Monday, May 23, 2016

දන්සැල් වන්දනාව

Leave a Comment
වෙසක් හරි පොසොන් හරි එහෙමත් නැත්තං ඇසල හරි පෝයට කට්ටිය එක්කාසු වෙලා අහල පහල තියන පංසල්, පුරාවිද්‍යා වටිනාකමක් තියන ස්ථාන බලාගන හැම තැනම තියන දන්සැල් වලින් කාලා එහෙම එන්න යනවට අපේ පැත්තේ උදවිය කියන්නේ දංසැල් වඳින්න යනවා කියලා. පංසල් දිහා පැත්ත පලාතෙ වත් යන්නෙ නැතිව මොකක් හරි රව්ට් එකක් දිගේ දිගට දිගට තියන දන්සැල් වලින් දෙන දෙන දේවල් කාල බීල එන එක තමයි ගොඩක් වෙලාවට වෙන්නේ.

අපි දෙන්නත් පහුගිය වෙසක් දවසේ ගියා දන්සැල් වඳින්න. අපේ පැත්තේ කොහොමටත් වෙසක් පෝයට වඩා පොසොන් පෝයට තමයි සැරසිලි, දන්සැල් එහෙම වැඩි. වෙසක් එකට කොහොමටත් අඩු දන්සැල් මේ පාර නම් හොඳටම අඩුයි. ගංවතුරෙන් අපහසුතාවයට පත්වෙච්චි , අවතැන් වෙච්චි උදවියට, දන්සැල් දෙන්න එකතු කරපු මුදල් වලින් බඩු භාණ්ඩ වලින් උපකාර කරන්න දන්සැල් සංවිධායක මහත්තුරු කටයුතු කරලා තිබුනා. අපේ ගමේ තියන බත් දන්සැලත් අත් හිටවලා ගංවතුර පැති වලට ආධාර අරගෙන ගියා. අපිත් වියලි ආහාර වලින් පුලුවන් විදිහට දායක උනා.

දන්සැල් වලින් අඩු උනත් වෙසක් සිරි බලන්න යන උදවියගෙ නං අඩුවක් නෑ, එක එක ජාතියේ වාහන වල. වැඩි හරියක්ම යන්නේ පිස්සු හැදිලා වගේ බයික් වලින් යන වෛවාරන්න විකාර කාරයො. ඒ පිස්සු යක්කු කීපදෙනෙක් හැප්පෙන එක වලක්වගෙන තමයි අපිත් ගියේ. මොකද්ද හේතුව කියලා කියන්න නම් දන්නෑ වෙනදා හොඳට පාරෙ මිනිස්සු වගේ යන කොල්ලෝ ගොඩක් දෙනෙක් මේ වගේ දවස්වල බයික් එකේ යන්නේ හරිම අනතුරුදායක විදිහට.  හූ කිය කියා, නලා පිඹ පිඹ, පාර පුරාම බයික් එකේ යන්නේ  පිස්සු හැදිලා වගේ. ඒ විදිහට අඟර දඟර දදා ගිය පිරිසක් නිසා වාරියපොල අනතුරක් සිදුවෙලා තිබුනා. අපරාදේ ජීවිත. සමහර විට ස්ට්‍රෙස් පිරිච්චි ජීවිතේට රෙස්ට් එකක් දෙන්න වෙන්න ඇති. පොලීසියත් වෙසක් පොසොන් දවස්වල මිනිස්සු පාරෙ යන ආකාරය ගැන වැඩිය තකන්නේ නැති නිසා මේ තත්වයේ වැඩියක් මිසක් අඩුවක් නැහැ.

තියන තියන හැම දන්සැලක් ගාවම නවත්ත නවත්ත, දෙන හැම ජාතියකම බඩජාරියො වගේ බඩට දාගන්නේ මිනිස්සුන්ට කන්න නැති නිසාවත් , කන්න වියදම් කරන්න සල්ලි නැති නිසාවත් නෙවෙයි. ඒකත් එක ත්‍රිල් එකක් වෙලා තියේනේ. වෙසක් , පොසොන් දවස්වලට එළියට ගිහිං සල්ලි දීල කන්න උනොත් ඒක ෆේලියර් එකක් විදිහට තමයි බහුතරයක් සලකන්නේ. දැං අපේ ගමේ දන්සැල ගත්තාම වෙන්නේ ගමේම මිනිස්සු සල්ලි එකතු කරලා ගමේම මිනිස්සු එකතු වෙලා උයලා ගමේම මිනිස්සු ඒක කන එකයි :D .

පෝලිම වැඩි බත් දන්සැල් වල තමයි. දන්සැල් වලින් කනකොටත් පෝලිම් පැනලා කන්න කට්ටිය දාන එක එක ට්‍රික්ස් තියනවා.ප්‍රධානම ට්‍රික් එකක් තමයි වඩාගත්තාම කකුල් දෙක බිම ගෑවෙන සයිස් එකේ පොඩි එකෙක්ව වඩාගන පෝලිම් පැනලා ගිහිං කන එක. පොඩි එකා බලනවා ඇති කවදාවත් නැතිව ඇයි මේ වඩාගන තියෙන්නේ කියලා.එකම පොඩි එකා දෙතුන් පාර වඩාගන ගිහිං නඩේම උදවිය පෝලිම් පැනලා කන අවස්ථාත් අනන්තවත් තියනවා. සමහර වෙලාවට ඇත්තටම කිරි දරුවො වඩාගන අම්මලා පෝලිමේ ඉන්දැද්දි දඬු දිග පොඩි උං වඩාගත්ත අම්මලා පට්ටි පිටින් කෙලින්ම පෝලිම බයිපාස් කරලා ඇතුලට රිංගනවා.

එකම දෙයක් ලබාගන්න මිනිස්සු පෝලිමේ ඉන්දැද්දි බොරු හේතු දාලා ඒක බයිපාස් කරන්න හදන එක ලංකාවේ මිනිස්සුන්ගේ තියන කැතම කැත වැඩක්. මගෙ පුද්ගලික මතය තමයි ලංකාව රටක් විදිහට ඉස්සරහට යන්නෙ නැත්තෙ මිනිස්සුංගෙ තියන ආකල්ප හොඳ නැති නිසා කියන එක. කොහෙට ගියත් තමන්ගෙ කනෙක්ෂන් එකක් පාවිච්චි කරලා තියන සිස්ටම් එක බයිපාස් කරලා වැඩේ කරගන්න හදන එක ගමේ ගොඩේ අප්පුහාමිගෙ විතරක් නෙවෙයි කොලඹ හතේ පොෂ් මනුස්සයින්ගෙත් තියනවා. ෂෙඩ් එකක තෙල් ගහන්න ගියත්, පොලීසියෙන් දඩ කොලයක් දුන්නත්, රජයේ කාර්යාලයකින් වැඩක් කරගන්න ගියත්, අඩුම ගානේ කඩේකින් බඩුවක් ගන්න ගියත්  අනිත් එකාට හෙන ගැහුණත් තමන්ගේ වැඩේ ෂෝට් කට් එකකින් කරගන්න තමයි අපේ රටේ බහුතරයක් බලන්නේ.

අනිත් දේ තමයි තැන නොතැන බලලා කෙල ගහන එක, කාපු ටොපි කොලේ, බිස්කට් කවරේ, ඉඳුල් බත් එක ෂේප් එකේ කොහෙට හරි විසිකරලා දාන එක. අපේ බහුතරයක්ගෙ තියන ජරාම ජරා පුරුද්දක්. දන්සැලෙන් දෙන කෙසෙල් ගෙඩිය කාලා ලෙල්ල එතනම තියන කුණු බක්කියට දාන්නෙ නැතිව යන ගමන් පාර අයිනට ෂේප් එකේ විසිකරලා යන උදවිය මේ පෝය දවසෙත් අපි දැක්කා. මගෙත් තිබුනා ඒ ජරා පුරුද්ද. ඒක මං අත්හැරියේ සුද්දෙක්ගෙන් ඉගනගත්ත පාඩමකින්. ඉස්සර ඉස්කෝලේ ඇරිලා මං එන්නේ බස් එකේ. පොඩි කාලේ බස් එකේ ඉස්සරහටම වෙලා පාර දිහා බලාන යන එක ඕන පොඩි එකෙක්ගෙ පුරුද්ද. දවසක් මං මෙහෙම එන ඉස්කෝලේ බස් එකේ සුදු ජාතික පවුලක් හිටියා. ඒ උදවිය හිටියේ බිස්කට් වගයක් කන ගමන්. මමත් කඩල හරි මොනාහරි දෙයක් කන ගමන් හිටියේ. කාලා ඉවරවෙලා සුපුරුදු පරිදි කොලේ ජනේලෙන් එළියට විසික්කරලා බස් එකේ කර්ටන් එකෙන් අත පිහින කොට මට දැකපු දර්ශනේට පොලොව පලාගන යන්න හිතුනා පිංවතුනි. එතකොට මට වයස අවුරුදු දහතුනක් දාහතරක් ඇති. අර සුදු පවුලේ හිටපු පොඩි එකා.. මං හිතන්නේ උට අවුරුදු අටක් දහයක් ඇති. බිස්කට් ටික ඔක්කොම කාල ඉවරවෙලා හිස් පැකැට් එක අරගන ඌ බෑග් එකේ සයිඩ් පොකට් එකකට දාගත්තා. ඊට ටිකකට පස්සේ මගේ වයසෙම වගේ හිටපු උගෙ අක්කත් ඒදේම කලා. අන්න එදයින් පස්සේ කසල තැන තැන නොදා ඉන්න මං පුරුදු උනා. අදටත් කවුරු හරි කෙනෙක් ටොපි කොලයක් හරි පාරට දාද්දි මට ඒ සිද්දිය මැවිලා පේනවා. කොහේ හරි ගමනක් යන කොට මමත් බිරිඳත් අහකට දාන්න ඕන කෑම දවටන, ඉඳුල් කොල ආදී සියලුම දේවල් ආපහු අරං එන්න මල්ලක් අරගන යනවා. මොකද මේ විදිහට ගියොත් අපේ රට කසලින් පිරෙන්න වැඩි කාලයක් යන්නේ නෑ.

එසේනං දංසැල් වන්දනා කතා වස්තුව අවසානයි. අපි ගියාවේ!!!




0 ප්‍රතිචාර:

Post a Comment

අදහස්, උදහස්....

.