Monday, February 15, 2016

මාදුරුඔය සංචාරය

Leave a Comment
තීර්ථ යාත්‍රිකයා කියන්නේ එහෙ මෙහෙ ඇවිදින්න, බලන්න යන්න අප්‍රමාණ කැමැත්තක් තියන උදවියගෙන් කෙනෙක්. ඒ වගේම බොහෝ දුර වාහන පැදවීමටත් ආසාවක් තියන කොට්ටාසයෙන් අයෙක් (රථ ගාය). ඉතිං මාදුරුඔයේ මිත්‍රයකුගෙන් දවසක් දෙකක් එහෙ ඉන්න එන්න කියලා ආරාධනාවක් ලැබුනාම පස්වනක් ප්‍රීතියෙන් පිනා ගිය එක අහන්නත් දෙයක්ද :D. ඉතිං ඒවගේ ගමන්වලට ප්‍රිය කරන මිත්‍රයෝ කීපදෙනෙකුත් කැටුව එක පාන්දරක තීර්ථ යාත්‍රිකයා පිටත් වුනා මාදුරු ඔය බලා යන දීර්ඝ ගමන. ගමන් මාධ්‍ය උනේ තීර්ථ යාත්‍රිකයාගේ හා අනෙකුත් මිත්‍රෙයකුගේ මෝටර් රථ දෙක.



ගිහිං ආපහු එනකොට කිලෝ මීටර් 650කට ආසන්නයි. මේක තමයි තීර්ථ යාත්‍රිකයා දින දෙකක් ඇතුලත රිය පැදවූ දීර්ඝතම දුර. ගිය උදවිය මැනුවල් ගියර් වාහන ඩ්‍රයිවින් නොදන්නා නිසා අනෙක් මෝටර් රථය පැදවූ මිත්‍රයාට හිමිවූ රියදුරු මාරුවීමේ වාසිය තීර්ථ යාත්‍රිකයාට ලැබුනේ නැහැ. නමුත් රථගාය නිසා ඒක ඒ හැටි දැනුනේ නැහැ.








දහ අට වංගුවේ තියන නැරඹුම් ස්ථානයකින් නවත්වලා ගත්ත ඡායාරූපයක් මේක. මහවැලි නිම්නය බොහොම අපූරුවට සුන්දරව දිස්වෙනවා. දහ අට වංගුව පාස් කරලා යන උදවියට ටිකක් විඩාව නිමාගන සුන්දර දර්ශනයක් නරඹන්න පුලුවන් මෙතන නැවතුනොත්. වාහන නවත්වන්නත් හොඳටම ඉඩතියනවා.

තීර්ථ යාත්‍රිකයා මහියංගනයෙන් එහාට යන පළවෙනි වතාව. මහියංගනය නගරයේ අපි නැවතුනේ වාහනවලට ඉන්ධන ලබාගැනීමටත් අවශ්‍ය ආහාර කලමනා , BBQ සඳහා අවශ්‍ය ගල් අඟුරු අදිය මිලදී ගැනීමටත්. මහියංගනය සෑ රඳුන් වැඳ පුදාගන අවශ්‍ය කලමනාත් අරගෙන දෙහිඅත්තකණ්ඩිය හරහා මාදුරුඔයට යන්නට අපි පිටත් වුනා. මහියංගනයෙන් පසුව පරිසරයේ ස්වභාවය හරිම වෙනස් බව තීර්ථ යාත්‍රිකයාට දැනුනා. මහියංගනය දෙහිඅත්තකණ්ඩිය අතර ගොවීන් ඉද්ද ගැසුවා සේ දිවෙන මාර්ගය වී ගොයම්වලින් වෙන් කරගැනීමේ කාර්යට දායක කරගෙන තිබුන ආකාරය අපූරුයි. ඒ මාර්ගයේ දිවෙන යාන වාහන අම්බරුවන්ගේ කාර්යය කිරීමට යොදාගැනීමෙන් :D.

මාදුරුඔය රක්ෂිත වනෝද්‍යානයක්. ජලාශයත් හරිම අපූරුයි සුන්දරයි එ වගේම විශාලයි. රුවල් ඔරු භාවිතයෙන් මසුන් ඇල්ලීම කරන ශ්‍රී ලංකාවේ එකම ජලාශයත් මෙයයි. මාදුරුඔයේ මගේ මිත්‍රයා අපේ මේ සංචාරය අමතක නොවන එකක් බවට පත්වීම සඳහා සියලු කටයුතු ලක ලෑස්ති කර තිබුනා. අපිට නවාතැන් ගැනීමට වාරිමාර්ග ඉංජිනේරු සර්කිට් බංගලාවක සුව පහසු කාමර, ප්‍රණීත ආහාර, වනෝද්‍යානය තුල ගමන් කිරීමට 4DR5 රථයක් සහ මාදුරුඔය ජලාශයේ බෝට්ටු සවාරියක්ද එයට ඇතුලත් උනා.


මාදුරුඔය ජලාශයේ බැම්මේ බැස යන හිරු එළියේ සැඳෑ සුවය විඳින තීර්ථ යාත්‍රිකයාගේ මිතුරු පිරිස. (තීර්ථ යාත්‍රිකයා සහ ඇඹේනිය ඡායාරූපය ගන්නා හෙයින් ඡායාරූපයේ නොමැති බව කරුණාවෙන් සලකන්න :D )


මාදුරුඔය ජලාශයේ වාරි ඇල. මේ අශ්‍රිතව කුඩා පරිමාන විදුලි බලාගාරයක්ද පවතිනවා. මෝටර් බෝට්ටුවකට නැඟුන අපි  ජලාශයේ රවුමක් ගහන්නට පිටත් උනේ දිවාආහාර එහෙම ගැනීමෙන් පසුව සවස් භාගයේ.


ජලාශයේ එහා ඉවුරට ගොඩවීමෙන් පසුව. ගමනට යොදාගත් බෝට්ටුවත් පසුබිමින් පේනවා. ඒ වගේම ඓතිහාසික මාදුරුඔය සොරොව්ව බලන්නත් අපි අමතක කරේ නැහැ. එය ආරක්ෂාකිරීමට විදුලි වැටකින් වට කර තිබුනා.

මාදුරුඔය බල්ලන් බලලුන් ගාණට අලි සහ මොනරුන් ඉන්න ප්‍රෙද්ශයක්. බෝට්ටු සවාරියෙන් අනතුරුව අපි මද දුරක් වනෝද්‍යානය තුල සංචාරය කලා. එහි වූ කෞතුකාගාරයත් නැරඹුවා. වෙඩි වැදීමෙන් මරණයට පත්වූ සද්ධන්තයන් රැසකගේ හිස්කබල් එහි තබා තිබුනා. ඒවා නරඹන විට අපිට ඇති වූයේ ශෝකී හැඟීමක්. අලින්ට හැමවිටම අත්වන්නේ ඛේදජනක අවසානයක්. වෙිඩිවැදීමෙන් හෝ වෙනත් හේතුවකින් අකලට මරණයට පත් නොවුනහොත් දැවැන්තයාගේ අවසානය සිදුවන්නේ දත් නොමැති වීම නිසා ආහාර ගැනීමට නොහැකිවීම නිසා කුසගින්නෙන්.. :( . වනෝද්‍යානය තුලදී අපි තිත්මුවන් සහ වල් ඌරන් දුටුවා.

අලින් නැරඹීමට සුදුසුම ප්‍රදේශය වන්නේ මාදුරුඔය මහඔය මාර්ගය බව මගේ මිත්‍රයා කියා සිටියා. අපි 4DR5 රථයේ නැගී ඒ දෙසට ඇදුනේ වල් (වන) අලින් දැක බලාගැනීමේ ආසාවෙන්.


ඉද්ද ගැසුවා සේ කෙලින් තිබෙන මහ ඔය - මාදුරුඔය මාර්ගය. මාර්ගය දෙපස වන සතුන් පාර මාරුවෙන බව හඟවන පුවරු තැනින් තැන තිබුනා. මේ මාර්ගය සවස 6න් පසුව වසනවා. හේතුව වන සතුන් පාරට පැමිනීම.

මාර්ගය ආසන්නයේම සිටි කුලු හරකුන් රංචුවක්.


විසාල කුරුල්ලෙක්. වන ජීවී ලෝලියෙකු නොවන නිසා තීර්ථ යත්‍රිකයා මේ සතා කුරුල්ලෙකු බව පමණක් දන්නවා :D 

මේ ඉන්නේ වන සතෙකු නොව තීර්ථ යාත්‍රිකයායි. තිර්ථ යාත්‍රිකයා මිත්‍රයකුගේ ඡායාරූපයක් ගන්නා විට ඔහුත් ක්ෂණිකව ඡායාරූපයක් ගෙන තිබුනා. අලින් සෑමතැනම වාගේ සිටියා. තනි අලි, තුන්පත් රෑන්, විශාල රංචු අාදී වශයෙන්. ඒ වගේම කෝපයට පත් තනි අලියෙකුගේ ලුහුබැඳීමකටද ලක් වී ත්‍රාසජනක අත්දැකීම් ලබාගැනීමට හැකියාව ලැබුනා.


ආපසු පැමිණෙන විට හතරවටින්ම අඳුර වැටී තිබුනා. ජලාශය සැන්දෑ හිරු එළියේ දිලිසෙමින් තිබුනේ මේ ආකාරයටයි.

උදෑසන හිරු එළියේ දිදුලමින් තිබෙන පත්‍රයක්. පාතාරසය ගැනීමෙන් අනතුරුව පිරිස ඇදුනේ මහ ඔය උණුවතුර උල්පත් නැරඹීමට යාමටයි. කින්නියා මෙන් ප්‍රසිද්ධ නොවුවත් මහ ඔයේත් උණුවතුර උල්පත් තිබෙනවා. විවිද උෂ්නත්වයන්ගෙන් යුතු මෙම උල්පත් නෑමට පහසුවන ආකාරයට ලිං ආකාරයට බැඳ තිබෙනවා. ඔබත් නෑමේ බලාපොරොත්තුවෙන් මහ ඔය බලා යනවා නම් උදෑසනම යෑමට වගබලා ගන්න. නැත්නම් පිරිස වැඩිවෙනවා දිවා කාලය එළඹෙන විට.

පාසිකුඩා වලට තිබෙන්නේ මාදුරුඔයේ සිට කිලෝමීටර් 60ක පමණ දුර ප්‍රමාණයක්. නමුත් දෙවනි දින ආපසු ඒමට අවශ්‍ය වී තිබුන නිසා පාසිකුඩා යෑමට අපිට නොහැකි උනා. රාත්‍රී නවය පමණ වන විට තීර්ථ යාත්‍රිකයා සහ බිරිඳ සති අන්තය විවේකයෙන් ගත කිරීමට අපේ ගම්පලාත වන හලාවතටත් ඉතිරි පිරිස කොළඹ බලාත් ඇදුනා. අපූරු චාරිකාවක් අපූරු මතකයක් අපිට ලබාගැනීමට උදව් කල වජිරි සිරිවර්ධනය මගේ මිත්‍රයාට මගේ හද පිරි ස්තුතිය හිමිවෙනවා.

0 ප්‍රතිචාර:

Post a Comment

අදහස්, උදහස්....

.