Monday, July 21, 2014

සැඩ වතුරේ ඔරු පැදීමු. White water rafting at kithulgala

16 comments
White water කියල හඳුන්වන්නේ ගල්වල හැපි හැපී පෙණ පිඬු නංවාගෙන සැරට තදින් ගලාගෙන යන සුදු පැහැති ජල ප්‍රවාහයට. ඉතින් ඔය සැඩ වතුරේ හුළං පුරෝපු ඩිංගි බෝට්ටුවකට නැඟීගෙන ඕක පහලට පැදගෙන යන ටිකක් විතර අවදානම් ඒ වගේම අභියෝගාත්මක ක්‍රීඩාවකට තමා white water rafting කියල කියන්නේ. තීර්ථ යාත්‍රිකයටත් සෑහෙන කාලෙක ඉඳල වයිට් වෝට රාෆ්ටින් උණක් තිබුනා. අර පේන්ට් බෝල් උණ වගේ...ඉතිං පෙරුම් පුරලා පුරලා දවසක අපි යාලුවෝ කීපදෙනෙක් කඩිමුඩියේ සූදානම් වෙලා ගියා අපේ සිරි ලංකාවෙ වයිට් වෝට රාෆ්ටින් වලට නම් දරාපු කිතුල්ගලට.

ගමනට සහභාගී වුනේ තීර්ථ යාත්‍රිකයාත් එක්ක එක වසරේ ඉඳලා පහ වසරට වෙනකල් පොල්ගහවෙල ශාන්ත බර්නාදෙත් ආදර්ශ මහා විද්‍යාලයේ ඉගනගත්ත , අවුරුදු පහලොවකට විතර පස්සේ ආයෙ හම්බවෙලා දැන හැඳුනුම් කම් ඇති කරගත්ත යාලුවෝ පිරිසක්. පහ වසරෙන් තීර්ථ යාත්‍රිකයා ඒ පලාතෙන් පිට වෙච්චි නිසා සමහර යාලුවෝ අවුරුදු පහලොවකට විතර පස්සෙ මේ වයිට් වෝට රාෆ්ටින් ක්‍රීඩාවෙදි තමා මුහුණට මුහුණ හම්බ උනේ. ඒකත් අපූරු අත්දැකීමක්..කට්ටියගෙ රූපස්වාභවයේ ඉඳලා වෙනස්වීම් ගැන පැය ගාණක් උනත් කතාකරන්ඩ පුලුවන් නෙව. :D

එක කාණ්ඩයක් පොල්ගහවෙල පැත්තෙන් වාහනේක එද්දි තීර්ථ යාත්‍රිකයා තවත් මිත්‍රයෙක්ව මීගමුවෙන් නංවාගෙන ගූගල් අයියගෙ සිතියමට පිං සිද්දවෙන්න අතුරු ආන්තරාවක් නැතිව කිතුල් ගලට සම්ප්‍රාප්ත වුනා. යකඩ අස්සයගෙ පිටේ දිගු ගමන් නුහුරු අනිත් මිත්‍රයා නං බැස්සට පස්සෙ ටිකක් විතර අපහසුවෙන් ඇවිද්දෙ ටික වෙලාවක් යනකල් :D. ආගිය කතා , සතුටු සාමීචී ටික වෙලාවක් පවත්වලා අපි ආපු වැඩේට අවතීර්ණ වුනා.කිතුල්ගල අවට කැළණි ගඟ ආශ්‍රිතව මේ ක්‍රීඩාව සංවිධානය කරන උදවිය ඉන්නවා ඕන තරම්. අපි ඕනයාගේ රෙකමදාරුකමක් හරහා අඳුනාගත්ත මිත්‍රයෙකුගෙ ආයතනකට තමයි ගියේ. ඒ උදවිය ගාව විවිද පැකේජ් තිබෙනවා. අපි කතාබහ කරන්නත් වෙලාවක් අවශ්‍ය නිසා හවස්වරුව ඒ වැඩකටයුතුවලට තබාගෙන උදේ වරුවෙ ජල ක්‍රීඩාවට පමණක් සහභාගී වන්නටයි තීරණය කරලා තිබුනේ. 

පිළිගැනීමේ පානය (බ්ලෙන්ඩ් කරපු කොමඩු යුෂ මයෙ හිතේ) පානය කරලා,ජීවිතාරක්ෂක ජැකට්ටුත් දාගෙන රබර් බෝට්ටුවත් උස්සගෙන යන ආයතනයේ අය පස්සෙං හබල් එහෙමත් අරගෙන වීරයෝ වගේ (ඒත් පණ බයේ) අපි කැලණි ගං ඉවුරට ළඟවුනා. අපේ බෝට්ටුවේ නියමුවා විදිහට ආවෙ පොඩි කොලුගැටයෙක් නිසා හිතේ පොඩි සැකයක් නොතිබ්බාමත් නෙවෙයි. අපිට ඔවුන් මූලික පුහුණුවක් ලබාදුන්නා. හබල් ගසන ආකාරය, බෝට්ටුව පෙරලුනහොත් ආරක්ෂාවෙන ආකාරය,ක්‍රීඩාවෙිදී පිළිපැදිය යුතු දේවල් සහ නියමුවා විසින් ලබාදෙන විධාන සම්බන්ධයෙන්. බෝට්ටුව වතුරට තල්ලුකරලා මදක් වෙලා එහෙට මෙහෙට පැද පැද ඉඳලා අපි ගමනට අවතීර්ණ උනා.

තීර්ථ යාත්‍රිකයලා ගියේ ජලය සහ හැඩ පාර ටිකක් අඩු කාලෙ. ආධුනිකයෝ නිසා ඒක අපිට වඩාත් හොඳයි කියලා හිතුනා. මොකද මේ ක්‍රීඩාවේ අවදානමක් නැතිවාමත් නෙවෙයි. හැඩ පාර අඩුවුනා කියලා දැනුන ආශ්වාදයේ අඩුවක් අපිට දැනුනෙ නැත්තේ අපි හැමෝම මේ ක්‍රීඩාවට ආධුනිකයෝ නිසා වෙන්න ඇති. අපි ගමන් කරපු කිලෝමීටර් පහේ විශාල බැස්මවල් පහක් සහ කුඩා බැස්මවල් කීපයක්ම තිබුනා. වේගයෙන් ගලාගෙන විශාල බැස්මකට වැටෙද්දි,ඔලුවට උඩින් වතුර ගිහිල්ලා ආයෙ උඩට මතුවෙද්දි ලැබුන ආශ්වාදය නම් උපරිමයි. ගමනේ අවසාන හරිය අපි චලන චිත්‍රයකට ලබාගත්ත මේ විදිහට.



කට්ටියගෙ කච බචේ ඇහෙන හින්දා පොඩි සංගීත කෑල්ලකුත් ඇමිනුවා :D.  සාර්ථකව දිය කෙලියේ යෙදිලා ඊට පස්සේ දැවෙන බඩ ගින්නකින් යුුතුව අපි අපේ දිවා ආහාර සඳහා සූදානම් කරලා තිබුන ස්ථානයට ළඟා වුනා. කැළණි ගං ඉවුරේ රුක් සෙවනැල්ලේ නිවී සැනසිල්ලේ ඉන්න පුලුවන් අපූරු තැනක්. ආයෙත් පාරක් හරියට ගඟේ ස්නානය කරලා, ආහාර අනුභව කරලා, කතාබස්, මීවිත මෙකී නොකී සියලු දේවල් අවසානයේ චාරිකාව සාර්ථකව නිමා කරලා අපි ආපහු පිටත් වුනේ අපූරු මතක පොදියකුත් හිතේ දරාගෙන.

ප.ලි - වයිට් වෝට රාෆ්ටින් සඳහා සුදුසු තැනක් කාගෙ හෝ රෙකමදාරුව මත තෝරාගන්න. ඔවුන්ගේ යාත්‍රාවල තත්වය, ලබාදෙන ජීවිතාරක්ෂක ජැකට්ටු සහ හෙල්මට වල තත්වය පිළීඹඳ සැලකිලිමත් වන්න. කැලණි ගඟ අපූරු ජල මූලාශ්‍රයක්. එය අපවිත්‍ර කරන්න එපා.එමෙන්ම බීමත්ව ස්නානය කිරීමෙන්ද වලකින්න. ඔබට ඇත්තේ එක පණක් බැවින් එය පුලුවන් තරම් කාලයක් ආරක්ෂා කරගන්න.

බ්ලොග් ලියන පස්වෙනි අවුරුද්ද. පෝස්ට් ලියන සීග්‍රතාවය නම් අඩුවෙලා ගිහිල්ලා.ඩ්‍රාෆ්ට් කරලා මාස හතරක් විතර ගිය තැන තමයි මේ ලිපියත් පල වෙන්නේ. එහෙනම් ආයෙත් හමුවෙන තුරු හැමෝටම ජය වේවා !!!.

16 comments:

  1. මුලටික කෙසේ වෙතත් අන්තිම ටිකනම් බොහොම වදකත් . ඔබගේ බ්ලොග් ජීවිතයට අපෙන් සුභ පැතුම් :)

    ReplyDelete
  2. කාලේකට ඉස්සර මමත් ගියා රාෆ්ටින් අපේ පවුලේ කට්ටියත් එක්ක. මම ගියේ චන්න පෙරේරාගේ මුලිකත්වෙන් කරන Rafters Retreat ආයතනය හරහා. ඒ දවස් වලට නම් මිල ගණන් ඉතා සාධාරණයි. මේ වෙනකොට නම් කොහොමද දන්නේ නෑ. මේ ලිපිය කියෙව්වම ඒ මතකය අලුත් උනා :)
    බ්ලොග් ලිවිල්ල නම් කියන්න දෙයක් නෑ මචන්, උඹලා වගේම තමා මෙ වෙනකොට මමත්..

    ReplyDelete
    Replies
    1. අපි ගිය ආයතනයේ නම මොකද්ද දිව උලුක්කුවෙන ආකාරයේ එකක් ඒ නිසා ඒකෙ නම නම් මතක නෑ.. ඕනයාට මතක ඇති සමහර විට.

      බ්ලොග් ලිවිල්ලෙන් නම් පරණ උදවියගෙන් මාරයියා විතරයි මං හිතන්නෙ පිළිවෙලකට තාම ලියාගන යන්නේ :D

      Delete
  3. මම ඒත් බැලුව උඹ මේ ඊයෙ පෙරේදත් රාෆ්ටිං ගියාද කියල

    ReplyDelete
    Replies
    1. :D සෑහෙන කල් ගියේ.මේ අවුරුද්දෙ පෙබරවාරි වල ගියේ :D

      Delete
  4. අතීතයේදී කාලයක් ඔය හරිය පහුකරගෙන රාජකාරි කටයුතු සඳහා ගියා. ඒ කාලේදී නම් ඔහොම දෙයක් ගැන හිතලාවත් තිබුණේ නැහැ. එකම සංචාරක ආකර්ෂණය වුනේ 'ක්වායි ගඟේ පාලම' චිත්‍රපටියේ කොටසක් රූපගතකල ස්ථානය. එතන දැක්කද?

    මේ වගේ නව සංචාරක ආකර්ෂණ ස්ථාන සිය ගණනක් ලංකාවේ තිබුනත් ඒවා සංවර්ධනය වෙන්නේ බොහොම මන්දගාමීවයි.

    ReplyDelete
    Replies
    1. එතන බලන්න නම් ගියේ නැහැ. ඒ චිත්‍රපටිය නම් නරඹා තිබෙනවා. මම මුල්ම වතාවට තමා කිතුල්ගල පැත්තෙ ගියේ.
      අනික් දේ තමයි අපේ අයියලා ගිහිල්ලා ඒ තැන වනසනවනේ, පරිසරය විනාශ කරලා දාලා.

      Delete
  5. ගිහින් තියෙනවා එකම එක පාරක්.............. නියම ගමන...... බෝට් එකෙන් එළියට ඇවිත් ගගේ පාවෙලා යන්නත් දෙන කොටසක් තියෙනවා නේද????? කියලා වැඩක් නෑ............... කිතුල්ගල කියන්නේ එකට ම ගැලපෙන තැනක්.................. මුලින් හොදට ම බය වුණා. අන්තිමට අපිට ගොඩට යන්න බෑ හිතෙනවා........................... ෂැහ්

    ReplyDelete
    Replies
    1. මුලින් නම් අපිත් ටිකක් බයෙන් හිටියෙ. උපදෙස් දෙන උං බයකරලානේ ගන්නේ යන උදවියව. :) පස්සෙ නං ආයෙ පාරක් පදින්න ඕන කියලා හිතුනා :D

      Delete
  6. මම කවදාවත් ගිහින් නෑ.. යන්න හිතනවා විතරයි.. පීනන්න බැරි එක ප්‍රශ්නයක් නෙවෙයි නේද ඔය වැඩේට.. මේ අර පේන්ට් බෝල් වැඩේට අවුරුදු 10-12 පොඩි අයට ගිහින් කරන්න පුළුවන් ද? මේ සැරේ ලංකාවට ගිහින් යන්න හිතුවා.. හැබැයි පොඩි උන් කීප දෙනෙක් ඉන්නවා හලලා යන්න බැරි.. එක්කන් ගිහින් වැඩක් තියෙයි ද?

    ReplyDelete
    Replies
    1. මටත් නම් පීනන්න බැහැ පැතුම් අයියේ.ඒත් පීනන්න දන්නවනං හොඳයි මයෙ හිතේ. උං ජීවිතාරක්ෂක ජැකට්නම් දෙන නිසා අවුලක් නැහැ.
      පේන්ට් බෝල් වැඩේදි ඒ දෙන උපදෙස් හරියට පිළිපදින එකයි කරන්න ඕන. මාස්ක් එක එහෙම වැරදිලා ගලවලා බොල් පාරක් වැදුනොත් ආයෙ ඉතිං කෙලින්ම ඉස්පිරිතාලෙ තමා. ඒ නිසා පොඩි උංව නං හලලා යන එක තමා හොඳ. අනික ඔය වයසෙ පොඩි උංට ඔය වගේ එක්සයිටින් සීන් එකක් සෙට් උනාම මොලෝ හසරක් සිහි නෑ පිස්සු යක්කු වගේ හැසිරෙන්න ගන්නවනේ. ඒ නිසා පොඩි උංව අරං යන එකනං ඒ හැටි නුවණට හුරු නෑ. කෝකටත් ෂේන්ගෙනුත් අහලා බලන්න.

      Delete
  7. ප්‍රිය ඇඩ්මින් වෙත,

    ඔබේ බ්ලොග් අඩවියත් විකසිත සින්ඩියට එක්කර ගන්න. (Blog Syndicator)
    Blogger සහ WordPress බ්ලොග් අඩවි සදහා එම අඩවියේ URL එක සහ බ්ලොග් එකෙහි නම ලබාදුන් සැනින් ස්වයංක්‍රියව සින්ඩිය හා ඇමුණුම සිදුවේ.
    බ්ලොග් නොවන නමුත් Feeds සක්‍රිය වෙබ් අඩවි වුවද සින්ඩිය හා ඇමිණිය හැකිය.
    විකසිත සින්ඩිය :- http://www.syndi.wikasitha.com/

    මිට හිතාදර
    ඇඩ්මින් - විකසිත සින්ඩිය. (info@vweb.lk)

    ReplyDelete
  8. //ඩ්‍රාෆ්ට් කරලා මාස හතරක් //

    කොහෙන්ද ඔච්චර ඉවසීම ප්‍රගුනකරේ

    ReplyDelete
    Replies
    1. කාලයක් තිස්සේ බ්ලොග් ලියපුවාම අටම්ටත් ඔය දේ වේවි :D

      Delete
  9. බොලා ආයෙ ලියන්නෙම නැද්ද? ලියපං බංස්..
    ජයවේවා..!!

    ReplyDelete

අදහස්, උදහස්....

.