“හොඳ කරන්නාට හොඳ ප්‍රථාපල සහ නරක කරන්නාට නරක විපාක“ මේ කියමන හුඟාක් පරණ කියමනක් වගේම ලෝකයේ එක්තරා ධර්ම තාවයක් ගැන ඉඟි කරන්නක්. ඔබ කරන්නේ හොඳක් වේවා නරකක් වේවා එහි ප්‍රථිපල ඔබට නිසි කාලයේදී ලැබේවි, ඔබ කැමති වුනත් අකමැති වුනත්. මේ ආකාරයට පෝස්ටය පටන්ගැනුනේ ළඟදී දිනයක තීර්ථ යාත්‍රිකයාට අහන්න ලැබිච්චි, කාලෙකට කලින් සිදු වෙච්ච සත්‍ය කතාවක් නිසයි.කතාවට පදනම් වෙන්නේ තීර්ථ යාත්‍රිකයාගේ මව් පාර්ශවයේ නෑදයන්ගේ ගම් පළාත වෙච්චි කොබෙයිගනේ ප්‍රදේශය.
සිදුවීමට අදාල චරිත ජීවතුන් අතර නැහැ වර්තමානයේදී, ඔවුන්ගේ දරු පරම්පරාවල අයත් අන්තර්ජාලය භාවිතා නොකරන බව මට කතාව කියපු කෙනා තහවුරු කල නිසා අදාල පුද්ගලයාගේ නියම නමින් නොව ඔහුට භාවිතා කරන කුප්‍රකට අනවර්තනාමයෙන් මම කතානායකයාව හඳුන්වන්නම්.
“ගැට පොලොස් උන්දා“ - ඔව්, ඒ තමයි කතානායකයාගේ අනවර්ථ නාමය.එය සෑදුන ආකාරයත් තවත් කතාවක්ම නිසා එය මේ මොහොතේදී ලියවෙන්නේ නැහැ. ගැට පොලොස් උන්දා කොබෙයිගනේ ප්‍රදේශයේ මීට වසර තිහකට පමණ පෙර ජීවත් වූ ගොවියෙක්, වතු මුර කාරයෙක්. අදටත් කොබෙයිගනේ ආශ්‍රිත ගම්වල වෙසෙන්නන් හොඳ ගොවියන්, එළවලු වගේම කුඹුරු ගොවිතැනත් ඔවුන්ගේ ප්‍රධානම ජීවනෝපාය.තරමක් වියළි ප්‍රාදේශයක් නිසා වැව් දියවරින් තමයි වගාවන්, ප්‍රධාන වශයෙන්ම කුඹුරු අස්වැද්දීම සිදු වෙන්නේ. අපගේ කතානායකයාත් හොඳි ගොවියෙක් නිසා හේන් කීපයක් මෙන්ම සාරවත් කුඹුරක් ද ඔහු සතුව තිබුනා. මේ කියන කාලය වෙද්දී ගැට පොලොස් උන්දාට තිබුන ප්‍රධාන ගැටලුව තමයි ඔහුගේ දිනයට ,කුඹුරට වතුර හරවද්දී මහ රෑ වෙන කිසිවෙකු වක්කඩ කපා යෑම. (වැව් දියවර ලබාදෙන්නේ යායන් පිහිටා ඇති පිළිවෙලටයි, අතීතයේ නම් වෙල් විදානේ, වර්තමානයේ නම් ප්‍රාදේශීය ගොවි සංගමය මඟින් ජලය ලැබෙන පිළිවෙල තීරණය කරනු ලබනවා). වතුර හැරවීම මුලු රැයක් පුරා සිදුවෙන්නක්. තම ලියදු වලට ජලය ලැබෙන සේ වක්කඩවල් බැඳ යන ගොවියා නැවත කුඹුරට පැමිණෙන්නේ උදයේ. මේ නිසා අවශ්‍ය නම් රාත්‍රී කාලයේදී වක්කඩ කපා යෑම බඳු තක්කඩි ක්‍රියාවක් කර යෑමට අවශ්‍ය කෙනෙකුට පුලුවන් වුනත් එය සාමාන්‍යෙයන් සිදුවෙන්නක් නොවේ.
පිට පිට දින කීපයක් පුරා ගැට පොලොස් උන්දාගේ කුඹුරේ වක්කඩ කිසිවෙකු විසින් බිඳ දැමීම නිසා නිසි පරිදි ජලය නොලැබීම නිසා එය ගොයම් පැල වලට අහිතකර ලෙසට බලපෑම ගැට පොලොස් උන්දා පසුවූයේ දැඩි කෝපයෙන්. “අද නම් තක්කඩියා අතටම අල්ලාගන්නවා “ යැයි සිතමින් හොඳින් සඳ මෝදු වී ඇති රැයක සිය උදැල්ලත් රැගෙන කුඹුරට ගිය ගැට පොලොස් උන්දා වක්කඩ අසල රැක සිටියා.
රාත්‍රියේ හොරෙන්ම වට පිට බලමින් පැමිණි තම අසල්වාසී ජයපාල (නියම නම නොවේ) කුඹුරේ වක්කඩ බිඳ දමන අයුරු දුටු ගැට පොලොස් උන්දා ට තම කෝපය පාලනය කරගත නොහැකි වුනා. කෝපය විසින් මෙහෙයවනු ලැබූ ඔහු සැඟවී සිටි තැනින් එළියට පැමිණ ජයපාලගේ හිසටම උදලු බන්දෙන් ප්‍රහාරයක් එල්ල කලේ නොසරුප් වදනින් කෑගසමින්. ගැට පොලොස් උන්දා පියවි සිහියට එන විට සියල්ල අවසන්වී තිබුනා.කපා හෙලූ කෙහෙල් කඳක් මෙන් කුඹුරේ වැටී සිටි ජයපාල ඒ වනවිටත් අවසන් ගමන් ගොස් හමාරයි.බියට පත්වුනත් කල යුතු දෙය ගැන ඔහුට වැටහුනා. කිසිවෙකු සිද්ධිය දුටුවේ නැති බව සැක හැර දැනගත් පසු ගැට පොලොස් උන්දා කලේ නියර හතරක් යාවන තැනක, නියරටම මල සිරුර අල්ලා පස් දමා නියර සකස්කිරීමයි.එබඳු තැන්වල ස්වභාවයෙන්ම නියර විශාල නිසා කිසිවෙකුගේ අවධානයට එය ලක් වන්නේ නැති බව ඔහු සහසුද්දෙන්ම දැනගන සිටියා.
යලි නිවසට ගිය ගැට පොලොස් සිදුවූ දෙය කිසිවෙකුටත් කීවේ නම් නැහැ. කාලය ගෙවී ගිය අතර ගැට පොලොස් උන්දාගේ රහස කිසිවෙකු දැනගත්තේ නැහැ. හැමෝම දැන සිටියේ ජයපාල ට වෙච්චි කෙරිච්චි දෙයක් නැති බව පමණයි.ඔහුගේ පවුලේ උදවිය ඔහු සොයාගැනීමට උත්සාහ කලත් ඒ උත්සාහයන් ගඟට කැපූ ඉණි මෙන් වුනා. කුඹුරු යායේ ජයපාලගේ මිනිය වැලලී ඇති තැනින් බොහෝ දෙනා ඒ බව නොදැනම දිනපතා ගමන් කලා.
වසර කීපයක් ගෙවී ගියා.ගැට පොලොස් උන්දා විවාහ දිවියට ඇතුල් වී පුරුදු ලෙසට සිය ගොවිතැන් කටයුතු වල නියුතු උනා. ඔහුගේ බිරිඳටත් ඔහුගේ කිසිදු වෙනසක් අසාමන්‍යත්වයක් පෙනුනේ නැහැ.එක් දෙයක් හැර.
එනම්, හොඳින් සඳ මෝදු වන දිනයන්හී පමණක් ගැට පොලොස් මිදුලට බැස සඳ දෙස බලා යමක් මුමුණමින් මඳ සිනා පෑමයි. මාස කීපයක් මේ දේ බලා සිටි ඇය දිනක් ගැට පොලොස් ගෙන් මේ පිළිඹඳ විමසුවා. ඔහුගෙන් යහපත් ප්‍රතිචාරයක් හෝ පිළිගත හැකි පිළිතුරක් නොලද්දෙන් කෝපයට පත් ඇය , ඔහුට ගසන්න පුලුවන් හොඳම ආයුධයෙන් දමා ගැසුවා.ඒ “කඳුලු“. කඳුලු සලමින් ඔහු තමන්ට ආදරේ නැති බවත් වෙන ස්ත්‍රියක් ගැන සිතන බවත් සඳ දෙස බලා සිනාසෙන්නේ එම නිසා බවත් යනුවෙන් ඇය ඔහුට චෝදනා කලා. බිරිඳට දැඩි සේ ආදරය කල ගැට පොලොස් , කිසිවෙකුටත් නොකියන ලෙස ගිවිසවා ගන ඇයට සම්පූර්ණ සිද්ධියම හෙලිදරව් කලා. තමන් සඳට සිනාසෙන්නේ , ඒ ආකාරයට සඳ මෝදුවූ දිනයක තමන් කල මිනීමැරුම මේ දක්වා කිසිවෙකුටත් සොයාගැනීමට නොහැකි වීමට බැරි වීම ගැන ඇති වුන සතුට මත බවත් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කල සිටියා.ඔහුගේ බිරිඳද කිසිවෙකුට මේ සම්බන්ධයෙන් පැවසීමට ගියේ නැහැ.
කතාව ඉවර බව හැමෝටම සිතෙනු ඇති.එහෙත් උඩම වාක්‍ය සනාත වීමට කාලය පැමිණියා.දිනක් අසල්වැසි කාන්තාවක් හා යම් සිද්ධියක් සම්බන්ධයෙන් දරුණු වචන හුවමාරුවක යෙදී සිටි ගැටපොලොස්ගේ ඇඹේනියගේ මුවින් ඇයට නොදැනීම “දැන ගනිල්ලා දෙමැද්දේ කුඹුරෙ මහනියරෙ පතබෑවිලා ඉන්න ජයපාලය බෑව්වා වගේ තෝවත් මම අපේ මිනිහට කියලා බාවනවා“....
යන්න පිටවුනා. අසල්වැසි ස්ත්‍රිය අනතුරුව තම සැමියාටත්, ඔහු ඉන් අනතුරුව පලාතේ පොලීසියටත් මේ බව දැනුම් දුන්නා. ගැට පොලොස් උන්දා පොලිස් අත්අඩංගුවට පත්වී දීර්ඝ කාලයකට සිරගෙට නියම වූ අතර ජයපාලගේ හිස්කබල සහ ඇට කටු ස්වල්පයක් මහ නියරින් සොයාගැනීමට ලැබුනා. මිනීමැරුම හෙලිවීමට ස්වභාවධර්මය වසර දහයක පමණ කාලයක් ගෙන තිබුනා.......
සඳ දැක ගැට පොලොස් සිනා නොපෑවානම් ඇඹේනිය රහස දැනගන්නේ නැහැ.ඇය එය දැන නොගත්තානම් මිනීමැරුම කිසිදු ආකාරයකින් හෙලි නොවන්නට තිබුනා.මේ සිද්ධිය නිසා කොබෙයිගනේ ප්‍රෙදේශය ආශ්‍රිතව අදටත් භාවිතා කරන “සඳ සාක්කි දුන්නා“ යන කියමන භාවිතයට පැමිණියා.
පසුව ලියමි [Update 2011 දෙසැම්බර් මස 2 සිකුරාදා, ප.ව 3.04]
මෙම කතාව සම්බන්ධයෙන් මතවාදයක් ඇතිවී තිබෙන නිසා යාවත්කාලීන කිරීමක් කිරීමට සිදුවෙනවා. මාටින් වික්‍රමසිංහ මහත්මාගේ මෙම නමින්ම යුතුව කෘතියක් තිබෙන බවටත් එහි බස්වහරට සමාන අයුරකින් තීර්ථ යාත්‍රිකයා ලියා ඇති බවත් සිදුවීම සම්පූර්ණයෙන්ම වගේ සමාන බවත් කිහිප දෙනෙකු දැනුම් දුන්නා. මුලින්ම ඒ බව දැනුම් දුන් ලකී වික්‍රමසිංහ මහත්මාට ස්තුති වන්ත වෙනවා.
බ්ලොග් අවකාශයේ මෙතුවක් කාලයකට සිදුවී ඇති සිදුවීම් දෙස බලන විට බොහෝ දෙනෙකු මේ පිළිඹඳ සැක සහිත ලෙස බැලීම සාමාන්‍ය කාරණයක් ඒ කොපි කිරීම් අනන්තවත් සිදුවී තිබෙන නිසා. ඒ නිසා තීර්ථ යාත්‍රිකයාගේ පාර්ශවයෙන් කරුණු දැක්වීමක් සිදුකරනවා.එම කරුණු ඔබ කැමැත්තේ නම් පිළිගැනීම හෝ නොපිළිගැනීම ඔබට කිරීමට පුලුවන්. ගැටලුවක් නැහැ.
තීර්ථ යාත්‍රිකයා සත්‍ය කතාන්දරයක් ඇසුවාම එය රසවත් අයුරින් ලිවීමට උත්සාහ කරනවා.මෙම බ්ලොගයේ ලියවී ඇති කතාන්දර වැඩි හරියක් සත්‍ය සිදුවීම් ආශ්‍රයෙන් ගොඩ නැගුන ඒවා. මෙම කතාව තීර්ථ යාත්‍රිකයාට මුලින්ම පැවසුවේ තීර්ථ යාත්‍රිකයාගේ ඤාති සොහොයුරියක්. සිදුවීම සිදුවී ඇති ආකාරය සිත්ගත් නිසා තීර්ථ යාත්‍රිකයා එයට අඩු වැඩිය එකතු කොට පෝස්ටය ගොඩ නැගුවා. මතුවී ඇති ප්‍රධානම චෝදනාව තීර්ථ යාත්‍රිකයා කියන පරිදි ගැට පොලොස් සිදුවී සිදුවන්නට කලින් මාර්ටින් වික්‍රමසිංහ මහත්මා පොත ලියාතිබීම. බොහෝ විට ඒ මතය ගන්නට ඇත්තේ පහත වැකිය නිසා වෙන්නට පුලුවන්.
ගැට පොලොස් උන්දා කොබෙයිගනේ ප්‍රදේශයේ මීට වසර තිහකට පමණ පෙර ජීවත් වූ ගොවියෙක්
ඒ අනුව ගම්‍ය වන්නට ඇත්තේ මෙම සිදුවීම වසර තිහක් පමණ පැරණිය යන්නයි. නමුත් මගේ ඤාති සොයුරිය යලි විමසීම මඟින් ගැට පොලොස් උන්දා වසර අනූ පහක් පමණ ආයු වළඳා අසූව දශකයේ අග භාගයේ මිය ගිය බවත් සිදුවීම හරියටම සිදුවී ඇත්තේ කොබෙයිගනේට තරමක් එපිටින් පිහිටි නිකවැරටිය ප්‍රදේශයේ බවත් තීර්ථ යාත්‍රිකයා දැනගත්තා.එයට අමතරව ගැට පොලොස් උන්දා දැදුරු ඔයට මායිම ව පිහිටි තෙලහැර වත්තේ මුර කරුවෙකු වශයෙන්ද සේවය කලා යන්න වැඩි දුරටත් ඇය පැවසුවා.ඒ කොයි කාලයේදී යනුවෙන් කාලය විමසීමේදී ඇය පැවසුවේ එක්දහස් නවසියයයේ මුල භාගයේ බවයි. ඇයගෙන් එම කතාව ඇය දන්නේ කෙසේද යන්න විමසූ විට ඇය පිළිතුරු දුන්නේ ඇය හය වැනි ශ්‍රෙණියේ සිටින විට (1986) දී වැව අසල කතා කියමින් උන් ගැට පොලොස් උන්දාගෙන්ම ඇය මේ විස්තරය ඇසූ බවයි. ඇයගෙන් ඇසූ විස්තරය තීර්ථ යාත්‍රිකයා කතාවකට ගොඩනැගුවා.
මේ වනවිට තීර්ථ යාත්‍රිකයා බ්ලොග් කරණයේ වසර දෙකකට ආසන්න කාලයක් නියත වී තිබෙනවා.නමුත් මේ ආකාරයේ කොපි කිරීමේ චෝදනාවක් පැමිණි පළමු වතාව මෙයයි.
කීමට ඇත්තේ එපමණයි පාඨක ඔබට කැමති දෙයක් සිතාගැනීමට පුලුවන්...එපමණයි......
[/Update]