Monday, July 29, 2013

ක්‍රිප්ටෝනියානුවන්ගේ පුනරාගමනය Man of Steel 2013

8 comments

ක්‍රිප්ටෝනියානු නටඹුන් අතරින් සුපර් මෑන් ආයෙත් ඇවිල්ලා. ඒ මෑන් ඔෆ් ස්ටීල් (Man of steel) 2013 චිත්‍රපටිය තුලින්. බලාපොරොත්තු වුන විදිහටම තාක්ෂණික ශ්‍රව්‍ය සහ දෘශ්‍ය ප්‍රයෝග රැසක් සමඟින්. නමුත් කතාවේ ගලායාම නම් බලාපොරොත්තු කඩ කරවන සුලු බවයි තීර්ථ යාත්‍රිකයාගේ පුද්ගලික මතය. ඒ වගේම මෙම චිත්‍රපටයේදී සුපර්මෑන් යට ඇඳුම නිවැරදිව ඇඳීමට ඉගනගෙන තිබෙනවා :D .


  •  ඇමරිකානු පාලනය කිසිදු ප්‍රතිරෝධයකින් තොරව ක්ලාර්ක් කෙන්ට් (සුපර් මෑන්) ජෙනරාල් සොඩ් ට බාර දීම.
ජෙනරාල් සොඩ් පෘථිවියට පැමිණ ක්ලාර්ක් කෙන්ට්ව තමන්ට බාර දෙන ලෙසට තර්ජනය කිරීමක් සිදුකරන්නේ ලොව පුරා රූපවාහිනී විකාශයන්ට බාධාවක් ඇතිකරමින් ඒ හරහා තමන්ගේ විකාශය සිදු කරමින්. ඒ හැරෙන්නට පෘථිවියට ඔහු පහර දීමක් හෝ තම බලය පෙන්වීමක් සිදුකරන්නේ නැහැ. එබඳු පසුබිමක් තුල ඇමරිකානු පාලනය කිසිදු කතාවකින් හො ප්‍රතිරෝධයකින් තොරව සුපර්මෑන්ව ජෙනරාල් සොඩ්ට භාරදීමට තීරණය කිරීම ඒ හැටි ගැලපීමක් නැහැ. එමෙන්ම සියලු වැදගත් තීරණ ගැනීමේදී පෙන්වන්නේ එකම හමුදා නිලධාරීන් පිරිසක් පමණයි. ඇමරිකානු ජනපතිවරයා හෝ ආරක්ෂක ලේකම් හෝ එක්සත් ජනපදය සතු අකුරු තුනේ ඒජන්සිවල ප්‍රධානීන් බඳු ජාතිකාරක්ෂාවට අවශ්‍ය තීරණාත්මක තීරණ ගැනීමේදී  වැදගත්ම චරිත නොසලකාහැරීමකට ලක්කොට තිබෙනවා.

  • ජනරාල් සොඩ්ගේ නියෝජිතවරිය ක්ලාර්ක් කෙන්ට් සමඟ ලුයිස් ලේන්වද තමන්ට භාරදෙන ලෙස කීම.
ක්ලාක් සහ ලුයිස්ගේ අතර සම්බන්ධයක් ක්‍රිප්ටෝනියාවන් දන්නේ නැහැ. හේතුවක් නැතිව නිකම් හිතුමනාපයට නොදන්නා පෘථිවි වාසියෙක් තම යානයට රැගෙන යාමට ජෙනරල් සෝඩ්ට ඇති ඇඟේ අමාරුව කුමක්ද ?  “ලුයිස් ක්‍රිප්ටෝනියන් යානයට ගෙනයාම“ සිද්ධිය කතාව වෙනස් කිරීමට ප්‍රභල ආකාරයෙන් දායක වෙනවා. නමුත් ඇයව යානාවට ගෙනයාමට ප්‍රභල හේතුවක් නැහැ.
 
  • ක්‍රිප්ටෝනියාවන්ගේ සහ ක්ලාක් කෙන්ට්ගේ ගැටුම්වලින් සිදුවන මහා ජන සංහාරය සහ දේපල විනාශය. 
සුපර්මෑන් කියන්නේ වීරයෙක්, දුබලයින් පීඩාවලින් ගලවාලන්නෙක්, ඔහුගේ පපුවේ තිබෙන්නේ බලාපොරොත්තුවේ සංකේතය. නමුත් ඔහු සහ සොඩ් අතර සටන නිසා ජීවිත මෙන්ම දේපලද විශාල සංඛ්‍යවක් විනාශවෙනවා. කෙන්ට් ට අවශ්‍යතාවයක් තිබුනා නම් ඔහුට හැකියාව තිබෙනවා සොඩ් සමඟ සටන ජන ශුන්‍ය කලාපයකට රැගෙන යාමට.නමුත් ඒ වෙනුවට ඔහු කරන්නේ අධිජනාකීර්ණ ප්‍රදේශයක සොඩ් සමඟ සටන් කිරීමයි. (සොඩ් සහ කෙන්ට් අතර පළමු සටන). ක්‍රිප්ටෝනියානුවන්ගේ World Engine සහ පහරදීම් නිසා විශාල ප්‍රමාණයක් ජනයා මිය යනවා. එමෙන්ම හමුදාව සතු ගුවන් යානා විනාශවෙනවා. කෙන්ට්ද මේ අවස්ථා දකිනවා. නමුත් අන්තිම මොහොතේදී මිනිසුන් කිහිපදෙනෙකු විනාශකිරීමට සොඩ් උත්සාහ දරන වෙලාවේදී එය  නැවැත්වීමට කෙන්ට් හැඟීම්බර වන ආකාරයෙන් දහයෙන් පංගුවක් වත් කෙන්ට් උක්ත අවස්ථාවන්හිදී දක්වන්නේ නැහැ.
 
  • ලුයිස් ලේන් අන්තිම මොහොතේදී කෞතුකාගාරය තුලට ඉන්ද්‍රජාලයකින් මෙන් පැමිනීම.
සොඩ් සහ කෙන්ට් අතර සටන කිලෝමීටර් ගණනාවක් පුරාපැතිරී යනවා. අන්තිම මොහොතේදී කෙන්ට් සෙඩ් මරාදමන්නේ කෞතුකාගාරයක් ඇතුලේ. එය පිහිටාතිබෙන්නේ World Engine  හි ක්‍රියාකාරීත්වය නිසා විනාශනොවූ ගොඩනැඟිලි පිහිටි ප්‍රදේශයක. නමුත් World Engine තිබූ තැනම නටඹුන් ගොඩේ සිටින ලුයිස් අන්තිම මොහොතේදී කෞතුකාගාරය තුලට පැමිනෙනවා. 

මෙබඳු ආකාරයේ නොගැලපෙන ස්ථාන රාශියක්ම සුපර්මෑන් නවතම චිත්‍රපටියේ තිබෙනවා. නමුත් ඒ සුපර්මෑන්, කොහොමද අහක දමන්නේ.. ඒ නිසා තීර්ථ යාත්‍රිකයා දෙවරක්ම එය නැරඹුවා.  :D

ප.ලි : වැල්ලවත්තේ සැවොයි 3D වල තාම මෑන් ඔෆ් ස්ටීල් තිරගත වෙනවා.
 
 

Read More...

Tuesday, July 2, 2013

බ්‍රවුනා මිය ගියේය......

16 comments
හාපෝ මේ මොකෙද්ද ? . අප්පච්චි එහෙම ඇහැව්වේ බයිසිකලේ ඉස්සරහ හයි කරලා තිබ්බ කූඩෙට එබිල බලලා. “මේ ඇවිල්ලා බල්ලෙක්, ඉංග්‍රීසියෙන් කියන්නේ ඩෝග් කියලා.නම බ්‍රවුන්..“අප්පචිචි, බල්ලො කියන්නේ කිරි බීල වැඩෙන සත්තු ජාතියක් , ඒ හින්ද එයාට දෙන්න කිරි පැකට් එකක් ඕනා.....හීන් සීරුවේ මං එහෙම කියල දැම්මම අප්පච්චි හිනා වුනේ “හොඳා හොඳා ගෙනාව වගේම හදමුකෝ එහෙනං “ කියලයි..එහෙමයි බ්‍රවුන් අපේ ගෙදරට ආවේ.
**************************************************
පාවෙල් කොර්චාගීන්.ඔව් ඒකයි එයාගෙ නම...නිකොලොයි ඔස්ත්‍රොව්ස්කිගේ “වානේ පන්නරය ලැබූ හැටි“ පොතේ එන ප්‍රධාන චරිතය.එයා සමාජවාදියෙක්, සෝවියට් සංගමය වෙනුවෙන් දිවි දෙවනි කරලා කැපවුන සැබෑම කොමියුනිස්ට්වාදියෙක්. ඒ මට රුසියන් පොත් හොඳට අල්ලලා ගිය කාලේ. කොමියුනිස්ට්වාදීන් සෝවියට් සංගමය බිහිකරපු හැටි, යොවුන් තරුණ තරුණියෝ, කොමිසමෝල් (යොවුන් කොමියුනිස්ට් සංගම්) හරහා , හිමින් හිමින් ගොඩ නැගෙන තමන්ගෙ රට වෙනුවෙන් වැඩ කරපු හැටි මම කියෙව්වෙ හරිම ආසාවෙන්.රුසියාව තමයි ඒ කාලෙ ප්‍රියතම රට.ඉතිං ඒ ප්‍රියතම රට වෙනුවෙන් බ්‍රවුන්ට අලුතිං රුසියන් නමක් තියන්න මම තීරණය කරපු එක අරුමයක් නෙවෙයි.
**************************************************
“ව්ලැදිමීර් බ්‍රවුනොව්ස්කි“.නියම සෝවියට් ආරයට යන දිව පැටලවෙන සුලු ගරු ගාම්භීර නමක්.හැබැයි එකම එක පරහක් තිබුන. ඔය නමෙං බල්ලට අඬ ගහන එක පන යන වැඩක් වගේම ඔය නමට බල්ලා එන එකත් කෙරෙන්නැති දෙයක්.වාසනාවට රුසියාවෙන්ම මට ඒකට පිලිතුරක් දීල තිබුන. සාමාන්‍යෙයන් සෝවියට් දේශයේ උදවියට නං දෙකක් තියෙනවා.එකක් නියම නම, අනෙක හුරතලේට කියන එදිනෙදා පාවිච්චියට ගන්න නම. පාවෙල් කොර්චාගීන්ගේ හුරතල් නම “පාවුකා“  ඒ විදිහටම අපේ ව්ලැදිමීර් බ්‍රවුනොව්ස්කිගෙ හුරතල් නම “බ්‍රවුනා“  විදිහට තීන්දු උනා. නිල නිවේදනය නිකුත් කලාට පස්සේ හැමෝම බ්‍රවුන් වෙනුවට බ්‍රවුනා කියන නම පාවිච්චි කරන්න පටන් ගත්තා.ඒක උල්ලංඝනය වුනේ එකම එක්කෙනෙක් අතිං විතරයි. ගෙදර වැඩට හිටපු නැන්දට  “බ්‍රවුනා“ කියන එක උච්චාරණය කරන්න බෑ. එයා බ්‍රවුනට කන්න දෙද්දි අඬගැහුවෙ මේ විදිහට...  “බුරං..... බුරං...බුරං.....“
**************************************************
අපි හැමෝටම වගේ විනෝදාංශ තියෙනවා. බ්‍රවුනටත් තිබුනා..යටත් පිරිසෙයින් අපි එහෙම හිතුවා.උට තිබුනෙ ප්‍රධාන විනෝදාංශ දෙකයි.
1) මිනිස්සු පස්සේ කන්න එනවා වගේ බොරුවට එලවීම.
2) ගෙදරට එන උට අල්ලන්නැති උදවියට හපා කෑම.
පලවෙනි විනෝදාංශයට බ්‍රවුනා පාවිච්චි කලේ ළමයි ඉස්කෝලෙ යන, මිනිස්සු වැඩට යන උදේ කාලය සහ මිනිස්සු වැඩ ඇරිල එන හවස් කාලය. අපේ ගෙදර වත්ත තියෙන්නේ පාරට මුහුනලා ඒක බ්‍රවුනට හොඳ දඩබිමක්. වත්තේ කෙලවරට වෙලා පාර අයිනේ බ්‍රවුනා බලං ඉන්නවා උදේම ගිහිල්ලා. බයකරන්න සුදුසු කෙනෙක් එනකල්. ඊට පස්සේ ඒ කෙනා පස්සෙං වත්තෙ අනිත් කෙලවරට එනකල් එලවං යනවා. ඒ කෙලවරේ නතර වෙනවා. අයේ කවුරු හරි සුදුසු ගොදුරක් එනකල් බලං ඉන්නවා. පොඩි උං කකුල් කරේ තියන් දුවන එක, මිනිස්සු කකුල් සයිකලේ හැඬල් එකේ තියං කඩාගන බිඳ ගෙන යන එක උට සෑහෙන විනෝදයක් තියෙන්න ඇති.

දෙවනි විනෝදාංශය අපිට තේරුම් ගන්න ටික කාලයක් ගියා. ඌ හැමෝටම හැපුවෙ නෑ. තෝරාගත් කීපදෙනෙකුට විතරයි හැපුවේ. මනුස්සයෙක් ගෙදරට එනකොටම ඌ තීරණයක් ගන්නවා හපනවද නැද්ද කියලා. හපනව කියල තීරණය කලොත් ඌ බුරන්නෙ නැහැ. හිමීට සද්ද නැතිව ඉන්නවා. මිනිහෙකුට හපන්න උට හැමතිස්සෙම එක සාධාරණ හේතුවක් තිබුනා. ඒ ඌව ස්පර්ශ කිරීම. බ්‍රවුනව අතින් අල්ලන්න අවසර තිබුනේ ගෙදර උදවියටයි ළඟම හිතවතුන්ටයි පමණයි. ඌව කකුලින් ස්පර්ශ කරන්න අවසරේ තිබුනේ අප්පච්චිටයි මටයි විතරයි. ඒක උල්ලංඝනය කලා නං ඌ කෑවා.ඒක තමයි බ්‍රවුනගෙ ට්‍රික් එක. මිනිහෙකුට හපන්න ඕන නං ඌ ළඟට වෙලා බලං ඉන්නවා . කං කඩා වැටිලා හුරතල් පාටට කුරු බල්ලෙක් ලඟට ආපුවාම කාටද අල්ලලා හුරතල් කරන්න හිතෙන්නැත්තේ (ගෙදරට එද්දි බිරුවෙත් නෑනේ). “අනේ බ්‍රවුන් “ කියලා ඌව අල්ලපු ගමන් ඌ කෑවා.සමහර උදවිය ඒත් බල්ලව අල්ලන්නෑ. එතකොට බ්‍රවුනා කරන්නේ ඒ කෙනාගෙ පුටුවට හුඟාක් ළංවෙලා එයාගෙ කකුල් වලට ගෑවෙන නොගෑවෙන හරියෙන් බුදියගන්නවා. මනුස්සයා නැගිටලා යද්දි අනිවාර්යෙන් බල්ලගෙ ඇඟේ කකුල වදිනවනේ. එතකොට උඩ කියපු සාධාරණ හේතුව පෙන්නල් බ්‍රවුන ඒ කෙනාව හපා කනවා. අපි බ්‍රවුනගෙ ට්‍රික් එක තේරුම් ගත්තට පස්සේ එන අයට ඒ ගැන කියලා අනතුරු අඟවනවා. එකම එක දවසක් බ්‍රවුනගෙ ට්‍රික්ස් මුකුත් හරිගියේ නැහැ. එදා ඌ කලේ ඈත ඉඳලා දුවං ඇවිල්ලා හයියෙන් ඇඟේ හැප්පිලා කාපු එක.බ්‍රවුනා කාපු අය අතරෙ මගේ අක්කගෙ පොඩි පුතත් හිටියා.
**************************************************
බල්ලො කියන්නේ හුඟක් කපටි ජාතියක්. කවුරුහරි එහෙම නෑ කියනවනං එයාට වැරදිලා, එයා බල්ලො ගැන දන්නෑ හරියට.එක දවසක් අල්ලපු ගෙදර ගෑනු කෙනා එහා ගෙදර ගෑනු කෙනාටයි එයාගෙ බල්ලටයි බනිනවා ඇහෙනවා එක සීරුවට.
නිමිත්ත : අල්ලපු ගෙදර කුකුල් කොටුවෙන් කුකුලෙකු පැහැරගෙන මරා කා ඇත.
අල්ලපු ගෙදර කතගේ නිරීක්ෂනය  : එහා ගෙදර බලු කොටුව ළඟ කුකුල් පිහාටු ගොඩකි.
අක්කාගේ නිරීක්ෂය : එහා ගෙදර බල්ලා කොටුවට දමා ලොක් කර ඇත. 
අක්කාගේ හා මගේ නිරීක්ෂනය : බ්‍රවුනා කුස්සිය අස්සේ සිටී, උගේ කට වටේ කුකුලන්ට අයත් සියුම් පිහාටු ගොන්නකි. ඌ කටුවක් හපමින් සිටී.
නිගමනය : බ්‍රවුනා එහා ගෙදරින් කුකුලෙකු අල්ලාගෙන මෙහා ගෙදර බලුකොටුව අසලට වී කුකුලා කා දමා  ඇත.
ඔය එක සිද්දියක් විතරයි.
**************************************************
 ගොඩක් බල්ලො තමන්ගෙ හාම්පුතාලට හරිම ආදරෙයි. අපි කොහේ හරි ගමනක් ගියාම බ්‍රවුනා අපි එනකල්ගේට්ටුව ගාව බලන් ඉන්නවා. ආපුවාම ඇඟට පැනලා ලෙවකාල කෑගහලා බුර බුරා වටේ නට නටා එකම විකාරයක් කරනවා.ගොඩක් පරක්කු වුනොත් පාරටම ඇවිත් බලං ඉන්නවා. ඈතින් වාහනේ එනකොට නලල රැලි කරං බලං ඉන්නවා හරියටම අඳුනගන්නකල්.හරියටම අඳුනගත්තම උගෙ මූන වෙනස් වෙනවා..මං හිතන්නේ ඒ බල්ලො හිනා වෙන හැටි වෙන්න ඇති. ඊට පස්සේ උට ඉවසිල්ලක් නෑ අපි බහිනකල්...
***************************************************
බ්‍රවුනා අපිත් එක්ක ගොඩ කාලයක් හිටියා. අපිට පුදුම විදිහට සමීප වුනා.අප්පච්චි පුරුද්දට වගේ හැමදාම පාන්දර හතරට නැගිටපුවාම බ්‍රවුන එනව තේ ඉල්ලගන. දොර වහල තිබ්බොත් දොරට හොම්බෙන් ඇන ඇන කෙඳිරිගානවා, දොර ඇරියම කුස්සිය ඇතුලට ඇවිල්ලා තේ එක හම්බවෙනකල් බඩගිනි බව පෙන්නන්න බොරුවට ඈනුම් යවනවා.අපි කාපු බීපුවගෙන් ඌ නොකෑවෙ අන්නාසි විතරයි. දෙහි යුෂ පවා බොන්න බ්‍රවුනා පුරුදු වෙලා හිටියා.
***************************************************
ඒ කාලෙ එනකොට මම උසස් අධ්‍යාපනය හමාර කරන්න අන්තිම කොටස වෙච්චි ක්ෂේත්‍ර පුහුණු වැඩ සටහනට කොළඹ ඇවිල්ලා හිටියේ, ආධුනික පරිගණක ක්‍රමලේඛ ශිල්පියෙක් විදිහට වැඩ කරන්න. හැමදාම හැන්දෑවට ගෙදරට කතාකරනවා කරදරයක් නැතිව හොඳින් ඉන්නවා කියන්න. එක හැන්දෑවක ගෙදරට කතා කරද්දි අක්කගෙ ස්වරයෙ තිබුනෙ අමුත්තක්.ඒ අමුතු ස්වරයෙන් “බ්‍රවුන නැති වුනා“ චූටි මල්ලි කියල අක්කා කිව්වාම මට දැනුනේ අමුතු හැඟීමක්.බල්ලෙක්ගෙ මරණය මිනිහෙකුට දුකක් ඇති කරන්න පුලුවන්ද ? මං හිතන්නෙ පුලුවන්.ඊළඟ සති අන්තෙ මම ගෙදර යනකොට ගේට්ටුව ගාවට නට නටා දුවං එන්න බ්‍රවුනා හිටියෙ නෑ. බ්‍රවුනා නැති වුනා කියලා ..... ඉකි ගහ ගහ අඬපු අක්කගෙ පොඩි එකා මාව බදාගද්දි , කාලෙකට කලින් බ්‍රවුනාම හපල ඇති වෙච්චි තුවාල කැලල පොඩි එකාගෙ වලලුකරේ තියනවා මම දැක්කා.
***************************************************
බ්‍රවුනාගෙ මරණයෙන් මේ වෙනකොට සෑහෙන කාලයක් ගෙවිල ගිහිල්ලා, ඒත් අපි ඉඳල හිටල තාමත් බ්‍රවුනා ගැන කතාකරනවා.ගෙදර ඉන්න බල්ලා මොකක් හරි ගොං වැඩක් කරපුවාම , “බ්‍රවුන හිටියනං ඔහොම කරන්නෑ“ කියන එක පවුලෙ කාගේ හරි කෙනෙක්ගෙ කටින් කියවෙනවා. 

අපි ආදරය කරපු උදවිය අපි අතරින් වෙන් වෙලා ගියාම අපි එයාලව අමතක කරන්නෑ, එයාල ගැන නිතරම කතා නොකලත් ඒ එය වෙනුවෙන් හිතේ පුංචි ඉඩක් තියාගන ඉන්නවා. අපි තනියම ඉද්දි එයාලත් එක්ක කරපු කියපු දේවල් මතක් වෙලා අපිට හිනා යනවා, ඇස්වලට කඳුලු එනවා, එහෙමයි අපි වෙන්වෙලා ගියපු සහෘදයන්ව මතක තියාගන ඉන්නේ.මම හිතන්නේ අපේ පවුලෙ උදවියටත් මරණය තෙක් බ්‍රවුනාව අමතක නොවේවි....
බ්‍රවුනා , අක්කාගෙ ලොකු පුතාත් සමඟ


2011 ජූනි මාසයේ මියගිය බ්‍රවුනාගේ මතකය වෙනුවෙනි...............

Read More...
.