Wednesday, February 17, 2016

GOCR - Image to Document Convert App

Leave a Comment
සරලව කියනවා නම් GOCR කියන්නේ තීර්ථ යාත්‍රිකයා විසින් රචිත කාව්‍යක් (ස්ක්‍රිප්ට් එකක්). :D . මේක භාවිතා කරලා පින්තූරයක තියන අකුරු සංස්කරණය කරන්න පුලුවන් ආකාරයක ඩොකියුමන්ට් එකකට ගන්න පුුලුවනි (වර්ඩ් ඩොකියුමන්ට් එකකට). 

පොර ටෝක් එකක් විදිහට මහාප්‍රාණෙන් කියනවා නම් - GOCR යනු Optical Character Recognition තාක්ෂණය භාවිතා කර ගූගල් හි අති ප්‍රබල ක්ලවුඩ්  සේවය මත පදනම් වූ Optical Character Recognition මෘදුකාංගයකි.  :D .

ඇත්තටම මේක එහෙම පොර ටෝක් දෙන්න ඕන එකක් නෙවෙයි. අන්තිම සරල කෝඩ් කීපයක් පාවිච්චි කරලා ගූගල් ඩ්‍රයිව් එකේ තියන OCR පහසුකම ඇප්ලිකේෂන් එකක් විදිහට පාවිච්චි කරන්න හදාපු ස්ක්‍රිප්ට් එකක්. මේකෙ බේස් එක උනෙත් වෙන කෙනෙක් ලියපු ස්ක්‍රිප්ට් එකක්. හැබැයි මහාප්‍රාණෙන් කියපුවාම ෆයිල් එකක් කොපි පේස්ට් කරන එක උනත් හරි සංකීර්ණ විදිහට කියන්න පුලුවන්. ගොඩක් මාකටින් කරන උං ඔය වගේ ඒවා කියලා තමයි ක්ලයන්ට්ලා රවට්ටලා ගාන කඩාගන්නේ :D .

නිධාන කතාව
තීර්ථ යාත්‍රිකයා වැඩ කරන තැන ප්‍රොෙජක්ට් එකකට අවශ්‍ය උනා පින්තූර වල තියන අකුරු සංස්කරණය කරන්න පුලුවන් විදිහේ ගොනු බවට පත්කරන ක්‍රමයක්. ඒ සඳහා OCR ලයිබ්‍රීස් කීපයක්ම තිබුනත් අපිට ප්‍රධාන ප්‍රශ්නය උනේ ඒ ලයිබ්‍රීස් සිංහල සඳහා හරිහැටි සහාය නොදැක්වීම. Tesseract-ocr සෑහෙන දුරට සිංහල භාෂාවට සහාය දැක්වුවත් සිංහල භාෂාව සඳහා එය පුහුණු කිරීම කාලය ගතවන වැඩක් විදිහටයි තීර්ථ යාත්‍රිකයාට තේරුනේ. PHP පාවිච්චි කරලා ඇප්ස් ලියන තීර්ථ යාත්‍රිකයලාට C, Java එක්ක ඕවා කරන්න වෙලාවක් නැහැ නෙව :D .

ගූගල් ඩ්‍රයිව් එකට පින්තූර ගොනුවක් අප්ලෝඩ් කරලා ඒක වර්ඩ් ෆයිල් එකකට කන්වර්ට් කරගන්න පුලුවන්. ඒවගේම ගූගල් වල OCR එන්ජින් එක සිංහල වලට සෑහෙන හොඳ බව තේරුනා. ඒ නිසා තීර්ථ යාත්‍රිකයා කලේ Google Drive API එක හරහා අවශ්‍ය කාර්යය කරගත්තු එක.

වාණිජ ව්‍යාපෘතියක් නිසා හදපු සම්පූර්ණ ඇප්ලිකේෂන් එක එළියට දෙන්න බැරි උනත් කාට හරි බේස් එක විදිහට පාවිච්චි කරන්න පුලුවන් ආකාරයේ සරල ඇප්ලිකේෂන් එකක් විදහට මේක එළියට දෙන්න තීර්ථ යාත්‍රිකයා හිතුවා. අපි වැඩිහරියක් කරන්නේ අනික් මිනිස්සු සල්ලි  ගැන නොහිතා තමන්ගේ දැනුමෙන් කරපු ඇප්ලිකේෂන්, ස්ක්‍රිප්ට් පාවිච්චි කරන එක .එහෙව් එකේ පුලුවන් හැටියට අපිත් ස්ක්‍රිප්ට් කෑල්ලක් දෙකක් දාන එක හොඳයිනේ :) .

බාගත කිරීම
Github එකේ මේක තියනවා. කියන්න බැරි උනා. මම මේකට උපකාර කරගත්ත බේස් ඇප් එකට ලිංක් එකත් ගිට් හබ් පේජ් එකේ තියනවා. මේකට GOCR කියන්නේ Google OCR සේවය මත පදනම් වූ නිසා.

වැඩ කරන හැටි
  1. ගූගල් ඩිවලොපර් කොන්සෝල් එකට ගිහිල්ලා ඇප්ලිකේෂන් එකක් හදලා Client Secret Json File එක ගන්න.
  2. ඩවුන්ලෝඩ් කරගත්ත ෆයිල් සෙට් එකේ තියන Client Secret File එක අයින් කරලා 1 ට කියපු ෆයිල් එක දාගන්න.
  3. ක්ලයන්ට් සීක්‍රට් එකේ තියන Redirect URI කියන තැනට ඔයාගෙ ෆයිල් සෙට් එකේ තියන fileupload.php කියන ෆයිල් එකේ පාත් එක දෙන්න.
  4. formaction.php කියන ෆයිල් එක ඕපන් කරලා $permission_data කියන එක සර්ච් කරලා (Line 178) ඔයාගේ ජීමේල් ඇඩ්‍රස් එක දෙන්න.
  5. එච්චරයි. මේක රන් කරන්න ඕන වෙබ් සර්වර් එකක් හරහා කියලා අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ.
  6. ප්‍රොෙජක්ට් එක රන් කලාම ෆයිල් එක අප්ලෝඩ් කරන තැනට අවශ්‍ය පින්තූර ෆයිල් එක දුන්නාම වර්ඩ් ඩොකියුමන්ට් එකක් ඩවුන්ලෝඩ් වේවි.
සැලකිය යුතුයි
  • මේක පලවෙනි වර්ශන් එක ඒ නිසා අඩුපාඩු තියෙන්න පුලුවන්.බග්ස් ආවොත් කියන්න.
  • මේක සම්පූර්ණ ඇප් එකක් නෙවෙයි , මේක මොකක් හරි ඇප් එකකට බේස් එක විදිහට පාවිච්චි කරන්න පුලුවන්.
  • මේකට තව මොනවා හරි එකතු වෙන්න ඕන කියලා හිතෙනවා නම් මට කියන්න. ඔබටම ඒ දේ කරන්න පුලුවන් නම් ෆෝර්ක් කරගෙන ඔබගේම ප්රොජේක්ට් එකක් විදිහට කරගන යන්න එහෙමත් නැතිනම් මට පුල් රික්වෙස්ට් එකක් දාන්න. මම මාස්ටර් බ්‍රාන්ච් එකට මර්ජ් කරන්නම්.
  • ඩවුන්ලෝඩ් කරගන්න, පාවිච්චි කරන්න , වෙනස් කරන්න , අලුත් දෙයක් ලෝකයට දෙන්න.


  
Read More...

Monday, February 15, 2016

මාදුරුඔය සංචාරය

Leave a Comment
තීර්ථ යාත්‍රිකයා කියන්නේ එහෙ මෙහෙ ඇවිදින්න, බලන්න යන්න අප්‍රමාණ කැමැත්තක් තියන උදවියගෙන් කෙනෙක්. ඒ වගේම බොහෝ දුර වාහන පැදවීමටත් ආසාවක් තියන කොට්ටාසයෙන් අයෙක් (රථ ගාය). ඉතිං මාදුරුඔයේ මිත්‍රයකුගෙන් දවසක් දෙකක් එහෙ ඉන්න එන්න කියලා ආරාධනාවක් ලැබුනාම පස්වනක් ප්‍රීතියෙන් පිනා ගිය එක අහන්නත් දෙයක්ද :D. ඉතිං ඒවගේ ගමන්වලට ප්‍රිය කරන මිත්‍රයෝ කීපදෙනෙකුත් කැටුව එක පාන්දරක තීර්ථ යාත්‍රිකයා පිටත් වුනා මාදුරු ඔය බලා යන දීර්ඝ ගමන. ගමන් මාධ්‍ය උනේ තීර්ථ යාත්‍රිකයාගේ හා අනෙකුත් මිත්‍රෙයකුගේ මෝටර් රථ දෙක.



ගිහිං ආපහු එනකොට කිලෝ මීටර් 650කට ආසන්නයි. මේක තමයි තීර්ථ යාත්‍රිකයා දින දෙකක් ඇතුලත රිය පැදවූ දීර්ඝතම දුර. ගිය උදවිය මැනුවල් ගියර් වාහන ඩ්‍රයිවින් නොදන්නා නිසා අනෙක් මෝටර් රථය පැදවූ මිත්‍රයාට හිමිවූ රියදුරු මාරුවීමේ වාසිය තීර්ථ යාත්‍රිකයාට ලැබුනේ නැහැ. නමුත් රථගාය නිසා ඒක ඒ හැටි දැනුනේ නැහැ.








දහ අට වංගුවේ තියන නැරඹුම් ස්ථානයකින් නවත්වලා ගත්ත ඡායාරූපයක් මේක. මහවැලි නිම්නය බොහොම අපූරුවට සුන්දරව දිස්වෙනවා. දහ අට වංගුව පාස් කරලා යන උදවියට ටිකක් විඩාව නිමාගන සුන්දර දර්ශනයක් නරඹන්න පුලුවන් මෙතන නැවතුනොත්. වාහන නවත්වන්නත් හොඳටම ඉඩතියනවා.

තීර්ථ යාත්‍රිකයා මහියංගනයෙන් එහාට යන පළවෙනි වතාව. මහියංගනය නගරයේ අපි නැවතුනේ වාහනවලට ඉන්ධන ලබාගැනීමටත් අවශ්‍ය ආහාර කලමනා , BBQ සඳහා අවශ්‍ය ගල් අඟුරු අදිය මිලදී ගැනීමටත්. මහියංගනය සෑ රඳුන් වැඳ පුදාගන අවශ්‍ය කලමනාත් අරගෙන දෙහිඅත්තකණ්ඩිය හරහා මාදුරුඔයට යන්නට අපි පිටත් වුනා. මහියංගනයෙන් පසුව පරිසරයේ ස්වභාවය හරිම වෙනස් බව තීර්ථ යාත්‍රිකයාට දැනුනා. මහියංගනය දෙහිඅත්තකණ්ඩිය අතර ගොවීන් ඉද්ද ගැසුවා සේ දිවෙන මාර්ගය වී ගොයම්වලින් වෙන් කරගැනීමේ කාර්යට දායක කරගෙන තිබුන ආකාරය අපූරුයි. ඒ මාර්ගයේ දිවෙන යාන වාහන අම්බරුවන්ගේ කාර්යය කිරීමට යොදාගැනීමෙන් :D.

මාදුරුඔය රක්ෂිත වනෝද්‍යානයක්. ජලාශයත් හරිම අපූරුයි සුන්දරයි එ වගේම විශාලයි. රුවල් ඔරු භාවිතයෙන් මසුන් ඇල්ලීම කරන ශ්‍රී ලංකාවේ එකම ජලාශයත් මෙයයි. මාදුරුඔයේ මගේ මිත්‍රයා අපේ මේ සංචාරය අමතක නොවන එකක් බවට පත්වීම සඳහා සියලු කටයුතු ලක ලෑස්ති කර තිබුනා. අපිට නවාතැන් ගැනීමට වාරිමාර්ග ඉංජිනේරු සර්කිට් බංගලාවක සුව පහසු කාමර, ප්‍රණීත ආහාර, වනෝද්‍යානය තුල ගමන් කිරීමට 4DR5 රථයක් සහ මාදුරුඔය ජලාශයේ බෝට්ටු සවාරියක්ද එයට ඇතුලත් උනා.


මාදුරුඔය ජලාශයේ බැම්මේ බැස යන හිරු එළියේ සැඳෑ සුවය විඳින තීර්ථ යාත්‍රිකයාගේ මිතුරු පිරිස. (තීර්ථ යාත්‍රිකයා සහ ඇඹේනිය ඡායාරූපය ගන්නා හෙයින් ඡායාරූපයේ නොමැති බව කරුණාවෙන් සලකන්න :D )


මාදුරුඔය ජලාශයේ වාරි ඇල. මේ අශ්‍රිතව කුඩා පරිමාන විදුලි බලාගාරයක්ද පවතිනවා. මෝටර් බෝට්ටුවකට නැඟුන අපි  ජලාශයේ රවුමක් ගහන්නට පිටත් උනේ දිවාආහාර එහෙම ගැනීමෙන් පසුව සවස් භාගයේ.


ජලාශයේ එහා ඉවුරට ගොඩවීමෙන් පසුව. ගමනට යොදාගත් බෝට්ටුවත් පසුබිමින් පේනවා. ඒ වගේම ඓතිහාසික මාදුරුඔය සොරොව්ව බලන්නත් අපි අමතක කරේ නැහැ. එය ආරක්ෂාකිරීමට විදුලි වැටකින් වට කර තිබුනා.

මාදුරුඔය බල්ලන් බලලුන් ගාණට අලි සහ මොනරුන් ඉන්න ප්‍රෙද්ශයක්. බෝට්ටු සවාරියෙන් අනතුරුව අපි මද දුරක් වනෝද්‍යානය තුල සංචාරය කලා. එහි වූ කෞතුකාගාරයත් නැරඹුවා. වෙඩි වැදීමෙන් මරණයට පත්වූ සද්ධන්තයන් රැසකගේ හිස්කබල් එහි තබා තිබුනා. ඒවා නරඹන විට අපිට ඇති වූයේ ශෝකී හැඟීමක්. අලින්ට හැමවිටම අත්වන්නේ ඛේදජනක අවසානයක්. වෙිඩිවැදීමෙන් හෝ වෙනත් හේතුවකින් අකලට මරණයට පත් නොවුනහොත් දැවැන්තයාගේ අවසානය සිදුවන්නේ දත් නොමැති වීම නිසා ආහාර ගැනීමට නොහැකිවීම නිසා කුසගින්නෙන්.. :( . වනෝද්‍යානය තුලදී අපි තිත්මුවන් සහ වල් ඌරන් දුටුවා.

අලින් නැරඹීමට සුදුසුම ප්‍රදේශය වන්නේ මාදුරුඔය මහඔය මාර්ගය බව මගේ මිත්‍රයා කියා සිටියා. අපි 4DR5 රථයේ නැගී ඒ දෙසට ඇදුනේ වල් (වන) අලින් දැක බලාගැනීමේ ආසාවෙන්.


ඉද්ද ගැසුවා සේ කෙලින් තිබෙන මහ ඔය - මාදුරුඔය මාර්ගය. මාර්ගය දෙපස වන සතුන් පාර මාරුවෙන බව හඟවන පුවරු තැනින් තැන තිබුනා. මේ මාර්ගය සවස 6න් පසුව වසනවා. හේතුව වන සතුන් පාරට පැමිනීම.

මාර්ගය ආසන්නයේම සිටි කුලු හරකුන් රංචුවක්.


විසාල කුරුල්ලෙක්. වන ජීවී ලෝලියෙකු නොවන නිසා තීර්ථ යත්‍රිකයා මේ සතා කුරුල්ලෙකු බව පමණක් දන්නවා :D 

මේ ඉන්නේ වන සතෙකු නොව තීර්ථ යාත්‍රිකයායි. තිර්ථ යාත්‍රිකයා මිත්‍රයකුගේ ඡායාරූපයක් ගන්නා විට ඔහුත් ක්ෂණිකව ඡායාරූපයක් ගෙන තිබුනා. අලින් සෑමතැනම වාගේ සිටියා. තනි අලි, තුන්පත් රෑන්, විශාල රංචු අාදී වශයෙන්. ඒ වගේම කෝපයට පත් තනි අලියෙකුගේ ලුහුබැඳීමකටද ලක් වී ත්‍රාසජනක අත්දැකීම් ලබාගැනීමට හැකියාව ලැබුනා.


ආපසු පැමිණෙන විට හතරවටින්ම අඳුර වැටී තිබුනා. ජලාශය සැන්දෑ හිරු එළියේ දිලිසෙමින් තිබුනේ මේ ආකාරයටයි.

උදෑසන හිරු එළියේ දිදුලමින් තිබෙන පත්‍රයක්. පාතාරසය ගැනීමෙන් අනතුරුව පිරිස ඇදුනේ මහ ඔය උණුවතුර උල්පත් නැරඹීමට යාමටයි. කින්නියා මෙන් ප්‍රසිද්ධ නොවුවත් මහ ඔයේත් උණුවතුර උල්පත් තිබෙනවා. විවිද උෂ්නත්වයන්ගෙන් යුතු මෙම උල්පත් නෑමට පහසුවන ආකාරයට ලිං ආකාරයට බැඳ තිබෙනවා. ඔබත් නෑමේ බලාපොරොත්තුවෙන් මහ ඔය බලා යනවා නම් උදෑසනම යෑමට වගබලා ගන්න. නැත්නම් පිරිස වැඩිවෙනවා දිවා කාලය එළඹෙන විට.

පාසිකුඩා වලට තිබෙන්නේ මාදුරුඔයේ සිට කිලෝමීටර් 60ක පමණ දුර ප්‍රමාණයක්. නමුත් දෙවනි දින ආපසු ඒමට අවශ්‍ය වී තිබුන නිසා පාසිකුඩා යෑමට අපිට නොහැකි උනා. රාත්‍රී නවය පමණ වන විට තීර්ථ යාත්‍රිකයා සහ බිරිඳ සති අන්තය විවේකයෙන් ගත කිරීමට අපේ ගම්පලාත වන හලාවතටත් ඉතිරි පිරිස කොළඹ බලාත් ඇදුනා. අපූරු චාරිකාවක් අපූරු මතකයක් අපිට ලබාගැනීමට උදව් කල වජිරි සිරිවර්ධනය මගේ මිත්‍රයාට මගේ හද පිරි ස්තුතිය හිමිවෙනවා.

Read More...

Sunday, February 14, 2016

කලකට පස්සේ වෙලකට බැස්සේ

2 comments
කලකට පස්සේ වෙලකට බැස්සේ කියල කිව්වට මේක මීහරකෙක් සම්බන්ධ කතාවක් නෙවෙයි :) . කාලෙකට පස්සේ තීර්ථ යාත්‍රාවේ පෝස්ට් එකක් දාන්න යද්දි නැවත ආගමනය ගැන අලංකෘත මාතෘකාවක් ගැන හිත හිතා ඉද්දැද්දි නිකම්ම ඔලුවට ආපු චවන ටිකක් දැම්මා පෝස්ට් එකේ මාතෘකාව  විදිහට. කාලයක් තිස්සේ ලියන උදවියට රයිටරස් බ්ලොක් ද මොකද්ද කියලා ලියන්න දෙයක් හිතාගන්න බැරිව මුකුත් ලියාගන්න බැරි වෙන එකේ එහෙං මෙහෙං පෝස්ට් එකක් දෙකක් දාලා බ්ලොග් එකක් ලියන අපි කාලාන්තරයකට ලියන්නෙ නැතිව අතුරුදන් වෙන එක පුදුමයක් නෙවෙයි.

ලියන්නේ නැතිව හිටි එකට හේතුවක් කියලා කෙලින්ම දෙන්න සෘජු කාරණාවයක් ඇත්තෙත් නැහැ. කෙටියෙන් කියනවානම් වෙන වෙන දේවල් වලට අවධානය යොමු වීම කියන එක කියන්න පුලුවන්. අවසාන ලිපිය ලියල තියෙන්නේ 2014 අවුරුද්දේ. කිසිම යාවත්කාලීන කිරීමක් නැතිව අවුරුදු  එකහමාරකට ආසන්න කාලයක් ගෙවිලා ගිහිල්ලා.

ඒ අවුරුදු එක හමාරකට මදක් වැඩි කාලය ඇතුලත තීර්ථ යාත්‍රිකයාගේ ජීවිතයෙත් වෙනස්කම් කීපයක් ම වෙලා තියෙන්නේ :) . ඒ වෙනස්කම් අතරට 2014 අවුරුද්දෙ අග චාම් උත්සවයකින් තීර්ථ යාත්‍රිකයා විවාහ වීමත්, මෘදුකාංග ඉංජිනේරු තනතුරේ සිට ටෙක් ලීඩ් (තාක්ෂණ ප්‍රදානී ? :D ) තනතුර දක්වා රැකියාවේ වෙනස් වීමත්, වින්ඩෝස්  7 වෙනුවට වින්ඩෝස් ටෙන් පාවිච්චියට ගැනීමත් තව වෙනස්කම් කීපයකුත් ඇතුලත් :D

ඉතින් මේ පෝස්ට් එක මඟින් බලාපොරොත්තු වෙන්නේ වල් බිහිවුනු බ්ලොගයේ මකුලු දැල් කැඩීමක්. ඉතින් මේ තේරුමක් නැති පෝස්ට් එක කියව්වාට ඔබට තුති.....

ජය වේවා!!! මං ගියා .....
Read More...
.