Thursday, December 6, 2012

ඡායාරූපකරණය සහ මම

11 comments
ඡායාරූපකරණය තීර්ථ යාත්‍රිකයගෙ ප්‍රධානම විනෝදාංශයක් වුනේ අහම්බෙන්.තීර්ථ යාත්‍රිකයා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට ආවෙත් ඒ වගේම අහඹු සිදුවීමක් නිසා.සමහර අහම්බයන් ජීවිතයට එකතු කරන්නේ යහපතක්.ඒ දවස්වල ප්‍රධානම විනෝදාංශ වෙලා තිබුනේ පොත් කියවීම, නිදාගැනීම :D , වගේ දේවල්. අන්තර්ජාලයයි පරිගණකයයි ජීවිතයේ ප්‍රධාන කොටසක් වුනාම ඒ විනෝදාංශ අතරට අන්තර්ජාලයේ රස්තියාදු ගහන එකයි, චිත්‍රපටි නරඹන එකයි එකතු වුනා.පහුකාලීනව කැමරා සහිත ජංගම දුරකතනයක් ලැබුනහම ඔහේ හතර අතට ෆොටෝ ගහන්නත් ඒ ඡායාරූප පරිගණකයේ ගබඩාකරල තියන්නත් තීර්ථ යාත්‍රිකයා පුරුදු වෙලා හිටියා. ඒත් ඡායාරූපකරණය ගැන හෝ එහි මූලික රීති ආදිය කිසිවක් ගැන අංශුමාත්‍ර දැනුමක් තිබුනේ නැහැ.


තීර්ථ යාත්‍රිකයාට ඡායාරූපකරණය සහ එහි රීති, අවිදිමත් වුනත් නිවැරදි ආකාරයකට අඳුන්වා දීල ඒ ගැන විශාල උනන්දුවක් ඇතිකිරීමට දායක වුනේ  තීර්ථ යාත්‍රිකයගේ හොඳම මිත්‍රයෙක්.ඔහුගෙ පියාත් පැරණි ඡායාරූපශිල්පියෙක්. ප්‍රදේශයේ උදවිය ඔහුව අමතන්නේ “කලා මහත්තයා“ යන අනවර්ථ නාමයෙන්.ඔහුගේ නිවසේ විවිදාකාර වර්ගවල කැමරා එකතුවක් තිබෙනවා. ඉන්බහුතරය රීල් දමන පැරණි පන්නයේ කැමරා ඉතිරි එවා නවීන  ඩිජිටල් කැමරා. තීර්ථ යාත්‍රිකයා ඡායාරූපකරණය ගැන උනන්දුවක් ඇති කරගත්ත මුල්ම කාලේ වෙනකොට (2009)  මගේ මිත්‍රයා සතුව තිබුනේ රීල් කැමරා පමණයි.

අපි මුලින්ම පටන්ගත්තේ ජංගම දුරකතන කැමරාවලින්. හේතු දෙකක් තිබුනා.

1) රීල් කැමරා වලින් ඡායාරූපකරණය කරනවා කියන්නේ මිල අධික විනෝදාංශයක්.
2) තීර්ථ යාත්‍රිකයා කවදත් කැමති මෘදු පිටපත්(Soft Copy) වලට.. :D

මුලින්ම මෙගා පික්සෙල් 1.3 ක් වූ Nokia 6131 දුරකතන කැමරාව.ඒ කාලයේ මගේ මිත්‍රයාට තිබුනා Sony Ericsson K750i වර්ගයේ දුරකතනයක්.එහි ඔටෝ ෆෝකස් පහසුකම, වැඩි මෙගා පික්සෙල් අගය(2) සහ ඉතා සමීප මැක්‍රෝ පහසුකම නිසා තීර්ථ යාත්‍රිකයත් පසුව එම වර්ගයේම දුරකතනයක් භාවිතා කලා. 2009 සිට 2011 අවසන් වෙනකම් තීර්ථ යාත්‍රිකයා භාවිතා කලේ විවිධ ජංගම දුරකතන කැමරායි. ඒ Nokia 6131 (1.3 mp), Sony Ericsson K750i (2 mp), Samsung Blackjack (2mp), Samsung Star Superb (5mp) දුරකතන වලින්. ඒ මුල්ම යුගයේ ඡායාරූප පසු සැකසුම ගැන , Rule of third වැනි මූලික රීති ආදිය කිසිවක් තීර්ථ යාත්‍රිකයා දැනගන සිටියේ නැහැ. පහලින් තියෙන්නේ මුල්ම යුගයේ ඡායාරූප කීපයක් (Nokia 6131 to Samsung Blackjack).




ඒ මුල්ම යුගය. ඊට පස්සෙ තීර්ථ යාත්‍රිකයා පාවිච්චි කලා Samsung star superb (5MP, Flash, Macro support) .ඒ කාලෙ වෙනකොට ඡායාරූප post process කිරීම පිළිඹඳ උනන්දුව වැඩිවෙලා තිබුනේ. ගත්ත ඡායාරූප Photoshop භාවිතයෙන් පසු සැකසුම් කිරීම් කලා.







ඒ වෙනකොට තීර්ථ යාත්‍රිකයගෙ මිත්‍රයා , රුවන් ඩිජිටල් SLR යුගයට ඇවිල්ලා තිබුනේ. ඔහු ලෝබ නැතිව තමන්ගෙ කැමරා හිතේ හැටියට පාවිච්චි කරන්න අවස්ථාව ලබල දුන්නා. ඒවා භාවිතයෙන් බොහෝ දෙවල් තීර්ථ යාත්‍රිකයා ඉගනගත්තා.ඔහුට ඒකට බොහොමත්ම ස්තුතිවන්ත වෙන්නට ඕනා.ඊට පස්සේ තමයි අන්තර්ජාලය හා අනිකුත් සම්පත් භාවිතා කරලා rule of third , වගේ ඡායරූපකරණයේ මූලික රීති විධි ක්‍රම තීර්ථ යාත්‍රිකයා ඉගනගත්තේ.
වර්තමානයේ  තීර්ථ යාත්‍රිකයා ඩිජිටල් කැමරා දෙකක් භාවිතා කරනවා.එකක් කම්පැක්ට් කැමරාවක්, අනික DSLR කැමරාවක්. Post Processing සඳහා භාවිතා කරනවා lightroom මෘදුකාංගය. පහල තිබෙන්නේ මෑත අතීතයේ ගත් ඡායාරූප කීපයක්. අන්තර්ජාලයට එක් කිරීම සඳහා කුඩා කිරීමේ දී ඇතැම් ඡායාරූපවල ගුණාත්මක භාවය අඩුවී තිබීම ගැන කමන්න.











ඡායාරූපයක් ගැනීම වගේම එය පසු සැකසුම් කිරීමත් හරිම අපූරු, ප්‍රියජනක කටයුත්තක්. ඡායාරූපයේ වර්ණ ,ආලෝක තත්වයන් නිවැරදි කරන අතරේ ,ඒවා සියුම්ව පිරික්සා අනවශ්‍ය කොටස් කපා ඉවත්කර සුදුසු පරිද්දෙන් වර්ණ ගැලපීමෙන් ඡායාරූපයක් සාමාන්‍ය තත්වයේ සිට කතාවක් කියන තත්වය දක්වා ගත හැකියි. හැබැයි ඒක ලෙහෙසි නෑ.  Image Infinity  කියල කියන්නේ තීර්ථ යාත්‍රිකයා , රුවන් (මිත්‍රයා) සහ තීර්ථ යාත්‍රිකයා ගේ ඥාති සහෝදර තිළිණ ඡායාරූප පලකිරීමට භාවිතා කරන ෆේස්බුක් පිටුවයි. කැමති නම් ඔබටත් ඒ පැත්තේ ගොහින් එන්න පුලුවන්. තීර්ථ යාත්‍රිකයා කෙසේ වෙතත් අනිත් දෙදෙනා නම් දක්ෂ ඡායාරූප ශිල්පීන්. ගිහින් බලන්න.එහි ඇති ඡායාරූප අති විශිෂ්ඨ ඒවා නම් නෙවෙයි, ඒත් එව්වා නරකම නැති වේවි.......

 ඔබත් ඡායාරූප ශිල්පයට කැමැත්තක් දක්වනවා නම් අන්තර්ජාලයේ ඔබ යා යුතුම තැන digital-photography-school.com වෙබ් අඩවියයි. එහි මුල සිට සරලව හා පැහැදිලිව සියලු කරුණ කාරනා සඳහන් වෙනවා. එමෙන්ම ලංකාවේ සිටින ප්‍රසිද්ද, අප්‍රසිද්ද ඡායාරූපශිල්පීන් ගනනාවක් සිටින  Photo Talk ගෘපයත් අපූරුම තැනක්.

11 comments:

  1. මමත් කාලයක් හරියට රසවින්ද විනෝදාංශයක්.....ඔයා හොද වින්දනයක් ඇති දක්ෂයෙක් බවයි පෙන්නේ....හරිම ලස්සනයි.....!

    ReplyDelete
  2. ෆෝන් කැමරාවෙන් උඹ දමපු වැඩටිකනං සිරාම සිරා මචෝ.

    මෙන්න මගෙ පොටෝග්‍රැපි
    http://www.ornaya.com/2011/11/blog-post.html

    ReplyDelete
  3. ලස්සන ෂොට්ස් ටිකක්.

    එල එල..

    ReplyDelete
  4. ස්තුතියි නෙලුම්

    @ඕනයා
    හෙහේ.. ඒ උඹේ ෆොටෝග්‍රැෆි සහ මාරයා දාල තියන විචාරය නං මරු..

    @අසරණයා
    ස්තුතියි මචං

    ReplyDelete
  5. ජීවිත කතාවම කියලා තියෙන්නේ කිස් දෙයක් ඉතුරු නොකරම.එල එල

    ReplyDelete
  6. ලස්සන ඡායාරූප එකතුවක්. සුභ පැතුම්

    ReplyDelete
  7. නියමයි මචන්. උඹට හොඳ ඇහැක් තියනවා, අන්න එක තමයි වැදගත්ම දේ, මටත් පුංචි කාලේ ඉඳන් පොටෝ ගහන පිස්සුව තිබුනා. ශිෂ්‍යාධාර හම්බුන ගමන් මම කරන්නේ අම්මට කියලා රීල් එකක් අරගෙන ගෙදර තිබුන කැමරාවට දාල පොටෝ ගහන එක. පස්සේ ඒ කැමරාව කැඩුන. ඊටත් පස්සේ යාලුවන්ගේ කැමරා, ෆෝන් ඉල්ලගෙන ෆොටෝ ගැහුවා. ඔය ආශාව ටික ටික යටපත් වුනා. හැබැයි නැත්තටම නෙමෙයි. එක එක වැඩ හින්දා.. ඒත් මේ ලඟකදී ඉඳන් මට ඒ ආශාව ආයෙත් ඇවිල්ල. කැමරාවක් නැති වුනත් මම මගේ ෆෝන් එකේ තියන මෙගා පික්සල් 5 න් ගන්න පුළුවන් උපරිම වැඩ ගන්නවා

    ReplyDelete
  8. ෆොටෝස් ටික නම් ඇත්තටම සුන්දරයි... ඒ අතරින් මම වඩාත්ම කැමති අර නමිනං ගහේ මල් තියෙන එකට...

    ReplyDelete
  9. @සංචාරකයා
    ස්තුතියි.

    @නලිනි චන්දිමා
    ස්තුතියි අක්කේ.

    @පැතුම්.
    ගොඩක් ස්තුතියි.ඒ වගේම තවත් ඡායාරූපකරණයට ලැදිකෙනෙක් දැනගන්නට ලැබුන එක සතුටක්..

    @සිරාගෙ කාමරේ..
    ස්තුතියි. ඒ ඡායාරූපය ගත්තේ Compact Camera එකේ මැක්‍රො මෝඩ් එකෙනුයි. පසු සැකසුම් කලා ලයිට්රූම් වලින්.

    ReplyDelete
  10. මගේ කවි ලියපු බ්ලොග් එකට දාපු පොටෝ කීපෙකට තීර්ථ යාත්‍රිකයා දාපු පරන කමෙන්ටුවක් හරහා මේ පැත්තට ආවමයි දැක්කේ තීර්ථයත් ෆොටෝග්‍රැෆර් කෙනෙක් බව. :)
    ෆොටෝ ටික නං උපරිමයි!!!

    ReplyDelete

අදහස්, උදහස්....

.