Sunday, March 6, 2011

මා බාල කාලේ

14 comments
තීර්ථ යාත්‍රිකයා කාලයකට පෙර පොඩි එකෙකුව සිටියේය.පොඩි එවුන් ගෙවන ජීවිතයක් කලකට පෙර තීර්ථ යාත්‍රිකයාද ගෙව්වේය. ඒ කියන්නේ දැන් තීර්ථ යාත්‍රික තෙමේ හෙන ලොකු එකෙකු වත් වැඩුනු පොරකවත් කියා නොවේය. හේ තෙමේ තාම පොඩිය. මක්නිසාද යත් ගෙදර උදවිය මෙන්ම නෑදෑ සනුහරේද තාම තීර්ථ යාත්‍රිකයාට කියන්නේ චූටි පුතා ය කියලාය.නෑදෑ සනුහරේ බට්ටලා,බට්ටිලා,චූටිලා, චුට්ටිලා කොතෙකුත් සිටියද තීර්ථ යාත්‍රිකයාගේ චූටිපුතා රෑන්ක් එක ගැසීමට තවම එකෙකු ඉපදී නැත. ඒ නිසා වයස විසි ගණන් ගෙවමින් සිටියද හේ තාම පොඩිය.
ලියන ස්ටයිල් එක වෙනස්වී ඇති බව සමහර විට පෙනෙන්නට ඉඩ ඇත.එය ඉස්සුවේ බනියාගෙනි.බනියා ලියන ස්ටයිල් එක එළය.ඒනිසා අත්හදා බැලීමට උස්සා බැලුවෙමි.නමුත් කියවන උන්ට එය එසේ නෑ වගේ පෙනීමට හොඳටම ඉඩතිබේ.
පොඩිකාලේ දී පොඩි උන්ට ලෙඩට ගැනෙන උණට අමතරව තවත් නොයෙකුත් ආකාරයේ හොඳ කිරීමට අපහසු උණ වර්ග රාශියක් ගැනේ.මාලු උන,කුරුලු උන,මුද්දර උන, සෙල්ලම් බඩු උන සහ ඊ ටී සී ය.මේ උණවල් හොඳ කිරීමට ජාතික රෝහලේ අධ්‍යක්ෂක ජනරාල් තුමාටවත් බැරිය.තීර්ථ යාත්‍රිකයාටද පොඩිකාලයේදී මෙවන් උණ වර්ග රාශියක් ගැනී ඇත. එම උණ වර්ග කාලයාගේ ඇවෑමෙන් සුවපත් වූ අතර ගැනුන පිළවෙලට පහතින් දක්වා ඇත(රෝග ලක්ෂණත් සමඟ දක්වන්නේ මතු පරපුරේ හිත සුව පිණිසය)

රෝද සපත්තු උණ - පොඩිම කාලයේ ගැනුණ උණ මෙය වන අතර රෝග කාරකයා අදටත් නොහඳුනයි.සැක කරන පරිදි රූප පෙට්ටිය වේ.මෙය ඉතා භයානක ලෙස ගැනුන අතර සුව කරන ලද්දේ ගොඩවෙල හන්දියේ මුස්ලිම් කඩේ මුදලාලි විසිනි.රෝද සපත්තු ගැනීමට පොරගේ කඩයට ගිය විට
“ආ පුතා රෝද සපත්තු ගේන්න නම් අප්පච්චිව රට යවන්න වෙයි“ යනුවෙනු භයානක ප්‍රතිකර්මක් නිර්දේශ කල නිසා ඒ උණ ක්ෂණිකව හොඳවිය.(ඒ කාලයේ තීර්ථ යාත්‍රිකයා ඉස්කොලේ යන්නේවත් නැත)

හිමේ ලිස්සා යාමේ උණ- මල කෙලියකි. දෙවනියට ගැනුනේද බෙහෙත් නැති උණකි.රෝග වාහකයා සුපුරුදු පරිදි හූනියම් පෙට්ටියමය.ඒ කාලයේ මොකද්දෝ කෙහෙම්මල් ක්‍රීඩා උත්සවයක් (ඔලිම්පික්ද කොහෙද) විකාශය කෙරුන අතර ජාතියේ අවාසනාවට තීර්ථ යාත්‍රිකයාගේ සිත් ගත්තේ හිමේ ලිස්සා යෑමය.කලින් උණ කුරුවල් වූ නිසා තීර්ථ යාත්‍රිකයා මෙදා පොටේ තෙමේම ප්‍රතිකාර ගන්න ගියේය.ප්‍රධානම කෙලිය වූයේ ලංකාවට හිම නොවැටීමය.එයට ආදේශකයක් නොවූයෙන් එය නොසලකා හරින ලදී.මීලඟට අවශ්‍ය වූයේ ලිස්සා යන ලී පටිය (එව්වාට කියන්නේ මොනවාද කියා තීර්ථ යාත්‍රිකයා අදටත් නොදනී). ඒ සඳහා විශාල හණසු දෙකක් සපයාගත් අතර ඒව්වා හිල් කර ගෝනි නූල් දැමීමෙන් නිසි පරිදි කකුලට සවිවිය.වැටේ තිබුන ඇල්බීසියා ගසක් අප්පච්චි ලව්වා කප්පවාගෙන උසට හරියන කුඩා කෝටු දෙකක්ද කපා ගත් විට ලිස්සා යෑමේ උපකරණ කට්ටලය සම්පූර්ණ විය.වැඩේ හරිය.දැන් ඇත්තේ ලිස්සා යෑමය.පරහකට වූයේ හිම නැති නිසා වැල්ලේ ලිස්සා යෑමට බැරි වීමට.තීර්ථ යාත්‍රිකයා ඇරියේ නැත
ලිස්සා යාම වෙනුවට සාදාගත් මහාර්ඝ ක්‍රීඩා කට්ටලයෙන් හිම(වැල්ලේ) ඇවිදීමට පටන්ගත්තේය.දූවිලි වරුසාවක් ඇවිස්සීගිය අතර ගෙදර බල්ලා බොබීද ද ඌ සමඟ කදේ දමාගන සිටි අල්ලපු ගෙදර බල්ලා බිංදුද අම්මමෝ නැතිව හොඳ පදයෙන් ඇමතීමට ද පටන්ගත්තෝය. වැඩක් කරන්න ගියාම ඔහොමය. හැම තැනම බාධාය.අන්තිමට තීර්ථ යාත්‍රිකයාටම හිම(වැලි)  මත ලිස්සීම (ඇවිදීම) නතර කර දැම්මේය.ඒ උණ හොඳ වුනේ එහෙමය(මෙකලද තීර්ථ යාත්‍රිකයා ඉස්කෝලෙට බාරදී වත් නැත ඒ කියන්නේ අවුරුද 6 ක් වත් නැත)...

පුරා විද්‍යා සහ ඩයිනොසෝර් උණ - ඉතා තදින් ගැනී තිබුනේය .සුව වීමට අවුරුදු හතර පහක්ම ගිය බව ලාවට වගේ මතක ඇත.සුපුරුදු පරිදිම රූප පෙට්ටියේ පුරා විද්‍යා කැනීමක් පෙන්වීමට ශ්‍රි ලංකා විරූපවාහිනී බලි කෙලියේ උන්  (බොලොගයේ වෙළඳ දැන්වීම් පල නොකෙරෙන නිසා නම වෙනස් කල බව කරුණාවෙන් සලකන්න) තෝරාගෙන තිබුනේ අසරණ කුඩා තීර්ථ යාත්‍රිකයා ටීවී බලන වෙලාවක්ම නිසාවෙන් පුරා විද්‍යා උණ සහ ඩයිනෝසෝර් උණ ඉතා තදින් ගැනින. ගෙදර මල් ගස් ටිකට ,මිදුලට සහ මුල්ලු, කුඩා සවල, පින්සල් සහ රෙදි කෑලි වලට දෙයියන්ගේම පිහිටය. ඉක්මණින්ම පුරා විද්‍යා ටූල් කිට් එකක් එක්කාසු වුන අතර හැඳිවලට ,අත්මුල්ලු වලට සහ අප්පච්චි චිත්‍ර ඇඳීමට යොදාගත් සියුම් තුඩ සහිත කුඩා පින්සල සහ ලැකර් ආලේප කිරීමට  යොදාගත් තරමක් ගණකම් පින්සලට සිදුවූ දේ සොයාගැනීමට අංජනම් එළි යැවීමට සිදුවිය. දිනෙන් දින ,වත්තේ තැන් තැන් වල ඩයිනෝසෝර ඇට කටු, සැඟවී ගිය ඉපැරණ ශිෂ්ඨාචාරවල කාලයේ වැලි තලාවෙන් වැසී ගිය නටඹුන් සොයා පුරා විද්‍යාත්මත ගවේෂණ දියත් විය. බොබියාද අල්ලපු ගෙදර බිංදු ද වත්ත පුරාම නොමිලයේම හාරා දුන් වලවල් වල රෑ පුරාම සැපසේ නිදි දෙව් දුව වැළඳගත්හ. කුඩා තීර්ථ යාත්‍රිකයා ඉමහත් මහන්සියෙන් කැණීම් කර පැරණි චීන ශිෂ්ඨාචාරයට සමාන මල් විසිරුන , පීරිසි ,කැඩී බිඳී ගිය පෝසිලේන් බඳුන්වල කොටස් ඉමහත් මහන්සියෙන් කාලයේ වැලි තලාවෙන් මෙගොඩට ගෙන පින්සල් වලින් ප්‍රෙවේසමෙන් පිසදමා එක්කාසු කල අතර අවුලකට වුයේ ඇතැම් පීරිසි කැබලි වල ඉංගිරිසියෙන් මොනවාදෝ ලියා තිබීම උවත් එකල ඒ වලින් ඇපල් යන්නත් බී වලින් බුක් යන්නත් පමණක් දැන සිටි නිසාවෙන් ඒවායේ පුරාවිද්‍ය වටිනාකම තීර්ථ යාත්‍රිකයාට අඩු නොවීය.වැඩේ හරිය, මෙච්චර කලක් ගෙදර මිනිස්සු සිට ඇත්තේ ඉපැරණි ශීෂ්ඨාචාරයක නටඹූන් මතය.ඒ පැරණි ශිෂ්ඨාචාරයේ යෝධයෝද, ඩයිනෝසරයෝද , දෙනෙත ඉදිරිපිට ඔලිම්පික් සමාරම්භක උලෙලේ සරඹ පෙන්වීම ආරම්භකොට තිබූ මොහොතේ අප්පච්චිද කොළඹ සිට උත්තර පත්‍ර බලා ආපසු පැමිණියේය. අප්පච්චි පැමිණි විට අම්මාගෙන් ලැබුණ පළමු පැමිණිල්ල වූයේ තීර්ථ යාත්‍රිකයා විසින් ගෙදර තිබී කලකට පෙර බිඳුන නිසා වලලා දැමූ පීරිසි සහ පෝසිලේන් දීසි වගයක් ගොඩට ගෙන ඇති බවය. එසේ වන්නට බැරිය. තීර්ථ යාත්‍රිකයාගේ පුරා විද්‍යා කැණීමේ වටිනාකම එසේ අවතක්සේරු කිරීමට විරෝධය පාමින් සිටියදී අයියා පැමිණ “පීරිසි වල පිටිපස්සේ මේඩ් ඉන් මලයාසියා  කියල ගහල තියනවා “ යැයි කීමත් සමඟ තීර්ථ යාත්‍රිකයාගේ පුරාණ ශිෂ්ඨාචාරයේ යෝධයෝද , ඩයිනොසරයෝද තීර්ථ යාත්‍රිකයා රෑ නිදාගත් පසු අල්ලාගන්නා බවට දෙස් දෙවොල් දෙමින් අතුරු දන් විය.ජීවිතේ  හැටි ඔහොමය..
දැන් වෙලාව අටයි විසිපහය. වැඩේ හරියන්නේ නැත.මට නිදිමතය. ඉතිරි උණ ටික පස්සේ ලියනවාය...

14 comments:

  1. ඔය එක එක උණ නම් කාලෙන් කාලේට හැදෙනවා...පොඩි කාලේ නෙමේ..ලොකු කාලේත්..

    ReplyDelete
  2. හෆොයි අර ඩයිනෝසෝර් උන නම් මටත් තිබුනා.

    ReplyDelete
  3. ඇට් නිම්ෂා
    තවමත් විවිධ උණ වරින් වර ගැනෙනවා.එව්වා ගැනත් පස්සේ ලියන්නංකෝ

    ඇට් අකේලේ හම්
    අහන්නත් සන්තෝසයි.ඒ දවස්වල මම ඩයිනෝසරයො ගැන දැන ගන හිටපු දේවල් ඩයිනෝසරයො වත් දැනගන ඉන්ඩ නැතිව ඇති.. :-D

    ReplyDelete
  4. මගෙ බෝතල් අඩි කණ්ණාඩි කුට්ටම දාලත් කියව ගන්න බැරි උනා. අකුරු ටිකක් ලොකු කරමුද.. වයසක අපි ගැනත් හිතල.

    ReplyDelete
  5. මම හිතන්නේ දැන් හරි ඇති.
    ඒක එච්චර ගාණක් ගියේ නෑ.සමාවෙන්න අපහසුතාවයට.

    ReplyDelete
  6. උබ තිලින හේරත් ද එහෙම නෑත්තන් හිරාන් විජේසින්හ ද

    ReplyDelete
  7. ඔව් ඔව් මං දන්නවාය...මූ හෙන පොඩි එකාය. චූ රෙදි ටික හෝදා ගන්නේද අම්මාට කියාය.. අර ඊළඟ උන ටික අස්සේ ගෑනු උනද ඈති බව නිකමට මෙන් සිතේ...

    ReplyDelete
  8. @ Thamara Dhananjaya
    දෙදෙනාගෙන් එකෙක්වත් නොවෙමි මචන්.

    @ගෝල්ඩ් පිස්
    හිටපිය මම තොට $%&&#%&%&%&%$#*%^*^%.
    අහුවෙයංකෝ හෙට බුකියෙං

    ReplyDelete
  9. මට උණ හැදුනේ ඉස්කෝලේ නොගිහින් අය්යගේ හොර ලාච්චු අරින්න ඕන උනාමයි..ඌ කියවන පොත් එකේ හංගල යන්නේ.. හැබැයි දවසම දඟලලත් ඇර ගන්න බැරි උනා.. ඊට පස්සේ මේසේ යටින් රිංගල බැලුවම මෙසේ ලෑල්ලට යටින් ඉඩ තිබුනා. හොර උණ අරන් ඔක්කොම උගේ පොත් මම කියෙවුව බව ඌ අදත් දන්නේ නැහැ !!

    ReplyDelete
  10. ඒකියන්නේ හොඳ පොත් ගුල්ලෙක්..හැබැයි කියවන පොත් හංගල යන එකේනම් මොකක් හරි හොරයක් තියනවා...

    ReplyDelete
  11. මටත් නා නා ප්‍රකාර උණවල් තිබුණා ඒ කාලෙ. ඔය වගේ පුරාවිද්‍යා ගවේෂණත් තිබුණා ඒ අස්සෙ. :D ඒ මිහිරි මතකයන් අවදි කළාට තුති.

    ReplyDelete
  12. ඒ සුන්දර අතීත මතකයන් මතක්වෙනකොට‍ත් දැනෙන්නේ හරිම චමත්කාරයක් අක්කේ.බොහෝම ස්තුතියි මේ පැත්තේ ආවාට...

    ReplyDelete
  13. බලාගෙන යනකොට මේ හැමෝටම බාල කාලයක් තිබිලනේ..හෑ එතකොට කෝ මගේ එක..මං දැන්ම යනවා ඒක හොයන්න..:D

    ReplyDelete
  14. @ මාරයියා
    මාරයියගේ බාලකාලේ මගේ බාල කාලේට වඩා සුන්දර ඇති කියල මට හිතෙනවා.මොකද මට වැඩිය දුවල පැනල සෙල්ලම් කරන්න වත් රෝන්දේ ගහන්නවත් හම්බවුනේ නැහැ.අනික ගමකට යාලුවෝ හිටියෙත් නෑ අහල පහල පොඩි උන් හිටියෙ නැති හින්දා.ගොඩක් වෙලාවට පොඩිම කාලෙ සෙල්ලම් කලේ මවාගත්ත යාලුවෝ කාණ්ඩයකුත් එක්ක.

    ReplyDelete

අදහස්, උදහස්....

.