Thursday, February 13, 2014

හැමිල්ටන් ඇල දිගේ Hamilton Canal Boat Ride

18 comments
අත්‍ය තත්‍ය ලෝකේ මිත්‍රයන් වෙච්චි මමතුමා , රනා, ඕනයා, සුදු පූසා, අමිල චතුරංග ඇතුලු පිරිසක් පහු ගිය දවසක් අත්‍ය තත්‍ය ලෝකෙන් මිදිලා සත්‍ය ලෝකයේ විනෝදගමනකට, අලුත් අත්දැකීමකට මුල පිරුවා. සංවිධාන කටයුතු කලේ රනා සහ ඕනයා විසින්. අපේ ගමන් මාර්ගය උනේ මීගමු කලපුවෙන් යාන්ත්‍රික බෝට්ටුවක් ඔස්සේ හැමිල්ටන් ඇල ඔස්සේ ගමන් කරලා, ආපහු මීගමු කලපුව ඔස්සේම ගොඩට පැමිණීමයි.
මෝඩ ඇල කියලත් හඳුන්වන හැමිල්ටන් ඇල කියන්නේ ස්වාභාවික ඇල මාර්ගයක් නම් නොවෙයි. යටත් විජිත සමයේදී නිමවූවක්.  ජලවහන රටාව නිවැරදි ලෙස වටහා නොගෙන කල මෙම ඉදිකරීම නිසා සිදුවූයේ එවකට සරුසාර කුඹුරු යායක් වූ මුතුරාජවෙල කරදිය ගලාවිත් පුරන් වී යාමයි. බ්‍රිතාන්‍යන්ගේ මෙම මෝඩ ක්‍රියාව සිහිකරනු වස් සිංහලයන් විසින් මෙම ඇල මාර්ගයට “මෝඩ ඇල“ කියා නම් තබා තිබෙනවා. යටත් විජිත සමයේ ප්‍රවාහන කටයුතු සඳහා බහුලව භාවිතා කොට තිබෙන මෙම ඇල ඉන්පසුව නොසලකා හැරුනා. ගොඩවීමට සහ දූෂණයට ලක්වී තිබුන මෝඩ ඇල පසුගිය කාලයේ පිළිසකර කිරීමකට ලක්ව මේ වනවිට ගමනාගමනය සඳහා සුදුසු තත්වයට පත්වී තිබෙනවා.
ගමන සඳහා භාවිතා කලේ ඉහල රූපයේ දැක්වෙන ආකාරයේ යාන්ත්‍රික බෝට්ටුවක්.මීගමුව කලපුව ආසන්නයේ ජීවත්වන ඕනයාගේ මිත්‍රයෙකු වන තරංග මහතා අපේ ගමනට සියලු කටයුතු සූදානම් කොට තිබුනා. තේපැන් සංග්‍රහකට පස්සේ පලපුරුදු ධීවර මහත්මයෙකුගේ බෝට්ටුවකින් අපි මීගමු කලපුවට අවතීර්ණ උනා. මේ තීර්ථ යාත්‍රිකයාගේ පළමු බෝට්ටු ගමනයි. මීට පෙර පාලම් පාරුවක පමණක් ගොසින් තිබුන නිසා මේක තීර්ථ යාත්‍රිකයාට නම් නවමු අත්දැකීමක්. අවශ්‍ය කෑම බීමත් පුරවාගෙන අපි මීගමු කලපුවේ විසිතුරු බලමින් රැල්ලට පැද්දෙමින් ඉදරියට ඇදුනා. ජෙලි ෆිෂ් නමින් හඳුන්වන ජල්ලි සහිත මත්ස්‍යයන් කලපුව පුරාවටම බහුලව දක්නට ලැබුනා. අප සමඟ ගිය ධීවර මහතා පැවසූ ආකාරයට ධීවර ප්‍රජාව මේම ජල්ලි මාලුවාට ඒ හැටි කැමැත්තක් නැහැ.ඒ අතෝරක් නැතිව දැල්වලට පැටලෙන නිසා සහ ඔවුන් විස සහිත නිසා.

මේ තිබෙන්නේ මස් අත්තක්. මස් අතු කියල කියන්නේ මීගමු කලපුව තුල මත්ස්‍ය කර්මාන්තය සඳහා භාවිතා කරල ප්‍රධාන පන්නයන් ගෙන් එකක්. තීර්ථ යාත්‍රිකයා දන්නා ආකාරයට මෙම කොටුවට මත්ස්‍යන් සිරවූ පසු දැල් මාර්ගයෙන් මත්ස්‍යයන්ව අල්වා ගැනීම සිදුකරනවා. මීගමු කලපුවේ ඒ මේ අත ගිය අපි කෙමෙන් කෙමෙන් හැමිල්ටන් ඇලේ මුවදොර වෙතට ළඟාවුනා.

අපි හැමිල්ටන් ඇලට ඇතුල්වුනාට පස්සේ ගත්ත ඡායාරූපයක් ඉහළින් තිබෙන්නේ. එහි දැක්වෙන්නේ හැමිල්ටන් ඇල මීගමු කලපුව සමඟ යාවෙන මුවදොරයි.හැමිල්ටන් ඇල දෙපසම නිවාස දක්නට ලැබුනා. ඒ වගේම විවිදාකාර බෝට්ටු නවතා තිබුනා.ඇල මාර්ගවලට මේ තරම් ළඟින් ගෘහයන්  තිබෙනවාට තීර්ථ යාත්‍රිකයාගේ නම් පුද්ගලික කැමැත්තක් නැහැ. ඒ නිවාස වලින් පිට කරන අපද්‍රව්‍ය මඟින් ඇලමාර්ගය දූෂ්‍ය වීමට ඇති ඉතා ඉහල සම්භාවිතාවය නිසා.

ඇල ඔස්සේ ගමන් කරන අතරතුරේදී විසිදැල් භාවිතයෙන් මත්ස්‍යයන් අල්ලන මෙම පිරිසත් අපිට මුන ගැහුනා.කැමරාවේ බර්ස්ට් පහසුකම භාවිතා කරලා මේ ආකාරයේ ඡායාරූපයක් ලබාගැනීමට තීර්ථ යාත්‍රිකයා සමත් වුනා. සෑහෙන දුරක් ගමන් කල අපිට ගමන ඒකාකාරී වූ නිසා ආපසු හැරී ඒමට සිත්වුනා. මේ අතර ගොඩබිම සිටි ට්‍රැෆික් පොලිස් නිලධාරීන් කීපදෙනෙකුගේ අවධානය අප වෙතට යොමු වුනා. ඔවුන් පැවසුවේ ජීවිතාරක්ෂක කබා රහිතව මේ ආකාරයට ගමන් කිරීම නීති විරෝධී බවයි. නමුත් ඔවුන් සමඟ කතාබහ කොට ප්‍රශ්නය සමථයකට පත් කරගැනීමට අපේ සංවිධායකයන් සමත් වුනා.
ආපසු පැමිණීමේදී මුවදොරදී හමුවූ සුවිසල් නුග වෘක්ෂයක් තමයි මේ.
මීගමු කලපුව පුරාවටම පුංචි පුංචි දූපත් තිබෙනවා කඩොලාන වලින් වැහිච්චි. ඉතිං එයින් එකකට ගියපු අපි දිවා ආහාරය ලබාගත්තා ටිකක් විතර පරක්කුවෙලා. පරක්කු වුනේ ගමන අතරමගදී කෑමට අරං ගියා අනෙකුත් ආහාර නිසා කුස පිරී තිබුන නිසාවෙන්. තරංග මහතා අපිට ඉතා හොඳින් ආගන්තුක සත්කාර කිරීමට විවිදාකාර මත්ස්‍ය ආහාර ලැහැස්ති කොට තිබුනා. ආහාරයෙන් පස්සේ අපි දඬුගම් ඔය පැත්තටත් ඇදුනා. හැමිල්ටන් ඇල මෙන් නොව ඉතා ගැඹුරින් යුතු දඬුගම් ඔයේද මද දුරක් ප්‍රවේසමෙන් යාත්‍රා කල අපි නැවතත් මීගමු කලපුවට පැමිණෙන විට හිරු අවරට යමින් තිබුනේ , දැන් ආපසු ගමන ඇරඹීමට කාලය හරියි කියන්නාක් මෙන්.
කලපු දිය මත විසිරිනු රන්වන් දීප්තිමත් සැඳෑ හිරු කිරණ මැදින් , කටුනායක කොළඹ අධිවේගී මහාමාර්ගය ආසන්නයට ගිය අපි ,ආපසු ගමන ඇරඹුවා. හිරු සැඟවී යාමට ඔන්න මෙන්න කියා තිබියදී බොහොම අපූරු ගමනක් නිමා කල අපි මීගමු කලපුවේ වැලි තලයට දෙපා තිබ්බා.
ඉතින් මේක බොහොම අපූරු ගමනක්. අමතක නොවෙන අත්දැකීමක්. ඒ අත්දැකීම ලබාගැනීමට අපිට උදව්කරපු තරංග මහත්මයාට, අපිව ප්‍රවේසමින් අරන් ගිය ධීවර මහත්මයාට , අපේ සංවිධායක වරුන්ට තීර්ථ යාත්‍රිකයා බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා.
එහෙමනං නැවත හමුවෙන තුරු... ජයවේවා !!!!

18 comments:

  1. මාරම ගති ට්‍රිපක්...

    ReplyDelete
  2. ගති ගමනක්,, ඊටත් එහා ලස්සන ෆෝටෝ සෙට් එක..!
    Thumbs up මචන්..! :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මචං. උඹ දන්නවනේ ෆොටෝ ගහන්න මගෙ තියන පිස්සුවෙ හැටි. ඕවා මගෙ හොම්බ දිග කැමරාවෙන් ගත්ත ඒව්වා.

      Delete
  3. සිරා දවසක්
    පට්ට සිරා ගමනක්
    ඒත්
    අපි කලපුවේ 50%ක්වත්
    බලන්න තියන දේවල්
    බලල ඉවර කලේ නෑ

    ReplyDelete
    Replies
    1. එදා දවස මදි බං කලපුවේ ඇවිදින්න. ආයෙ යන්න ඕන කලපුවේ නෙවෙයි, මූදේ....

      Delete
    2. සෙට් වෙමු කැමති නං මාදැල් අදින කාලෙට තෙප්පමේ ගිහිල්ල පිටදැල් දාන්න

      Delete
    3. එල අපි හම්බවෙලාම කතාකරමුකෝ...

      Delete
  4. පින්තූර ටික හරි ලස්සනයි

    ReplyDelete
  5. My dear friend this canal is built by Dutch.some where in 1600 AD.not by British colonial masters.

    ReplyDelete
    Replies
    1. ඔබ තුමා පටලවා ගෙන වගේ. ලන්දේසි ඇල කියලා වෙනම ඇලක් තිබෙනවා මීගමුවට එනකල්, නාත්තන්ඩිය මාරවිල පැත්තෙන්.
      හැමිල්ටන් ඇල ඉදිකිරීමට මූලිකයා වුනේ බ්‍රිතාන්‍ය වාණිජ කටයුතු නිලධාරියෙක් වෙච්චි ගර්වින් හැමිල්ටන්.

      Delete
  6. අපි කට්ටිය ගිය අවුරුද්දෙ උස්වැටකෙයියාවෙ නේවි ක්ලබ් හවුස් එකේ සෙට් වෙන්න යන ගමනෙදි ටික දුරක් ඔය ඇලට සමාන්තර පාර දිගේ ගියා. ඒ කියන්නෙ ඇලකන්ද, උස්වැටකෙයියාව අතර ටිකේ. ඒ පරිසරයනං සෑහෙන්න මට සෙට් වුණා. ඒක නිතර අත් විඳින්න නොලැබෙන පරිසරයක්.

    ReplyDelete
    Replies
    1. ඒ පරිසරය සෑහෙනම අමුතුයි. ඒ වුනාට අමුතුම කික් එකක් තියෙනවා නේ

      Delete
  7. අඩේ මේ මම ගිය ටිපක්ද කියල හිතුනා විස්තරේ දැකලා.. මේක මං කපල මේල් කරන්න ඕනි මගෙ යාලුවන්ට..

    ReplyDelete
  8. වැඩි දුර යන්නේ නැතුව යන්න පුළුවන් ආතල් ගමනක්... ෆොටෝ ටික නම් මරු.. ඔය විදියට එඩිට් කරන්නේ කොහොමද? ෆොටෝෂොප් වල මොන ෆිල්ටර්ස් ද පාවිච්චි කරන්නේ? කරන විදිය තියෙන ලින්ක් එකක් දාන්න පුළුවන් නම් ලොකු දෙයක්..

    ReplyDelete
    Replies
    1. අපූරු ගමන මචං. ෆොටෝස් එඩිට් කරන්න මම ෆොටෝ ෂොප් පාවිච්චි කරන්නේ lightroom වලින් කරගන්නම බැරි වැඩක් තිබුනොත් තමා. නැත්තං ලයිට් රූම් තමා. ෆොටෝස් ගනිද්දි රෝ ෆෝමැට් එකෙන් ගන්නෙ. එතකොට සියලුම ඩීටේල් කැප්චර් වෙන නිසා අපිට ඕන විදිහට වෙනස් කරගන්න පුලුවන්.
      ඔය දැල දාන ෆොටෝ එක හදාගන්න Exposure level 5 ක ෆොටෝස් මික්ස් කලා ෆොටෝමැටික්ස් වලින්. මම වෙලාවක දාන්නංකො පෝස්ට් එකක් මං දන්න චුට්ටි චුට්ටි එඩිටින් පාට්ස් එක්ක.

      Delete

අදහස්, උදහස්....

.