රිද්මයානුකූල ටිං ටිං හඬින් අසල දුම්රිය හරස්පාරේ ගේට්ටුව මාර්ගය අවහිර කරමින් වැසීයයි. මාර්ගයේ ගමන් කරන බස්රථ ,ලොරි රථ සෙමින් නවත්වන්නේ දුම්රියට ඉඩදීමටය.උදෑසන සුළඟේ මුදු මොලොක් ශබ්දය යටපත් කරමින් දුම්රියේ ඝෝෂාකාරී නාදය ඇසේ.වේගය අඩාල කරමින් දුම්රිය නතර වද්දී මම ගොඩවීම සඳහා සෙනඟ අඩු මැදිරියක් සොයමි.නමුත් උවමනාවෙන්ම හයවෙනි මැදිරිය මඟහරිමි.කොතරම් සිතාගන සිටියත් පත්තර කඩදාසියක් ගෙන ඒමට මට හැමදාමත් අමතක වෙයි.පත්තර කඩදාසි දුම්රියේ වාඩිවෙන අසුන පිස දැමීම සඳහාය.මුහුදු බඩ මාර්ගයේ සෑම දුම්රියකටම අමුත්තෙකු නොවන දූවිලි ,තට්ටු පිටින් අසුන් මත මහා පරිමාණයෙන් වැජඹේ.ප්‍රවේසම්කාරී බවින් තොරව වාඩි වෙන ඇතැම් මඟීන්ගේ ඇඳුම්වල දුඹුරු පැහැයෙන් වර්ණ රටා මැවීමට සමත්වන දූවිලි නිසා වැඩිපුරම බැනුම් අසන්නේ දුම්රියේ සුලු සේවකයනුත් නොව ඔවුන්ගේ මෑණිවරුන්ය.
“මෙන්න පුතා මේකෙන් පිහ දාන්න, අතේ දූවිලි වදී නැත්නම්”.. කාරුණික පෙනුමකින් යුතු තලතුනා කාන්තාවක් කඩදාසියක් දිගුකරන්නේ මා අතින් අසුන පිස දමනු දැකීමෙන් විය යුතුය.ස්තුති පූර්වක සීනාවකින් ඇයට සංග්‍රහ කරන මම නිහඬවම අසුන පිස ඒ මත වාඩිවෙමි. ඒ පැය දෙක හමාරක දුම්රිය ගමනක් ඇරඹීමටය.නලාව තෙවරක් නාද කරන දුම්රිය තෙමෝ ඇයටම ආවේනික ගැස්සීමකින් අනතුරුව කෙමෙන් කෙමෙන් ඉදිරියට ඇදෙන්නීය.
දුම්රිය ගැස්සෙමින් ඉදිරියට ඇදේ.අසුන් වල සිටින මඟීන් නිදි කිරති.පොදු ප්‍රවාහන සේවාවල ගමන් කරන්නන් නිදා ගන්නා ආකාරය නැරඹීමද මාගේ එක් විනෝදාංශයකි.ඉදිරිපසට බරවී,දෙපසට හිස වනවමින්,ළඟ ඇති තැනැත්තාට බරවී මෙන්ම මුව අයාගෙන ගොරවමින් නිදාගන්නා මඟීහුද පොදු ප්‍රවාහන සේවය තුල දුලභ නොවෙති.වැඩිහරියක්ම මෙම තත්වය ඇත්තේ දුරගමන්සේවා වල සහ උදේ රැයින්ම ගමන් අරඹන මඟී ප්‍රවාහන සේවාවලය. මඟ දෙපස නිවාස,වැව්,කුඹුරු පසුකරමින් දුම්රිය වේගයෙන් ඉදිරියට ඇදී යයි.දුම්රිය පොලවල් කීපයක් පසුවී එක් විශේෂිත දුම්රිය පොලක් ආසන්න වත්ම මම අසුනට බරවී නිදාගැනීමට සූදානම් වෙමි.
සීමාව පසුවී ඇති බව අඩනින්දෙන් මෙන් දැනීමෙන් පසු හිස ඔසවා වටපිට බැලීමි.මැදිරියට එකා දෙන්නා බැගින් සෙනඟ ඇතුල් වෙති.ඉදිරිපස අසුනේ සිටින මැදිවයේ මහතා මා දෙස බලා මද සීනාවක් පායි.ඔහුගේ බත්මුල සහ දිනපොත ඔහුට යාබදව අසුනේ තවත් අයෙකුට ඉඩක් වෙන්කරගෙන ඇති අතර එය කියාපාන්නේ ඔහු මේ කාර්යාලීය දුම්රියේ නිත්‍ය සාමාජිකයෙකු බවයි.සාමාජික නඩ කාර්යාල දුම්රිය වල සුලභ අංගයකි.ඔවුන්ට වෙන්කරගත් මැදිරි මෙන්ම අසුන්ද දුම්රියේ ඇත.දිනපතාම පාහේ තමන්ගේ නඩය හා එකතුවන ඔවුන් උසුලු විසුලු කරමින් ,කොක් හඬ නගා සිනාසෙමින්,ඇතැම් විට කාඩ් ක්‍රීඩා කරමින් සහ විවිද කෑම වර්ග බෙදාගන අනුභව කරමින් ගමන් කරති.ඔවුන්ගේ ක්‍රියාකලාපය නිසා උරණ වන මඟියෙකු ඇතැම් විට ඔවුන් හා ගැටේ.බොහෝවිට සිදුවන්නේ අදාල මඟියාට අකුලාගන පල්ලම් බැහීමට සහ ගමනාන්තය තෙක් කඨෝර ඇනුම්පද වලට සවන් දීමටය.
මිහිරි මතකයක ජීවමාන සලකුණක් සොයා පසුපස මැදිරියක් වෙත යාමට ආශාව ඇතත් එය මැඩගෙන සිටින අතරතුරේ අතක් හිමිහිට ජංගම දුරකතථනය වෙතට ඇදෙයි.මිතුරු මිතුරියන් පවසන ආකරයට මා වේගවත්ව කෙටි පණිවිඩ කෙටීමේ සමතෙකි. ”උඹ මැසිමක්ද යකෝ මෙච්චර ඉක්මණට රිප්ලයි එවන්න ” යනුවෙන් මිතුරන් මගෙන් අසා ඇත්තේ වරක් දෙවරක් නම් නොවේ. එබැවින් මැදිරි කීපයක දුරින් , මා දන්නා අඳුනන අංකයක් ඇති ජංගම දුරකතනයට කෙටි පණිවිඩයක් යැවිමට ගතවන්නේ විනාඩියකටත් අඩු කාලයකි.
දෑත ජංගම දුරකතනයේ යතුරු පුවරුවේ වේගවත් රැඟුමක් රඟන අතරේ තිරයේ අකුරින් අකුර ඇමිණී පණිවිඩයක් සටහන් වේ. “එපා ,නවත්තතපං, ඕකෙන් වෙන්නේ උඹට හොඳක් නම් නොවෙයි”. මගේම සිත පසුබිමේ සිට මුමුණයි.සමහර මතකයන් අතීතයේම තැබීම වඩාත් හොඳය. මා නැවතත් නින්දට පිවිසෙමි.
දුම්රිය නතර වී ඇත.මට ඉදිරි අසුනේ සහ මා සිටි අසුනේ සිටින්නේ එකම නඩයට යත් විවිධ වයස් කාණ්ඩවලින් සැදුම්ලත් දුම්රියේ නිත්‍ය සාමාජික,සාමාජිකාවන් පිරිසකි.ඔවුන්ගේ හුරුපුරුදු මිත්‍ර සමාගමේ මම නාදුනන ආගන්තුකයකු වීමි.වම් පසින් ගුවන්තොටුපල දිස්වෙයි.යුද්ධ කාලයේ පැවති භීෂනය සනිටුහන් කල ආවරන තහඩු දැන් ඉවත් වී ගුවන් තොට මෙන්ම එහි යානාද මැනවින් දිස්වෙයි. අවිගත් යුද හමුදා භට පිරිසක් දුම්රිය පොල අසල මෙන්ම ගුවන්තොටුපල වැට අවටද මුර සංචාරයේ යෙදෙති.
“මුන්ට කවදාවත් වෙලාවකට වැඩක් කරන්න බැරි හැටි.හැමදාම මොකක් හරි මඟුලකට අපිව රස්තියාදු කරනවා” මඟීන් මැසිවිලි නගන හඬ ඇසේ.එසැණින් ක්ෂනිකව සිත දිව ගියේ පාන්දර දුම්රිය පොලේ දුටු දැන්වීමක මතකය වෙතයි.
“_______ අසල දුම්රිය මාර්ගයේ නඩත්තු කටයුතු නිසා අද දින සෑම දුම්රියක්ම ස්වල්ප වේලාවක් ප්‍රමාදවී ධාවනය වන බව සලකන්න”
ඉදිරි අසුනේ පියකරු පෙනුමැති තරුණියකි.පෙනුමින් නම් මගේ වයසට ආසන්න වයසේ පසුවන ඕ ජංගම දුරකතනයෙන් සංගීතයට සවන්දෙමින් පසුවන්නීය.ඇගේ ඇත්තේ රෑප අලංකරන භාවිතයෙන් ලද පැහැපත් බවක් බව හඳුනාගත් පසු සිත ඈ අත ඇති ජංගම දුරකතනය වෙතට වැඩි අවධානය යොමුකරයි. Nokia Music express 560…. හිමිහිට ඇගේ දුරකතනයේ පැටිකිරිය සිහිකරමි.
දුම්රිය නැවත ගමන් අරඹා ඇත.ඉදිරි අසුනේ තරුණිය ඇගේ ගමන් සගයෙකුට අසුන පරිත්‍යාග කොට අසුන් දෙක අතර ඇති ඉඩට වී සිටගෙන සිටින්නීය. ඇගේ දෙපා මගේ දෙපා හා ගැටෙයි.මම ඈ දෙස බලමි.
“සිහිවන උවන ඉඟ සුඟ ගත හැක මිටින”
තාක්ෂණික විෂයන් හැදෑරුවත් සාහිත්‍යට තිබූ ඇල්ම නිසා කොහෙන්දෝ කියවූ සන්දේශ කාව්‍යක කවි පදයක් සිහියට නැගේ.අතීතයේ විසුවෝ පිරිපුන් සිරුරක් ඇති තරුණියන් සුන්දර රැවැත්තියන් ලෙස දුටුවත් බටහිර පන්නයට හැඩගැසුන වර්තමානයේ සුන්දර ලෙස සැලකෙන්නේ සිහින් සිරුරැති තරුණියන්ය. කාලයත් සමඟ සංකල්ප පවා වෙනස්වන හැටි.
“ඇලීම නැතිකර ගත්තානම් ගැටීමක් නෑ, ගැටීම නැති නම් මුලාවක් නෑ. සියල්ල ඇති සැටියෙන් අවබෝධ කරගත්තානම් දුකක් නෑ”
සිත හෙමිහිට මුමුණයි.මම ජනේලයෙන් ඉවත බලමි. ”ඩකට ඩකස් ඩකට ඩකස් ” අනුකරණයෙන් දුම්රිය කැලණි නදිය තරණය කරමින් දෙමටගොඩ දුම්රියපොලේ නතර කිරීම සඳහා මන්දනය කරයි. කැළණි නදී අසබඩ පැල්පත් වාසීන්ගේ නිවාසද දෙමටගොඩ මහල්නිවාස සංකීර්ණයද පසුකරමින් දුම්රිය දෙමටගොඩ දී නතර වෙයි.මම පැල්පත් වාසීන්ද ,පොහොසතුන්ද,මමද සංසන්දනය කරමි.ජීවිතය නම් තේරුම් ගැනීමට අපහසු අරුමයක්මය...
මීලඟට ඇත්තේ මරදාන හෙවත් මාගේ ගමනාන්තයයි.ඇඳුම්ද ලැප්ටොප් පරිගණකයද මනාව අසුරා ඇති ඇඳුම් බෑගය අතට ගන්නා මම “එක්ස් කියුස් මී ” යනුවෙන් පවසමින් මඟීන් අතරින් ඇදී යමි. විශල බෑගයක් පෙරටුකරගන එන මා දෑකීමෙන් කාන්තාවක් මුහුණ හකුලාගන්නේ බෑගයේ යටපැත්තේ වූ දූවිලි ඇගේ අඳුමේ වදී යන බියෙන් විය යුතුය.බෑගයේ අඩියේ කුණු දූවිලි ගෑවීමටද හේතුවක් තිබේ.ඒ, මා තරමක් විශාල වූ මාගේ ඇඳුම් බෑගය හැමවිටම තබන්නේ ආසනයක් යට වීම නිසාවෙන්ය.
“අනික් අය බෑග් තියන්නේ රැක් එක උඩ, ඒත් ඔයා බෑග් එක තියන්නේ සීට් එකක් අස්සේ”.......
“කාගෙ හරි ඔලුවකට වැටුනොත් එහෙම,අනික මේ බෑග් එක රැක් එක උඩ තියන්න ලොකු වැඩියි”.. පිළිතුර නම් මගේය.නමුත් එය වර්තමානයට අයත් වූවක් නම් නොවේ. පෙර දිනකදී දුම්රිය මැදිරියකදී ඇති වූ අතීත කාලයට අයත් දෙබසකි.
“තුන්වන වේදිකාවට ළඟාවූ සීඝ්‍රගාමී දුම්රිය ගල්කිස්ස බලා පිටත්වනු ඇති......”
දුම්රිය නැවත ගමන් ඇරඹීමට පෙර දුම්රියෙන් බැසගත යුතුය.දුම්රිය වේදිකාවට පැනගත් පසු මම ආපසු නොබලා අනිකුත් මඟීන් හා මිශ්‍ර වෙමින් පිටවීමේ පර්යන්තය වෙත ඇදී යමි.පිටවීමේ පර්යන්තයේ සමාන්තර පෝලීම් කීපයකට එක්වූවෝ තම තමන්ගේ ටිකට් පත් ,පරීක්ෂක වරුන්ට පෙන්වමින් දුම්රිය පොලෙන් පිටත් වෙති.ටිකට් පත් නැතිකරගත්තෝ හිස් කසමින් තමන්ගේ නිදහසට කරුණු කාරනා ඉදිරිපත් කරති.සෙස්සෝ තමන්ගේ වාර ප්‍රවේශපත්‍ර ආඩම්බරයෙන් පෙන්වමින් ගමන් කරති.
දුම්රිය වාර ප්‍රවේශපත්‍රයන්හි ,අදාල හිමිකරුවාගේ හෝ හිමිකාරියගේ ඡායාරෑපයක්ද අලවා ඇත.වරක් මමද එවන් වාරප්‍රෙව්ශපත්‍රයක් උදුරාගෙන බලා ඇත්තෙමි.උදුරා ගෙන බැලීමට සිදුවූයේ තමන්ගේ ඡායාරෑප බලනවාට ලැජ්ජාශීලී තැනැත්තියෝද ලෝකයේ සිටින බැවිනි. දුම්රිය පොලෙන් පිටවී ඉදිරිපස බස් නැවතුමට පිවිසීමි,.වේලාව උදේ නවයට ආසන්නය.දුම්රිය පැය භාගයක් ප්‍රමාද වී ඇත.හෙමිහිට බසයක අඩුක්කු වී කාර්යාලයට යා යුතුය.




