Sunday, June 9, 2013

සිත් ඇදගත් මාලා නාටක (මම බලන ටීවී සීරීස්) 2

Leave a Comment

පහුගිය ලිපියෙන් The Mentalist සහ Game of Thrones ගැන ලියවුනා. අද ලිපියෙන් ලියන්න බලාපොරොත්තු වෙන්නේ බාගත කරගෙන නැරඹුවාට පාඩු නැති තවත් මාලා නාටක ද්විත්වයක් ගැනයි.

 3.Terra Nova  (ටෙරා නෝවා)

ඊ.ටී (E.T. the Extra-Terrestrial) , ජුරාසික් පාක් (Jurassic Park) , ෂින්ඩර්ස් ලිස්ට් (Schindler's List) වගේ සිනමා පට බිහිකරපු ස්ටීවන් ස්පීල්බර්ග් මතකද ? ඔහුගේ දායකත්වයෙන් ගොඩනැගුන අපූරු තේමාවක් රැගත් ටීවී සීරීස් එකක් විදිහට ටෙරා නෝවා හඳුන්වන්න පුලුවන්. 
විශිෂ්ඨ සිනමා නිර්මාණ කරු - ස්ටීවන් ස්පීල්බර්ග් මහතා

සාරාංශගතව කතා මාලාවේ ගලායාම ගැන කිව්වොත්, ඒ වරෂ 2149 යි, අධික ජනගහණය සහ කාර්මීකරණය නිසා පෘථිවිය කෙමෙන් කෙමෙන් මිනිස් වාසයට නුසුදුසු තත්වයට පත්වෙමින් පවතිනවා. මේ අතර විද්‍යාඥයින් සොයාගන්නවා අලුත්ම විසඳුමක්. ඒ සමාන්තර කාලරාමුවක පෘථිවියේ අතීතයට මිනිසුන් සහ භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ ක්‍රමයක්. ඒ තුලින් ඔවුන් තෝරාගත් පිරිස් යවනවා එම සමාන්තර කාලරාමුවේ පෘථිවියේ ක්‍රිටේෂියස් අවධියට ( Cretaceous ). කතාවෙ මතුපිටින් බැලූ බැල්මට පෙනෙන්නේ ඔවුන්ගේ ප්‍රධාන අභිප්‍රාය වන්නේ මිනිසුන්ට ජීවත් වීමට සුදුසු කොලනියක් එම යුගයේ තනා මනුශ්‍ය වර්ගයාගේ අනාගතය සුරක්ෂිත කිරීමට බවයි. නමුත් කතාව ගලාගන යද්දී ප්‍රධාන අරමුණ එය නොවන බවත් එහි සැඟවුන අභිප්‍රායක් තිබෙනව බවත් පෙනීයනවා. ඉතින් මේ අතීතයට යන උදවිය අතර සිටින ෂැනොන් පවුල වටා තමයි කතාව ගෙතෙන්නේ. 

 
ටෙරා නෝවා පූර්ව ප්‍රචාරක පටයක්
 
අලුතින් කොලනිය ගොඩනගන්නට යන අය මුහුණ දෙන අභියෝග බොහොමයි. ක්‍රිටේෂියස් යුගය කියන්නේ ඩයිනෝසරයන්ගේ ස්වර්ණමය යුගය. ඉතින් මුහුණ දෙන අභියෝග අතරට පරිසර සාධක වගේම වෙනමම න්‍යායපත්‍ර වෙනුවෙන් එවුන උදවියත් අයත් වෙනවා.
අවාසනාවට පළවෙනි සීසන් එකෙන් පසුව මෙම කතාමාලාව විකාශය අත්හිටවුනා. Fox ආයතනය එය තවදුරටත් නිෂ්පාදනය නොකිරීමට තීරණය කර තිබෙනවා. බොහෝ දුරට ඒ අධික නිෂ්පාදනය වියදම සහ Fox ආයතනය මහා පරිමාණයේ Sci-fi නිර්මාණ තීරණය කිරීමත් එයට හේතු වන්නට ඇති. දෙවන කොටස වෙනත් නාලිකාවක් ආශ්‍රයෙන් විකාශය කිරීමට බලාපොරොත්තුවන බව නිර්මාණ කන්ඩායම පවසා ඒ සඳහා නිශ්චිත දිනයක් ඔවුන් ප්‍රකාශට පත්කර නැහැ. ඒ වගේම එම දෙවනි කතාමාලාව පළමු කතාමාලාවට වඩා අඩු නිශ්පාදනය වියදමකින් කිරීමටත් ඔවුන් තීරණය කරලා.

4. රෙවොලූෂන් Revolution

පළවෙනි සීසන් එක මේ වෙනකොට විකාශය වී හමාරයි.  බොහෝ විට මෙය කියවන ඔබත් මෙය නරඹන්නට ඇති. මෙයත් Sci-Fi ගනයට අයත් වන කතාමාලාවක්. එක් වරම ලෝකයේ විදුලි බලය ඇණ හිට, ඒ වගේම සියලු යන්ත්‍ර සූත්‍ර ක්‍රියා නොකරන තත්වයට පත්වූවොත් කුමක් වේවිද ? අන්න ඒ ගැනයි මේ කතාව. මිනිත්තු කීපයක් ඇතුලත නවීන ලෝකය කරත්ත, පැරණි තුවක්කු ආදිය භාවිතා කරන තත්වයට පත්වෙනවා. රටවල් කඩා වැටෙනවා , ජන ජීවිතය අවුල් වෙනවා. මුලු ලෝකයම අවුල් ජාලාවක් බවට පත්වෙනවා. ඇමරිකාව රටවල් කීපයකට කැඩී යනවා. බොහෝ දෙනෙකු මෙයට හේතුව දන්නේ නැහැ.නමුත් කතාමාලාව ගලායාමේදී නරඹන්නන්ට තේරුම් යනවා මෙයට හේතුවත් අනවශ්‍ය මිනිස් ක්‍රියාකාරකමක් බව.

 රෙවොලූෂන් පූර්ව ප්‍රාචාරක පටයක්

මෙයින් එහාට මේ ගැන විස්තර කිරීමට තීර්ථ යාත්‍රිකයා බලාපොරොත්තු වන්නේ නැහැ. නමුත් බොහෝම රසවත් කතාවක්. භාගත කරගෙන බැලුවාට ඔබට පාඩුවක් නෙවේවි......


 


Read More...

Tuesday, June 4, 2013

හැක් වීම Being Hacked

4 comments

“අනේ අයියෙ මටත් කියල දෙන්නකො  facebook හැක් කරන හැටි“. ඔය වාක්‍ය ඛණ්ඩය තීර්ථ යාත්‍රිකයට කාලෙකට කලින් සෑහෙන්ඩ අහන්න ලැබිච්චි දෙයක්. ඒකට ප්‍රධාන හේතුව එක දවසක් තීර්ථ යාත්‍රිකයගේ ඥාති සහෝදරයෙක් කරපු අභියෝගයකට පිළිතුරු හැටියට ඔහුගේ ෆේස්බුක් ගිණුමේ තිබුන ප්‍රොෆයිල් ඡායාරූපය වෙනුවට තටු හැලිච්චි පැස්බරෙකුගේ ෆොටෝ එකක් ආදේශ කිරීමත් සමඟයි.

“මගේ එකවුන්ට් එක හැක් වෙලා..,මගෙ එකවුන්ට් එක හැක් කරලා“.. මේවා කොයි කාලෙත් අඩු නැතිව අහන්න ලබෙන දේවල්. කොච්චර අලුත් ආරක්ෂන විදි ආවත්, කොච්චර දැනුවත් කිරීම් වුනත් මේ දේ වැඩියක් මිසක් අඩුවක් නම් නැහැ. කිසිම පරිගණක පද්ධතියක් සියයට සියයක් ආරක්ෂිත නැහැ. ඒක ආයෙ ඉර හඳ වගේ සහතික දෙයක්. පරිගණක පද්ධති සියයට සියයක් ආරක්ෂිත නොවෙන්න විවිදාකාර හේතු තියනවා. ඉන් ප්‍රධානම එකක් වෙන්නේ පාවිච්චි කරන්නා අතින් වෙන අතපසු වීම්. ආරක්ෂිත ප්‍රොටොකෝල යොදල දත්ත එන්ක්‍රිප්ට් කරලා, පාස්වරඩ් හෑෂ් කරල ඒ මදිවට සෝල්ට් කරල, බග්ස් උපරිම අඩු සිස්ටම් එකක් හැදුවත් වැඩක් නෑ පාවිච්චි කරන පුද්ගලයා අතින් යම් අතපසු වීමක් වුනොත්.

පොඩ්ඩක් හොයලා බලපුවාම හැම අවුරුද්දෙම වගේ යම් ප්‍රතිශතයක් භාවිතා කරන්න එපාම කියල තරයේ අවවාද කරල තියන අනාරක්ෂිත රහස්පද ඔහේ භාවිතා කරලා තියනවා.වසරේ අනාරක්ෂිතම මුරපද ලයිස්තු කියල අන්තර්ජාලයේ බලපුවාම හැම අවුරුද්දෙම එකම මුරපද නැවත නැවත භාවිතා වෙලා තියනවා.ඒ වගේම Lulzec වගේ කට්ටිය නිදහස්කරපු ඩේටා බේස් ඩම්ප් බලපුවාම ,පරිශීලකයො භාවිතා කරපු අනාරක්ෂිත මුරපද ටොන් ගනං හොයාගන්න පුලුවන්. මේ දේ වලක්වන්න බෑ පොඩි උන් ලොකු වෙනවා කියන එක නවත්තනකල් (:D) .  මැටි මුරපද භාවිතා කරලා පාඩම් ඉගන ගෙන හරි , එහෙම නැත්තං දැනුවත් වෙලා හරි ආරක්ෂිත උපක්‍රම ඉගන ගෙන එක කාණ්ඩයක් අන්තරාදායක සීමාවෙන් එළියට යද්දි ඒ අඩුව පුරවන්න තව නොදැනුවත් කාණ්ඩයක් එකතු වෙනවා හරියට චක්‍රයක් වගේ...

මෘදුකාංගයක් ලියද්දි තියන හැම කේස් එකක්ම පරීක්ෂා කෙරෙන්නෙ නෑ. ප්‍රධානම හේතුවක් තමයි වෙන්න පුලුවන් සියලුම සිද්දි 100%ක්ම හොයාගැනීම අපහසු වීම. අනිත් දේ තමයි මූල්‍යමය සාධකය. තියන හැම කේස් එකක්ම සියයට සියයක් හොයන්න යනවා කියන්නේ කාලය ගතවෙන වැඩක් ඒ නිසා මෘදුකාංගයේ වියදම ඉහල යනවා. ගොඩක් වෙලාවට පරීක්ෂා කරලා භාවිතයට යොදවලා කාලයක් යනතුරුත් විවිදාකාර බග්ස් මතු වීම සහ ඒවාට පිළියම් යෙදීම සිද්ද වෙනවා. අන්න ඒ කාලෙ ඇතුලෙ ඒ බග්ස් ෆික්ස් කරන්න කලින් ඒවා හොයාගන්න උදවියට පුලුවන් සිස්ටම් එකට සිස්ටම් එක සම්පූර්ණයෙන් බිඳ වැට්ටවීමේ සිට විවිදාකාර විනෝදාස්වාදයන් ලබාදෙන්න. ඕනම මෘදුකාංගයක මයිල්ස්ටෝන් සහ වර්ෂන් වල ඉතිහාසය බලපුවාම අහවල් බග් එක හැදුවාය..අහවල් බග් එක හැදුවාය කියලා පෝලිමට දකින්න පුලුවන්.ඒ නිසා බග්ස් කියන දේවල් මෘදුකංගවල තියන බොහොම සාමාන්‍ය දේවල්.

අපි ගොඩ දෙනෙක් මෘදුකාංගයක් ලියද්දි සියයට සියයක්ම අපිම කේතයන් ලියන්නෙ නැහැ.ගොඩක් වෙලාවට කරන්නේ මොකක් හරි පාදමක් උඩ ඉඳගෙන වෙන වෙන අය ලියපු කෝඩ්ස්, ප්ලගින්, කොම්පොනන්ට් ආදිය එකට අමුනලා අපිට ඕන කරන වැඩේ වෙන්ඩ හදන එක. රෝදෙ කියන දේ නැවත නැවත නිපදවනවාට වඩා හදලා තියන රෝදයක් පාවිච්චි කරන එක වෙලාවේ ඉතුරුවක්. හැබැයි ඔය රෝද අතරේ පැච් ගිය ඇද වෙච්චි රෝද තියෙන්නත් පුලුවන්, පදින්න ගත්තාම වැටෙන විදිහට උවමනාවෙන්ම හදපු රෝද තියෙන්නත් පුලුවන්. ඒ හින්දා පිනට දෙන ප්ලගින් එකක් හරි කොහෙ හරි තියෙන කෝඩ් එකක් හරි සිස්ටම් එකට අමුනන්න කලින් ඒකෙන් වෙන දේ හොඳට බලන එක ඇඟට ගුණයි.නැතිනම් පසුවට දාහක් ප්‍රශ්න මතුවෙන්නට පුලුවන්.

එදා සිටම අද දක්වාම පරිගණක පද්ධති අස්සට රිංගන්නට භාවිතා කරන ජනප්‍රියම වගේම වඩාත් සාර්ථකම ක්‍රමයක් තමයි සෝෂියල් ඉන්ජිනියරින්. මනුස්සයෙක් එක්ක කතාකරලා එයා නොදැනුවත්වම තමන්ට අවශ්‍ය සංවේදී දත්ත එයාගෙන් ලබාගන්න එයාව මැනිපියුලේට් කරන එකත් එක්තරා ආකාරයක කලාවක්. තීර්ථ යාත්‍රිකයගෙ පුද්ගලික අත්දැකීම් ගැන කියනවා නම් ඉගන ගන්න දවස්වල කීපවතාවක්ම විවිදාකාර සෝෂල් ඉන්ජිනියරිං ක්‍රම භාවිතාකරලා සාර්ථක ප්‍රථිපල ලබාගන්න තීර්ථ යාත්‍රිකයාත් සමත් වෙලා තිබෙනවා.  අද ලෝකයේ සිද්ද වෙන අනවසර පිවිසීම් වලින් ගොඩාක්ම සිදුකරන්නට උපකාර කරගන්නේ මේ කියන සෝෂල් ඉන්ජිනියරිං.ඒකට හේතුව සියලු ආරක්ෂක පද්ධති බිඳ හෙලලා පරිගණක පද්ධතියකට ඇතුලු වෙන එක කරන්නට පුලුවන් ඒ පිළිඹඳ ප්‍රවීන දැනුමත් තියන දක්ෂයන්ට පමණක් වීම නිසා සහ සෝෂල් ඉන්ජිනියරින් හරියට කරගත්තොත් වැඩේ හුඟක් ලෙහෙසි නිසා. දොරක අගුල පන්නනවට වඩා යතුර හොරකං කරං දොර ඇරගන්න එක ලේසියිනේ.

පරිගණක භාවිතය ලේසියි. පරිගණක භාවිතයෙන් ගොඩක් දේවල් මේසෙ ගාව ඉඳලම කරගන්න පුලුවන්. ඒ වගේම ප්‍රවේසම් නොවුනොත් ආයෙ හදන්න බැරි අවුලක් වෙන්නත් පුලුවන්. ඒ නිසා පරිගණක භාවිතා කරන විට කරන්නන් වාගේ නොකර අවබෝධයෙන් යමක් කරන්න ඕන. ඒ වගේම යම් දෙයක් කරද්දි ඇයි ඒක කරන්නේ කියන දේ පිළිඹඳ දැනගෙන ඉන්න එකත් හොඳ දෙයක්.නිතර දෙවේලෙ තිබෙන මෘදුකාංග යාවත්කාලීන කරගැනීම, භාවිතා කරන මෘදුකාංගවල සැකසුම් පිළිඹඳ හොඳ අවබෝධයක් තිබීම, අහුවෙන අහුවෙන හැම මෘදුකාංගෙම පරිගණකයේ ස්ථාපනය නොකිරීම වගේ දේවල් හොඳ පුරුදු.පරිගණක සහ අන්තර්ජාලය පිළිඹඳ තිබෙන දැනුම වැඩිකරගැනීම වගේම යමක් කරද්දි හොඳට මොලේ කල්පනා කරලා වැඩ කිරීමෙනුත් තමනුත් තමන්ගේ තිබෙන පුද්ගලික දත්තත් ආරක්ෂා කරගෙන “අනේ මම හැක් වුනා“ වගේ දේවල් තව දුරටත් නොකියා ඉන්නට කෙනෙකුට හැකියාව ලැබෙනවා.

මේක ක්‍රමානුකූලව ලියවුන ලිපියක් නෙවෙයි. ඔහේ හිතට ආපු කරණු ටිකක් ගලපලා ලියපු එකක්. ඒ නිසා අපිලිවෙලයි අපිලිවෙලයි වගේ නම් ඒ කමා කරන්ට ඕන. :D....
Read More...

සිත් ඇදගත් මාලා නාටක (මම බලන ටීවී සීරීස්)

5 comments
  1. The Mentalist 
 තීර්ථ යාත්‍රිකයා නරඹා ඇති මාලා නාටක අතුරින් විශිෂ්ඨම මාලා නාටකයක් ලෙස The Mentalist හැඳින්විය හැකියි. මේ දක්වා මාලා 5 ක් විකාශය වී අවසන් . කතා මාලාවේ ගලා යාම ගැන සඳහනක් කලොත්, CBI (California Bureau of Investigation) යන කැලිෆෝනියාව පදනම් කරගත් විමර්ශන අංශයට විවිධ අපරාධ විසඳීමට උපකාර කරන පැට්‍රික් ජේන් (Patrick Jane) නම් ස්වාධීන උපදේශකයෙකු වටායි කතාව ගෙතෙන්නේ. ඔහු මිනිසුන්ගේ හැසිරීම් රටා නිරීක්ෂනය කොට ඒ ඇසුරින් තොරතුරු උකහා ගැනීමේ සමතෙක්. එමෙන්ම විවිධ ඇස්බැන්ඳුම්, මෝහනය කිරීම් සහ මිනිසුන් මැනිපියුලේට් කිරීමේ දක්ෂයෙක්. ඔහුත් සමඟ CBI ඒජන්තයන් 4 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සිටිනවා. පැට්‍රික් ජේන් ((Patrick Jane) සාමාන්‍ය අපරාධ විසඳන අතරතුරේදී ඔහුගේ බිරිඳ සහ දියණියත් ඇතුලු තවත් මිනිසුන් ගණනාවක් ඝාතනය කල Red John නමැති සට කපට සීරියල් කිලර් අල්වාගැනීමේ උත්සාහයක නිරත වීම කතා මාලාව පුරාම විසිරී යනවා.  කතා රචකයා මෙම Red John නැමති මිනීමරුවා නිර්මාණය කල ඇති අපූරුවමය ස්වභාවය නිසා එම චරිතය අන්තර්ජාලය තුල බෙහෙවින්ම කතාබහට ලක්වුනා. Who is the Red John  ෆෝරම් අඩවියක්ද නිර්මාණය වී තිබෙන්නේ ඔහු කවුරුදැයි යනුවෙන් කතාබහට ලක්කිරීමටයි. කතා මාලාව පුරාවටම Red John චරිතය ප්‍රේක්ෂකයාට නිරාවරණය වන්නේ නැහැ. අධ්‍යක්ෂකට අනුව මීළඟට විකාශය වීමට නියමිත 6වන  කතාමාලාවේදී Red John ගේ අනන්‍යතාවය නිරාවරණය වනවා. ඒ සමඟම කතාමාලාව අවසන් වනවාද නැතිද යන්න ඔහු ප්‍රකාශ කොට නැහැ.

මේ තිබෙන්නේ Red John ගේ සංකේතයයි. ඔහු මනුෂ්‍ය ඝාතනයක් කල විට ඝාතකයා ඔහු බව ලෝකයට සැල කර සිටීමට ඝාතනය වූ පුද්ගලයාගේ රුධිරයෙන් මෙම සංකේතය අඳිනු ලබයි. ගංගොඩවිල විජේරාම පටුමගේ තාප්පයකත් මෙම සංකේතය ඇඳ තිබෙනු තීර්ථ යාත්‍රිකයා දැක තිබෙනවා :D . The Mentalist හි නිරුවත් දර්ශන අඩංගු නැති අතර අසභ්‍ය වචන භාවිතයද නොසැලකිය හැකි තරම් අඩු තත්වයක පවතිනවා.

2. Game of Thrones


පැරණි යුගයට අයත් කතාවක් ලෙස ගලා යන Game of Thrones ලොව පුරා අතිශය ජනප්‍රිය වුනා. මේ වන විට කොටස් දහය බැගින් වූ මාලා දෙකක් විකාශය අවසන් වී ඇති අතර වර්තමානයේ තෙවන කතා මාලාව විකාශය වෙනවා. තොරතුරු වලට අනුව 2014 දී සතරවන මාලාවද විකාශය වීමට නියමිතයි.  Game of Thrones නිර්මාණය කර ඇත්තේ A Song of Ice and Fire ලෙසින් නම් කොට ඇති ෆැන්ටසි නවකතා මාලාවක් ආශ්‍රයෙනුයි. බලකාමී රදල පවුල් ඔවුන්ගේ බලය රැක ගැනීමට සහ වර්ධනය කරගැනීමට ගන්නා විවිධ උපක්‍රම, ඔවුන්ගේ බලලෝභය හමුවේ අසරණ වන පීඩිතයන්, යුද්ධ සහ ලේ වැගිරීම් මේ කතා මාලාව පුරාම විසිරී පවතිනවා.


තෙවන කතා මාලාව නිකුත් වීමට ආසන්නයේ Game of Thrones පිළිඹඳ උනන්දුව උන්මාදයක් මෙන් පැතිරුනා. ඉහලින් දැක්වෙන්නේ ඒ කාලයේ නිර්මාණශීලී ලාංකිකයෙකු අතින් බිහිවූ නිර්මාණයක්. මෙය උපුටාගත්තේ ෆේස්බුක් අඩවියෙන්.නිර්මාණකරු පිළිඹඳ සඳහනක් තීර්ථ යාත්‍රිකයා සතුව නැහැ.එම නිසා නිර්මාණකරු සම්බන්ධ ලින්ක් එකක් ලබා දුනහොත් එය පලකරීමට තීර්ථ යාත්‍රිකයා මැලි වෙන්නේ නැහැ.

Game of Thrones හි කැපුම් කෙටුම් වද හිංසා ආදිය බහුලව තිබෙනවා. එමෙන්ම හිස් ගසා දැමීම්, කැපීම් කෙටීම් ආදිය අතිශය තාත්වික අන්දමට නිරූපණය කර තිබෙනවා.එම නිසා එවැනි දර්ශන බැලීමට අපහසුනම් Game of Thrones ඔබ සඳහා නොවෙයි. මෙහි නිරුවත් ලිංගික දර්ශනද රාශියක් අඩංගු බව හොඳින් මතකයේ තබාගත යුතු බව තීර්ථ යාත්‍රිකයා නිර්දේශ කරනවා.

මේ පිළිඹඳ කොටස් කිහිපයකින් ලිවීමට අදහස් කරන නිසා ඉතිරිය පසුවට........

Read More...
.