Monday, January 7, 2013

දක්ෂිණ වෙරල තීරයේ සුවපහසු නවාතැන Octopus Reef Bungalow

12 comments



දකුණු ලක වෙරල තීරයේ රන්වන් වැලිතලාවත් සමඟ සියුම්  හඬින් ගී මුමුණන සමුද්‍ර රැල්ලත්, නෙරලු තුරු ගොමුවෙන් හෙවන වුන, කරදිය හුළඟේ  මෘදු මොලොක් මුරු මුරුවෙන් නැලවෙන , දැවමුවා උඩුමහල් තලාවක් ගැන මැවෙන්නේ කොයි වගේ මනෝ චිත්‍රයක්ද ? වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම “විවේකය“ හා “සැහැල්ලුවයි“.ඉතින් ඒ විවේකය හා සැහැල්ලුව හොයාගන පහුගිය දවසක අපි ගියා සමුද්‍රාසන්නයේ ඇති ඔක්ටොපස් රීෆ් බංගලාව (Octopus Reef Bungalow) වෙත.

කොළඹින් උදෑසන නවයට පමණ ගමන් ඇරඹූ අප කොට්ටාවෙන් දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගයට ඇතුලු වුනා. අධිවේගී මාර්ගය හොඳයි, එහි කරදරකාරී තදබදයක් හෝ අපිලිවෙලට ධාවනය වන ත්‍රීරෝද රථ දකින්නට නැහැ.නමුත් ඇතැම් තැන්වල මාර්ගය යම්පමණකට ගිලාබැසීමකට ලක්වී ඇති ආකාරයත් නැවත තාර තට්ටු යොදා ඇති ආකාරයත් පැහැදිලිව පෙනුනා, ඒ වගේම මෝටර් රථය දෙදරීමෙන් ඒ බව ඇඟටත් දැනුනා. වේගයෙන් ගමන් කල අප ඉතා කෙටි කාලයකින් (පැරණි කොළඹ- ගාලු ගමනට සාපේක්ෂව) දක්ෂිණයේ අග නගරයට සේන්දු වුනා. අපේ අරමුණ දිවා ආහාරය සඳහා ගමනාන්තයට ළගා වීමයි.

එහෙත් හිරු එළියෙන් දිලිසෙන ගැඹුරු නිල්වන් මුහුද අද්දරම පිහිටි, මල ගිය නමුත් රණකාමී අතීතයක ශේෂය, ගාලු කොටු පවුර අපව ඒ වෙතට ඇදගනු ලැබුවා.අතීතයේ, දියඹට මුහුණලා අටවනු ලැබූ මහා ගජනා, උකුසු ඇසින් යුක්තව බයිනෙත්තු සවිකල තුවක්කු අතැතිව සක්මණේ යෙදුනු සෙබල බලමුලු වලට වෙන්වූ කොටු පවුර අද සංචාරකයන්ගේ සහ පෙම්වතුන්ගේ පාරාදීසයක්. ගාලු කොටුව හෝ ලන්දේසි කොටුව ලෙස වර්තමානයේ ව්‍යවහාර කරනු ලැබුවත් යුද මර්මස්ථානයක ඉදිවුන ඓතිහාසික බලකොටුව සත්‍ය වශයෙන්ම නිර්මාණය කලේ පෘතුගීසීන් විසිනුයි. පසුව ලන්දේසීන් පහර දී අල්ලාගන බලකොටව වඩාත් ප්‍රභල හා ශක්තිමත් ලෙස ගොඩනඟනු ලැබුවා. ගරාවැටුනු අටලු, මුරකුටි, පවුරු  අතරින් ගමන්කල අපි බලකොටුවට සමුදී යන අතරේ එකල පෘතුගීසිත්, ඉන්පසුව ඕලන්ද පෙරදිග ඉන්දීය වෙළඳ සමාගමේ ධජයත් (V.O.C) ලෙල දුන් බලකොටු බිමේම ,කඩුව සුරතින් ගත් සිංහරුව සහිත ධජය , උදා හිරු එළියේ ලෙල දෙමින් තිබුනා......

 ඔක්ටොපස් රීෆ් බංගලාව (Octopus Reef Bungalow) තිබෙන්නේ ගාල්ලට නුදුරු කොග්ගල වෙරල තීරයේයි. 2004 වර්ෂයේ සුනාමි ව්‍යසනයෙන් සුණු විසුනු වී ගිය එය නැවත මුලුමනින්ම යථාතත්වයට ගැනීමට එහි පාලන අධිකාරිය කටයුතු කොට තිබුනා. මහල් දෙකකින් සමන්විත බංගලාව අට දෙනෙකුට සුව පහසුව නවාතැන් ගැනීමට හැකියාව ලබාදෙනවා.එහි ජනෙල් දොරවල් මෙන්ම ගෘහ භාණ්ඩත් පුරාණ නිවාස,පල්ලි ආදියෙන් ලබාගත් පෞරාණික භාණ්ඩයි.එමෙන්ම දැවයෙන් නිමවුන, නිරතුරුවම සුවබර මුහුදු සුළං හමායන, හොඳින් ඉඩකඩ ඇති අපූරු සඳලු තලයක් ද ඔක්ටොපස් රීෆ් බංගලාව  (Octopus Reef Bungalow)  ඔබට සපයනවා. මිත්‍රශීලී කාර්ය මණඩලය ඔබට අවශ්‍ය හැමදෙයක්ම සපයන අතරේ ඔබ රැගෙන යන ආහාර වර්ග අවශ්‍ය ආකාරයකට පිළියෙල කරදීමටත් සමත්කම් දක්වනවා.
ඔක්ටොපස් රීෆ් හි ඇති ප්‍රධානම ආකර්ශනීය අංග වන්නේ සුවබර ආසනයන්ගෙන් යුක්ත දැවමුවා සඳලුතලාව සහ බංගලාවේ අංගනය ලෙස ක්‍රියාකරන්නා වූ රන්වන් වැලිතලාව අතරේ සමුද ජීවීන්ගේ කවච විසිරී ගියාවූ අපූරු වෙරල තීරය. අසල මුහුද නොගැඹුරුයි, වෙරලට මීටර පණහක් පමණ ඈතින් වෙරලට සමාන්තරව සමුද්‍රය තුලින් දිවෙන කොරල් වැටි නිසා මුහුදු දිය නිශ්චලයි. ජල තටාකයක් බඳු, දියකෙලියේ යෙදීමට කදිම තැනක්.

 දවස පුරාවට පරිගණක තිරයට මුහුණ යොමාගන ක්‍රමලේඛනය කරමින් කේත සමඟ යුද්ධ කරමින් මෘදුකාංග නිර්මාණය කිරීමේ ජීවිතයට මදකට තිත තබලා ලැබුන විවේකයෙන් උපරිම ප්‍රයෝජන ගන්නට අප අමතක කලේ නැහැ.

කොග්ගල වෙරල තීරයේ නැවුම් සුළඟෙන් නව ජීවයක් ලබා ගුවන් ගත වීමට සැරසෙන අප කණ්ඩායම් සගයෙක්....
අති බිහිසුනු ත්‍රාසජනක සටන් ජවනිකාවක් දිග ඇරුනේ මෙහෙමයි.....

අසල වෙරලේ අපට හමුවුනා රිටිපන්නයේ ධීවරයෙකුගේ ජීවමාන ආකෘතියක්. ඇඳුමින්, කතාබහෙන් ක්‍රියාවෙන් ඔහු සියයට සියයක්ම රිටිපන්නයේ ධීවරයෙක්. නමුත් ඔහු අල්ලන මාලුවෙකු නම් නැහැ. අසල වෙරල තීරය විදේශීය සංචාරකයන්ගෙන් නිරන්තරයෙන්ම සෙවුනා වූ තැනක්.ඉතින් මේ කියන ධීවරයාගේ ජීවනෝපාය එම සංචාරකයන් සඳහා ඡායාරූපවලට පෙනී සිට ඒ වෙනුවෙන් මුදල් අය කරගැනීම. අපූරු එමෙන්ම ප්‍රාණඝාතයේ නොයෙදෙන ධීවරයෙක්.......
රතු,කහ,තැඹිලි තීන්ත අපිලිවෙලට විසුරුවාහල සැඳෑ අහසේ බැසයන හිරුගේ කසාවර්ණ කිරණ නොපෙනී ගැඹුරු නිල් පැහැයෙන් හාත්පසම වැසීයන  “නිල් පැයේදී“ (Blue Hour) වෙරලට සමුදී අපි ආපසු බංගලාවට ආවේ රාත්‍රී ආහාරයට සූදානම්වයි.
 උදා හිරු නැඟීමට ආසන්නයේම සහ හිරු බැසීමට ආසන්නයේ , පැයක පමණ කාලයක් පවතින නිල් පැය (Blue Hour) ඡායාරූප ගැනීමට අගනා මොහොතක්..නමුත් මෙදින ඒ මොහොත එන විට තීර්ථ යාත්‍රිකයාගේ කැමරාව ප්‍රථිආරෝපණය වෙමින් පැවතුන අතර ජලය කාන්දු නොවෙන අනෙක් කැමරාවට , දිය කෙලියේදී “ජලය ගොස්“ එය ක්‍රියා විරහිත තත්වයට පත්වී තිබුනා....

 හොඳින් කුලුබඩු යොදා ගල් අඟුරු මත පලහන ලද මස් සහ සොසේජස්, තම්බන ලද එලවලු, කර කරන ලද පාන්, අයිස් මෙන් ශීත කරන ලද බීර සහ ලෙමන් සුවඳ හමන, නැවුම් මිංචි කොලවලින් සැරසූ මොහීතෝ (Mojito) අප එනතුරු කෑම මේසයේ බලා සිටියා. තරු පිරුණ අහස යට, දිය රැලි වෙරල සිපගන්නා හඬ අතරේ, අල්ලාප සල්ලාපයෙන් සැඳෑ භෝජනය මැදියම් රෑ තෙක් ඇදී ගියා.. සැබැවින්ම එය ආනන්ද ජනක රාත්‍රියක්....

රාත්‍රී කාලයේ සුළං හමන්නේ ගොඩබිම සිට මුහුද දෙසටයි එබැවින් දිවා කාලයේ සුළඟින් විඳි සනීපය රාත්‍රියට නැහැ. ඔක්ටොපස් රීෆ් සතුව වායු සමීකරන යන්ත්‍ර තිබෙනවා.ඒ නිසා සැප පහසු ඇඳට පැනීමට පෙර ඒවා ක්‍රියාත්මක කරදැමීමට ඔබට පුලුවන්.
ජංගම දුරබනුවේ එලාමයේ පිහිටෙන් තීර්ථ යාත්‍රිකයා අවදිවුනේ උදෑසනමයි. ශීතාගාරයක් බවට පත්වී තිබුන කුටියේ වායුසමීකරණ යන්ත්‍රය ක්‍රියා විරහිත කොට දමා කුටියේ දොර විවර කරන විටම තීර්ථ යාත්‍රිකයා පිළිගන්නට උදා හිරු කිරණත් ,නැවුම් සුළඟත් මඟ බලා සිටියා. උණුසුම් මුහුදු ජලය දිය කෙලියට ආරාධනා කරමින් සිටියා.

ගෙනවිත් තිබුන ගොගල්ස්  සහ ස්නෝකල්ස් (goggles and snorkels) සින්නක්කරම අයිතිකරගත් තීර්ථ යාත්‍රිකයා වැඩි හරියක්ම කලේ නොගැඹූරු මුහුදු ජලයේ කිමිදෙමින් විවිදාකාර සමුද්‍ර ජීවීන්ගේ කවච එකතු කිරීමයි. උදෑසන වෙරල දිගේ දිවීමත්, කිමිදීමත්, මුහුදේ ලිස්සායන ඵලක (Surfing Boards) සමඟ බැරිමරගාතේ ඔට්ටුවීමත් ශරීරයට ඉතාම හොඳ ව්‍යායාම මෙන්ම කෑම රුචියද කීප ගුණයකින්ම වඩවන බව අප කණ්ඩායම ක්‍රියාවෙන්ම ඔප්පු කර පෙන්නුවා.

දවල් වරුවෙන් වැඩි කාලයක් ගතවුනේ නිදාගැනීමට ,ආපසු යාමට බඩු ලෑස්තිකරගැනීමට සහ ඒ වනවිටත් අඩි තුනක් ගැඹුරු මුහුදේ කිමිදෙමින් සිප්පි කටු එකතු කරමින් සිටි තීර්ථ යාත්‍රිකයාව මුහුදෙන් ඇද දමා මෝටර් රථයට පටවා ගැනීමටයි. තීර්ථ යාත්‍රිකයාගේ සිප්පි එකතු කිරීමේ විනෝදාංශයට දැක්වූ කැපවීම කෙතරම්ද කියතොත් කණ්ඩායමේ අනෙකුත් සගයන් තීර්ථ යාත්‍රිකයා සමුද්‍ර ජීවියෙකු බවට පත්වී තිබුන බවට සැක සංකා පල කලා.

අපූරු විවේක කාලයක් ගත කල අප නැවතත් ආමඟින්ම කොලොම් තොටට සම්ප්‍රාප්ත වුනා......

bungalows.lk මඟින් ඔබටත් අන්තර්ජාලයෙන් ඔක්ටොපස් රීෆ් බංගලාව වෙන්කරවා ගත හැකියි.....

විශේෂ ස්තුතිය : Archmage ආයතනයට සහ Bungalows.lk ආයතනයට.........


12 comments:

  1. ලක්ෂණ සේයාරූ කිහිපයක් ලබාගන්නට හැකියාව ලැබිලා තියෙනවා ඔබට...

    ReplyDelete
  2. ම්ම්...මරු විස්තරයක්නේ

    ReplyDelete
  3. ගනන් මිනුම් ගැනත් පොඩි විස්තරයක් දානවද ? bungalows.lk එකෙන් හෙව්වට හම්බවුණේ නෑ නේ.

    ReplyDelete
  4. හරි හරි. මම සර්ච් එකෙන් හෙව්වෙ. එතකොට එන්නෙ නෑ. ලින්ක් එකෙන් ගියාම ආවා.

    ReplyDelete
  5. රිටි පන්නයේ ධීවරයාගේ කතාව හුඟක් හිතට ඇල්ලුවා. මාලු අල්ලලා හොයන ගාණට වඩා ලොකු ගාණක් මේ කෙරුවාවෙන් මිනිහා හොයනවා ඇති.

    වැද්දෝ ගැන දවසක් එකෙක් කිව්වේ වැද්දෝ ෂෝට හරි වෙන මොකක් හරි ඇඳුමක් දාගෙන ඉදලා කට්ටියක් එනවා කියපු ගමන් වැදි කිට් එකට බැහැලා පොරෝ කෙටිය කරේ ගහගෙන එනවා කියලා

    ReplyDelete
  6. බොහොම ලස්සන සටහනක් , විශේෂයෙන්ම චාරිකාවේ විස්තර කිරීම හිතට දැනෙන විදියට ලියල තිබෙනවා . විශේෂයෙන්ම සිංහල බ්ලොග් ඇතුලේ “හරියට සිංහල“ භාවිත කරන බ්ලොග් සිමිතයි.

    ඒවගේම ඉස්කෝලේ යන කාළේ කරණම් ගහපු කොග්ගල වැල්ලේ පිංතූර දකිත්දි තවත් හිතට සතුටක් දැනෙනවා ,

    සටහනත් , ඡායාරූපත් සියල්ල ඉස්තරම් .

    ස්තුතියි

    ReplyDelete
  7. @අමිල චතුරංග, ධම්මික සඳරුවන්
    ස්තුතියි....

    @පැතුම් හේරත්
    මිල ගණං කාලෙන් කාලෙට වෙනස් වෙනවා.ඉල්ලුම වැඩි කාලෙට ගාණත් වැඩියි.

    @හසිත
    නිර්මාණශීලීව හිතන්නෙක්...

    @මහේෂ් නිශාන්ත
    ස්තුතියි මහේෂ් අයියා..අයියගෙත් ගම ගාල්ල බව අදනෙ දන්නේ...

    ReplyDelete
  8. හොද තොරතුරක්... ඡායාරූප ටිකත් කදිමයි.

    ReplyDelete
  9. @සිරාගේ කාමරේ
    ස්තුතියි මචං...

    ReplyDelete
  10. දැකුම්කළු සටහනක්.පින්තූර ටික ඉතාමත් සුන්දරයි.

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
  11. අපිත් ඔයාකාරම ගමනක් ගියානේ . අධිවේගේ ගාලු ගිහින් කොටුව බලලා බල පිටියේ නතර වෙලා ආවේ. මට ඔය ගමන ගැන ලියන්න කම්මැලි කමේ හිටියේ . ඔබ ලස්සනට ලියා තිබෙනවා .

    අපි හිටියේ මාදු ගඟ අයිනේ ''රෝමන් ලේක් '' කියල අලුත් තැනක . අන්තිම මොහොතේ බුක් කරන්න ගිහින් වෙරළාසන්න තැනක් සොයා ගන්න බැරි වුනා .
    හැබැයි විවේකෙන් ඉන්න මන් හිටපු තැනත් කියාපු තැන .

    ReplyDelete
  12. @ Gayani Wedage
    ස්තුතියි

    @බිංදි අක්කා
    මම දකුණ පැත්තට වැඩිය ගිහිල්ලා නැහැ.කොග්ගල ඔය,මාදු ගඟ සහ ගිං ගඟ හරිම සුන්දරයි කියලා අසා තිබෙනවා..

    ReplyDelete

අදහස්, උදහස්....

.