Tuesday, February 12, 2013

හුදෙකලා චාරිකා

11 comments
ගමේ නොගිහිං කොළඹ ඉන්න සති අන්තය කම්මැලියි. සති අන්තෙට කොළඹ හිටියොත් ගොඩක් වෙලාවට කරන්නේ කොහේ හරි රස්තියාදුවක යන එක. කැමරාව සයිඩ් එකට එල්ලං හොඳ දර්ශනයක් හොයාගන ඉබාගාතේ යද්දි සමහර වෙලාවට ආරක්ෂක අංශවල උදවිය අහන්නේ “මහත්තය මීඩියාද කියලා“ . නැහ් කියල කිව්වාම කිසිම අවුලක් නැතිව ගියෑකි. හේතුව නං දන්නෑ ඒත් පේන විදිහට නං ආරක්ෂක අංශ මාධ්‍ය ක්ෂේත්‍රයේ උදවියට කැමැත්තක් නැති හැඩයි. එතකොට තමයි හිතෙන්නේ හොඳ වෙලාවට තමයි මාද්‍යකාරයෙක් නොවුනේ කියලා.

කොළඹ කියන්නේ අපූරු නගරයක්. හොඳ පැත්තෙන් වගේම නරක පැත්තෙනුත් හැම දෙයක්ම තියනවා. විවිදාකාර සිද්දි ,විවිදාකාර තැන,විවිදාකාර ජාතියේ උදවිය ගේ සම්මිශ්‍රණයක්. වේලාසන දාගත්ත රස්තියාදු චාරිකාවට එන්න හිටපු එකාගේ අයහපත් සෞඛ්‍ය තත්වය හේතුකොටගෙන කම්මැලි සහගත ,සහ උදාසීන බවින් පිරිච්චි ඒ ඉරිදා දවසේ හිටි අඩියේ ආපු “මසාල තෝසෙ“ බඩගින්නක් නිසා කොළඹ නගරයේ මගේ ප්‍රියතම නිර්මාංශ අලවිහලක් වෙච්චි බම්බලපිටියේ “සරස්වතී ලොජ්“ වෙතට යන්න මම එලියට බැස්සා දොලහ හමාරට. ඇයි බම්බලපිටියටම ? .... විශේෂයක් නෑ..ඒත් මූදුබඩ පැතිවලට මං ආසයි......


මසාලා තෝසෙ කියන්නේ මොකද්ද ? දන්නැති අයට කියනවනං , ඒක ඇවිල්ලා අල ඇතුලට දාල හදපු එක්තරා විශාල පෑන් කේක් එකක් වගේ දෙයක්.එකක් සම්පූර්ණයෙන්ම කන්න සෑහෙන්න යුද්ධයක් කරන්න වෙනවා තනි පුද්ගලයෙකුට. ඉතිං මොකද්ද ඒකෙ විශේෂත්වය. ම්හ්.. මුකුත් නෑ....රසවත් කෑම වේලක්..එච්චරයි... :)

 ඒ වෙලාව පොළවයි ඉරයි අතර දුර බොහොම අඩු වෙලාවක්. ඉරට හැතැප්මකුත් තුන් කාලක් වගේ තමයි තිබුනේ. සන්ග්ලාස් එක අතරින් පේන ලෝකය අන්ඩර් එක්ස්පෝස් වෙලා ,සමහර වර්ණවල සැටුරේෂන් වැඩි වෙලයි පේන්නේ. සන්ග්ලාස් එක ගලවපුවාම ලෝකෙ ඔවර් එක්ස්පෝස් වෙලා.මිඩ් ටෝන් එකෙන් බලන්න අමාරු වෙලාවක් ඒක. ෂැඩෝ වල ඩීටේල් බලනවට වඩා හයිලයිට්ස්වල ඩීටේල් බලන්න තියන පුද්ගලික කැමැත්ත නිසා සන්ග්ලාස් එක අස්සෙන් පේන අන්ඩර් එක්ස්පෝස් දර්ශනයේ දිගටම රැඳිල ඉන්නයි මම තීරණය කරල තිබුනේ.

නුගේගොඩ වෛවර්ණ නගරයක්. විවිදාකාර පෙනුම සහිත ගෑණු ළමයි සහ ඒ උදවිය යාලුවෙලා ඉන්න පිරිමි ළමයින්ගෙන් තමයි  වැඩිපුරම නගරය පිරිල තිබුනේ. ඒ සති අන්තෙත් අධ්‍යපනයටම හිත යොමු කරන හින්ද වෙන්න ඇති. හැබෑටම අපිත් සති අන්තෙ අධ්‍යාපනේටම යොමු කරපු කාලයක් තිබුනනෙ නේද ?

 තෝසෙ එකක් ගිලල දාන්න නුගේගොඩ ඉඳල බම්බලපිටියට යන එක තේරුමක් නැති වැඩක්. ඇත්ත..ඒත් එදා කාලය කියන එක ඒ හැටි වැදගත් සාධකයක් වෙලා තිබුනේ නෑ. වැදගත් සාධක කියල තිබුනේ පොඩ්ඩක් එළියට බැහැල ඉන්න එකයි කම්මැලිකම නැතිකරගන්න එකයි. නුගේගොඩ ඉඳල බම්බලපිටියට මං ගියේ මටම අයිති රෝද හයේ, ප්‍රධාන දොරවල් දෙකක්ම තිබුන වාහනයක.  යන එන ගමං අහල පහල ඉන්න මිනිස්සු දිහා බලං ඉන්න එකත් ජොලි පහේ වැඩක්.  උස, කොට,මහත මිනිස්සු..... සුදු, කලු, ලස්සන,කැත මිනිස්සු.... ප්‍රීතියෙන් හිනාවෙන,මූණ බරකරගත්ත, නිදාවැටෙන නැත්තං දාමරික පෙනුම තියන මිනිස්සු...... සෑහෙන විවිදත්වයක්.

දවල් කෑමට අල පුරෝපු මසාල තෝසේ, වඩේ, කිරි වීදුරුවක් සමඟ සීතල වතුර.... පංකාදු පහයි.....සරස්වතී ලොජ් වල කිරි එක අපූරුයි. කහට රසයත් එක්ක ලා පැණි රසකුත් රසකුත් තිබුනා. අපේ රටේ ගොඩක් කඩවල තියන මී පැණි වගේ පැණි රස තේ එකෙන් නැති නං කිරි එකෙන් හොඳ අපගමනයක්.... බම්බලපිටියේ කෑම ගන්නවනං සරස්වතී ලොජ් කියන්නේ හොඳ තැනක්...ඒ කිට්ටුවම “අම්රිත්“ කියල එකකුත් තියනවා.හැබැයි අපි නං ආයෙ එතෙන්ට යන්නේ නෑ..මොකද දවසක් රෑ රස්තියාදුවක ආපු වෙලාවක අපිට බෝංචිවල ඉඳලා පණුවෙක් හම්බවුනා ඒ කඩෙං.....

ආපසු ඒමට මගේ රතේ වෙච්චි 112 කියන්නේ ඉරිද දවසට යලට මහට එන බස් එකක්.හවස තුනට විතර බම්බලපිටියේ ඉඳං කොටුව පැත්තට බස් එකක යන එක බය හිතෙන විදිහට එපා වෙන වැඩක්. ඒත් මැරීන් ඩ්‍රයිව් එකේ මූදු හුළං විඳගෙන ටිකක් ඇවිදලා යකඩ යකෙක් අල්ලගෙන මූද පැත්ත බලාගන එන එක..... අන්න ඒක බොහොම ප්‍රියජනක වැඩක්......ඉතිං අන්තිමට එහෙමයි උනේ..................



මේ ඡායාරූප ගත්තේ එදා නෙවෙයි..අලුපාට අහසක් තිබුන අඳුරු උදෑසනක........ඒ වගේම මේ තැන් ආයෙ අමුතුවෙන් අඳුනලා දෙන්න ඕන නැතිව ඇති......




11 comments:

  1. මසාල තෝසේ ගැන කිව්වහම මතක්වුනේ,

    ඉස්සර බම්බලපිටියේ තිබුනා "ආරියභවන්" කියලා නිර්මාංශ හෝටලයක්. ඒකේ මසාල තෝසේ වල රස දැනුත් මතක්වෙනවා. මම කියන්නේ 1996/97 කාලේ.

    ReplyDelete
  2. හප්පා... සරස්වතිය සහ මසාල තෝසේ... කටට කෙලත් ඉනුවා... මායි අපේ මායියයි ලව් කරන්න ගත්ත මුල් කාලෙ නිතර ආ ගිය තැනක් සරස්වතිය. හවස 4ට විතර දෙහිවලදි හම්බ වෙලා 5ට උන්දැව ගාලු පාරෙ බස් එකේ නග්ගනකං තියෙන කාලෙ ඇතුලත යන්න පුළුවන් හොඳ, දෙන්නටම ෂේප් තැනක් වුණේ සරස්වතිය විතරයි. මම නං ගොඩක් කෑවෙ උළුදු වඩේ. මායිය අල බෝල. එයාලගෙ ප්ලේන්ටියත් මරේ මරු.

    මසාල තෝසෙ මොනවද කියලවත් මම දැනගෙන හිටියෙ නෑ. දවසක් වෙනසකටත් එක්ක මම ඒකක් ඕඩර් කලා. හප්පා ඒක අඟල් 15-16ක් විතර විශ්කම්භය තියෙන පත සයිස් එකක්. කාගන්න මාර කට්ටක් කෑවෙ. අන්තිමේ හැමදාම බොන ප්ලේන්ටි‍යත් බාගයයි ගැහුවෙ එදා...

    දැං ඉතිං ආයෙ යන්න වෙනව මට!

    ReplyDelete
  3. How to forget saraswathi....too much memories

    ReplyDelete
  4. දුකට සැපට දෙකටම ඉතින් ළඟම සිටින සරස්වතී ලොජ් එක නම් හොඳ තැනක් තමයි. ඒත් බම්බලපිටියෙම ෂර්බරි ගාඩ්න්ස් වල තියෙන ග්‍රීන්ලන්ඩ් එකෙන් දවසක් කාලා බලන්න. මාර රහයි. හැබැයි ඒකෙ සර්විස් එක ටිකක් පරක්කුයි. ගානත් ටිකක් වැඩියි. නිවී සැනසිල්ලෙ යන දාක මිසක් කරදහි ලිපේ දාලා යන්න නම් බෑ.

    ReplyDelete
  5. ෂන්මුගාස් එකේ කෑම වල රහට ගහන්න තැනක් තාම හම්බුනොවුනත්, සරස්වතී ලෝන්ජ් කියන්නෙත් මරු තැන. මට අල්ලලා යන්නෙ එතන තියෙන අනියන් දෝසේ. ලූණු තෝසේ කියන්න පුළුවන් ඕනනම්.
    රහ දැනෙන ලියවිල්ලක්.

    ReplyDelete
  6. ඕවා මම කාලා නෑ මගෙ හිතේ...පෑන් කේක් එකක් වගේ කිව්වා නේද...

    ReplyDelete
  7. දවසක් ඔය දැවැන්ත මසාලා තෝසයක් කාලා අතේ සතෙටම හිඳුනා,
    කවුද හිතුවේ ඒක ඔච්චර ලොකුයි කියලා,
    ටෙස්ට් කරලා බලන්න ඉල්ලුවේ.

    ReplyDelete
  8. @ පෙදරේරුවා නොහොත් මේසන් බාස්
    96/97 වෙනකොට මම එකම එක වතාවයි කොළඹ ඇවිත් තිබුනේ.ඒ සත්තු වත්ත බලන්න.

    @හරේ
    අල බෝල කියල කිව්වේ බෝන්ඩා වලට නේද ? ඒකාලෙ ඉඳලම එතන හොඳ ජනප්‍රිය තැනක් වගේ.මට නං මසාල තෝසෙ එක එච්චරම ගේමක් නෙවෙයි කාගන්න එක. :)

    @ tom_da_cat
    මම හිතන්නේ ඒ මතකයන් අතර ගැහැණු ළමයෙක් හෝ පිරිමි ළමයෙක් ඇති.. :)

    @ ලකී වික්‍රමසිංහ
    මම ග්‍රීන්ලන්ඩ් එක ගැන අහල තියනවා. වෙලාවක ගිහිං බලන්න ඕන.

    @ Pathum Punchihewa
    මම අනියන් තෝසේ කාල නැහැ.වෙලාවක ට්‍රයි කරලා බලන්න ඕන.
    ඔන්න තව නිර්මාංශ අලවි හලක් එකතු වුනා.ස්තුතියි ඔත්තුවට.

    @සිරාගේ කාමරේ
    පෑන් කේක් වගේ ඔතලයි දෙන්නේ.හැබැයි ලොකුයි.ඒකට අල ව්‍යංජනයක් පුරෝලා තියෙන්නේ..

    @ඇනෝනිමස්
    ඔව් මසාල තෝසෙ එකක් 120~160වගේ ගානකට තමයි යන්නේ.. සරස්වතී එකේ 140 යි.

    ReplyDelete
  9. හප්පා..!! සරස්වතී කියන්නේ අදටත් මම යන්න ආසම තැනක්! ඒත් ළගදි යන්න බැරි උනා නේ.. මම නම් කැමති ප්ලේන් තෝසේ වලට.. ඒත් වෙලාව අනූව උළුදු වඩේ.. අල බෝල තමයි ටක් ගාලා කන්න ලේසි. සරස්වතියේ ප්ලේන්ටී බොන්නේ අපේ එක්කෙනා.. එයාගෙන් උගුරක් දෙකක් තමයි මට.. හික් හික්.. ඉස්සර නම් ඒ කෝප්ප පිටින් අල්ලුවාම ඇලෙනවා වගේ.. මම ඒත් හිනා වෙනවා වීදුරු හෝදන්නේ නැතුව තේ දෙන්නේ කියලා..

    ReplyDelete
  10. ලියවිල්ල වගේම, මසාල තෝසේ වගේම, පින්තූර දෙකත් පංකාදුයි !!!

    ReplyDelete
  11. @malee_msg
    මගේ ප්‍රියතම තෝසේ තමයි මසාලා තෝසේ සහ නාන් තෝසේ. බෝන්ඩාත් නරකම නෑ...

    @ Chathuranga Perera
    ස්තුතියි...... මෙව්වා තමයි ඉතිං බ්ලොග් එකෙන් ලැබෙන ප්‍රතිලාභ. හිතට සතුට....

    ReplyDelete

අදහස්, උදහස්....

.