Monday, July 21, 2014

සැඩ වතුරේ ඔරු පැදීමු. White water rafting at kithulgala

16 comments
White water කියල හඳුන්වන්නේ ගල්වල හැපි හැපී පෙණ පිඬු නංවාගෙන සැරට තදින් ගලාගෙන යන සුදු පැහැති ජල ප්‍රවාහයට. ඉතින් ඔය සැඩ වතුරේ හුළං පුරෝපු ඩිංගි බෝට්ටුවකට නැඟීගෙන ඕක පහලට පැදගෙන යන ටිකක් විතර අවදානම් ඒ වගේම අභියෝගාත්මක ක්‍රීඩාවකට තමා white water rafting කියල කියන්නේ. තීර්ථ යාත්‍රිකයටත් සෑහෙන කාලෙක ඉඳල වයිට් වෝට රාෆ්ටින් උණක් තිබුනා. අර පේන්ට් බෝල් උණ වගේ...ඉතිං පෙරුම් පුරලා පුරලා දවසක අපි යාලුවෝ කීපදෙනෙක් කඩිමුඩියේ සූදානම් වෙලා ගියා අපේ සිරි ලංකාවෙ වයිට් වෝට රාෆ්ටින් වලට නම් දරාපු කිතුල්ගලට.

ගමනට සහභාගී වුනේ තීර්ථ යාත්‍රිකයාත් එක්ක එක වසරේ ඉඳලා පහ වසරට වෙනකල් පොල්ගහවෙල ශාන්ත බර්නාදෙත් ආදර්ශ මහා විද්‍යාලයේ ඉගනගත්ත , අවුරුදු පහලොවකට විතර පස්සේ ආයෙ හම්බවෙලා දැන හැඳුනුම් කම් ඇති කරගත්ත යාලුවෝ පිරිසක්. පහ වසරෙන් තීර්ථ යාත්‍රිකයා ඒ පලාතෙන් පිට වෙච්චි නිසා සමහර යාලුවෝ අවුරුදු පහලොවකට විතර පස්සෙ මේ වයිට් වෝට රාෆ්ටින් ක්‍රීඩාවෙදි තමා මුහුණට මුහුණ හම්බ උනේ. ඒකත් අපූරු අත්දැකීමක්..කට්ටියගෙ රූපස්වාභවයේ ඉඳලා වෙනස්වීම් ගැන පැය ගාණක් උනත් කතාකරන්ඩ පුලුවන් නෙව. :D

එක කාණ්ඩයක් පොල්ගහවෙල පැත්තෙන් වාහනේක එද්දි තීර්ථ යාත්‍රිකයා තවත් මිත්‍රයෙක්ව මීගමුවෙන් නංවාගෙන ගූගල් අයියගෙ සිතියමට පිං සිද්දවෙන්න අතුරු ආන්තරාවක් නැතිව කිතුල් ගලට සම්ප්‍රාප්ත වුනා. යකඩ අස්සයගෙ පිටේ දිගු ගමන් නුහුරු අනිත් මිත්‍රයා නං බැස්සට පස්සෙ ටිකක් විතර අපහසුවෙන් ඇවිද්දෙ ටික වෙලාවක් යනකල් :D. ආගිය කතා , සතුටු සාමීචී ටික වෙලාවක් පවත්වලා අපි ආපු වැඩේට අවතීර්ණ වුනා.කිතුල්ගල අවට කැළණි ගඟ ආශ්‍රිතව මේ ක්‍රීඩාව සංවිධානය කරන උදවිය ඉන්නවා ඕන තරම්. අපි ඕනයාගේ රෙකමදාරුකමක් හරහා අඳුනාගත්ත මිත්‍රයෙකුගෙ ආයතනකට තමයි ගියේ. ඒ උදවිය ගාව විවිද පැකේජ් තිබෙනවා. අපි කතාබහ කරන්නත් වෙලාවක් අවශ්‍ය නිසා හවස්වරුව ඒ වැඩකටයුතුවලට තබාගෙන උදේ වරුවෙ ජල ක්‍රීඩාවට පමණක් සහභාගී වන්නටයි තීරණය කරලා තිබුනේ. 

පිළිගැනීමේ පානය (බ්ලෙන්ඩ් කරපු කොමඩු යුෂ මයෙ හිතේ) පානය කරලා,ජීවිතාරක්ෂක ජැකට්ටුත් දාගෙන රබර් බෝට්ටුවත් උස්සගෙන යන ආයතනයේ අය පස්සෙං හබල් එහෙමත් අරගෙන වීරයෝ වගේ (ඒත් පණ බයේ) අපි කැලණි ගං ඉවුරට ළඟවුනා. අපේ බෝට්ටුවේ නියමුවා විදිහට ආවෙ පොඩි කොලුගැටයෙක් නිසා හිතේ පොඩි සැකයක් නොතිබ්බාමත් නෙවෙයි. අපිට ඔවුන් මූලික පුහුණුවක් ලබාදුන්නා. හබල් ගසන ආකාරය, බෝට්ටුව පෙරලුනහොත් ආරක්ෂාවෙන ආකාරය,ක්‍රීඩාවෙිදී පිළිපැදිය යුතු දේවල් සහ නියමුවා විසින් ලබාදෙන විධාන සම්බන්ධයෙන්. බෝට්ටුව වතුරට තල්ලුකරලා මදක් වෙලා එහෙට මෙහෙට පැද පැද ඉඳලා අපි ගමනට අවතීර්ණ උනා.

තීර්ථ යාත්‍රිකයලා ගියේ ජලය සහ හැඩ පාර ටිකක් අඩු කාලෙ. ආධුනිකයෝ නිසා ඒක අපිට වඩාත් හොඳයි කියලා හිතුනා. මොකද මේ ක්‍රීඩාවේ අවදානමක් නැතිවාමත් නෙවෙයි. හැඩ පාර අඩුවුනා කියලා දැනුන ආශ්වාදයේ අඩුවක් අපිට දැනුනෙ නැත්තේ අපි හැමෝම මේ ක්‍රීඩාවට ආධුනිකයෝ නිසා වෙන්න ඇති. අපි ගමන් කරපු කිලෝමීටර් පහේ විශාල බැස්මවල් පහක් සහ කුඩා බැස්මවල් කීපයක්ම තිබුනා. වේගයෙන් ගලාගෙන විශාල බැස්මකට වැටෙද්දි,ඔලුවට උඩින් වතුර ගිහිල්ලා ආයෙ උඩට මතුවෙද්දි ලැබුන ආශ්වාදය නම් උපරිමයි. ගමනේ අවසාන හරිය අපි චලන චිත්‍රයකට ලබාගත්ත මේ විදිහට.



කට්ටියගෙ කච බචේ ඇහෙන හින්දා පොඩි සංගීත කෑල්ලකුත් ඇමිනුවා :D.  සාර්ථකව දිය කෙලියේ යෙදිලා ඊට පස්සේ දැවෙන බඩ ගින්නකින් යුුතුව අපි අපේ දිවා ආහාර සඳහා සූදානම් කරලා තිබුන ස්ථානයට ළඟා වුනා. කැළණි ගං ඉවුරේ රුක් සෙවනැල්ලේ නිවී සැනසිල්ලේ ඉන්න පුලුවන් අපූරු තැනක්. ආයෙත් පාරක් හරියට ගඟේ ස්නානය කරලා, ආහාර අනුභව කරලා, කතාබස්, මීවිත මෙකී නොකී සියලු දේවල් අවසානයේ චාරිකාව සාර්ථකව නිමා කරලා අපි ආපහු පිටත් වුනේ අපූරු මතක පොදියකුත් හිතේ දරාගෙන.

ප.ලි - වයිට් වෝට රාෆ්ටින් සඳහා සුදුසු තැනක් කාගෙ හෝ රෙකමදාරුව මත තෝරාගන්න. ඔවුන්ගේ යාත්‍රාවල තත්වය, ලබාදෙන ජීවිතාරක්ෂක ජැකට්ටු සහ හෙල්මට වල තත්වය පිළීඹඳ සැලකිලිමත් වන්න. කැලණි ගඟ අපූරු ජල මූලාශ්‍රයක්. එය අපවිත්‍ර කරන්න එපා.එමෙන්ම බීමත්ව ස්නානය කිරීමෙන්ද වලකින්න. ඔබට ඇත්තේ එක පණක් බැවින් එය පුලුවන් තරම් කාලයක් ආරක්ෂා කරගන්න.

බ්ලොග් ලියන පස්වෙනි අවුරුද්ද. පෝස්ට් ලියන සීග්‍රතාවය නම් අඩුවෙලා ගිහිල්ලා.ඩ්‍රාෆ්ට් කරලා මාස හතරක් විතර ගිය තැන තමයි මේ ලිපියත් පල වෙන්නේ. එහෙනම් ආයෙත් හමුවෙන තුරු හැමෝටම ජය වේවා !!!.
Read More...

Thursday, February 13, 2014

හැමිල්ටන් ඇල දිගේ Hamilton Canal Boat Ride

18 comments
අත්‍ය තත්‍ය ලෝකේ මිත්‍රයන් වෙච්චි මමතුමා , රනා, ඕනයා, සුදු පූසා, අමිල චතුරංග ඇතුලු පිරිසක් පහු ගිය දවසක් අත්‍ය තත්‍ය ලෝකෙන් මිදිලා සත්‍ය ලෝකයේ විනෝදගමනකට, අලුත් අත්දැකීමකට මුල පිරුවා. සංවිධාන කටයුතු කලේ රනා සහ ඕනයා විසින්. අපේ ගමන් මාර්ගය උනේ මීගමු කලපුවෙන් යාන්ත්‍රික බෝට්ටුවක් ඔස්සේ හැමිල්ටන් ඇල ඔස්සේ ගමන් කරලා, ආපහු මීගමු කලපුව ඔස්සේම ගොඩට පැමිණීමයි.
මෝඩ ඇල කියලත් හඳුන්වන හැමිල්ටන් ඇල කියන්නේ ස්වාභාවික ඇල මාර්ගයක් නම් නොවෙයි. යටත් විජිත සමයේදී නිමවූවක්.  ජලවහන රටාව නිවැරදි ලෙස වටහා නොගෙන කල මෙම ඉදිකරීම නිසා සිදුවූයේ එවකට සරුසාර කුඹුරු යායක් වූ මුතුරාජවෙල කරදිය ගලාවිත් පුරන් වී යාමයි. බ්‍රිතාන්‍යන්ගේ මෙම මෝඩ ක්‍රියාව සිහිකරනු වස් සිංහලයන් විසින් මෙම ඇල මාර්ගයට “මෝඩ ඇල“ කියා නම් තබා තිබෙනවා. යටත් විජිත සමයේ ප්‍රවාහන කටයුතු සඳහා බහුලව භාවිතා කොට තිබෙන මෙම ඇල ඉන්පසුව නොසලකා හැරුනා. ගොඩවීමට සහ දූෂණයට ලක්වී තිබුන මෝඩ ඇල පසුගිය කාලයේ පිළිසකර කිරීමකට ලක්ව මේ වනවිට ගමනාගමනය සඳහා සුදුසු තත්වයට පත්වී තිබෙනවා.
ගමන සඳහා භාවිතා කලේ ඉහල රූපයේ දැක්වෙන ආකාරයේ යාන්ත්‍රික බෝට්ටුවක්.මීගමුව කලපුව ආසන්නයේ ජීවත්වන ඕනයාගේ මිත්‍රයෙකු වන තරංග මහතා අපේ ගමනට සියලු කටයුතු සූදානම් කොට තිබුනා. තේපැන් සංග්‍රහකට පස්සේ පලපුරුදු ධීවර මහත්මයෙකුගේ බෝට්ටුවකින් අපි මීගමු කලපුවට අවතීර්ණ උනා. මේ තීර්ථ යාත්‍රිකයාගේ පළමු බෝට්ටු ගමනයි. මීට පෙර පාලම් පාරුවක පමණක් ගොසින් තිබුන නිසා මේක තීර්ථ යාත්‍රිකයාට නම් නවමු අත්දැකීමක්. අවශ්‍ය කෑම බීමත් පුරවාගෙන අපි මීගමු කලපුවේ විසිතුරු බලමින් රැල්ලට පැද්දෙමින් ඉදරියට ඇදුනා. ජෙලි ෆිෂ් නමින් හඳුන්වන ජල්ලි සහිත මත්ස්‍යයන් කලපුව පුරාවටම බහුලව දක්නට ලැබුනා. අප සමඟ ගිය ධීවර මහතා පැවසූ ආකාරයට ධීවර ප්‍රජාව මේම ජල්ලි මාලුවාට ඒ හැටි කැමැත්තක් නැහැ.ඒ අතෝරක් නැතිව දැල්වලට පැටලෙන නිසා සහ ඔවුන් විස සහිත නිසා.

මේ තිබෙන්නේ මස් අත්තක්. මස් අතු කියල කියන්නේ මීගමු කලපුව තුල මත්ස්‍ය කර්මාන්තය සඳහා භාවිතා කරල ප්‍රධාන පන්නයන් ගෙන් එකක්. තීර්ථ යාත්‍රිකයා දන්නා ආකාරයට මෙම කොටුවට මත්ස්‍යන් සිරවූ පසු දැල් මාර්ගයෙන් මත්ස්‍යයන්ව අල්වා ගැනීම සිදුකරනවා. මීගමු කලපුවේ ඒ මේ අත ගිය අපි කෙමෙන් කෙමෙන් හැමිල්ටන් ඇලේ මුවදොර වෙතට ළඟාවුනා.

අපි හැමිල්ටන් ඇලට ඇතුල්වුනාට පස්සේ ගත්ත ඡායාරූපයක් ඉහළින් තිබෙන්නේ. එහි දැක්වෙන්නේ හැමිල්ටන් ඇල මීගමු කලපුව සමඟ යාවෙන මුවදොරයි.හැමිල්ටන් ඇල දෙපසම නිවාස දක්නට ලැබුනා. ඒ වගේම විවිදාකාර බෝට්ටු නවතා තිබුනා.ඇල මාර්ගවලට මේ තරම් ළඟින් ගෘහයන්  තිබෙනවාට තීර්ථ යාත්‍රිකයාගේ නම් පුද්ගලික කැමැත්තක් නැහැ. ඒ නිවාස වලින් පිට කරන අපද්‍රව්‍ය මඟින් ඇලමාර්ගය දූෂ්‍ය වීමට ඇති ඉතා ඉහල සම්භාවිතාවය නිසා.

ඇල ඔස්සේ ගමන් කරන අතරතුරේදී විසිදැල් භාවිතයෙන් මත්ස්‍යයන් අල්ලන මෙම පිරිසත් අපිට මුන ගැහුනා.කැමරාවේ බර්ස්ට් පහසුකම භාවිතා කරලා මේ ආකාරයේ ඡායාරූපයක් ලබාගැනීමට තීර්ථ යාත්‍රිකයා සමත් වුනා. සෑහෙන දුරක් ගමන් කල අපිට ගමන ඒකාකාරී වූ නිසා ආපසු හැරී ඒමට සිත්වුනා. මේ අතර ගොඩබිම සිටි ට්‍රැෆික් පොලිස් නිලධාරීන් කීපදෙනෙකුගේ අවධානය අප වෙතට යොමු වුනා. ඔවුන් පැවසුවේ ජීවිතාරක්ෂක කබා රහිතව මේ ආකාරයට ගමන් කිරීම නීති විරෝධී බවයි. නමුත් ඔවුන් සමඟ කතාබහ කොට ප්‍රශ්නය සමථයකට පත් කරගැනීමට අපේ සංවිධායකයන් සමත් වුනා.
ආපසු පැමිණීමේදී මුවදොරදී හමුවූ සුවිසල් නුග වෘක්ෂයක් තමයි මේ.
මීගමු කලපුව පුරාවටම පුංචි පුංචි දූපත් තිබෙනවා කඩොලාන වලින් වැහිච්චි. ඉතිං එයින් එකකට ගියපු අපි දිවා ආහාරය ලබාගත්තා ටිකක් විතර පරක්කුවෙලා. පරක්කු වුනේ ගමන අතරමගදී කෑමට අරං ගියා අනෙකුත් ආහාර නිසා කුස පිරී තිබුන නිසාවෙන්. තරංග මහතා අපිට ඉතා හොඳින් ආගන්තුක සත්කාර කිරීමට විවිදාකාර මත්ස්‍ය ආහාර ලැහැස්ති කොට තිබුනා. ආහාරයෙන් පස්සේ අපි දඬුගම් ඔය පැත්තටත් ඇදුනා. හැමිල්ටන් ඇල මෙන් නොව ඉතා ගැඹුරින් යුතු දඬුගම් ඔයේද මද දුරක් ප්‍රවේසමෙන් යාත්‍රා කල අපි නැවතත් මීගමු කලපුවට පැමිණෙන විට හිරු අවරට යමින් තිබුනේ , දැන් ආපසු ගමන ඇරඹීමට කාලය හරියි කියන්නාක් මෙන්.
කලපු දිය මත විසිරිනු රන්වන් දීප්තිමත් සැඳෑ හිරු කිරණ මැදින් , කටුනායක කොළඹ අධිවේගී මහාමාර්ගය ආසන්නයට ගිය අපි ,ආපසු ගමන ඇරඹුවා. හිරු සැඟවී යාමට ඔන්න මෙන්න කියා තිබියදී බොහොම අපූරු ගමනක් නිමා කල අපි මීගමු කලපුවේ වැලි තලයට දෙපා තිබ්බා.
ඉතින් මේක බොහොම අපූරු ගමනක්. අමතක නොවෙන අත්දැකීමක්. ඒ අත්දැකීම ලබාගැනීමට අපිට උදව්කරපු තරංග මහත්මයාට, අපිව ප්‍රවේසමින් අරන් ගිය ධීවර මහත්මයාට , අපේ සංවිධායක වරුන්ට තීර්ථ යාත්‍රිකයා බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා.
එහෙමනං නැවත හමුවෙන තුරු... ජයවේවා !!!!
Read More...
.