Sunday, April 17, 2016

අවුරුදු කජු, අවුරුදු අඹ

6 comments
ගොඩක් පොඩි උං වගේ තීර්ථ යාත්‍රිකයත් පොඩි කාල‍ෙ ගස් නඟින්න හරිම ආසයි. දෙතුන් පාරක් ගස්වලින් වැටිලා තිබුනත් කිසිම හානියක් නං උනේ නෑ ඒ කාලේ. තීර්ථ යාත්‍රිකයලා පොල්ගහවෙල ගෙදර ඉන්න කාලේ ප්‍රියතම ගස් ජාතිය උනේ අඹ ගස්. ගෙදර තිබුනා කරතකොලොම්බන් ගහකුයි, විලාඩ් ගහකුයි, මී අඹ ගහකුයි. ඕකෙන් ප්‍රියතම ගහ උනේ බිම ඉඳලම හතර අතට අතු විහිදුන හුරුබුහුටි විලාඩ් අඹ ගහ. ඕක මුදුනෙ අට්ටාලයක් එහෙමත් හදලයි තිබුනේ. පහල අත්තක ලෑලි ටිකක් තියලා පැදුරක් දාලා හදල තිබුන “නිදි පොට් එක“ පාවිච්චි කලේ තීර්ථ යාත්‍රිකයට වඩා පවුලේ අනික් උදවිය. කරත කොලොම්බන් ගහේ අතු විහිදිලා තිබුනේ උඩ හරියෙන්. ඒ හින්දා ඒ කාලෙ පොඩි එකෙක් වෙච්චි තීර්ථ යාත්‍රිකයාට ඒ ගහ out of scope වෙලා තිබුනේ. අනික මී අඹ ගහ. ඒක දිමි විමානේ. තීර්ථ යාත්‍රිකයා හිතන හැටියට දිමියන්ගෙ අධිරාජ්‍යයක් තිබුනා ඒ ගහේ. හැබැයි අවුරුද්දට දෙපාරක් පිස්සු වැටෙන්න අඹ හැදෙන ඒ ගහේ අඹ පුදුමාකාර රසක් තිබුනේ. ගෙඩි හැදෙන කාලෙට දිමි අධිරාජ්‍යගෙ ආච්චිට හාල් ගරාගන්න කියලා තීර්ථ යාත්‍රිකයලා කොහොම හරි ඔය ගහේ අඹ ටිකත් කඩා ගන්නවා.හැබැයි ඒ ගහේ අඹ වල රසේට ගහන්න රසක් තියන අඹ ජාතියක් තීර්ථ යාත්‍රිකයට තාම හොයාගන්න බැරි උනා.

පොල්ගහවෙල අතෑරලා හලාවත බෝවත්තට පදිංචියට එනකොට තීර්ථ යාත්‍රිකයට අවුරුදු 10යි. අලුතින් ගත්ත ඉඩමේ තීර්ථ යාත්‍රිකයව පිළිගන්න අලුත් ගස් ජාතියක් බලාගන උන්නා. කජු.... පොල්ගහවෙල ඉන්න කාලෙ අවුරුද්දට වතාවක් අප්පචිචිගෙ මහගෙදර ආපුවාම කෑම මේසෙ වරදින්නෙ නැති ව්‍යංජනයක් වෙච්චි කජු කියන්නේ තීර්ථ යාත්‍රිකයට ඒ හැටි හුරු පුරුදු ගස් ජාතියක් නෙවෙයි. පොල්ගහවෙල ගෙදරත් කජු ගස් තිබුනා වත්ත පහලට වෙන්න.ඒත් පාලු ස්වාභාවයක් තිබුන ඒ හරියට පොඩි තීර්ථ යාත්‍රිකයා ඒ කාලෙ වැඩිය ගියේ නෑ.පොල්ගහවෙල තිබුන කලු ලෝම පසට වඩා බෝවත්තෙ තිබුන වැලි පස තීර්ථ යාත්‍රිකයට ගෙනාවෙ අමුතු හැඟීමක්. අප්පච්චි අලුතින් නිවස හදන වැඩ වලට මැදි වෙලා කාර්යබහුලව ඉන්නකොට තීර්ථ යාත්‍රිකයා කලේ අලුතින් හම්බවෙච්චි ලෝකෙ ගවේෂනය කරපු එක.අලුත් ඉඩමේ තිබුනා කජු ගස් 5ක්. ඒ එක්කම සුපුරුදු ගස් ජාතියක නුපුරුදු නෑදෑයො වෙච්චි ඇපල් අඹ ගස් තුනකුත් තිබුනා. උසින් අතු පිහිටලා දිමියො හමුදාවක් බොඩි ගාඩ්ලා විදිහට තියාගන හිටපු අඹ ගසවලට වඩා පහලින් අතු විහිදිලා ගියපු හරි විශාල සුන්දර පෙනුමක් තිබුන කජු ගස් එක්ක තීර්ථ යාත්‍රිකයා පයුරුපාසානම් පවත්වන්න පටං ගත්තා.ළිඳ ගාව තිබුන කජු ගහේ  අඩි දොලහක් විතර උසින් පොලවට සමාන්තරව ගිය අත්තක අප්පච්චි තීර්ථ යාත්‍රිකයාට හොඳ ඔන්චිල්ලාවක් බැඳලා දුන්නා.පොඩි කාලෙ හොඳ ඔන්චිල්ලාවක් කියන්නේ සිහිනයක් සැබෑ වීමක්. ලොකු කඹේකින් බැඳලා, ඉඳගන්න හොඳ පලල ලෑල්ලක් දාලා , ඒක උඩින් කොට්ටයක් දාලා හදපු ඒ ඔන්චිල්ලාව තීර්ථ යාත්‍රිකයා සෑහෙන කාලයක් පැද්දා. හිටගන පදින්න ගිහිං ගුවන් ගත වෙලා බෙල්ල නොකඩාගෙන අනූනවයෙන් බේරිච්චි එක වෙනම කතාවක්. හැබැයි ඒක හොඳ ඔන්චිල්ලාවක් :) .

ගෙදර තිබුන කජු ගස් වලින් තීර්ථ යාත්‍රිකයගෙ ප්‍රියතම කජු ගහ උනේ අලුතින් හදන ගෙදර ආසන්නයේම තිබුන මහ විශාල කජු ගහක්. ඒකේ පහලින් පටන් ගත්ත අතු ඉනිමඟේ පඩි වගේ තිබුන නිසා පහලින් පටං ගෙන මුදුන් දල්ලටම එනකල් යන්න පුලුවන්.ඒ කාලෙ තීර්ථ යාත්‍රිකයගෙ විනෝදාංශය උනේ පොලවට අඩි පහලොවක් විස්සක් උඩින් තිබුන ඒ මුදුන්ම අත්තට ගිහින් හුලඟට පැද්දි පැද්දි ලඟ පාරෙ යන මිනිස්සු දිහා බලාන ඉන්න එක.සමහර වෙලාවට පොඩි හූවක් කියලා ඒ මිනිස්සුන්ව කන්ෆියුස් කරන එකත් හොඳම විනෝදාංශයක් ඒ කාලේ.
අවුරුදු කාලෙ එනකොට කජු ගස් පුහුලන් වලින් පිරෙනවා. පොල්ගහවෙල ඉන්න කාලෙ අප්පච්චි තීර්ථ යාත්‍රිකයාට කියලා දීලා තිබුනා කජු පුහුලන් රසට කන්නේ කොහොමද කියලා. හොඳට ඉදිච්චි කජු පුහුලන් ගහෙන් කඩලා ගන්නවා. ඊට පස්සේ හොඳට හෝදලා පුංචි පුංචි කෑලි වලට කපනවා. ඒ ටික පිඟානකට දාලා ලුණුයි මිරිසුයි ගම්මිරිසුයි දාලා හොඳට කලවං කරනවා.ඉරට කෑල්ලක් අරගන අර කජු පුහුලන් කෑලි වලට ඇන ඇන කන එක තමයි ඊලඟ වැඩේ :) . පුහුලන් කඩද්දි කැහි කොට්ට කඩන්නෙ නැතිවෙන්න ප්‍රවේසම් වෙන්න ඕනි. නැත්තං කැස්ස හදාගන තමයි නතර වෙන්න වෙන්නේ. කැහි කොට්ට කියලා කියන්නේ කජු පුහුලම සම්පූර්ණයෙන්ම ඉදුනේ නැති උනාම. සමහර පුහුලන් තියනවා පහල හොඳට ඉදිලා උඩ හරිය හරියට ඉදුනෙ නැති එව්වා. අන්න ඒවා තමයි කැහි කොට්ට කියන්නේ. කීපයක් කෑවොත් ෆ්රී ඔෆ් චාර්ජ් කැස්සක් හදාගන්න පුලුවන්.

කජු පුහුලන් කන්න පොඩි උං වගේම සත්තුත් හරිම ආසයි.විස ඝෝර පොළොංගුත් කජු පුහුලං බොන්න හරිම ආසයි. ඒ නිසා තමයි උදේ පාන්දරට , හවස පහ හමාරෙන් විතර පස්සේ කජු ගස් යට කැරකෙන එක ඇඟට ගුණ නෑ  කියලා කියන්නේ.ඒ එක්කම බිම වැටිලා තියන කජු පුහුලන් කන්න හොඳත් නෑ. පොළොංගු හප කරපුවා වෙන්න පුලුවන්.

ඉතිං තීර්ථ යාත්‍රිකයා කජු ගස්වල ඔන්චිල්ලා බැඳපු, කජු ගස් වලට බඩගාපු කාලෙන් සෑහෙන අවුරුදු ගාණක් දැන් ගෙවිලා. දැන් ගෙදර වත්තේ තියෙන්නේ කජු ගස් එකම එකයි. අනිත් ගස් විවිද හේතූන් මත කපා දැම්මා. පොල් හිටවන්න ඉඩ ගන්න, ලිඳට කොල වැටෙන හින්දා, ගෙදර වහලෙට කොල වැටෙන නිසා, ගෙදර වහලෙට සත්තු ගොඩවෙන නිසා ආදී වශයෙන්.

අවුරුදු ගාණකට පස්සේ තීර්ථ යාත්‍රිකයා ආයෙත් ගෙදර ඇවිල්ලා. කජු ගහයි අඹ ගසුයි සුපුරුදු විදිහට මල් වලින් සැරසිලා. ඇත් දෙමට ගහ පීදිලා, මල් පිපිලා, ගෙඩි හැදිලා, බට්ටිච්චෝ, සූටික්කෝ පිරිලා. හරියට වැස්සෙ නැති නිසා වියලි කාලගුණය නිසා වෙන්න ඇති මේ පාර  ගෙඩි ටිකයි හැදිලා තියෙන්නේ අඹ ගස්වල. කජු ගහෙත් වැඩිහරියක් තාම මල්. හැබැයි පුහුලන් ටිකක් කඩා ගන අප්පච්චි මීට අවුරුදු ගණනාවකට කලින් කියලා දීපුවිදිහට කජු පුහුලන් හදාගන කෑවා, තීර්ථ යාත්‍රිකයායි තීර්ථ යාත්‍රිකාවයි දෙන්නම එකතු වෙලා.එහෙම කන කොට තමයි සිනමා සිත්තමක් වගේ පොඩි කාලෙ සිද්දීන් දාමයම ආයෙ මැවිලා පේන්න ගත්තේ.ඒක බ්ලොගේ පෝස්ට් එකක් විදිහට ලියන්නේ අද ජීවතුන් අතර නැති උනත් තීර්ථ යාත්‍රිකයට මනුස්සයෙක් වගේ ජීවත්වෙන්න කියලා දුන්න,තීර්ථ යාත්‍රිකයා වෙනුවෙන් අනේක කැපවීම් කරපු  මගේ ඒ ආදරණීය අම්මවයි අප්පච්චියි ආදරයෙන් මතක් කරන ගමන්.

6 comments:

  1. අදයි මේ පැත්තට ආවේ.... මාරයියාගෙන් තමා පාර අහගත්තේ.... ජයවේවා..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ආවට.. ආයෙමත් එන්න :)

      Delete
  2. ඇපල් අඹ කියන්නෙ මොනවද? මම ඒ නම අහල නෑ. මී අඹ ගැන අහල තිබුණට කාල නෑ. අපිට තිබුණෙ කොහු අඹ ගහකුයි ගිරා අඹ ගහකුයි.

    අර විලාඩ් අඹ ගහේ විස්තරේට හරි ආස හිතුණා.

    ReplyDelete
    Replies
    1. ඇපල් අඹ වලට වෙනත් නම් කියනවා වෙන්නට පුලුවනි. මෙහෙනම් කියන්නේ ඇපල් අඹ කියලා. සමහර විට ප්‍රාදේශීය ව්‍යවහාරයක් වෙන්න ඇති. ඒකෙ විශේෂත්වය තමයි ඇඹුල් නෑ පොඩ්ඩක් වත්. ඕන කාලෙක කන්න පුලුවන්. ලුණු, ගම්මිරිස්, කෑලි මිරිස් ටිකක් දාල කලවම් කරලා ගත්තාම හරිම රහයි.

      මී අඹ නම් පුදුමාකාර විදිහට රස ජාතියක්. පොල්ගහවෙලින් ආවත් හරි එක මී අඹ ගහක් දැක්කෙත් නෑ, ගෙඩියක් වත් කන්න හම්බඋනෙත් නෑ.

      විලාඩ් ගහ පුංචි කාලෙ ඉතිං සුරංගනා ලෝකෙ වගේ තමයි තීර්ථ යාත්‍රිකයට :)

      Delete
  3. බ්ලොග් රෝල්වල ඔයාගේ බ්ලොග් එක අප්ඩේට් වෙන්නේ නැ ටිකක් බලන්න

    ReplyDelete
    Replies
    1. කාලෙකින් අප්ඩේට් වෙන හින්දා වෙන්න ඇති. ස්තුතියි දැනුම් දුන්නට :)

      Delete

අදහස්, උදහස්....

.