Thursday, March 8, 2012

බ්ලොග් කරණයේ දෙවසරක්.. 2 Years in blogging and good old days

32 comments
මෙම ලිපිය හොඳින්ම වලංගු වෙන්නේ පහුගිය මාසයට නැතිනං පෙබරවාරි මාසයට වුනත් ලියන්න ගත්තේ අද. :D . කාලය යන විදිහට ගෙවිලා ගිහිල්ලා මේ වෙනකොට තීර්ථ යාත්‍රාවට අවුරුදු දෙකක් පිරිලා හමාරයි.ඒක ඒ තරම් කියවන්නවත් සමරන්නවත් දෙයක් නොවුනත් කාලෙකින් බ්ලොගයේ මුකුත් ලියවෙච්චි නැති නිසා ඒ විස්තරෙත් පදනම් කරගෙන තීර්ථ යාත්‍රිකයාගේ අන්තර්ජාල ඉතිහාසයේ අත්දැකීම් ගැන පෝස්ටයක් ලියන්න හිතුනා.

තීර්ථ යාත්‍රාව කියන්නේ තීර්ථ යාත්‍රිකයා ආරම්භ කරපු තුන්වෙනි සිංහල බ්ලොගය.ඒ වගේම හරියට දිගටම පවත්වගන ආපු එකම සිංහල බ්ලොගය.එතකොට තීර්ථ යාත්‍රිකයාට මව්බසින් බ්ලොග් ලියන්න හිතුනේ ඇයි ? කියන එක ,ඒකට නම් උත්තර අදටත් නෑ..නිකංම හිතුනා කියන්න තමයි වෙන්නේ.


තීර්ථ යාත්‍රිකයාටම කියලා පරිගණකයක් මුලින්ම ලැබුනේ 2004 අවුරුද්දේ.ඒ සාමාන්‍ය පෙල විභාගය හොඳින් සමත්වුනාට තෑග්ගක් විදිහට. මුල්ම 128 RAM , 2.4 Ghz Processor, 40GB HDD තිබිච්චි AMD එකක්. ඕක 2008 මැද හරියේ අවසන් ගමන් ගියත් ඕකෙන් තමයි මුලින්ම තීර්ථ යාත්‍රිකයා unicode වලින් බ්ලොග් සටහනක් ලියලා දැම්මේ. පරිගණකය ලැබිලා අවුරුද්දකට විතර පස්සෙ  ඩයල් අප් මොඩමයක් එහෙමත් හයිකරගන ගෙදර ඉඳගන අන්තර්ජාලෙට රිංගන්න ගත්තත් මුලින්ම අන්තර්ජාල අත්දැකීම ලැබුවේ 2003 ඉන්ටර්නෙට් කැෆේ එකකට ගිහිල්ලයි. ඒ කාලෙ පැයකට පනහද කොහෙද හරියටම මතක නෑ. ගියේ තනියම ඔහේ කැරකි කැරකි ඉඳලා ආවා. මොකද කරන්න දෙයක් දන්නැති නිසා. සර්ච් ඇන්ජින් ගැන අහලා තිබුනට සර්ච් කරන්න දන්නේ නෑ. එක එක බ්‍රවුසර් ගැන අහලවත් නෑ. දන්න එකම එක ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර්...ඒ කාලෙ මතක් වෙද්දි දැනටත් හිනා යනවා.වෙච්චි දේවල් මතක් වෙලා.

ගෙදරට අන්තර්ජාලෙ තිබුනට ඩයල් අප් වල වේගය අමුතුවෙන් මතක් කරන්න ඕන නෑනේ. 44.6 Kbps තමයි එන්නේ උපරිම . ඒ කාලෙ ADSL පැත්ත පලාතක නෑ.මොබයිල් බ්‍රෝඩ් බෑන්ඩ් ගැන අහලවත් නෑ.වයි ෆයි, වයි මැක්ස්....හීනෙන් තමයි... ගෙදරින් මාසෙකට එක කාඩ් එකකට ප්‍රතිපාදන පාස්වෙනවා. එක්කෝ SLT ලගේ කාඩ් එක නැත්තං සන්ටෙල් wow කාඩ් එක. නෙට් එකට කනෙක්ට් වෙන්න පටන්ගන්නේ හැන්දෑවේ නවයට විතර. නැත්තං ටෙලිෆෝන් බිල නගින නිසා. වෙලාවකට කනෙක්ට් වෙන්න හරිම අමාරුයි.කට්ට කාල කට්ට කාලා ඩයල් කරලා ඩයල් කරලා තමයි කනෙක්ට් වෙන්නේ.ඩයල් අප් වලින් නෙට් ගිය කට්ටියට මතක ඇති ඩයල් වෙනකොට එන සද්දේ..... (අහල නැති අය මෙතනින් අහලා බලන්න ..http://www.youtube.com/watch?v=iHW1ho8L7V8) . ඒ දවස්වල ඔය සද්දෙ මොකද්ද කියලා දන්නේ නෑ.දවසක් අල්ලපු ගෙදර අයියා කීවා  “මචං දැන් කනෙක්ට් වෙන්නේ කේබල් එකක් දිගේ ගිහිල්ලානේ.ඔය කේබල් මුහුද යටින් එහෙමත් යනවා.ඒ සද්දේ එන්නේ මුහුද යටින් යද්දි“ කියලා.... :D. ටිකකින් සද්දෙ නැතිවෙලා කනෙක්ටෙඩ් කියලා වැටිලා 44.6 Kbps කියලා වේගය වැටෙද්දි එන සන්තෝසේ..ඒ දවස්වල.තාමත් මතකයි. කොහොමටත් පැයක් විතර යද්දි ආයේ ස්වයංක්‍රීයවම disconnect වෙනවා. ගෙදර අයගෙන හැන්දෑවට බැනුම් කෝටියයි. ඇයි කෝල් ගන්න බෑනේ ලෑන්ඩ් ලයින් ෆෝන් එකෙන්. ඔන්න ඔය කම්පියුටරෙනුයි ඔය ඩයල් අප් මොඩම් එකේ පිහිටයනුයි තමයි තීර්ථ යාත්‍රිකයා මුලින්ම බ්ලොග් එකක් ලීවේ.

ඒ දවස්වල ඉඳලා තීර්ථ යාත්‍රිකයාට පුදුම උණක් තිබුනේ අන්තර්ජාලය හා වෙබ් අඩවි ගැන.පුදුම උනක් තිබුනේ වෙබ් අඩවි හැදිල්ල ගැන ,මෙලෝ හසරක් ඒ ගැන දැනං හිටියෙ නැති වුනත්. කොහෙම හරි ඒ උණම අද තීර්ථ යාත්‍රිකයාව Web Developer කෙනෙක් කරලා තියනවා. ඒ දවස්වල එක එක නිකං දෙන සර්විස් සයිට් බිල්ඩර් පාවිච්චි කරලා හදපු පුංචි පුංචි පේජස් බරක් තිබුනා. මේ ළඟදී සරච් කරලා බලනකොට ඒවයෙන් කීපයක්ම ආපහු හම්බුවුනාම ආපු හැඟීම කියලා වැඩක් නෑ..

කොහෙම හරි මුලින්ම බ්ලොග් එකක් කියලා ලියන්න පටන්ගත්තේ ඉංග්‍රීසි බ්ලොග් එකක්. බැරි බැරි ගාතේ වචන අමුන අමුන ඔහේ ලිව්වා.කමෙන්ට් නෑ. ෆලෝවර්ස්ලා නෑ. ඊට කාලෙකට කලින් යාහු ජියෝසිටීස් වලයි යාහූ 360 යි හදාගත්ත පේජස් තිබුනත් ඒ දවස්වල බ්ලොගින් කියන්නේ මොකද්ද කියලා දැනගන උන්නේ නෑ. කාලෙකින් ඕකට ඇඩ් සෙන්ස් එහෙමත් දාගත්තා. මං හිතන්නේ තාම ගෙදර ඇති ගූග්ල් එකෙන් ඇඩ්සෙන්ස් හදාගත්ත අයට එවන පින් නම්බර් එක තියන ලිවුම. ඩොලර් 28 ක් විතර දැහෙමෙන් සෙමින් හොර ක්ලික් එහෙම දාලා හොයාගත්තට පස්සේ කෙලියා අකවුන්ට් එකට. :D.   

සිංහල ෆොන්ට් හම්බවුනාට පස්සෙ තීර්ථ යාත්‍රිකයා විජේසේකර යතුරුපුවරුවට හුරුවෙලා හිටියා.ඊට ටික කාලෙකට පස්සෙ එහෙන් මෙහෙන් ඇහෙන්න ගත්තා සිංහල යුනිකෝඩ්...සිංහල ටැමිල් කිට් එක වගේ එව්වා.ඕන එකක් කියලා ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ ටයිප් කරලා බලන කොට හරිම ලේසියි.මොකද කලින් විජේසේකර යතුරු පුවරුවට හුරුවෙලා හිටපු නිසා.අනිත් සිංහල ෆොන්ට් වල වගේ හල් අකුරු ගහන්න ඕල්ට් එකත් එක්ක එක එක ඉලක්කං ගහන්න ඕනත් නෑ.ඒ හින්දා අනිත් සිංහල ෆොන්ට් අල්ලලා දාලා යුනිකෝඩ් දිගටම තියාගත්තා.ඉතිං ඔය කාලේ තීර්ථ යාත්‍රිකයාට හිතුනා දින සටහන් වගේ දේවල් සිංහලෙන් ලියලා පොතක් වගේ එකක් හදාගන කම්පියුටර් එකේ තියාගන්න ඕනා කියලා.ඒක හදාගන්න පාවිච්චි කලේ මල්ටි මීඩියා බිල්ඩර් කියලා ඇප්ලිකේෂන් එකක්. මොකද ඒ කාලේ  තීර්ථ යාත්‍රිකයා ප්‍රොග්‍රැමින් දන්නේ නෑ. A/L කාලේ...2007 විතර.ඉතිං ඔය විදිහට එක එක ඒවා ලියලා මැෂින් එකේ තියාගත්තා. එන යාලුවන්ට එහෙමත් පෙන්න පෙන්න හිටියා.ඔහොම කාලයක් ගියා....

දැන් මේ කියන්න යන කාලෙ වෙනකොට තීර්ථ යාත්‍රිකයා A/L කරලා තොරතුරු තාක්ෂණ අංශයෙන් වැඩිදුර අධ්‍යාපනය ලබන්න පටං ගත්ත කාලේ.මතක නෑ හරියට මොන කාලෙද කියලා, ටෙලිකොම් එකෙන් ADSL දෙන්න පටං ගත්තා. තීර්ථ යාත්‍රිකයාටත් ඉබ්බා දියට දානකොට ඇන්නෑවේ කිව්වා වගේ. ගෙදරට කියලා කියලා අප්පච්චිගෙන් අවසර අරං ටෙලිකොම් එකට ගිහිං ලියුමක් දීලා ආවා. ඊට පස්සේ සැරෙන් සැරේ සැරෙන් සැරේ යනවා ටෙලිකොම් එකට. මොකද ඒ කාලේ අපේ පැත්තටම ADSL දීලා තිබුනේ නැති නිසා. ටෙලිකොම් එකේ උන්ට මාව හොඳට මතකයි ඒකාලේ සැරෙන් සැරේ ගිහිං උන්ට කරදර කරන නිසා. කොහොම හරි දවසක් ටෙලිකොම් එකේ ජෝඩුවක් කාර් එකක තකහනියක් ගෙදරට ඇවිල්ලා username password දීලා ගියා ADSL කනෙක්ෂන් එකේ...ටික දවසකින් කනෙක්ෂන් එක හරි.

වැඩක් නැති වෙලාවට අන්තර්ජාලයේ රස්තියාදුව තමයි ඒකාලේ ප්‍රධානම විනෝදාංසෙ.ඔහොම රස්තියාදු ගගහ ඉන්නකොට දවසක් අහම්බෙන් වගේ සිංහලෙන් ලියපු බ්ලොග් එකකට ගියා.මතක නෑ මොකද්ද කියලා හරියටම. ඊට පස්සේ පොඩ්ඩක් හොයලා බලපුවාම තව සිංහලෙන් ලියපු බ්ලොග් කීපයක්ම හම්බවුනාට පස්සේ තීර්ථ යාත්‍රිකයාටත් හිතුනා සිංහලෙන් මොකක් හරි බ්ලොග් එකක් අටවන්න. myblog.lk කියලා සයිට් එකක් තිබුනා ඒකාලෙ.කට්ටියට මතක ඇති. ඒකෙන් සිංහල බ්ලොග් ලියන උදවියට නොමිලේ බ්ලොග් එකක් හදාගන්න ඉඩකුයි සබ් ඩොමේන් එකකුයි දුන්නා. යුරාජ් කියලා සහෝදරයෙක් ලියපු බ්ලොග් එකක් තමයි හොඳින්ම මතක.ඊට අමතරව තව තිබුනා නිසඳැස් ලියපු බ්ලොග් එකකුයි  අනිත් ඒවා නම් එච්චරම මතක නෑ. myblog.lk වලම තීර්ථ යාත්‍රිකයාත් මුලින්ම බ්ලොග් එකක් අටවාගත්තා. පාවිච්චි කරපු නම නම් මතක නෑ.බ්ලොග් එකේ නමත් අමතකයි.මෙන්න මෙතෙන්ට ගියොත් පරණම බ්ලොග් කාරයෝ ටිකක් බලාගන්න පුලුවන් වේවි (http://web.archive.org/web/20081218125656/http://myblog.lk/)

නමුත් අන්තර්ජාලයේ තමන්ගේ අනන්‍යතාවය එළියට දාන්න එපා කියලා ඒ දවස්වල නිතරම උගන්නපු නිසා සංවාද වලට, අනන්‍යතාවය හෙලිකරන්න වගේ දේවල් වලට ගියේ නෑ... :D.ටික කාලෙකින් ඒ බ්ලොග් එක අමතක වෙලා ගියා ,ලිපියක්ද දෙකක්ද කොහෙද ඒකෙ තිබුනේ... කාලෙකට පස්සේ හිතුනා ඇත්ත නමින්ම බ්ලොග් එකක් තිබුනා නම් හොඳයි කියලා බ්ලොගර් වල අලුතින් එකක් පටන් ගත්තා. පරණ එක අල්ලලා දැම්මා.ඒ වෙනකොට සිංහල බ්ලොග් වැඩි වෙලා තිබුනා. ඒ කාලෙ තමයි සිංහල බ්ලොග් කියවනයත් හම්බවුනේ. ඒක නිසා බ්ලොග් කියවීම වැඩිවුනා. සිංහල බ්ලොග් කියවනය පටං ගත්තේ කොයිකාලෙද කියල නං දන්නෙ නෑ.ඒ කාලෙ කියවපු බ්ලොග් වලින් හොඳින්ම මතකෙ තියෙන බ්ලොග් එක තමයි මගේ මරණෙගේ බ්ලොග් එක.(http://maranaya.blogspot.com/). නමේ තිබුන අමුතුකම නිසා තමයි හොඳටම මතක හිටියේ.පරණම බ්ලොග් කාරයෙක්, කාලයක් නවත්තලා හිටියත් දැන් ආයෙ ලියන්න අරං වගේ. ඊට අමතරව සුදාරකගේ සටහන්,ඩ්‍රැගන් ඩී ගේ දිනපොත, ශාකුන්තලගේ සටහන් පොත,මලින්ත ගේ බ්ලොග් එක එහෙමත් මතකයි. තීර්ථ යාත්‍රිකයාගේ දෙවනි බ්ලොග් එක නම්කරලා තිබුනේ සංඛ්‍යංක සිහිනය කියලා. පටන් ගත්තේ 2009 මාර්තු විතර. ඒක තිබුනේ සැබෑ අනන්‍යතාවයෙන්ම ලියලයි.නමුත් ඒ කාලෙ තීර්ථ යාත්‍රිකයා වැඩිය බ්ලොග් වලට කමෙන්ට් කරන්නෙවත් අත්‍ය තත්‍ය අවකාශය හරහා යාලු මිත්‍රකම් ඇති කරගන්න වත් ගියේ නැහැ (අන්තර්ජාලයේ හැසිරෙන හැටි ගැන Modules වගයක් ඉගැන්නුවේ ඒ දවස්වල ඒකයි... :D ).  කොහොම හරි 2009 අගෝස්තුවල තමයි සංඛ්‍යංක සිහිනයේ අන්තිම ලිපිය පලවුනේ. ඒ බ්ලොග් එකත් නතර වෙලා ගියා.තීර්ථ යාත්‍රිකයාත් ගෙදරින් වෙන තැනකට ගිය නිසා අධ්‍යාපන කටයුතු වලට පහසුවෙන්නත් එක්ක ටික කාලෙකට බ්ලොග් ලිවීම නතර වෙලා හුදෙක් පාඨකයෙක් විතරක් වෙලා හිටියා.

කාලයක් තිස්සේ සැරෙන් සැරේ බ්ලොග් කියව කියව ඉද්දි ආයෙත් බ්ලොගක් පටං ගත්තනං හොඳයි කියන හැඟීමත් එක්ක තමයි 2010 පෙබරවාරි මාසේ තීර්ථ යාත්‍රාව කියන මේ බ්ලොගය පටන් ගත්තේ. ඒ තීර්ථ යාත්‍රිකයා කියන අනන්‍යතාවයෙනුයි. ඇත්තටම කිව්වොත් මේක තමයි හරියටම බ්ලොග් එකක් වශයෙන් ස්ථාවරම කරගන ගිය..කරගන යන්ට බලාපොරොත්තුවෙන බ්ලොගය. ඉතිං කතන්දරේ ඔච්චර තමයි. දැන් බ්ලොග් කරණයේ සහ බ්ලොග් කාරයෙක් වීම නිසා ඇතිවෙච්චි අතුරු විපාක.. :D

මෙතුවක් කාලෙකට හොඳක් මිසක් තාම නම් නරකක් වෙලා නැහැ.ස්වබාවයෙන් ම තීර්ථ යාත්‍රිකයාගේ සමාජශීලී භාවය අඩු නිසා අන්තර්ජාලයෙන් ගොඩාක් සම්බන්ධතානම් ඇතිවෙලා නැහැ.ඒත් බ්ලොග්කරණයෙන් හොඳ මිත්‍රයෝ ටිකක් හම්බවුනා.බ්ලොගය අනවර්ත නාමයෙන් කරගන ගියත් වත්පොත හරහා තීර්ථ යාත්‍රිකයා ගේ සැබෑ අනන්‍යතාවය යම්මට්ටමකට නිරාවරණය වුනා. ඒ නිසා තීර්ථ යාත්‍රිකයා කියන අනවර්ථ නාමය පිටිපස්සේ ඉන්න සැබෑ පුද්ගලයා ගැන දන්නෝ දනිති.... :D.. බ්ලොග් කරණයෙන් හම්බවෙච්චි මිත්‍රයෝ ගැන කියද්දි... ගොඩාක් දෙනා හැබැහින්ම හමුවෙලා නැතත් ගෝල්ඩ්ෆිෂ්, පිටස්තරයා,රවීන්ද්‍ර මලයා,සජිත් නම් හම්බවෙලා තියනවා. ඊට අමතරව අභිත අයියා, වැප්,මගේ මරණෙ, මාරයා, හයියෙං හුළං ගහද්දි නෙට් ඩිස්කනෙක්ට් වෙන රටක ඉන්න ඕනයා (:D) , බනියා,ගොඩයා අයියා,ඉන්දරේ,ඇන්ත්‍රැක්ස් අයියා  වගේ දුරකථනයෙන්,චැට් එකෙන් හම්බවෙලා තියන යාලුවොත් රාශියත් ඉන්නවා. ගිය අවුරුද්දෙත් අවුරුදු උත්සවේට එනවා කියලා පොල්ලක් තිබ්බට මේ අවුරුද්දෙ නම් ඇත්තටම එන්නයි ඉන්නේ. ඒ නිසා මේ පාර බ්ලොග් කාරයෝ ගොඩක් හැබෑවටම හම්බවෙන්න පුලුවන් වේවි !!! .....

32 comments:

  1. සුභ පැතුම් මල්ලියේ... පුළු පුළුවන් වෙලාවට ගොඩ වැදිලා යන අඩවියක් තමා මේකත්...ඒ වගේම බොලා ලියන විදියත් හිතට අල්ලලා තියෙන්නේ...

    ReplyDelete
  2. මේ අවුරුද්දෙ කොහොම හරි වරෙන්... අපිත් එන ව දුරු කතර ගෙවාගෙන හික් හික්...

    ඩයල් අප් ගැන නම් හයියෝ... කනෙක්ටඩ් කියල වැටෙද්ඩි එන සතුට... ඇඩෙනවා.... උබව බ්ලොග් අවකාශෙ දැන් වැඩිය පේන්න නෑනේ බන්

    ReplyDelete
  3. ඒ ටු ඉසෙඩ් විස්තරයක් කරලා තියනවා තමන්ගේ බ්ලොග් ඉතිහාසෙ ගැන, ඔන්න එහෙනං මගෙන් උණුසුම් සුබ පැතුම් ඉදිරියටත් කරදයක් නැතුව බ්ලොග් කෙරුවාව කරගෙන යන්න පුලුවන් වෙන්න කියලා ......

    ReplyDelete
  4. ගොඩක් දෙනෙක් බලොග් ලියන්න පැමිනුනාට ඒක දීර්ඝ කාලයක් කරගෙන යන්නේ බොහොම ටික දෙනයි. ඉතිං ඒ වගේ තත්ත්වයකදී ඔබගේ උත්සාහය අගය කරන අතර දෙවර්ශ පූර්ණයට සුභ පැතුම් හා තවදුරටත් මේ කාර්යය කරගෙන යන්න අවතාශ ලැබේවායිද පතමි...

    ReplyDelete
  5. එල එල.. සුභ පැතුම් මචං.... කම්මැලි නොවී දිගටම ලියපං...

    ReplyDelete
  6. සෑහෙන ඉතිහාසයක් නේ . ඇත්තටම කාලයක් තිස්සේ බ්ලොග් එකක් පවත්වාගෙන යන උදවියට මන් ගරු කරනවා . දිගටම ලියන්න කාලය සහ දිරිය ලැබේවා යයි පතනවා

    ReplyDelete
  7. ජයවේවා.. ලිපිය දිග වැඩියි..

    ReplyDelete
  8. තීර්ථයාත්‍රිකයාගේ බ්ලොග්කරණයේ යාත්‍රාව. :D සුභ පැතුම් සංවත්සරයට. දිගටම ලියන්න.

    ReplyDelete
  9. ඩයල්-අප් ආතල් එක ගැන කියන්න වචන නෑ බං . . . වැල පොටෝවක් බලන්න විදින දුකක් ඒ දවස්වල . .

    අවුරුදු 2ක් ඔය ඇදගෙන ආපු රේට් එකේම නැතුව පොඩ්ඩක් රේට් එක නග්ගල ගනිං. මගෙන් සුභ පැතුම්

    ReplyDelete
  10. සංවත්සරයට උණුසුම් සුභ පැතුම් ........!!!!!

    ReplyDelete
  11. සදා වාසනා. ජයෙන් ජය.....
    මං හිතන්නේ මේක මගේ පලවෙනි කමෙන්ටුව.

    ReplyDelete
  12. මගෙත් සුබ පැතුම් මල්ලියේ ඔබට ....විශේෂයෙන්ම බ්ලොග්කරණය පිළිබඳව වගේම අප වැන්නවුන්ට දක්වන සහෘදත්වය වෙනුවෙනුත් ....

    ReplyDelete
  13. @ මාරයියා
    ස්තුතියි අයියා සුභ පැතුමට.ලියන විදිහ හිතට අල්ලලා තියනවා කිව්ව එකට නං “ලයික් ඈ“....

    @ පිස්සා පලාමල්ල
    එනවා මචං මේ පාර, උඹලත් ලංකාවට මේ පාර කඩා පාත් වෙනවා කියලා ආරංචි වුනා.සෙට් වෙමු...
    ඩයල් අප් අතීතෙ ගැන බ්ලොග් පෝස්ට් බරක් ලියන්න පුලුවන් මචං..
    වැඩිය පේන්ඩ නැත්තේ මචං කම්මැලි කම නිසාම තමා.නැතිව වැඩ වැඩි නිසා නෙවි..:D

    @ බුවාගේ සිතුවිලි
    ස්තුතියි බුවා මචං.... :)

    @ පූසා
    ස්තුතියි මචං...කමෙන්ටුවට

    @ පන්සල් හංදිය
    ලියන්න ගියාම බ්‍රේක් නෑ මචං, වක්කඩ කැඩුවා වගේ තමයි... :D

    @ දිනේශ් දීපාල්
    හි හි... යලට මහට බ්ලොග් ලිව්වත් දිගටම ලියන්න තමයි හිතං ඉන්නේ..

    @ රාජ්
    ස්තුතියි මචං

    @ ගෝල්ඩ් ෆිෂ්
    දිගටම ලියනවා මචං, හැමදාම හිතාගන්නවා හැම සතියෙම පෝස්ට් එකක්වත් දානවා කියලා.ඒත් දැමෙන්නේ මාසෙකට එකක් වගේ තමා :D

    @ බිංදි අක්කා
    ඉතිහාසේ ටිකක් දිග වුනාට පෝස්ට් තියෙන්නේ හැට ගාණක් ද කොහෙද. ස්තුතියි අක්කේ කමෙන්ටුවට

    මාතලං
    උඹටත් ජය වේවා මචං.. දිග වැඩි ඇති තමා. මොකද ලියද්දි ඩ්‍රාෆ්ට් කිරිලි, ටිකක් ලියලා අනිත් දවසේ ඉතිරි ටික ලිවිලි ,සංස්කරණය කිරිලි නෑ මම ලියන්න ගියාම.එක පාරටම හිතෙනවා පෝස්ට් එකක් ලිව්වොත් හොඳා කියලා.ඒක දිගටම ලියලා ඉවරයක් කරලා තමයි නතර කරන්නේ...

    @ සජිත්
    තැන්කූ මචං

    @ නලිනි අක්කා
    ස්තුතියි අක්කේ.වෙනදා වගේම සාහිත්‍ය පැත්තට බර වචන වලින් කමෙන්ටුව :P

    @ ඕනයා
    :D :D මට මතකයි බං එක පාරක් mp3 එකක් ඩවුන්ලෝඩ් කරගන්න කාපු කට්ට IE 6 වල. විනාඩි විස්සක් ගියා ඩවුන්ලෝඩ් වෙන්න...
    බලමු බලමු මොනවා හරි කරන්න..රේට් නග්ගගන්න නං වැඩක් ඇති පෝස්ට් ටිකක් ලියන්න වෙයි මයෙ හිතේ...

    @ හිත හොඳ පිස්සා
    ස්තුතියි මචං

    @ පැතුම්
    ස්තුතියි මචං..ඔව් මචං උඹේ පලවෙනි කමෙන්ටුව තමයි මේක....

    @ මහේෂ් අයියා..
    ස්තුතියි අයියේ...කට්ටියත් එක්ක ෆිට් එකේ ඉන්න තමයි ගොඩක් කැමති...

    ReplyDelete
  14. සුභ පැතුම් මචං!

    ReplyDelete
  15. තීර්ත යාත්‍රාව නම් මුල ඉඳලම සයිබර් යායට ආවා වගේ මතකයි. අපි එක ළග බ්ලොග් ලියන්න පටන් ගත්තු අය වගේ... සුබ පතනවා දිගටම මේ විනෝදාංශය කරගෙන යන්න

    ReplyDelete
  16. @ Sabith
    තැන්කූ වේවා මචං !!!

    @ බුද්ධි
    ආවා නේන්නං, සැරෙන් සැරේ එනවා යනවා... දැන් නං වැඩි හරියක් ඒනනේ සිත්තර බලලා යන්න...

    ReplyDelete
  17. අන්තර්ජාල ඉතිහාසයත් එක්කම මෙතන තියෙනවනේ සහෝ... ඔන්න එනම් දිගටම බ්ලොග් එක ලියන්න ලැබේවා කියලා ඔයාගේ බ්ලොග් සංවත්සරේට ප්‍රාර්ථනා කරන්නම් !!!

    ReplyDelete
  18. @ පොතේ ගුරා
    තැන්කූ මචෝ....

    @ දිනුක
    තැන්කූ මචෝ උඹටත් ජයෙන් ජය

    @ Chathuranga Perera
    හි හි පොඩ්ඩක් විතර පරණ කතා ටිකකුත් තියනවා.ස්තුතියි මචෝ සුභ පැතුම් වලට. දිගටම ලියන්න තමයි ඉන්නේ නම් හිතාගන...

    ReplyDelete
  19. ඔය දීලා තියෙන්නෙ ඉතිහාසෙම. ජයවේවා.

    henryblogwalker the Dude

    ReplyDelete
  20. ඊයේ මේකට මම කමෙන්ට් එකක් දැම්මනෙ. ඉතිහාසය ඔච්චර විස්තර ඇතිව මතක තියෙන එකත් කොච්චර ලොකු දෙයක්ද?
    දුර ගමනකට සුභ පැතුම්!

    henryblogwalker the Dude

    ReplyDelete
  21. @ Dude
    ස්තුතියි කමෙන්ටුවට.හැන්දෑවට වගේ තමයි බ්ලොගේ පැත්තට එන්නේ.කමෙන්ට් මොඩරේට් කරලා තියෙන්නේ කමෙන්ට් මිස් වෙන නිසා.
    ඉතිහාසය ගැන කියනවානම්, පරණ දේවල් ගැන කාලයක් ගියාට පස්සේ ආයෙත් මතක් කරන එකත් එක්තරා ආකාරයක ආශ්වාදයක්....නැද්ද මං අහන්නේ

    ReplyDelete
  22. සංවත්සර දැන්වීම පහුවෙලා දැම්ම හින්දා මන් පහුවෙලා ඇවිත් සුබ පැතුවාට කමක් නැහැනේ ?

    ReplyDelete
  23. @ සරත් ලංකාප්‍රිය
    හේ...හේ.... කම් නැත කම් නැත...ලංකාප්‍රිය අයියා....

    ReplyDelete
  24. සුභ පැතුම් සහෝ. මේ බ්ලොග් එක කියවන්න මම සෙට් වුනේ 300 ෆිල්ම් එක ගැන තිබුණු කතාවෙන්. ඒවා කතා තව තවත් ලියවේවා :)

    ReplyDelete
  25. ස්තුතියි මචෝ... මට මතකයි කමෙන්ට් එක.. බලමුකෝ කම්මැලිකම අඩුකරගන මොන මොනවා හරි ලියලා දාන්න

    ReplyDelete

අදහස්, උදහස්....

.