Wednesday, September 5, 2012

වස්ගමුව වනෝද්‍යානය, මානිගල තරණය සහ නකල්ස් සංචාරය

19 comments
ආයුබෝවන් !  ටික කාලෙකට පස්සේ තීර්ථ යාත්‍රිකයා නැවත සටහනක් තබන්නේ මෑතකදී යෙදුන සුන්දර සංචාරයක සටහනක් සමඟයි. සංචාරය සංවිධානය කර තිබුනේ නකල්ස් හි ඇති Sir John's Bungalow සංචාරක ආයතනය මඟින්. සංචාරයට එක්වුනේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ සංචාරක සමාගම්වල නියෝජිතයින්. තීර්ථ යාත්‍රිකයා නියෝජනය කලේ Walksons Tourist ආයතනයයි. දින දෙකක සංචාරයේ ප්‍රධාන සංදිස්ථාන ත්‍රිත්වයක් අඩංගු වුනා. ඒ

1) සර් ජෝන් බංගලාව (නවාතැන)
2) වස්ගමුව වනෝද්‍යානයේ (ජීප් සෆාරිය)
3) මානිගල තරණය (Trekking)


ගමන ඇරඹුනේ කොළඹින්.ගමන සඳහා යොදාගැනුනේ Toyota Coaster වර්ගයේ රථයක්.කොළඹ සිට කුරුණෑගල හරහා මාතලේ දක්වා වූ ගමනේ එතරම් විශේෂිත තොරතුරක් නැහැ.ගමන අතරතුරේදී කුරුණෑගල  බඩගමුවේ පිහිටා ඇති සංචාරක තොරතුරු මධ්‍යස්ථනය වෙත ගොඩ වැදීමටද අපි අමතක කලේ නැහැ. වයඹ සංචාරක ප්‍රවර්ධන සංවිධානය සහ රජ්‍ය අනුග්‍රහය ඇතිව ගොඩනැඟුනු එහි නවීන පහසුකම් සියල්ලක්ම පාහේ තිබුනා. ඇත්තටම අගේ කල යුතු ව්‍යාපෘතියක්. 

තැනිතලාවෙන් කඳුකරයට පිවිසි අපි මාතලේ නගරයට පිවිසුනා.ඉන් අනතුරව පටු, වංගු සහිත මාර්ගයක් ඔස්සේ අපි ගමන් කලේ අපගේ නවාතැන වන සර් ජෝන් බංගලාව වෙතට ගමන්කිරීමටයි. බංගලාව පිහිටා ඇත්තේ මාතලේ නගරයට කිලෝමීටර 30ක් පමණ ඈතින් නකල්ස් කඳු ප්‍රදේශයේයි. වංගු සහිත පටු මාර්ගයේ ගමන් කල අප ක්‍රමයෙන් නකල්ස් රක්ෂිත ප්‍රදේශයට ඇතුලු වුනා.

තීර්ථ යාත්‍රිකයාට මෙම සංචාරයේදී සුවිශේෂී පුද්ගලයෙකු හඳුනාගැනීමට හැකිවුනා. ඔහු නමින් කෟෂල්‍ය. ඔහු පරිසරවේදියෙක්. අසාමාන්‍ය ලෙස වනසතුන්ට සහ කුරුල්ලන්ට ප්‍රිය කරන්නෙක්. තීර්ථ යාත්‍රිකයාට ඔහු දුටු සැනින් මතක් වුනේ Big Year චිත්‍රපටියේ Brad Harris වයි. ඇවිදින විශ්වකෝෂයක් බඳු කෟෂල්‍ය ඕනෑම ශාකයක්, සත්වයෙක් දුටු සැනින් ඒ පිළිඹඳ පූර්ණ විස්තරයක් ලබාදීමට සමත්කම් දක්වන්නෙක්. ශ්‍රී ලංකාවේ පරිසර පද්ධති පිළිඹඳ හසල දැනුමක් ඇත්තෙක්.ඔහුගේ ක්ෂේත්‍රයේ හිතවතුන් ඔහුව අමතන්නේ Birdy නැතිනම් The Bird යන අනවර්ත නාමයෙනුයි. ඔහුත් අපි සමඟ මෙම චාරිකාවට එකතුවීම අපගේ දැනුම වැඩිකරීමට ඉවහල් වුනා.
වනාන්තරය මැදින් වංගු ගහන පටු මාර්ගය දිගේ යන අතරේ කෟෂල්‍ය අපට බොහෝ දේ පැවසුවා.ඔහුට අනුව එම ප්‍රදේශයේ එම කාලයේ වන අලින් ඉතා බහුලයි. ඒ තත්වය නිසා ප්‍රදේශවාසීන් ඉතා දැඩි අපහසුතාවයකට පත්වෙන බවද ඔහු වැඩිදුරටත් පැවසුවා. නෙදර්ලන්ත ව්‍යපෘතියක් ලෙස ආරම්භ වුන “රෙඩ් බානා“ ගම්මානය පිහිටා ඇත්තේත් අසල වනාන්තරයේයි. නමුත් වන අලි ගැටලුව නිසා එක් අයෙකු ඇරෙන්නට මේ වන විට ගම්මානයේ අනෙකුත් පදිංචිකරුවන් සියල්ල ගම හැරදා ගොසින්. දහසකුත් උවදුරු මැද ගම්මානය හැර නොයා සිටින ඒ වයෝවෘද්ධ මහතා ගැන තීර්ථ යාත්‍රිකයාගේ සිතේ ඇතිවුනේ ගෞරවණීය හැඟීමක්.

අවසානයේ දිවා ආහාර වේලාව වන විට අප සර් ජෝන් බංගලාවට ලඟාවුනා. නකල්ස් කඳු වලල්ලෙන් වටවී ඉතා උස් භූමියක තේ වගාවක් මැද හුදකලාව පිහිටි මේ සුන්දර නවාතැන ඉතාමත් සෞම්‍ය පරිසරයක පිහිටි නෙතට රසඳුනක් බඳු වූ කදිම ස්ථානයක්. බංගලාවේ මිදුලට බට විට මනරම් වූ භූ දර්ශනයක් හාත්පසින්ම දිස්වෙනවා.






හාත්පස භුමි දර්ශනය

තේ මලක්
ජනාවාසයෙන් ඈත්ව හුදකලාව පිහිටියත් සියලු නවීන සැප පහසුකම් වලින් සමන්විත බංගලාව අපූර්ව ස්ථානයක්. කලක් ශ්‍රී ලංකාවේ අගමැති ධූරය දැරූ සර් ජෝන් කොතලාවල මහතාට අයත්ව තිබූ මෙම සුවපහසු නවාතැන දැන් සංචාරකයන් සඳහා විවෘතයි.තීර්ථ යාත්‍රිකයාට එහි පැමිණි වහාම ඇතිවූයේ පනහේ දශකයේ මහාමර්ග කිසිවක් නැතිව හුදකලාව වනයෙන් වැසී ගිය මේ අති සුන්දර ස්ථානය සර් ජෝන් සොයාගත්තේ කොහොමද යන සිතුවිල්ලයි.
ප්‍රණීත දිවා ආහාරයෙන් අනතුරුව මඳක් විවේක ගත් අපේ කණ්ඩායම මදක් සවස්වූ පසු නැවත ගමනාරම්භ කලේ වස්ගමුව වනෝද්‍යානයේ ජීප් සෆාරියක යෙදීමේ අරමුනින්.මිනිත්තු අනූවක පමණ ගමනකින් පසු අප කණ්ඩායම වස්ගමු වනෝද්‍යානය අසලට ළඟාවුනා. ජීප් සෆාරි සඳහා යොදාගන්නා කැබ් රථයක නැගී වලවල් සහිත බොරලු මාර්ගයේ ගැස්සෙමින් , දූවිල්ලට නිරාවරණය වෙමින් අපි ක්‍රමයෙන් වනාන්තරය තුලට පිවිසුනා.
වස්ගමුව අලි ඇතුන් සඳහා බෙහෙවින් ප්‍රසිද්ධයි. එම අලි ඇතුන් මිනිසුන් ඉදිරියේ බෙහෙවින්ම ලැජ්ජාශීලී කුලෑටි ගතිගුණවලින් යුක්ත බව අපට කෟෂල්‍ය දැනුම් දුන්නා.


මද දුරක් යාමේදී අලින් කීපදෙනෙකුම මුන ගැසීමට අපට හැකිවුනා.අභය භූමියේ වූයේ බෙහෙවින් වියලී ගිය ස්වරූපයක්.




වියළී ගිය ජලාශයක් ආශ්‍රිතව විශාල කුලු මීමුන් රංචුවක් දැකගැනීමට හැකියාව ලැබුනත් ඡායාරූපයක් ගැනීමේ භාග්‍ය ලැබුනේ නැහැ. විවිධාකාර පක්ෂීන් විශාල ප්‍රමාණයක් ගමන අතරතුරේදී හමුවුනා. දැඩි පක්ෂි ලෝලියෙකු නොවන තීර්ථ යාත්‍රිකයා ඔවුන් ඡායාරූපයට නැගීමට උත්සාහයක් නොගත්තේ එය තරමක් අපහසු කාර්යයක් මෙන්ම ඒ සඳහා අවශ්‍ය සූම් ලෙන්සයක්ද නොතිබුන නිසාවෙන්.


කෙමෙන් කෙමෙන් හිරු බැසගොස් අභය භූමියට කෙමෙන් කෙමෙන් අඳුර වැටීගෙන එද්දී වස්ගමුවට හා වනසතුන්ට සමුදී අප කණ්ඩායම ආපසු ඇදුනා. වියළි පරිසරයන් නැවතත් තෙත්කලාපයට පැමිණීම සනිටුවන් කරමින් නැවතත් නකලස් රක්ෂිතයට අප පැමිනෙද්දී හාත්පස මුලුමනින්ම අඳුරින් වෙලී තිබුනා.කෟෂල්‍ය ගේ කීම  සනාථ කරමින් හදිස්සියේම මාර්ගය අසබඩට පැමිනි හස්තියෙකුද අඳුර අතරින් දක්නට ලැබුනා.

මිහිදුම් සලුවෙන් වෙලී අධික ශීතලකින් හාත්පසම වෙලාගන ඇති සන්ධ්‍යාවේ අඳුර අතරින් බංගලාවට පැමිණි අපි ඇඟපත සෝදාගන කෙටි සතුටු සාමීචියකින් අනතුරුව රාත්‍රී භෝජනයෙන් සන්තර්පණය වී ඉක්මණින්ම නින්දට වැටුනේ පසුවදාට නියමිත දීර්ඝ පාගමන (Trekking) වේලාසනින්ම අරඹන අදිටනින්. රාත්‍රියේ කුමන හේතුවක් නිසාවෙන්වත් මුදුලට නොබසින ලෙසට අපට අවවාද ලැබුනා.හේතුව ඇතැම් දිනවල කුලු හරක් බංගලාවේ මිදුලටම පැමිනෙන නිසාවෙන්.බංගලාවේ මිදුලේ තණ බිස්ස මට්ටම් වී ඇත්තේ කැපීමෙන් නොව කුලු හරක් උලා කෑමෙන්ම බවත් වැඩිදුර කරුණු විමසූ තීර්ථ යාත්‍රිකයාට දැනගන්නට ලැබුනා. අධික ශීත රාත්‍රී යාමයේ ,සුව පහසු ඇඳේ බ්ලැන්කට්ටුවක් යටටවී  තොරතෝංචියක් නැතිව කෑමොර දෙන සුළඟේ හඬට කන්දෙමින් සිටි තීර්ථ යාත්‍රිකයා උදෑසන පහයි තිහට එලාම් තබාගන නින්දට වැටුනා. 

පහයි තිහට අවධිවී කැමරාවත් රැගෙන තීර්ථ යාත්‍රිකයා බංගලාවේ මිදුලට බැස්සේ නකල්ස් කඳු පන්තිය අතරින් හිරු නැගෙන සොඳුරු දර්ශනය නැරඹීමටයි. මිදුලට බට විට දැකීමට ලැබුනේ අති සුන්දර දර්ශනයක්. බංගලාව පසුබිමේ පෙනෙන නකල්ස් කඳු පන්තියේ ඉහල මුදුන් මීදුමෙන් වැසී තිබුනා. පරිසරය මුලුමනින්ම මීදුම් සලුවෙන් වැසීගොස්. ඈත නිම්නයත්  අරුණලු වැටීගෙන එන අහසේ  අහසේ විවිද පැහැයෙන් වූ  වලාකුලු මතුකලේ අති සුන්දර දර්ශනයක්.


ජලවාෂ්ප අධික මිහිදුම් සහිත කාලගුණය කැමරාවට අහිතකරයි.ඒත් ඒ අවදානම දරාගන තීර්ථ යාත්‍රිකයා ඡායාරූප කීපයක් ලබාගත්තා. උඩ ඡායාරූපයේ දැක්වෙන්නේ කණ්ඩායමේ ගමන් සගයෙකු ලබාගත්, පහත නිම්නය දෙසට කැමරාව මානාගන සිටින තීර්ථ යාත්‍රිකයාගේ ඡායාරූපයක්.


සූර්යයා සිය පළමු රැස් දහර මතුකරමින් නැගෙන අයුරු


ඇත්තෙන්ම එය අපූරු අත්දැකීමක්.අමතක නොවන සුන්දර අත්දැකීමක්. ඉන් අනතුරුව යෙදුන මානිගල තරණය තීර්ථ යාත්‍රිකයාගේ පළමු trekking අත්දැකීමයි. අති දීර්ඝ ලිපි පලකිරීමෙන් පාඨකයා වෙහෙසට පත්වන බව නැවත නැවත ඔප්පු වූ කාරනයක්.ඒ නිසා ඉතිරිය පසුවට...............

19 comments:

  1. ලස්සන ‍ෆොටෝ එක්ක විස්තරය!

    ReplyDelete
  2. දැක්ක වගේම නැතත් ඊට කිට්ටුවෙන් රස වින්දා.. මරු පින්තුර ටික..

    ReplyDelete
  3. නියමයි අමිල... සුපිරි....

    ReplyDelete
  4. හරිම ලස්සන වාර්තාවක්. යන්න අවස්ථාවක් හොයාගෙන යන්න ඕනා.

    ReplyDelete
  5. ලස්සනයි පින්තුර ටික..

    ReplyDelete
  6. නකල්ස් යන්න ඕන ඉක්මටම!

    ReplyDelete
  7. @පැණි දොඩම්
    ස්තුතියි ස්තුතියි :) දොඩම්ගෙ චාරිකා සටහනත් අපූරුයි.

    @සරත් අයියා.
    ස්තුතියි. එහෙනම් මගෙ ලිවිල්ල සාර්ථකයි වගේ.

    @ගෝල්ඩ් ෆිෂ්
    තැන්කූ මචෝ

    @වන වදුල
    යන්න යන්න.හරිම සුන්දර අමතක නොවෙන චාරිකාවක්.ඒ වගේම බංගලාවේ කෑම බීමත් හරිම අගෙයි.

    @චමී4යූ

    ස්තුතියි.

    @සබිත්
    යන්න සහෝ. අපූරුම අත්දැකීමක් වේවි.

    ReplyDelete
  8. ඔබේ ඡායාරූපකරණය නම් විශිෂ්ඨයි... ඒවා දුටුවනම මටත් යන්නට හිතුනු තැනක් මේ බංගලාව... ඉතිරි කොටසත් බලමු...

    ReplyDelete
  9. @සිරාගෙ කාමරේ

    ස්තුතියි සහෝදරයා... ඒක හරිම අපූරු තැනක්. හැන්දෑවට ඇඳට වෙලා මොර දෙන හුළඟෙ ශබ්දෙ අහන එක .... කියල වැඩක් නෑ..

    ReplyDelete
  10. ලස්සන ෆොටෝ ටික, විස්තරයත් ආයේ දෙකක් නැහැ.....

    ReplyDelete
  11. @ සජිත්.
    තැන්කෝ තැන්කෝ මචෝ...

    ReplyDelete
  12. ෆොටෝස් ටික නම් මම කලින් ෆේස්බුක් එකෙන් දැක්කා වගේ මතකයි. සර් ජෝන්ගේ බංගලාව නම් නියම තැන. අපි යන දවස්වල හිටිය මැනේජර් තෙන්නකෝන් කියලා මිනිහත් නියම පොර :)

    ReplyDelete
  13. අවුරුදු 2කට උඩදි වස්ගමුව ජීෆ් සෆාරිය ගියා..හැබැයි අපි එහෙට යනකොට හවස් වෙච්ච නිසා ගොඩක් සත්තු නම් දැක්කෙ නෑ..

    ReplyDelete
  14. @හසිත
    දාල තිබුනා නේන්නං..

    @ වෙනි අයියා
    අපිත් ටිකක් විතර හවස තමයි ගියේ.හැබැයි අපේ වෙලාවටද කොහෙද සත්තු සෑහෙන්ඩ හිටියා

    ReplyDelete
  15. යාමට ඉටා ගත්තෙමි!

    ReplyDelete
  16. මං ගෙහුං නෑ නෙව පුතේ.යන්ට ඕනි.

    පින්තූර ටික නම් පංකාදුයි.

    ReplyDelete
  17. @Bunny
    ගිහිල්ලා බලන්න බනියා. බොහොම අපූරු තැනක්...

    @අංකල් මයා | Mr. Uncle
    ස්තුතියි , යන්ට යන්ට, ගොහිං බලාගත්තා නං පින්තූර බැලුවා වගේ නෙවි, අපූරු ආස්වාදයක් ලැබේවි...

    ReplyDelete
  18. නියමයි.ඒ වගේම ලස්සන ෆෝටෝ ටික.වැදගත් වන්නේ ඔබ දන්නේ දේ ඔබට නෙමෙයි අපට දැනෙන විදියට ලබා දිමය.එක ඔබ කරලා තියෙනවා.ඔබට ජය!
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete
  19. @ Gayani Wedage
    බොහොමත්ම ස්තුතියි ඔබට. :)

    ReplyDelete

අදහස්, උදහස්....

.