තීර්ථ යාත්‍රිකයා කොළොං තොටට සමුදීලා ගෙදර බලා ආවා. කාලෙක ඉඳලා Freelance වැඩත් කරන නිසා ඒ හැටි විවේකයක් නොතිබුනත් බ්ලොග් ලිවිල්ල නං ටික කාලෙකට නතර වෙලා තිබුනේ නිතර වැලඳෙන සුව කරන්න ඉතා අපහසු රෝගයක් තීර්ථ යාත්‍රිකයට වැළඳිලා තිබිච්චි එක. ඒ තමයි “කම්මැලිකම“ . කොළඹ ඉද්දි කෙට්ටුවෙලා හිටපු තීර්ථ යාත්‍රිකයා ගෙදර ආවට පස්සේ ආයෙත් මහත් වෙන්න ගත්තා.ඒක වලක්වන්න උදේට උදේට දුවන්න ගත්තත් ඒකත් නැවතිලා ගියේ “ග්‍රීස් යක්කු “ කතන්දරේ එලියට බැස්සට පස්සේ. ඇයි දෙයියනේ එළිය වැටෙන නොවැටෙන පාන්දර කලුපාට ෂෝටකුත් ගහගන හයේ හතරේ පොරක් පාර දිගේ දුවනවා කියන්නේ “මට ගහපාං මට ගහපාං යකෝ“ කියන්නා වගේ වැඩක්නේ ඒ කාලේ....දැන් නම් ආයෙ දුවන්න පුලුවන් තත්වයත් තිබුනත් අර භයංකාර රෝගය (කම්මැලිකම) නිසා බෑ.
ඔන්න ඉතිං මාස එක හමාරකට විතර කලින් ග්‍රීස් යක්කු රඟ දෙන රෑ ජාමෙක තීර්ථ යාත්‍රිකයා මහ රෑ සිරිත් පරිදි ප්‍රොජෙක්ට් එකකට කෝඩ් කෑල්ලක් කොට කොටා හිටියා. දවස් කීපයකට කලිං ගමේ ගෙදරක නාදුනන කලු ඇඳගත් කීපදෙනෙක් ගැවසුනා කියන ආරංචියට ගමේ කොල්ලෝ සෙට් එක රෑට රෑට සෙට් වෙලා කඩු පොලු අරගන මහ රෑ බයික් වල,ත්‍රී වීල් සහ ලොරි වල මුර සංචාරෙ යෙදෙන හින්දා පැයට දෙකකට සැරයක් පාර පැත්තෙං ඇහෙන කංකරච්චලේ අඩුවකුත් නෑ.අපරාදේ කියන්න බෑ කස්ටිය ගමම ඇහැරවාගෙන මුර සංචාරයේ යෙදුනේ හරියට “අපි බුදි නැත්තං බොලා බුදියනවත් බොරු“ කියන්නා වගේ.ඒ තරං නිස්සද්දෙට. නිසාචරයෙක් වෙච්චි තීර්ථ යාත්‍රිකයාට නං ඕවා ගානක් නෑ.හැබැයි කෝඩ් කෑල්ලක ලොජික් එකක් හිතාගන්න බැරිව දවල් ඉඳලම මොලේ නං මාඤ්ඤමික වෙලයි තිබුනේ. ඔය වගේ වෙලාවකට තීර්ථ යාත්‍රිකයා කරන දේවල් කාටවත් අනුමාන කරන්න බෑ.ගෙදර ඉන්න පූසෝ දෙන්නා අහල පහලක හිටියොත් ..... නෑ ඒ හරිය ඕන්නෑ......නැත්තං කට්ටිය සත්ව ආරක්ෂක කමිටුවලට පැමිණිලි කරන්න බැරිනෑ. සුපුරුදු පරිදි නයිට් කිට් එක , ෂර්ට් එකක් නැතිව සහ කලු ෂෝටක් ගසාගන හිටපු තීර්ථ යාත්‍රිකයා මොනිටරේට ඔලුව ඔබාගන ඉද්දි ගෙදර ඇතිකරන බල්ලො බාන බුරන්න ගත්තා ගම දෙකක් වෙන්න.
ගෙදර ඉන්න බල්ලො බානත් අමුතුම චරිත දෙකක්.උං දෙන්නා බුරන්නේ බොහෝ විට දේසසීමා උල්ලංඝනයක් වුනොත් විතරයි. කොලයක් වැටුනට , කුරුමිණියෙක් ඔලුව වටේ කැරකුනාට බුරනවා වගේ සිඟිති ආතල් උංගෙ නෑ. හැබැයි ගොඩක් වෙලාවට රෑට දේසසීමාව උල්ලංඝනය වෙන්නේ අහල පහල බල්ලංගෙං සහ පූසංගෙං විතරයි. ගෙදර අයත් සැප නින්දේ..බල්ලො බුරනවා ඇහුනාම තීර්ථ යාත්‍රිකයාට දැනුනේ පුදුම ක්‍රියාශීලී ගතියක්, සාන්ත මරියා නැවේ ඉඳං මුලිංම ඇමරිකාව දැක්ක වෙලේ කොලොම්බස්ට වත් ඒ වගේ ත්‍රිල් එකක් යන්ට නැතිව ඇති.
බල්ලො බුරන සද්දෙ නතර වෙන හැඩකුත් නැති නිසා බල්ලංගෙ මෙහෙයුමට සයිඩ් සපෝර්ට් එකක්වත් දෙන්න තීර්ණය කරපු තීර්ථ යාත්‍රිකයා මුලින්ම කලේ ක්ෂණිකව ගෙදර ලයිට් නිමල දාපු එක.ඊළඟට කලේ කලුවරේ හැප්පි හැප්පි ගිහිං අතට හොඳට අහුවෙන පොල්ලක් වගේ එකක් හොයාගත්ත එක.මුලින්ම අහුවුනේ ක්‍රිකට් බැට් එකක්. හොරෙක් හිටියොත් ඌත් එක්කලා සෙල්ලං කරන්ට යැයි.ඊළඟට අහුවුනේ මෝල්ගහ ඒක හිතට අල්ලලා ගිය නිසා ඒකත් අරං හිමිං හිමිං බල්ලෝ බුරන පැත්තේ තිබුන දොරක් ගාවට ගිහිල්ලා ඒ පැත්තේ තිබුන ලයිට් එකත් දාලා දොර ඇරගෙන පැන්නා එළියට, නිකං නෙවෙයි ටිකක් සද්දෙට කෑගහගන. අර චිත්‍රපටිවල යුද්ධ කතා පෙන්නද්දි කස්ටිය කෑ ගහගන සතුරට මූණ දෙන්න යනවා වගේ.ටිකක් දුර බල්ලො දෙන්නත් එක්ක වත්ත පැත්තට දුවපු තීර්ථ යාත්‍රිකයා ආපහු ගේ ඇතුලට ආවා. මෙන්න විනාඩි දෙකක් ගියේ නෑ කවුද පොරක් කතා කරනවා
“මල්ලි මල්ලි “ කියලා...හිමීට දොර ඇරලා බැලින්නං අල්ලපු ගෙදර අයියා. ඊට පස්සේ තමයි හොඳම හරිය.
“මල්ලි ඔයාලගෙ වත්තේ ඉඳලා කවුද එකෙක් දිව්වා“ කියල අල්ලපු ගෙදර අයියා කියපි. ඒ අයියා වැඩ කරන්නේ පොලීසියේ නිසා ගොඩක් වෙලාවට හැන්දෑ වෙලයි ගෙදරට එන්නේ.හැබැයි වත්තේ මනුස්සයෙක් ඉඳලා දිව්වා කියල කියල තියෙන්නේ ඒ අයියගේ නැන්දාම්මා හෙවත් වයිෆ්ගේ මව්යානෙ.කෝකටත් කියලා දෙන්නත් එක්කලා වත්තේ සර්ච් පාරක් දාද්දි ඔන්න ගෙදර අනිත් අයත් ඇහැරලා හිමීට එළියට එනවා “මොකද්ද මොකද්ද සද්දේ කියලා..“
වත්තේ බැලුවට හෝඩුවාවක් නම් හොයාගන්න බැරිව ගියා.අල්ලපු ගෙදර අයියක් හිමීට ආපහු ගෙදරට ගියා.තීර්ථ යාත්‍රිකයාගේ නයිට් මිෂන් එකක් ඔය විදිහට ඉවර වුනා..
දැන් කන්ක්ලූෂන් එක...
1) වත්තේ මොකෙක්වත් හිටියේ නෑ. අල්ලපු ගෙදර උන්දා නිදිමරගාතේ දැකලා තියෙන්නේ පොල්ලක් උස්සගන මෙලෝ සිහියක් නැතිව බල්ලොත් එක්ක දුවපු තීර්ථ යාත්‍රිකයාවමයි. එහෙම බැලුවොත් කට්ටිය හොයලා තියෙන්නේ තීර්ථ යාත්‍රිකයාවමයි.. :D
2)වත්තට හොරෙක් ආවා. පොර හිමීට ගල්කරන්න මොකක් හරි බල බලා එන අතරේ දැක්කේ මහා භයංකාර දර්ශනයක්, බල්ලො බානකුත් එක්ක කොට කලිසමක් ගහගත්ත හයේ හතරේ පොරක් පොල්ලකුත් උස්සගන ඒ මදිවට සද්දෙට කෑත් ගහගන පොර ව එලවං එනවා.දෙකක් නෑ උගේ ඇඩ්‍රිනලින් ශ්‍රාවය වෙනව නං ඌ කරන්න ඕන දේ ඌ කලා... පණකඩාගන දිවීම.
ඇත්තටම මොකද්ද වෙන්න ඇත්තේ...තීර්ථ යාත්‍රිකයා තාමත් කල්පනා කරනවා.....




