Friday, May 20, 2016

ගංවතුර සහ අපි

Leave a Comment
“අව්ව මල්ල බැඳපියෝ!
වැස්ස මල්ල ලෙහපියෝ
වතුර උඩට නැගපියෝ
ගංවතුරක් ගලපියෝ“

කුඩා අවධියේ ළමා පොතක තිබූ කවියක් තමයි ඒ. “පුංචි සටනක්“ නම් වූ එම පොතේ කතුවරයා කවුරුන්දැයි මා හට මේ වන විට මතක නැතත් රත්නපුර පලාතේ කුඩා ළමෝ කීපදෙනෙක් මූලික කරගන ගෙතූ ඒ කතාව මැණික් ඉල්ලම් ගැනත් මහ වැසි වැටී ගඟ උතුරා ගංවතුරක් ගැලීම සම්බන්ධයෙනුත් යමක් තිබූ බව මතකයි.

“ගං වතුරේ ඔරු පැදීමු“ යනුවෙන් මා පාසල් යන කාලයේ සිංහල පොතේ පාඩමක්ද තිබුනා. හරියටම මතක නැතත් පහ වසර හෝ ඒ ආසන්නයේ පන්තියක පොතක් බව නම් මතකයි. ගංවතුරක් ගැලීමෙන් අනතුරුව ළමෝ කීපදෙනෙක් පාරුවක් සාදාගන එ් ගංවතුරේ සිරි නරඹමින් ගමන් කරන අයුරු එහි රසවත් ලෙස විස්තර කොට තිබුනා. ගංවතුරක් යනු හරිම චමත්කාර අාශ්වාද ජනක දෙයක් බවත් ගංවතුරක ඒ අත්දැකීම විඳීමට පුදුමාකාර කැමැත්තක් ඒ පාඩම කියවූවාට පසු කුඩා තීර්ථ යාත්‍රිකයාගේ සිතේ ඇතිවූවා.

පොල්ගහවෙල සිටි සමයේ ගංවතුර ලෙස අත්දැකීමක් තිබුනේ තද වැස්සෙන් අනතුරුව පන්සලට පහලින් තිබුන ඇල දෙගොඩතලා ගොස් වෙල් යාය එකම සයුරක් ලෙස පෙනෙන ආකාරයට ජලයෙන් යට වී යෑම පමණයි. පොල්ගහවෙල අප පදිංචි වී සිටි ප්‍රදේශය විශාල ඇලවල් , ගංගා සහ වැව් වලින් තොර වීම නිසා ජලය සමඟ වූ අත්දැකීම් පහල වෙලටත්, වත්තේ ළි‍ඳටත්, නිවසේ නාන කාමරයටත් පමණක් සීමා වූවා.

බිංගිරිය ප්‍රදේශයට පදිංචියට ආපසු ලැබුනු නව කජු ගස් මිතුරන් පිළිඹඳවත් ඒ ප්‍රදේශයේ ගලාගන යන එබ ඇල සහ කොළමුණු ඔය සම්බන්ධයෙනුත් මා පෙර සටහන් තැබුවේ “මහ රෑ මෝටරේ රැකපු හැටි“ ගැන ලියවුන පොස්ටුවෙන්. ඒ ජල මූලාශවලට අමතරව විශාල සහ කුඩා වැව් රාශියක්ම සහ “අප්පට පුතේ කිව් දැදුරු ඔයත්“ කිලෝමීටර් දහයක විතර ආසන්න  ප්‍රදේශයේ තිබෙනවා. මහවැසි සමඟ කොළමුණු ඔය පෝෂක ප්‍රදේශ වලට ජලය ලැබීමත් සමඟ කොලමුණු ඔයේ ජලමට්ටම කෙමෙන් කෙමෙන් ඉහල ගොස් “කොලමුණු ඔය අමුණේ“ දොරට විවෘත කිරීමත්, එබ ඇල දෙගොඩතලා යෑමත්, කොලමුණු ඔය පිටාර ගැලීමත් විශාල වැසි සමයන්හි අනිවාර්යෙන් සිදුවන්නක්. එවිට වෙල් යාය එකම සයුරක් බවට පත්වීමත් අපේ පොල් ඉඩම්වල හතරෙන් එකක් පමණ ජලයෙන් යටවීමත් ඊට සමගාමීවම සිද්දවෙනවා.

බෝවත්ත නගරයට අපේ ගම සම්බන්ධ වෙන්නේ කොලමුණු ඔය සහ වෙල් යායන් හරහා වැටී ඇති මාර්ගයකින්. කොලමුණු ඔයෙන් සහ එබෙන් එතෙර වීම සඳහා විශාල පාලමක් , කුඩා පාලම් දෙකක් සහ සපත්තු පාලමක් බඳු පහත් ප්‍රදේශයක් මේ මාර්ගයේ තිබෙනවා. භාවිතයේ පහසුව සඳහා එම ස්ථානයට මා සපත්තු පාලම යැයි කියා මින් ඉදිරියට ව්‍යවහාර කරනවා. මා කුඩා කාලයේදී මේ සපත්තු පාලම උඩින් ජලය දැමීමක් වැසි කාලයේ සිදු නොවුනත් මා උසස් පෙල කරන අවදියට එලඹෙන විට එතෙර නොවිය හැකි ලෙස සපත්තු පාලම හරහා ජලය ගැලීමටත් ඒ සමඟම අපේ ගම්මානය සහ තවත් ගම්මාන රැසක් හුදකලා වීමත් සිදුවීමට පටන් ගත්තා. ප්‍රථමයෙන්ම සපත්තු පාලම යටවීම අලුත් අත්දැකීමක් නිසා විශාල පිරිසක් එය නැරඹීමට එක් රැස් උනා.ඒ සමයේ මා සතුව තිබුනේ මාගේ ප්‍රථම ජංගම දුරකතනය. එහි වූ VGA කැමරාවෙන් දොගොඩතලා ගලන්නාවූ ජලයේ අපහැදිලි වීඩියෝ සටහනක් ගත්තත් මේ වන විට මා සතුව එය නැහැ.

සෑම ගංවතුරකට පසුවම එම ස්ථානය එකම මට ගොහොරුවක් වීමත් ප්‍රාදේශීය සබාව පොල් කොටන් , පස් ආදිය රැගෙන විත් එම ස්ථානය පුරවා තාර පැලැස්තර දැමීමත් ඒ කාලයේ වැසි සමයෙන් අනතුරුව අනිවාර්යෙන්ම දක්නට ලැබුන අංගයක්.  පසුකාලයේ මේ මාර්ගය කාපට් අතුරා අපූරු ලෙස සකස් කෙරුනා. සපත්තු පාලමටද ස්ථිර විසඳුමක් එක්කරමින් එතන උස්සා බොක්කු කැට දමා සකස් කෙරුනා. නමුත් මගේත් එමෙන්ම බොහෝ පිරිසකගේත් හිතේ තිබුන සැකය නිවැරදි බව තහවුරු කරමින් ඊළඟ වර්ෂා සමයේදී  සම්පූර්ණයෙන්ම කාපට් තට්ටුව ගැලවී බොක්කු ගංවතුරේ ගසා ගන ගියා. හේතුව විශ්කම්භය ඉතා අඩු බෝක්කු කැට කීපයක් පමණක් කොන්ත්‍රාත් කරු භාවිතා කිරීම. සිද්දිය ඇසින් දුටු උදවිය ප්‍රකාශකලේ කාපට් තට්ටුව රෙද්දක් ගසනවාක් මෙන් ඉස්සීගිය බවයි. අනතුරුව කොන්ත්‍රාත්තුව බාරගත් කොන්ත්‍රාත් කරු එම ස්ථානය නිසි ප්‍රමිතියට අනුව බෝක්කු කැට විශාල ප්‍රමාණයක් යොදාගනිමින් උස්සා සකස්කලා. මේ වනතෙක් ජලය එතනින් පිටාර ගැලීමක් හෝ මාර්ගය බිඳී යාමක් සිදුවුනේ නැහැ.

ආයෙත් වැසි කාලේ ඇවිල්ලා .. හැබැයි පරක්කුවෙලා. මෙදා පාර වැහි දෙයියෝ හොදි නැතිවම දෙන්න පටන් අරගන. මිනිසාගේම ක්‍රියාකාරකම් නිසාම අවුල්වෙලා ගිය සොබාදහමේ සිස්ටම් එක රිටර්න් එක දෙන්න පටං අරං. පායනකොට මුලු රටටම එකටම පායන්නත්, වහිද්දි මුලු රටටම එකටම වහින්නත් පටං අරගන. මේක ගංවතුර තත්වය වැඩි කරන්නත් බලපානවා ඇති. ඉවක් බවක් නැතිව කඳුකරයේ වනාන්තර විනාශ කිරීම නිසා නාය යෑම් වෙන්න පටන් අරගෙන. මම පුද්ගලිකව විශ්වාස කරන දෙයක් තමයි කඩිනම් මහවැලි ව්‍යාපෘතිය නිසා මධ්‍යම කඳුකරයේ ඉදිකෙරුන අති විශාල ජලාශයන් මධ්‍යම කඳුකරයට ඔරොත්තු නොදෙන බව.ඒ වගේම පසුව සිදුකෙරුන මධ්‍යම කඳුකරය ආශ්‍රිත සංවර්ධන ව්‍යාපෘති මේ වනවිට මධ්‍යම කඳුකරයේ සිදුවන නායයෑම් වලට හේතුවක් විය හැකියි. ගම්පොල කඳුමුදුනක දැමූ කසල විශාල ප්‍රමාණයක් නාය යෑමත් සමඟ ගම්මානයට වැටී ජීවත් වීමට නුසුදුසු තත්වයක් ඇතිවී ඇති බව අද සමාජ ජාල ඔස්සේ විකාශය වනු මාදුටුවා.

මිනිසාගේ දුර දිග නොබලා සිදුකරන ක්‍රියාකාරකම් වලින් පාඩු සිදු වන්නේ මිනිසාටමයි. මෙතරම් කුඩා රටක් වීත් අවුරුද්දක් පාසා සිදුවන මේ ආපදා තත්වයන් කලමණාකරනය කරගැනීමට සහ ඒවා පාලනය කිරීමට සැලසුම් සාදා ක්‍රියාත්මක වීමට නිසි බලදාරීන්ට නොහැකිවීම ජාතියේම අවාසනාවක්. රටට සුදුසු ආපදාකලමණාකරන සැලසුමක් දේශපාලන පාලන අධිකාරියෙන් වියුක්තව රටට තිබිය යුතුයි. එසේ නොමැති නිසා අවුරුද්දක් අවුරුද්දක් පාසාම විශාල දේපල සහ ජීවිත විනාශයක් සිදුවීමත් දෛනික කටයුතු අකර්මණ්‍ය වීමත් සිදුවෙනවා.

ශ්‍රී ලාංකිකයන් සතුව තිබෙන පරිත්‍යාගශීලීත්වය මේ මොහොතේ ආයෙත් කරලියට ඇවිත්. මීට මද මොහොතකට කලින් අපේ ගමේත් පිරිසක් සංවිදානය වී හෙට දිනයේදී ගංවතුරින් විපතට පත්වූවන් අවශ්‍ය ද්‍රව්‍ය ඒකරාශී කිරීමට කටයුතු කරන බවට දැනුම් දුන්නා. සමාජ ජාල ඔස්සේ විවිද උදවිය ආපදාවට පත්වූ උදවියට සහන සේවා කටයුතු සැලසීමට මූලික වී කටයුතු කරනුද දක්නට ලැබුනා. බොහෝ විට ඔබේ ගමේත් මේ වන විටත් ආධාර එකතු කිරීමේ කටයුතු ආරම්භ වී ඇති. එයට හැකි පමණින් දායක වී අසරණ භාවයට පත්වී සිටින අපේම රටේ මිනිසුන්ට හැකි පමණින් උදව් කිරීම අප හැමගේම යුතුකමයි.




0 ප්‍රතිචාර:

Post a Comment

අදහස්, උදහස්....

.