Thursday, February 17, 2011

බය කිරිල්ල හෙවත් ඔපරේෂන් මල්වඩම

7 comments
පුංචි කාලෙ ඉඳල ටිකෙන් ටික නව යොවුන් වියට එනකොට යෞවනත්වයේ සොඳුරු බවත් එක්කම විවිධ විවිධ අත්දැකීම් ලබාගන්න අපි උත්සුක වෙනවා.ඔය අතරට ඒ කාලෙ වීර ක්‍රියා කියල හිතුනත් වැඩිහිටියෝ හඳුන්වන විදිහට නසරානි දඩබ්බර වැඩත් අයිති වෙනවා.තීර්ථ යාත්‍රිකයාට හිතෙන හැටියට නං ළමා කාලෙ මිහිරියාව හොඳට විඳපු උදවිය තමා මේ වගේ අත්දැකීම් ලබල තියෙන්නේ.තීර්ථ යාත්‍රිකයාත් ඔය වගේ වැඩ දෙක තුනකටම සහභාගි වෙලා තියනවා.ඒ දේවල් හොඳයි කියනවාමත් නෙවෙයි.ඒත් ඒ අතීතයේ හරිම සොඳුරු මිහිරියාවක් තියනවා මතක් වෙද්දි මුහුණේ අව්‍යාජ සිනා රැල්ලක් නැගෙන්න තරම් ඒ අත්දැකීම් හරිම සුන්දරයි.ඉතින් මේ සැරසෙන්නේ කියවන හැමෝම 2000 අවුරුද්දට එක්ක යන්න.


එතකොට තීර්ථ යාත්‍රිකයා හිටියේ 8 වසරේ.ගමෙන් සෑහෙන ඈත නගරෙ ඉස්කෝලෙක අධ්‍යාපනය ලැබුවත් ගමේ යාලුවන්ගෙත් හිඟයක් තිබුනේ නැහැ. හේතුව වෙන්න ඇත්තේ තීර්ථ යාත්‍රිකයාලගෙ ගමම නෑදෑයෝ කියන දේ වෙන්න ඇති.හැබැයි පුංචි වෙනසක් තිබුනා ඒතමයි තීර්ථ යාත්‍රිකයගෙ ගමේ යාලුවෝ ඔක්කොම තීර්ථ යාත්‍රිකයාට වඩා වයසින් වැඩිමහල් අය වීම.පුංචි උදාහරණයක් කියනවා නම් 8 වසරේ හිටපු තීර්ථ යාත්‍රිකයාගෙ යාලුවෝ ඔක්කොමල්ලා 9වසර,10 වසර,11 වසර ,12 වසර අයයි. පුංචි කාලෙ ඉඳලම වයසින් වැඩිමහලු අය ආශ්‍රය කරපු හින්දමද කොහෙද ගොඩක් අත්දැකීම් ලබාගන්න පුලුවන් උනා තීර්ථ යාත්‍රිකයාට.ඒ වගේම ගෙදරින් උනත් කිසිම බාධාවක් එල්ල උනේ නැහැ කට්ටියත් එක්ක රෑ වෙලා උනත් එහෙ මෙහෙ ගියාට(කට්ටියම නෑදෑයෝ නිසා වෙන්න ඇති).කරුණු කාරනා ටිකක් කියල දැම්මේ පසුබිම් තොරතුරු වශයෙන් ..ඔන්න සැබෑ කතාව පටන් ගන්නවා..

ගමේ මිතුරු පිරිස තීරණයක් ගත්තා ගමේ පන්සලේ කැරකෙන කූඩුවක් ඉදිකරන්න.අදටත් ගමේ පන්සලේ වාර්ෂිකව ඉදිවන කැරකෙන කූඩුවේ ආරම්භය වුනේ 2000 අවුරුද්දේ ඒ තබපු මූලික පියවර.පොසෙන් පෝයට මාසගානකට කලින් ඉඳලා පටන් ගත්ත මේ වැඩේට තීර්ථ යාත්‍රකයා ඇතුලු මිතුරු සමාගම බැහැලම වැඩ කලා.‍හේතුව වැඩේ නාගත්තොත් නව නිංගිරාවයි නිසා.මේ වැඩකටයුතු නිසා රෑ ගමන් සෑහෙන්න යෙදුනා.ඉස්කෝලෙ ඇරිලා හවස තුන හමාරට හතරට ගෙදර එන තීර්ථ යාත්‍රිකයා ඒ දවස්වල කෑමකාල කෙලින්ම දුවන්නේ පන්සලට. පන්සලේ ඉඳලා ආපහු ගෙදර එන වෙලාව අනිවාර්යයෙන්ම රෑ 12 තමා.දවසක් මිතුරු සමාගම ඒ දවස්වල කට්ටියගේ‍ ප්‍රධාන ප්‍රවාහන මාධ්‍ය වෙච්චි බයිසිකල් වල නැගලා නිශාචර ගමනක් යෙදුනා(ආධාර එකතු කරන්න වගේ වැඩකට තමයි).එක ගෙදරකින් කියවෙච්චි වචනෙකට හිත නරක් කරගෙන කට්ටියම ආපහු එද්දි සෙට් එකේ හිටපු මාස්ටර් මයින්ඩ් මිත්‍රයෙක්ගේ අදහසකට හැමෝගෙම හිතගියා.ආපහු පන්සලට යන එක චුට්ටක් ප්‍රමාද කරපු තීර්ථ යාත්‍රිකයා ඇතුලු මිතුරු හවුල කෙලින්ම ඇදුනේ ගමේ සොහොන් පිට්ටනියට.වෙලාව මතක හැටියට නම් රෑ 10 ට විතර.බයිසිකල් සොහොන් පිටිය ළඟම අගලෙ පෙරලපු කට්ටියම රෑ අඳුරට මුවා වෙලා ගේට්ටුවට උඩින් පැනලා සොහොන් පිට්ටනියට ඇතුල් වුනේ  (ඇත්තම කිව්වොත් පණ බයේ.. ඇයි අප්පා හොල්මන් හිටියොත් එහෙම) සතුරු බල ප්‍රාදේශයකට ඇතුලුවෙන ඔත්තු කාරයෝ වගේ.කෙනෙක් ලොකු මල්වඩමක් හොයාගත්තා.අනිත් අය වටේ පිටේ තිබුන සුදු කොඩි ටිකක් එකතු කරගෙන ඉක්මණට සොහොන් පිටියෙන් අතුරු ආන්තරාවක් නැතිව එලියට ආවා.ඊළඟට කලේ තව ටිකක් රෑ වෙනතුරු කල්මරන්න බස් හෝල්ට් එකකට ඇවිල්ලා ආ ගිය කතා කිය කියා මදුරුවෝ තල තලා හිටපු එක. රෑ එකොලහ හමාර දොලහ වෙනකොට මුලු ගමම නින්දේ.”ඔපරේෂන් මල්වඩම” ට සුදුසුම කාලය තමයි උදාවෙලා තිබුනේ.
හීන් සිරුවේ කට්ටිය ඉලක්කය වෙත ළඟ වුනා.ඉලක්කය මොකක් කියලද හිතන්නේ… ඉලක්කය තමයි  කට්ටියගෙ හිත නරක් වෙන විදිහට අදහස් ප්‍රකාශ කරපු ගෙදර.කීපදෙනෙක් ඔත්තු බලද්දි තව කට්ටියක් ගිහිල්ලා මල් වඩම ඉස්සරහා දොරට හේත්තු කරලා සුදු කොඩි වටේම ගහලා ආවා.තීර්ථ යාත්‍රිකයා අයත් වුනේ ඔත්තු බලපු කාණ්ඩෙට.
මුකුත් නොවිච්චි ගාණට කට්ටියම ආපහු පංසලට ඇවිල්ලා කූඩුවේ වැඩ කටයුතු කන්ටිනියු කරන් ගියා.

ආරංචි වෙච්චි හැටියට නං අපේ කට්ටියගේ හිත් අප්සට් ගස්සවපු ගෑණූ කෙනා උදේ පාන්දර දොර අරිද්දි මල් වඩම ඇඟට තමයි ලු වැටිලා තියෙන්නේ සහ එයා සෑහෙන්න බය උනාලු.
පොඩ්ඩක් හිතන්නකෝ අලුත් දවසක උදේ පාන්දරම ගෙදර ඉස්සරහ දොර අරිද්දි මල් වඩමක් ඇඟට කඩා පාත් වුනාම එන හැඟීම.ඇයි ඒ මදිවට මිදුල පුරා සුදුකොඩි..
වැඩේ කලේ කවුද කියලා අදටත් අපේ කට්ටියගෙන් පිට කවුරුත් දන්නේ නැහැ.ම්හ… එක්කො නෑ.. කූඩුව හදන කාලෙ පුරාම හැමදාම වැඩකටයුතු වලට උදව්වෙන්න ආපු ග්‍රාම සේවක මහත්තය වැඩේ දන්නවා මගෙහිතේ.ඒත් එයා ඒක කාටවත්ම කියල නෑ.
අපි බලාපොරොත්තු විදිහටම ගමේ හිටපු සාම්ප්‍රදායික පණ්ඩිත වැඩිහිටියෝ කීපදෙනෙක් කරකවන්න බැහැ කිව්ව කූඩුව අපි පොසොන් පෝය දා කරකවලා පෙන්නුවා.එදායින් පටන් ගත්ත ඒ කැරකෙන කූඩුව හැම අවුරුද්දෙම පො‍සොන් පෝයට ඉදිවෙනවා.අහල පහල හැම ගමකින්ම කට්ටිය ඒක බලන්න එනවා.ඒත් එක්කම ආරම්භ වුන පෙරහැර ,දන්සැල ඒ හැම දේම කට්ටිය දිගටම කරගෙන යනවා.නමුත් තියන වැඩ කටයුතුත් එක්ක ඒ දෙවලට සහභාගි වෙන්න තීර්ථ යාත්‍රිකයාට නම් හැකියාවක් ලැබුනේ නැහැ……………..මේ වගේම මල් වඩම් ඔපරේෂන් එකක් ගැන කියවෙනවා ලීලනන්ද ගමාච්චි මහත්මයා ගෙ ළමාවියේ මංපෙත් කියන පොතේ.ලැබුනොත් කියවලා බලන්න.බොහෝම සුමට වාග් විලාශයකින් ගලා හැලෙන සංවේදී කතාන්දරයක්.
ප.ලි
දන්නෙම නැතිව කාලෙ ගෙවිලා ගිහිල්ලා තීර්ථ යාත්‍රාවට දැන් අවුරුද්දක් වෙනවා.ගිය අවුරුද්දෙ මේ වගේම මාසෙක තමයි තීර්ථ යාත්‍රාවේ මුල්ම පෝස්ට් එක දැම්මේ....

7 comments:

  1. තවත් බොහෝ දුර ගමනකට මගේන් ආසිරි..

    ReplyDelete
  2. සුභ පැතුම් මචං....

    ඒත් බං ඔය වගේ වැඩ කරන්න එපා බං. වැරදිලා හරි අර ගෑනු මනුස්සයට හාට් ඈටෑක් හැදුන්නං..?

    ReplyDelete
  3. @ ඉලංදාරියා...
    බොහොම ස්තුතියි සහෝදරයා...
    ප්‍රතිචාරයක් දාන්න පරක්කු උනාට කණගාටුයි.....

    ඇට් ගෝල්ඩ් ෆිෂ්
    ඒ දවස්වල ඔව්වා එච්චර ගාණක් නෑනෙ බං පොඩි උංනේ....
    දැන්නෙ බරපතලකම තේරෙන්නේ.
    ඒක නෙවෙයි බලාගෙන පොල්පැලේ වැස්සි දිහාට හැරෙයි

    ReplyDelete
  4. ඔය සොහොන් පිට්ටනි වලට රෑට යන වැඩේ අපිත් කලා.. හැබැයි වෙන දෙකට. අපේ පැත්තේ ලොකු සොහොන් වල පොල් වලු එල්ලනවා. අපේ එකෙක් හිටිය තාත්තට කඩයක් තියෙන. ඉති රෑට ඔය සොහොන් පොල් ගලවල කඩේට විකිණුව.. වරදක් නැහැනේ ? මොකටද සම්පත් අපතේ යවන්නේ ? හැබැයි ඇත්ත තමයි බයේ ගැහි ගැහී තමයි සොහොන උඩ ඉන්නේ !

    ReplyDelete
  5. තිබෙන සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගැනීම.. අර කිව්වත් වගේ මක්කටැයි නහස්තිවෙන්ඩ අරින්නේ

    ReplyDelete
  6. වැඩේ නරක වුණත් බොහොම විනෝදජනක එකක් බව නොකියා බැහැ. අපූරුවට ඉදිරිපත් කරලා තියෙනවා. ජය!

    ReplyDelete
  7. ඒ කාලෙ ඔව්වා එච්චර ගානක් නෑනෙ අක්කේ. අක්කගෙ ලිවිල්ලට නං මට අලගු තියන්නවත් බෑ.අක්කගෙ ලිපි ඒ තරමට ලස්සනයි.

    ReplyDelete

අදහස්, උදහස්....

.