සාමාන්‍යයෙන් පොත් ගුල්ලා කියන්නේ පොත් අස්සෙ ඉන්න සතෙකුට ඌ කරන්නේ පොත් කන එක.මනුස්සයෙකුට පොත් ගුල්ලා කියන්නේ ඒ කෙනා පොත් කියවන්න බොහෝම ලැදියාවක් දක්වන කෙනෙක් වුනාමයි (පොත් කාවා කියලත් කියනවා).මම තුමා පොත් ගුල්ලෙක් වුනේ පුංචි කාලෙ ඉදළමයි (කෙහෙම්මල සංඥක වැදෙන්නැතිව ගියානෙ...).ඒකට මූලික අඩිතාලම දැමුවේ තීර්ථ යාත්‍රිකයාගෙ ආදරණීය අප්පච්චි.අම්මයි අප්පච්චියි දෙන්නම ගුරුවරු නිසාවෙන්ම අපේ ගෙදර ඉස්සර ඉදලම එක එක ජාතියේ පොත් තොගයක්ම තිබුනා.හැබැයි තීර්ථ යාත්‍රිකයා පොඩිකාලෙ ඉදන්ම කියෙව්වෙ (කියවන්න ලැබුනෙ) අර තඩි අකුරු තියන පාට පාට පින්තූර තියන පොත් නම් නෙවෙයි.(එහෙම පොත් එකම එකයි තිබුනේ..).
සමහර වචන ටිකක් කල්පනාකරල කියවන්න සහ තේරුම් ගන්න අවශ්‍ය වෙච්චි පොත්.ඇත්තටම ඒ වගේ පොත් ලැබුන නිසා කියවන්න තිබුන කුතුහලය වගේම ආශාවත් වැඩිවුනා.මාව ඒ සදහා හුරුකරවපු මගේ දෙමව්පියන්ට මම ණයගැතියි.
මුලින්ම තීර්ථ යාත්‍රිකයාට ලැබුන පොත තමයි "රතු කරමලයාගේ කතාව" ඒක ඇවිල්ලා අර තඩි අකුරු තියන ලස්සන රූප තියන පොතක්.ඒක නම් දැන් නෑ.ඒක ලැබුනේ 1 වසරෙදි හරි ඊට ටික කාලෙකට කලින් හරි.
ඊළගට 2 වසරෙදි අප්පච්චි කොළොම්තොට පැත්තෙ ගිහිල්ලා එන වෙලාවක හියුබත් දිසානායක මහත්මයා ලියපු ගලිවරය පොතයි..ඩේවිඩි කරුණාරත්න මහත්මයාගෙ රොබින්හුඩ් අනුවාදයකුයි ලැබුනා.ඒවා මං ගාව තාම තියනවා. ඒ පොත් දෙකට දැන් අවුරුදු 15ක් වයසයි.එතන තමයි සංදිස්ථානය.රතු කරමලයා කියවද්දි නොලැබුන රසයක් අනික් පොත් දෙකෙන් ලැබුන නිසා දිගින් දිගටම පොත් කියවන්න පුරුදු වුනා.
ඒ කාලෙ අප්පච්චි හැම මාසෙකට හෝ දෙකකට වතාවක්ම මට විවිද පොත් අරන් දුන්න නිසා 7 වසරට විතර එනකොට පොත් සිය ගාණක් තිබිච්චි පෞද්ගලික පුස්තකාලයක හිමිකරුවෙක් වෙන්න මට හැකිවුනා.බැක්ග්‍රවුන්ඩ් ටෝක් ඉවරයි.දැන් පොත් ගැන කතාවට බහිමු.කියවලා තියන පොත්වලින් හැම තිස්සෙම මතකයට නැගෙන පොත් රාශියක්ම තියනවා.වැඩි හරියක් පරිවර්තන.....
බෝට්ටු සවාරිය (ජෙරෝම් කේ ජෙරෝම්)- හාස්‍ය රසයෙන් අනූනයි.වික්ටෝරියානු යුගයේ එංගලන්තයේ කතාවක් වුනාට හිනාවෙන්න පුලුවන් ඉල ඇදෙනකම්ම.
සෝවියට් නවකතා
සැබෑ මිනිසෙකුගේ කතාවක් - දෙපා අහිමි ගුවන් නියමුවා "අලෙක්සේයි මරේසියෙව්" .දිරිය මිනිසෙකුගේ සත්‍ය කතාවක්.
අපරාධය සහ දඩුවම - අනේ මන්දා මම අකමැත්තෙන්ම කියවපු පොතක්.
ගුරුගීතය - පුංචි පහේ පොතක් වුනත් ලොකු විස්තරයක් වචනවලින් ගලපලා තියනවා.
මීට අමතරව
ෂර්ලොක් හෝම්ස් පොත් මාලාව -කොනන් ඩොයිල් මහත්මයාගේ පොත් වලින් අනතුරුව තවත් ලේඛකයන්ගේ කතා පරිවර්තනය වූ නිසා අවසානයේ කතාමාලාවේ සැබෑ රසයට හානි වූ බවයි තීර්ථ යාත්‍රිකයාගේ මතය.
ටාර්සන් පොත් මාලාව (එඩ්ගර් රයිස් බ්රෝස්) - නරකම නැහැ.
ඉවර නොවෙන කතන්දරය - පිස්සු හැදිලා අයෙත් හැදෙන ෆැන්ටසියක්.
අරණකට පෙම්බැද (බන්දෝපාද්‍ය මහතාගේ විශිෂ්ඨ කෘතියක්) -වංග භාෂාවෙන් ලියවුන මුල් කෘතිය රසයට හානි නොවන සේ මනාව පරිවර්තනය කිරීමේ ගෞරවය චින්තා ලක්ෂ්මීසිංහාරච්චි (මහත්මා ? මහත්මිය.. හරියට දන්නෙ නෑ) ට හිමිවෙනවා.වනාන්තරය ඉතාමත් සුන්දරව විස්තර කොට තිබෙනවා.
සාරභූමි (පර්ල් ඇස් බක්) - වැඩවසම් යුගයත් කොමියුනිස්ට් යුගයත් අතර කාලයේ චීන ගොවි පවුලක් වටා ගෙතුන මනුෂ්‍ය ගති ස්වභාවයන් මැනවින් නිරූපිත කෘතියක්.
ස්පාර්ටකස් - පැරණී අපි ශ්‍රේෂ්ඨ යයි ඉගනගත් රෝම ශිෂ්ඨාචාරයේ නිරුවත හෙලිකරන කෘතියක්.ග්ලැඩියේටර් වරයෙකු වහලුන් හා ඒකරාශී වී රෝම වංශාධිපතීන්ට එරෙහිව දියත් කර ඛේදාන්තයකින් කෙලවර වන කැරැල්ලක් පිළිඹද කතාවක්.
ලෝරා ඉංගල්ස් වයිල්ඩර්ගේ ලිට්ල් හවුස් පොත් පෙල
පියානෝ වාදකයා -ඇඩොල්ෆ් හිට්ලර්ගේ පාලන සමයේ යුදෙව්වන්ගේ සත්‍ය කදුලු කතාවක්.
කතා සරිත් සාගරය -පුරාතන ඉන්දියානු කතා මාලාවක්.
පංච තන්ත්‍රය (විෂ්ණු ශර්මන්) - ඇසෙම්බ්ලි වලින් ප්‍රොග්‍රැම් එකක් ලියනවා වගේ තමයි කියවද්දි දැනෙන්නේ.ප්‍රධාන කතා හතරයි sub query කෝටියයි (ආ ආ වැරදුනා... උප කතා තොගයයි).
රන් දහඩිය -71 කැරැල්ලෙන් පසු පශ්චාත් කැරලි මර්ධන කටයුතු නිසා පලාගොස් ගොවිතැනේ යෙදෙන දිරිය තරුණ පිරිසකගේ කතාන්දරයක්.
අස්වැද්දුම - දේසපාලුවන් ගැන දැනගන්න කියවන්න..
දාවිත් තඹකුඹුර (පොඩි ජෝක් එකක් ,හරි එක ඩේවිඩ් කොපර්ෆීල්ඩ් - චාල්ස් ඩිකන්ස්) -චාල්ස් ඩිකන්ස් මහත්මාගේ සත්‍ය කතාවත් ඇසුරින් ලියවෙච්චි කෘතියක්.
නිදි මතයි අප්පා , දැන් සාරාංශ වශයෙන්..
මේවාට අමතරව පහල තියන එව්වාත් සිත්ගත්ත පොත් බව සැලකුව මනාය.නිදි දෙව් දුව හස්ත මුද්‍රාවෙන් අමතන හෙයින් සංක්ෂිප්තව නාමය පමණක් දන්වා සිටිමි.........
කතාකුසුම,වේලාසන කොක්කු ඇවිත්,මහල්ලා සහ මුහුද,බිගල්ස්ගේ ගුවන් වික්‍රම,අනූ නවය (මේක නම් සුපිරිම සුපිරි සිංහල රහස් පරීක්ෂක කතාවක්),සුනේත්‍රා හෙවත් අවිචාර සමය,තෙල්මා,ඈ හෙවත් අයේෂා (කොච්චර නෑ කිව්වත් ලක්ෂ්මී හෙවත් නොනැසෙන රැජිණී නම් මේකෙ කොපියක්),ඉලියඩ්,ඔඩිසි,හයිඩි,ෆ්රැන්කස්ටයින්,හත් දෙයියනේ අමතක වුනානේ ඇයි මහා වංශය,කොන්ගෝ,වන සරණ,මැකීගිය දඩමං,සුදුගෝනා ,සුදු වැද්දා,ජේන් අයර්,යකාගෙ නවාතැන,මල්ගුඩි දවස්,සැරිසරන සිත්තරා,අන්තිම දුම්රිය, ඇන්ඩ් බ්ලා බ්ලා බ්ලා..................




