Wednesday, April 27, 2016

වේයෝ බඳුනෑයෝ

2 comments
ළඟදි දවසක මගේ හොඳම මිත්‍රයෙකුගෙ පියා අඝාතයකට(Stroke) භාජනය වෙලා ප්‍රාදේශීය රෝහලේ වගේම කොළඹ ජාතික රෝහලෙත් නැවතිලා ප්‍රථිකාර ගන්න සිද්ද උනා. ඉතිං ඒ දවස් කීපය තුල මගේ මිත්‍රයාට මුහුණ දෙන්න සිද්ද සිදුවීම් හරහා මටත් අතීතයේ මං මුහුණ දුන්න සිදුවීම් මතක් උනා. විශේෂයෙන්ම නෑදෑයෝ ගැන.

අපි හැමෝටම නෑදෑයෝ ඉන්නවා. අම්මලාගේ පැත්තෙන් , අප්පච්චිලාගේ පැත්තෙන්, දුරින් , ළඟින් නෑදෑ වෙන ආටෝරාසියක නෑදෑ සනුහරයක් අපි හැමෝටම ඉන්නවා. ඉතිං මේ නෑදෑ සමූහයෙන් අපි ගැන ඉත සිතින් ක්‍රියාකරන , අපේ යහපත ප්‍රාර්ථනා කරන ගුණ යහපත් නෑදෑයෝ ඉන්නෙ අතේ ඇඟිලි ගාණට බව මම නං අත්දැකීමෙන්ම දන්නවා. බහුතරයක් “තොට  හෙණ ගහ මට පොල් ගහ“ තියරිය හිතේ තියාගන දිය යටින් ගින්දර ගෙනියන ,  “අනේ තොපිට කෙලම වෙලා පලයං“ කියල හිතන ගමන් මූණට හිනාවෙන ,තියන දෙයක් කඩා වඩා ගන්න බලාගන ඉන්න ආස්සරේට කොටින්ම නුසුදුසු අසත්පුරුෂ මනුස්ස කොට්ඨාසයක්. සමහර පවුල් වල නම් ඒ වගේ නැතිව ගුණ යහපත් ඥාති සමූහයා ඉන්නවා. “අනේ වාසනාවන්“.

නෑදෑයෝ ගැන මට තියන අත්දැකීම් එක්ක බලනකොට මට හිතෙන දෙයක් තමයි ළඟම නෑදෑයන්ගෙන් ඉතාම ස්වල්පයයි අවංකවම හොඳ උදවිය ඉන්නෙ. ඒ වගේම ටිකක් ඈතින් නෑදෑවෙන අය සාපේක්ෂව වඩා හොඳයි. ඒත් ඉතිං එක එක්කෙනාගෙ කර්ම ශක්තිය අනුව ලැබෙන ඥාති සමූහයාගේ ගුණ අගුණත් වෙනස් වෙනවා නෙව.

සමහර නෑදෑයෝ හමුවෙන්නේ අවුරුද්දකට වතාවක්. ඒ මූණිච්චාවට වගේ අලුත් අවුරුද්දට ගියාම. එහෙමත් නැත්තං කාගේ හරි විවාහ උත්සවයකදී. එහෙම හම්බ උනාමත් ගොඩාක් වෙලාවට කරන්නේ තමන් සහ තමන්ගේ ඥාතීන් සසඳන එක. එහෙම නැත්තං තමන්ගේ දරුවන් සහ ගෙදරට ආපු අනිත් නෑදෑ කෙනාගෙ දරුවන් සසඳන එක. එහෙම කරුණු කාරනා කතා බහ කරද්දි තමන්ට වඩා ඒ අනිත් කෙනාට හරි ගිහිල්ලා තියනවා නම් බහුතරයක් දෙනාට වෙන්නේ සතුටු වෙන එකට වඩා හිත කැඩෙන එක. “චික් විතරක් මුන්ට හරි ගිහිල්ලානේ යකෝ“ කියලා හිතෙන එක. ඒ දේ මූණෙන් කතා විලාසයෙන් හොඳින් පෙන්නුම් කෙරෙනවා. ඥාතීන් අතර එක වයසේ ඉන්න ළමයි එහෙම ඉන්නවා නම් මේ තත්වය හොඳටම වැඩියි. නිරන්තරයෙන් තමන්ගෙ දරුවා අනිත් උදවියගේ දරුවන් හා සන්සන්දය කරමින් ඒ දරුවන්ට වඩා ඉහලට යන්න රේස් එකක් දුවවන එක තමයි වෙන්නේ. ඒක කමක් නෑ කියමුකෝ. එහෙම රේස් එකක් දුවවන ගමන් අනිත් දරුවන්ට ඊරිසියා කරන එක, පුලුවන් නම් වලක් දෙකක් කපලා දාන එක. තමන්ගෙ දරුවන්ටත් කුඩුකේඩුකම පුරුදු කරන එක තමයි බහුතරයක් නෑදෑයෝ කරන්නේ.

නෑදෑයෝ දෙන්නෙක් හම්බුනාම තව කරන අමතර වැඩක් තමයි වෙනත් නෑදෑයෙක්ව දෙන්නා එකතු වෙලා පතුරු යවන එක. තමන් ළඟ ඒ නෑදෑයා ගැන තියන හොට් ගොසිප් ටික බෙදා හදාගන්න එක. යන්තං සත්‍ය දේට ලුණු ඇඹුල් එකතු කරලා හාත්පසින්ම වෙනස් කතාවක් ගොතලා පබ්ලිෂ් කරන එක. අඩු ලුහුඬු කම්, කේලාම් කිය කියා නෑදෑයෝ කොටවන එක.

ඉතිං මේ නෑදෑයොම පිට තැනකට ගියාම පිට කෙනෙක් එක්ක තමන්ගෙ වෙන නෑදෑයෙක් හෝ නෑදෑ දරුවෙක් යම් උසස් තැනක ඉන්නවා නම් ඒ කෙනාගේ සමාජ තත්වය හරහා තමන්ටත් යම් සමාජ තත්වයක් ගන්න උත්සාහ කරන එකත් සිද්ද වෙනවා. උදාහරණයක් විදිහට කියනවා නං “ඕකා දොස්තර විභාගේ හොරට පාස් කරලා දොස්තරෙක් උනේ, අපි නං යයි ඕකගෙං බේත් ගන්න මැරුණත්, අපි දන්නෙ නැද්ද ඕකගෙ හැටි“ කියලා නෑදෑයෝ දෙන්නෙක් කතා වෙද්දි කියන උදවියම පිට කෙනෙක් එක්ක “අර අහවල් ඉස්පිරිතාලේ අහවල් දොස්තර මහත්තයා අපේ අහවලාගේ අහවලානේ“ කියලා ගුණ වර්ණනා කරනවා.

පිට මනුස්සයන්ගේ දියුණුව ගැන අල්පමාත්‍රයක් වත් ඊරිසියා කරන්නේ නැති උදවිය තමන්ගේ නෑදෑයන්ට වල කපනවා මං අනන්තවත් දැකලා තියනවා. ඒ තමන්ගේ සමීපයන් එක්ක අනවශ්‍ය තරඟයක් ඇතිවීම නිසාවත්දෝ කියලා මට අනන්තවත් හිතෙනවා. නමුත් එහෙම වෙන්න හේතුව තමයි මට අදටත් හිතාගන්න බැරි. 

ඉතිං ලියන්න හිතං ආවේ එකක්.ලිව්වේ තව එකක්. වේයෝ බඳු නෑයෝ ගැන තවත් කතාවක් වෙන පෝස්ට් එකකින් දාන්නම්. එහෙනං ජය වේවා !!!

2 comments:

  1. නෑයෝ ගැන මම පෝස්ටුවක් දැම්මා ඈත අතීතයේදී..

    මම නම් හිතන්නෙ කරට නොගෙන ඉන්න තාක්, දුරින් ඇසුරු කරන තාක්.
    නෑයෝ නම් හොඳය.
    ඒත් !
    දුරින් සිටියත්, ලගින් සිටියත් ඉරිසියාව හා තරඟකාරීත්වය නොවෙනස්ය.

    ReplyDelete
    Replies
    1. සමහර වෙලාවට ඉන්නවා මාරම හොඳ නෑදෑයෝ. ඒත් ඉතිං කලාතුරකින් තමයි :)

      Delete

අදහස්, උදහස්....

.