Tuesday, July 2, 2013

බ්‍රවුනා මිය ගියේය......

16 comments
හාපෝ මේ මොකෙද්ද ? . අප්පච්චි එහෙම ඇහැව්වේ බයිසිකලේ ඉස්සරහ හයි කරලා තිබ්බ කූඩෙට එබිල බලලා. “මේ ඇවිල්ලා බල්ලෙක්, ඉංග්‍රීසියෙන් කියන්නේ ඩෝග් කියලා.නම බ්‍රවුන්..“අප්පචිචි, බල්ලො කියන්නේ කිරි බීල වැඩෙන සත්තු ජාතියක් , ඒ හින්ද එයාට දෙන්න කිරි පැකට් එකක් ඕනා.....හීන් සීරුවේ මං එහෙම කියල දැම්මම අප්පච්චි හිනා වුනේ “හොඳා හොඳා ගෙනාව වගේම හදමුකෝ එහෙනං “ කියලයි..එහෙමයි බ්‍රවුන් අපේ ගෙදරට ආවේ.
**************************************************
පාවෙල් කොර්චාගීන්.ඔව් ඒකයි එයාගෙ නම...නිකොලොයි ඔස්ත්‍රොව්ස්කිගේ “වානේ පන්නරය ලැබූ හැටි“ පොතේ එන ප්‍රධාන චරිතය.එයා සමාජවාදියෙක්, සෝවියට් සංගමය වෙනුවෙන් දිවි දෙවනි කරලා කැපවුන සැබෑම කොමියුනිස්ට්වාදියෙක්. ඒ මට රුසියන් පොත් හොඳට අල්ලලා ගිය කාලේ. කොමියුනිස්ට්වාදීන් සෝවියට් සංගමය බිහිකරපු හැටි, යොවුන් තරුණ තරුණියෝ, කොමිසමෝල් (යොවුන් කොමියුනිස්ට් සංගම්) හරහා , හිමින් හිමින් ගොඩ නැගෙන තමන්ගෙ රට වෙනුවෙන් වැඩ කරපු හැටි මම කියෙව්වෙ හරිම ආසාවෙන්.රුසියාව තමයි ඒ කාලෙ ප්‍රියතම රට.ඉතිං ඒ ප්‍රියතම රට වෙනුවෙන් බ්‍රවුන්ට අලුතිං රුසියන් නමක් තියන්න මම තීරණය කරපු එක අරුමයක් නෙවෙයි.
**************************************************
“ව්ලැදිමීර් බ්‍රවුනොව්ස්කි“.නියම සෝවියට් ආරයට යන දිව පැටලවෙන සුලු ගරු ගාම්භීර නමක්.හැබැයි එකම එක පරහක් තිබුන. ඔය නමෙං බල්ලට අඬ ගහන එක පන යන වැඩක් වගේම ඔය නමට බල්ලා එන එකත් කෙරෙන්නැති දෙයක්.වාසනාවට රුසියාවෙන්ම මට ඒකට පිලිතුරක් දීල තිබුන. සාමාන්‍යෙයන් සෝවියට් දේශයේ උදවියට නං දෙකක් තියෙනවා.එකක් නියම නම, අනෙක හුරතලේට කියන එදිනෙදා පාවිච්චියට ගන්න නම. පාවෙල් කොර්චාගීන්ගේ හුරතල් නම “පාවුකා“  ඒ විදිහටම අපේ ව්ලැදිමීර් බ්‍රවුනොව්ස්කිගෙ හුරතල් නම “බ්‍රවුනා“  විදිහට තීන්දු උනා. නිල නිවේදනය නිකුත් කලාට පස්සේ හැමෝම බ්‍රවුන් වෙනුවට බ්‍රවුනා කියන නම පාවිච්චි කරන්න පටන් ගත්තා.ඒක උල්ලංඝනය වුනේ එකම එක්කෙනෙක් අතිං විතරයි. ගෙදර වැඩට හිටපු නැන්දට  “බ්‍රවුනා“ කියන එක උච්චාරණය කරන්න බෑ. එයා බ්‍රවුනට කන්න දෙද්දි අඬගැහුවෙ මේ විදිහට...  “බුරං..... බුරං...බුරං.....“
**************************************************
අපි හැමෝටම වගේ විනෝදාංශ තියෙනවා. බ්‍රවුනටත් තිබුනා..යටත් පිරිසෙයින් අපි එහෙම හිතුවා.උට තිබුනෙ ප්‍රධාන විනෝදාංශ දෙකයි.
1) මිනිස්සු පස්සේ කන්න එනවා වගේ බොරුවට එලවීම.
2) ගෙදරට එන උට අල්ලන්නැති උදවියට හපා කෑම.
පලවෙනි විනෝදාංශයට බ්‍රවුනා පාවිච්චි කලේ ළමයි ඉස්කෝලෙ යන, මිනිස්සු වැඩට යන උදේ කාලය සහ මිනිස්සු වැඩ ඇරිල එන හවස් කාලය. අපේ ගෙදර වත්ත තියෙන්නේ පාරට මුහුනලා ඒක බ්‍රවුනට හොඳ දඩබිමක්. වත්තේ කෙලවරට වෙලා පාර අයිනේ බ්‍රවුනා බලං ඉන්නවා උදේම ගිහිල්ලා. බයකරන්න සුදුසු කෙනෙක් එනකල්. ඊට පස්සේ ඒ කෙනා පස්සෙං වත්තෙ අනිත් කෙලවරට එනකල් එලවං යනවා. ඒ කෙලවරේ නතර වෙනවා. අයේ කවුරු හරි සුදුසු ගොදුරක් එනකල් බලං ඉන්නවා. පොඩි උං කකුල් කරේ තියන් දුවන එක, මිනිස්සු කකුල් සයිකලේ හැඬල් එකේ තියං කඩාගන බිඳ ගෙන යන එක උට සෑහෙන විනෝදයක් තියෙන්න ඇති.

දෙවනි විනෝදාංශය අපිට තේරුම් ගන්න ටික කාලයක් ගියා. ඌ හැමෝටම හැපුවෙ නෑ. තෝරාගත් කීපදෙනෙකුට විතරයි හැපුවේ. මනුස්සයෙක් ගෙදරට එනකොටම ඌ තීරණයක් ගන්නවා හපනවද නැද්ද කියලා. හපනව කියල තීරණය කලොත් ඌ බුරන්නෙ නැහැ. හිමීට සද්ද නැතිව ඉන්නවා. මිනිහෙකුට හපන්න උට හැමතිස්සෙම එක සාධාරණ හේතුවක් තිබුනා. ඒ ඌව ස්පර්ශ කිරීම. බ්‍රවුනව අතින් අල්ලන්න අවසර තිබුනේ ගෙදර උදවියටයි ළඟම හිතවතුන්ටයි පමණයි. ඌව කකුලින් ස්පර්ශ කරන්න අවසරේ තිබුනේ අප්පච්චිටයි මටයි විතරයි. ඒක උල්ලංඝනය කලා නං ඌ කෑවා.ඒක තමයි බ්‍රවුනගෙ ට්‍රික් එක. මිනිහෙකුට හපන්න ඕන නං ඌ ළඟට වෙලා බලං ඉන්නවා . කං කඩා වැටිලා හුරතල් පාටට කුරු බල්ලෙක් ලඟට ආපුවාම කාටද අල්ලලා හුරතල් කරන්න හිතෙන්නැත්තේ (ගෙදරට එද්දි බිරුවෙත් නෑනේ). “අනේ බ්‍රවුන් “ කියලා ඌව අල්ලපු ගමන් ඌ කෑවා.සමහර උදවිය ඒත් බල්ලව අල්ලන්නෑ. එතකොට බ්‍රවුනා කරන්නේ ඒ කෙනාගෙ පුටුවට හුඟාක් ළංවෙලා එයාගෙ කකුල් වලට ගෑවෙන නොගෑවෙන හරියෙන් බුදියගන්නවා. මනුස්සයා නැගිටලා යද්දි අනිවාර්යෙන් බල්ලගෙ ඇඟේ කකුල වදිනවනේ. එතකොට උඩ කියපු සාධාරණ හේතුව පෙන්නල් බ්‍රවුන ඒ කෙනාව හපා කනවා. අපි බ්‍රවුනගෙ ට්‍රික් එක තේරුම් ගත්තට පස්සේ එන අයට ඒ ගැන කියලා අනතුරු අඟවනවා. එකම එක දවසක් බ්‍රවුනගෙ ට්‍රික්ස් මුකුත් හරිගියේ නැහැ. එදා ඌ කලේ ඈත ඉඳලා දුවං ඇවිල්ලා හයියෙන් ඇඟේ හැප්පිලා කාපු එක.බ්‍රවුනා කාපු අය අතරෙ මගේ අක්කගෙ පොඩි පුතත් හිටියා.
**************************************************
බල්ලො කියන්නේ හුඟක් කපටි ජාතියක්. කවුරුහරි එහෙම නෑ කියනවනං එයාට වැරදිලා, එයා බල්ලො ගැන දන්නෑ හරියට.එක දවසක් අල්ලපු ගෙදර ගෑනු කෙනා එහා ගෙදර ගෑනු කෙනාටයි එයාගෙ බල්ලටයි බනිනවා ඇහෙනවා එක සීරුවට.
නිමිත්ත : අල්ලපු ගෙදර කුකුල් කොටුවෙන් කුකුලෙකු පැහැරගෙන මරා කා ඇත.
අල්ලපු ගෙදර කතගේ නිරීක්ෂනය  : එහා ගෙදර බලු කොටුව ළඟ කුකුල් පිහාටු ගොඩකි.
අක්කාගේ නිරීක්ෂය : එහා ගෙදර බල්ලා කොටුවට දමා ලොක් කර ඇත. 
අක්කාගේ හා මගේ නිරීක්ෂනය : බ්‍රවුනා කුස්සිය අස්සේ සිටී, උගේ කට වටේ කුකුලන්ට අයත් සියුම් පිහාටු ගොන්නකි. ඌ කටුවක් හපමින් සිටී.
නිගමනය : බ්‍රවුනා එහා ගෙදරින් කුකුලෙකු අල්ලාගෙන මෙහා ගෙදර බලුකොටුව අසලට වී කුකුලා කා දමා  ඇත.
ඔය එක සිද්දියක් විතරයි.
**************************************************
 ගොඩක් බල්ලො තමන්ගෙ හාම්පුතාලට හරිම ආදරෙයි. අපි කොහේ හරි ගමනක් ගියාම බ්‍රවුනා අපි එනකල්ගේට්ටුව ගාව බලන් ඉන්නවා. ආපුවාම ඇඟට පැනලා ලෙවකාල කෑගහලා බුර බුරා වටේ නට නටා එකම විකාරයක් කරනවා.ගොඩක් පරක්කු වුනොත් පාරටම ඇවිත් බලං ඉන්නවා. ඈතින් වාහනේ එනකොට නලල රැලි කරං බලං ඉන්නවා හරියටම අඳුනගන්නකල්.හරියටම අඳුනගත්තම උගෙ මූන වෙනස් වෙනවා..මං හිතන්නේ ඒ බල්ලො හිනා වෙන හැටි වෙන්න ඇති. ඊට පස්සේ උට ඉවසිල්ලක් නෑ අපි බහිනකල්...
***************************************************
බ්‍රවුනා අපිත් එක්ක ගොඩ කාලයක් හිටියා. අපිට පුදුම විදිහට සමීප වුනා.අප්පච්චි පුරුද්දට වගේ හැමදාම පාන්දර හතරට නැගිටපුවාම බ්‍රවුන එනව තේ ඉල්ලගන. දොර වහල තිබ්බොත් දොරට හොම්බෙන් ඇන ඇන කෙඳිරිගානවා, දොර ඇරියම කුස්සිය ඇතුලට ඇවිල්ලා තේ එක හම්බවෙනකල් බඩගිනි බව පෙන්නන්න බොරුවට ඈනුම් යවනවා.අපි කාපු බීපුවගෙන් ඌ නොකෑවෙ අන්නාසි විතරයි. දෙහි යුෂ පවා බොන්න බ්‍රවුනා පුරුදු වෙලා හිටියා.
***************************************************
ඒ කාලෙ එනකොට මම උසස් අධ්‍යාපනය හමාර කරන්න අන්තිම කොටස වෙච්චි ක්ෂේත්‍ර පුහුණු වැඩ සටහනට කොළඹ ඇවිල්ලා හිටියේ, ආධුනික පරිගණක ක්‍රමලේඛ ශිල්පියෙක් විදිහට වැඩ කරන්න. හැමදාම හැන්දෑවට ගෙදරට කතාකරනවා කරදරයක් නැතිව හොඳින් ඉන්නවා කියන්න. එක හැන්දෑවක ගෙදරට කතා කරද්දි අක්කගෙ ස්වරයෙ තිබුනෙ අමුත්තක්.ඒ අමුතු ස්වරයෙන් “බ්‍රවුන නැති වුනා“ චූටි මල්ලි කියල අක්කා කිව්වාම මට දැනුනේ අමුතු හැඟීමක්.බල්ලෙක්ගෙ මරණය මිනිහෙකුට දුකක් ඇති කරන්න පුලුවන්ද ? මං හිතන්නෙ පුලුවන්.ඊළඟ සති අන්තෙ මම ගෙදර යනකොට ගේට්ටුව ගාවට නට නටා දුවං එන්න බ්‍රවුනා හිටියෙ නෑ. බ්‍රවුනා නැති වුනා කියලා ..... ඉකි ගහ ගහ අඬපු අක්කගෙ පොඩි එකා මාව බදාගද්දි , කාලෙකට කලින් බ්‍රවුනාම හපල ඇති වෙච්චි තුවාල කැලල පොඩි එකාගෙ වලලුකරේ තියනවා මම දැක්කා.
***************************************************
බ්‍රවුනාගෙ මරණයෙන් මේ වෙනකොට සෑහෙන කාලයක් ගෙවිල ගිහිල්ලා, ඒත් අපි ඉඳල හිටල තාමත් බ්‍රවුනා ගැන කතාකරනවා.ගෙදර ඉන්න බල්ලා මොකක් හරි ගොං වැඩක් කරපුවාම , “බ්‍රවුන හිටියනං ඔහොම කරන්නෑ“ කියන එක පවුලෙ කාගේ හරි කෙනෙක්ගෙ කටින් කියවෙනවා. 

අපි ආදරය කරපු උදවිය අපි අතරින් වෙන් වෙලා ගියාම අපි එයාලව අමතක කරන්නෑ, එයාල ගැන නිතරම කතා නොකලත් ඒ එය වෙනුවෙන් හිතේ පුංචි ඉඩක් තියාගන ඉන්නවා. අපි තනියම ඉද්දි එයාලත් එක්ක කරපු කියපු දේවල් මතක් වෙලා අපිට හිනා යනවා, ඇස්වලට කඳුලු එනවා, එහෙමයි අපි වෙන්වෙලා ගියපු සහෘදයන්ව මතක තියාගන ඉන්නේ.මම හිතන්නේ අපේ පවුලෙ උදවියටත් මරණය තෙක් බ්‍රවුනාව අමතක නොවේවි....
බ්‍රවුනා , අක්කාගෙ ලොකු පුතාත් සමඟ


2011 ජූනි මාසයේ මියගිය බ්‍රවුනාගේ මතකය වෙනුවෙනි...............

16 comments:

  1. බ්‍රවුනා හුඟාක් ලස්සන බල්ලෙක්. අහන්න දෙයක් නෙවෙයි, ළඟට ඇවිත් ඉන්නකොට අතගාන්න හිතෙන එක. සත්තුන්ට රුසියන් නම් තියන එක අපේ ගෙදරත් තියන පුරුද්දක්. :D
    ගෙදරක ඇති කරන සත්තු ඇත්තටම පවුලෙ අය වගේ. නැති වෙලා කොච්චර කල් ගියත්, ඒගොල්ලන්ව මතක් වෙනකොට ඇහැට කඳුලක් එන්නෙ ඒ හින්දා.

    ReplyDelete
    Replies
    1. රුසියන් නම් තියන පුරුද්ද එන්න ඇත්තෙ රුසියානු පොත් හරහා රුසියාවට ආදරය කල නිසා වෙන්ට ඇති. බ්‍රවුනා ලඟට ඇවිල්ලා ඇස් ලොකු කරගෙන මූන දිහා බලාන ඉන්නකොට ඕන කෙනෙකුට “අනේ .....“ කියල අතගාන්න හිතෙනවා :D

      Delete
  2. පුංචි කාලේ ඉඳන් හුරතලේට බල්ලෝ පූසෝ ලේන්නු මාලු ඇතිකරපු මමයි අක්කයි නංගියි ආයේ නම් සත්තු නෑමයි කියලා හිතා ගත්තා අපේ බින්දු කියන බල්ලයි චිකෝ කියන බල්ලයි චූටි මල්ලී කියපු පූසයි මලාට පස්සේ.

    නංගිගේ මහත්තයට හම්බවෙච්චි ඩොබමන් බල්ලෙක් ව බ්ලැකී කියලා නමක් දාලා තාත්තා ඇති කලා. සත්තුන්ට ආයේ නම් ආදරේ කරන්නේ නෑ කියලා හිටියට ඌට ආදරේ කරන්න උනා. මම නිවාඩුවකට එද්දි ඌ දැනගෙන හිටියා මේ අම්මගෙයි තාත්තගෙයි පුතා රට ඉන්නේ ඌ ලඟදී එනවා කියලා. මාව දැක්ක දවසේ එකසැරයයි බිරුවේ එදායින් පස්සේ තාත්තට අමම්ට තරම් මටත් ආඩරෙයි. බැඳලා නදීෂාව එක්කගෙන ආපු දවසේ ඌට තේරුන මේ ගෙදර අලුත් සමාජිකයා කියලා. පුතාටත් හරිම ආඩරෙන් හිටියා. අපේ තාත්ත ගෙනාපු පොලිතින් වගයක් කාලා ඌ ලෙඩ වෙලා ඉන්නැත්තී අම්මට සල්ලි යැව්වේ මදි පාඩුවක් උනොත් නයක් වෙලා හරි ඌට බෙහෙත් කරලා බ්ලැකීව සනීප කර ගන්න කියලා . . .

    දවසක් අම්මා කෝල් කරලා "පුතේ බ්ලැකී මලා කියපු වෙලාවේ මම ඩ්‍රයිව් කාර් කර හිටියේ. මට දැනුනේ මගේ අත්දෙකම පන නැති වෙනවා වගේ" යාලුවෙක් පස්සේ වාහනේ අරන් ගියේ. දැනුත් මගේ ඇහේ කඳුලු අපේ බ්ලැකීටයි උඹේ බ්‍රව්නවටයි අයිති කඳුලු ඒ . . .

    ReplyDelete
    Replies
    1. අපේ ගෙදරත් අප්පච්චි ඔහොම තීරණයක් අරන් තිබුනා හුඟක් ඉස්සර “බොබී“ කියන බල්ලා මැරුණට පස්සේ. ඌ මැරිලා අවුරුදු දහයකට විතර පස්සෙ තමයි මං බ්‍රවුනාව අරගෙන ආවේ. අප්පච්චිත් බ්‍රවුනාට හුඟාක් ආදරේ කලා. අප්පච්චි කොතනද බ්‍රවුනා හිටියෙ එතන. මිදුල අතුගාන කොට ඒ අතටයි මේ අතටයි පස්සෙන් යන එක බලාගන ඉන්න එක ඒ කාලෙ මට මාර ජොලි. දැන් නං මතක් වෙද්දි දුකයි.

      Delete
  3. මගේ ළගත් ඉන්නෙ ඩොබර්මන් කෙනෙක්. තාම මාස දහයයි. ඒත් හුරතලෙයි කපටි කම් වලයි නම් අඩුවක් නෑ.. මහන්සි දැණුනු, තරහ ගිය, දුක හිතුණු, හැම වෙලාවකම මාව සන්සුන් කරන්න පුලුවන් හොදම බෙහෙත මගේ බලු පැටියා.. සතියෙ හැම දවසකම මං උදේ ඇහැරුණත් නැතත් එයාට උදේ පහ වෙද්දි කිරි හදලා දෙන්න ඕන. අපේ බලු පැටියත් බෝංචි ඇරෙන්න අනිත් හැම දෙයක් ම කනවා.. පැණි කොමඩු, ගස්ලබු සහ අමු ගෝවා තමා එයාගෙ ප්‍රියතම.. මගේ බලු පැටියා මට නැති වුණොත්.. එහෙම දෙයක් ගැන හිතන්නවත් මම කැමති නෑ. මාස හයක ගර්භණී අම්මා කෙනෙක් වෙලත් ගෙදර හැම කෙනාගෙම දෝෂාරෝපණ මැද්දෙත් මගේ බලු පැටියා එක්ක වෙනදා වගේම සෙල්ලම් කරන, අතපත ගාන, අතින් කෑම ජාති කවන මට ගොඩක් වෙලාවට දැනෙන්නෙ එයා මගේ දරුවෙක් වගේ.. හැබැයි ඉතින් මා එක්ක හුරතල් වුණාට එයා කීකරු නම් මහත්තයට තමයි. එක බැල්මත් ඇති..

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ ඩොබර්මන් වන් මාස්ටර් ඩෝග් වර්ගයක් වෙන්න ඕනි. අපේ අල්ලපු ගෙදරත් හිටියා ෂැඩෝ කියලා ඩොබර්මන් බල්ලෙක්. එයා මලේ මොකද්ද උණක් හැදිලා..

      Delete
  4. බල්ලො ගොඩාක් වෙලාවට ගෙදර සමාජිකයෙක් වෙනවම තමයි.එතකොට උන් මෑරුනම මාර දුකයි

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. ඒ නිසා තමයි සමහර උදවිය තමන් ගොඩක් ආදරය කරපු සුරතලා මැරුණට පස්සේ ආයෙ සත්තු හදන්නෑ කියන තීරණයකට එන්නේ. අපේ ගෙදර නං බයි ඩිෆෝල්ට් බල්ලෙක් සහ පූසෙක් ඉන්නවමයි.

      Delete
  5. 1995 වගේ කාලෙ අපේ ගෙදර හිටපු 'බ්‍රවුන්' නැති වුණේ කවුරු හරි වස දීල කියලයි අවසාන නිගමනය වුණේ. ඒ මරණයත් එක්ක අපේ ගෙදරත් බල්ලො හැදිල්ල අවසන් වුණා. දැන් පූසො රොත්තක්ම ඉන්නවා.

    අපේ ගෙදර උන්දැගෙ මහ ගෙදර ඉන්නවනෙ අර ජර්මන් ගොපල්ලො 4 දෙනෙක්ම. හපොයි උන්ගෙ වැඩ!

    ReplyDelete
    Replies
    1. බ්‍රවුනා දෙපාරක්ම කෑම විසවෙලා සහ වසවලින් මැරෙන්න ඔන්න මෙන්න කියලා ඇවිල්ලා බේරුනා. එක වතාවක් දවස් පහක් කන්නෙ බොන්නැතිව හිටියා, ඒත් මැරුනේ නැහැ. ඒත් අන්තිමට උණක් ගැනිලා නැතිවුනේ...

      Delete
  6. මගේ කතාවත් 99% මේ කතාවට සමානයි.. මම ඒ කතාව මෙච්චර කල් නොලියා හිටියේ ඒ ගැන මතක් වෙනකොට කියාගන්න බැරි තරම් දුකක් ඇවිත් මට අකුරු ගලපගන්න බැරි වෙන හින්දා. ඒත් බ්‍රව්නා ගැන කියවපුහම, ඇයි මම මට හිටපු හොඳම යාලුවා වෙච්චි කළුවා ගැන නොලියන්නේ කියලා හිතුණා.

    ReplyDelete
    Replies
    1. සුරතල් සත්තු ජීවිතයට සමීප වෙලා හිටියහම ඒ අය කවද හරි මැරුණහම සෑහෙන දුකයි. මම බ්‍රවුනාගේ මිනිය බැලුවෙ නෑ. එහෙම බැලුවනං මට බ්‍රවුනා ගැන අවසන් මතකය වෙන්නේ උගෙ මිනිය. නමුත් දැන් මට මතක තියෙන්නේ මං එද්දි නට නටා ආපු බ්‍රවුනාව.

      Delete
  7. මම පුංචි කාලෙ බ්‍රවුනි හිටියා. ඌ අසනීපයක් හැදිල නැති වුනාට පස්සෙ දැනටත් කොච්චර ආස වුනත් බල්ලෙක් හදාගන්න හිත හදා ගන්න බැහැ. මේ වීඩියෝ එකෙන් අපිට හිතට දැනෙන දේ ලස්සනට පේනව.

    http://www.youtube.com/watch?v=EOAcRKZxjy4

    ReplyDelete
    Replies
    1. වීඩියෝ එක බැලුවා.ස්තුතියි. අපේ ගෙදරත් ඔය තීරනේ තමයි මුලින් හිටියේ. දැන් ආයෙ බල්ලෙක් ගෙනත් හදනව.

      Delete
  8. මමත් එක කාලෙක බලු සොහොයුරන් ඇසුරුකලා. මමත් රුසියන් ආරට මගේ පලවෙනි පුද්ගලික කුක්කාට තිබ්බේ මිෂ්කා කියල.. හැබැයි මිෂ්කා මීෂා මික්කා මිකී මවුස් මී පැටියා මී කෝලම යනාදී නොයෙකුත් ආදර නාම වලින් හැඳින්වුන අපේ මිතුරා යන්න ගියේ මම ලංකාවෙන් ගියාට පස්සෙ ආහාර වර්ජනය කරලයි.. ඒ වෙන්ව යාම මම දැන ගත්තෙ වසර එකහමාරකට පසු ආපහු ලංකාවට ආව දිනයේයි.. එතෙක් එය රහසක් හැටියට හැමෝම තියාගෙන තිබුණ. එදා මගෙ ලෝකෙම කඩා වැ‍ටුණා වගේ මට දැණුනා. ගෙදර එක සමාජිකයෙක් නැති උනාම මොන සතුටක්ද ? මෙහෙම පොඩි ඡේදයකින් කියන්න බැරි තරම් බැඳීමක් ආදරයක් අපි අතරේ තිබුණා. ඒක කර්මානුරූපව ආපු දෙයක්.. ආපහු කවදාවත් නොකරන බව හිතා ගත්තත් ඊලඟ පාරත් අර විදිහට හැදූ පෝතකයා කවුරුහරි හොරෙන් අරන් ගියා.. ඊට පස්සෙ අද වෙනකල් පාරෙ දකින හැම ඒ වර්ගයේ බල්ලාම අපි දැක්කෙ අපේ බොබියා වගේයි.. ආපහු හදන්න හිතක් තිබුණත් අර අත්දැකීම ආයිත් එපා කියල හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. බ්‍රවුනාටත් එක එක විදිහට අපි කතා කලා. බ්‍රවුන බබා, බ්‍රවුං කොටේ, බ්‍රවුන බබියා.. වගේ.. ඒ ඕන එකකට ඌ ළඟට එනවා.අපිට ආදරය කරපු සුරතලෙක් නැතිව ගියාට පස්සේ පුදුම දුකක් හිතට එන්නේ..

      Delete

අදහස්, උදහස්....

.