඳ දැමීමෙන් බිස්නස් පාඩු වන්නේ ඔවුන්ටම බවත් වශයෙන් දොස් පැවරීමක් කලා. මා දැක්වූ කරුණ හමුවේ ඔහුට දීමට පිළිතුරක් තිබුනේ නැහැ. අවසානයේ ඔහු මට “සර්ගෙ කම්පියුටර් එක හදන්න 14000ක් විතර යනවා සර් 7000කට 8000කට වඩා යනවානම් හදන්න එපා කීවනේ ඒකයි හැදුවේ නැත්තේ. මට කොල් එකක් දෙන්න නම් බැරි උනා “ ආදී වශයෙන් ෂේප් වීමේ බොරුවක්ද පැවසූවා. එය ඔහු මුලින් කී කරුණූ වලට පරස්පර විරෝධී කතාවක්. තව දුරටත් කාලය නාස්ති කිරීමේ අවශ්‍යතාවයක් මට නොමැති හෙයින් ඔවුන් සවිකල සියලු උපාංග ගලවා ඉවත් කර තබන ලෙසත් මා පරිගණකය අරන් යෑමට එදිනම එන බවත් මා ඔහුට දැනුම් දුන්නා. 

මා දහවල් කාලයේ අදාල ආයතනය යන විට ඒ ආයතනයට පාරිබෝගිකයන් කීපදෙනෙකුත් පැමිණ සිටියා. අදාල පුද්ගලයා මා වෙත පැමින මාගේ පරිගනකට මට ලබාදුන්නා. නිරීක්ෂන ගාස්තු ගෙවීමට මා යන විට “ Inspection Fee එපා සර්“ යනුවෙන් පවසා නිරීක්ෂණ ගාස්තු ගැනීමක් කලේද නැහැ. ඒ බොහෝ විට නව පාරිබෝගිකයන් කීපදෙනෙක් සිටින නිසා මා ඉක්මණින් එතනින් පිටත් කරවා ගැනීමේ බලාපොරොත්තුවෙන් වෙන්නට ඇති. මා පැවසිය යුතු සියලු දෙය ඔහුට දුරකතනයෙන් පවසා තිබුන නිසා සහ මට මෙය අන්තර්ජාලයේ පල කිරීමෙන් විශාල පිරිසකගේ අවධානය යොමු කල හැකි නිසා මා එතනදී නැවතත් ඔහුට පාරිබෝගිකයන් මුලා  නොකරන ලෙස පැවසීමට ගියේ නැහැ.

ශ්‍රී ලංකාවේ ඇතැම් පරිගණක විකිණීමේ  ආයතන පාරිබෝගිකයා රස්තියාදු කරන ආකාරය සහ මුදල් කඩා වඩා ගන්නා අකාරය ගැන මේ අන්තර්ජාලය පිරා බැලූ විට ලිපි විශාල ප්‍රමාණයක් ඔබට හමු වේවි. ඔවුන් මේ ආකාරයට කටයුතු කරන්නේ එක පාරිබෝගිකයෙකු නොපැමිණියාට විස්තර නොදැන තව තවත් පාරිබෝගිකයන් පැමිණෙණ නිසායි. එබැවින් මෙබඳු අත්දැකීමක් ලැබුන පසු හැකි පමණ එය ප්‍රචාරය කිරීම කල යුතු බවයි මාගේ පුද්ගලික මතය. ලංකාවේ වේගයෙන් ව්‍යාප්ත වන අන්තර්ජාලය නිසා විශාල පිරිසක් දැනගන්නවාට අමතරව අදාල ආයතනයන්ද ඒවායේ ඉහල පුටුවලට සිටිනා පුද්ගලයින්ටද මේවා පෙනෙනවා. නරක ප්‍රතිචාර තිබීම ඔවුන්ගේ ව්‍යාපාර වලට බාධාවක් නිසා මේවා දැක හෝ ඔවුන් පාරිබෝගිකයන්ට අසාදාරනයක් නොකරනු ඇති. එබැවින් කුමන හෝ ආයතනයකින් ඔබට අසාධාරනයක්  සිදුවුනා නම් එය සමාජ ජාල හරහා හෝ බ්ලොග් හරහා හෝ කුමන ක්‍රමරයකට හෝ අන්තර්ජාල ගත කිරීම පාරිභෝගික හැමගේම යහපත උදෙසා කරන කාර්යක් වනු ඇති.
Read More...
.