Saturday, November 6, 2010

මගේ ජංගම දුරකතන ඉතිහාසයේ සිට මෙතෙක් කතාව.......

14 comments
දැන් අපේ රටේ හැමෝම අතේ තියන මෙවලමක් බවට ජංගම දුරකතනය පත්වෙලා තිබුනත් මීට අවුරුදු කීපයකට කලින් නම් එහෙම වුනේ නෑ.අපි ඉස්කෝලෙ යන දවස්වල කට්ටිය 3310 වගේ ෆෝන් අරන් යනකොට එව්වා දිහා මැජික් වගේ බැලුව අපිට ඊට පස්සේ ආපු 1100 වගේ ෆෝන්වල රින්ග් ටෝන් කොම්පෝස් කරන එක මාරම මාර මැජික් එකක් වුනා.ඒ දවස්වල වීඩියෝ බලන්න පුලුවන් වර්ණ තිර, කැමරා  තියන ඒ වගේම එම්ප්‍රී තී පහසුකම තියන ජංගම දුරකතන ගැන පත්තර වල පල වෙච්ච විශේෂාංග ඇස් ලොකු කරගෙන කියවලා ගෙදර අයටත් රසකර කර කියපු හැටි තීර්ථ යාත්‍රිකයාට නම් තවත් හොඳට මතකයි.

මට හොඳට මතකයි මම සාමාන්‍ය පෙල විභාගය ඉවරවෙලා විනෝදෙන් ඉන්න කාලෙ ටවුන් එකෙන් යාලුවෙක්ව හම්බ වෙලා ඌත් එක්ක කතාකරලා එද්දි උඩ සාක්කුවේ පොඩි පෙට්ටියක් වගේ දෙයක් තියනවා දැකලා “මොකද්ද බං මේ“ කියලා එළියට අදිද්දි ඒක ෆෝන් එකක් කියල දැනගත්තාම හිතේ ඇතිවෙච්චි පුදුමය.මේ කියන්නේ 2002-03 කාලෙ.

කොහොමෙන් කොහොම හරි ඊට ටික කාලෙක පස්සේ ෆෝන් ටිකක් ටිකක් සුලභ වෙන්න ගත්තා .වර්ණ තිර ,කැමරා , එම්පී ත්‍රී ....කතාන්දර ගොඩයි....හැබැයි ඉතින් ඒ දවස්වල N70 එහෙම 70 000, 80 000 වගේ ගණන් වල තමයි ගියේ...හ්ම් කියන්න ගියේ තීර්ථ යාත්‍රිකයාගේ ජංගම දුරකතන ඉතිහාසෙ ඉඳලා මේ දක්වා කතාවනේ....
තීර්ථ යාත්‍රිකයට මුලින්ම ජංගමයෙක්ව හම්බ උනේ පළමු වෙනි වතාවෙ උසස් පෙළ ලියන කාලෙ...ඒ කියන්නේ 2006 අවුරුද්දේ මැද ....මතක හැටියට අප්‍රේල් මාසේ තමයි....

හා හපුරා කියල ගත්තේ සෝනි එරික්සන් එකක්.අප්පච්චිගෙන් ලැබිච්ච තෑග්ගක්.මුලින්ම කියල තිබුනේ උසස් පෙළ විභාගයෙන් පස්සේ අරන් දෙන්නම් කියලා.ඒත් මොකද්දෝ මන්දා දෙයක් හිතිලා දවසක “ හ්ම් යමු අද ෆෝන් එකක් අරන් දෙන්නම්කෝ“ කියලා හදිස්සියේම තමයි ගිහිල්ලා ගෙනාවේ.එදා සෝනි එරික්සන් වලට ඇතිවෙච්ච ආසාව අද දක්වාත් නොවෙනස්ව එකසේම පවතිනවා.මොකද සෝනි එරික්සන් කියන්නේ අඩු මුදලට වැඩි පහසුකම් තියන ෆෝන් දෙන සමාගමක් නේ ඒකයි...

Sony Ericsson K 300






මේක තමයි මුලින්ම ගත්තේ...ඒ දවස්වල නම් ආයෙ කියලා වැඩක් නැහැ..මාර තැනක් තිබුන ෆෝන් එකක්.ඒ වගෙම කිසිම ලෙඩක් දුන්නෙ නැහැ මටනම්...
පැටිකිරිය ගැන කියනවානම්

2004 අවුරුද්දේ මුලින්ම එළිදක්වපු (දැන් නිෂ්පාදනය නවත්වලා තියෙන්නේ) වීජීඒ කැමරාවක් සහ 12 මෙගාබයිට් අභ්‍යන්තර මතකයක් තියන ජංගම දුරකතනයක්....භාවිතය හරිම පහසුයි ඒ වගෙම අතටත් කිසිම අපහසුවක් නෑ.

සාමාන්‍යෙයන් අපි යම් කිසි දෙයක් සම්බන්ධයෙන් මුලින්ම ලබන අත්දැකීම සුවිශේෂීයි.ඒක කවදාවත් අමතකවෙන්නේ නැහැ.ඒ අත්දැකීම හිතේ ජනනය කරන හැඟීම ඒ විදිහටම ආයෙ කවදාවත් විඳින්න බැහැ.
එකයි මොනදේ වුනත් ප්‍රථම ප්‍රේමය කිසිම කෙනෙකුට අමතක කරන්න බැරි.මම හිතන්නෙ කට්ටිය මාත් එක්ක එකඟ වෙයි.
ඒ දවස්වල ජංගම දුරකතනයක් ගන්නවා කියන්නේ සිහිනයක්..මට හොඳට මතකයි මම ඒ දවස්වල උදේට නැගිටලා ඇඳේ ඉඳගන ඉන්නකොට මතක්වෙනවා මටත් දැන් ෆෝන් එකක් තියනවානේ කියලා.ඒ වෙලාවේ ඇතිවෙන හැඟීම වචනයෙන් විස්තර කරන්න බැහැ. ඒ දවස්වල එක කෙලියයි. ඉන්ෆාරෙඩ් ඩොන්ගල් එකක් අරගෙන ෆෝන් එකට සින්දු වීඩියෝ එක එක ඇප්ලිකේෂන් පුරවන එක තමයි වැඩේ. මොනව කරන්නත් 15 මෙගාබයිට් නේ තිබුනේ.ඉතින් වීඩියෝ එහෙම කන්වර්ට් කර කර තමයි පුරවන්නේ.

මම ටිබෙටය ගැන කියවපු පොතක තිබුනා ටිබෙට් වැසියන් දෙන්නෙක් මුනගැහුණාම මුලින්ම කරන්නේ ඒ දෙන්න ගාව තියන දුංකුඩු හෙප්පු අරන් දුංකුඩු ටිකක් හුවමාරු කරගෙන රසවිඳින එකලු.මොකද දුංකුඩු වල තියන පදම එකිනෙකාට ආවේනික නිසා..ඒ වගේ අපේ සෙට් එක ඒ දවස්වල දෙන්නෙක් සෙට්වුනාම කරන්නේ ෆෝන් වල තියන සින්දු ,ඇප්ලිකේෂන් වගේ නා නා ප්‍රකාර ජාති හුවමාරු කරනගන්න එක.ගොඩක් ෆෝන්වල තිබුනේ අධෝරක්ත කිරණ ,තේරෙන භාෂාවෙන් කිව්වොත් ඉන්ෆාරෙඩ්.එතකොට දත්ත සම්ප්‍රේෂණයක් කරනකොට ෆෝන් දෙක ළඟින් එකම තලයක තියලයි වැඩේ කරන්න ඕනි. ඕක හින්දම ඔය දේට ඒ දවස්වල කිව්වේ “ෆෝන් කොටවනවා“ කියලයි.


Sony Ericsson K 310 i


දෙවනි වතාවෙත් අතගැහුවේ සෝනි එරික්සන් එකකටම තමයි. කලින් ගත්ත එක විකුණලා තමයි මේක ගත්තේ.මතක හැටියට 2007 මැද කාලෙ.310 එක ගැන කියනවානම්
නිෂ්පාදිත වර්ෂය 2006 ඒ වගේම දැන් නිෂ්පාදනය නවත්වලයි තියෙන්නේ.මේකත් හරිම හුරුබුහුටි පාවිච්චිය පහසු සරල ෆෝන් එකක්.15 මෙගාබයිට් අභ්‍යන්තර මතකයක් සහ වීජීඒ කැමරාවකින් සමන්විතයි.කැමරාව කලින් තිබුන 300 එකට වඩා හොඳයි.හොඳ මීඩියා ප්ලේයරයක් තිබුනා.ඒකෙ ඊක්වලයිසර් වගේම මිනිමයිස් කිරීමේ පහසුකමත් තිබුනා.ඒත් බාහිර මතක පත් භාවිතා කරන්න බැරිනිසා බොහොම අමාරුවෙන් 15 මෙගාබයිට් වලට ඔක්කෝම කොටාගන තමයි ඇද්දේ. සෝනි එරික්සන් වල තියන විශේෂත්වය තමයි එහි හඬ. මම නම් ඒකට හරිම කැමතියි.

Nokia 6131

මෙගාපික්සල් 1.3 කැමරාවක් තිබුන ඒ වගෙම් බාහිර මතක පත් භාවිතා කරන්න පුලුවන් ජංගම දුරකතනයක්.මේකෙ විශේෂත්වය තමයි එහි තිරය.කියලා වැඩක් නැහැ.පුදුමාකාර සුපැහැදිලි වර්ණ තිබුනේ
16 Million වර්ණ ඇතුල් තිරයක් සහ 256K වර්ණ පරාසයක් රැගත් බාහිර තිරයක් අන්තර්ගතයි.ඒ නිසාම බැටරි බැසීම නම් සීඝ්‍රගාමීයි.මට එපාවෙන්න එකම හේතුවත් ඒකමයි.

Sony Ericsson K 750 i




මෙතුවක් කාලෙකට මම භාවිතා කරපු ෆෝන් වලින් වැඩිපුරම ලකුණු දෙන්න පුලුවන් ෆෝන් එක මේකයි.2.0 මෙගාපික්සල් කැමරාවත් සමඟ ලැබෙන පහසුකම් නම් සුවිශේෂී.මේ කැමරාවේ ඡායාරූපවල ගුණාත්මක භාවය K 800 ෆෝන් කැමරාවටත් වඩා වැඩියි.ඒ වගේම මැක්‍රෝ හා පැනෝරමා පහසුකමත් තිබුනා.මෙහෙයුම් පද්ධතිය හරිම සරලයි.භාවිතා කරන්න පහසුයි. ඒ වගේම ලාක්ෂනික දුර්වලතා කීපයකුත් නැතුවාම නෙවෙයි.මම දැකපු එක දුර්වලතාවයක් තමයි කැමරාව ආවරණය කර ඇති කවරය ක්ෂනිකව ඉවත්කල විට ඇතිවන තත්වය.නමුත් එහි ඇති සුවිශේෂී ස්වභාවය සලකන විට එතරම් සැලකිය යුත්තක් ලෙස නොපෙනනුනත් මෙයත් Discontinued ලේබලයම වැදුන ජංගම දුරකතනයක්.ඉයර්ෆෝන් සම්බන්ධකල විට හඬේ ඇති ගුණාත්මක භාවයත් ඉතාම ඉහළයි.ඒක තවත් සුවිශේෂී ලක්ෂනයක්.

Samsung Blackjack 2


මම දැන් භාවිතා කරන්නේ සැම්සුන්  Smart Phone ගනයට වැටෙන Blackjack 2 දුරකතනයයි.විස්තර කියනවානම්
Windows mobile OS 6.0 ,128Mb Ram ,256 ROM , 2.0 MP camera ,3.6 Mbps HSDPA වැනි පහසුකම් වලින් සමන්විතයි.
නමුත් භාවිතය නම් සෝනි එරික්සන් තරම් සරල නැහැ.මෙහෙයුම් පද්ධතියේ සංකීර්ණතාවය වැඩියි.සම්පූර්ණ යතුරු පුවරුවම තිබෙන නිසා අතට නම් පහසුයි.පෙනුමත් හොඳයි.

ඔන්න ඔහොමයි තීර්ථ යාත්‍රිකයාගේ එදා මෙදා තුර ජංගම දුරකතන භාවිතයේ ආරම්භයේ සිට මෙතෙක් කතාව.................


14 comments:

  1. අනිවා.. මාත් ඉතින් SE තමයි :D

    ReplyDelete
  2. @ කණියා
    මමත් කැමති SE තමයි.ඒත් ස්මාර්ට් ෆෝන් එකකට යන්න බලාගනම හිටපු නිසාත් හිතට අල්ලලා ගිය නිසාත් තමයි බ්ලැක්ජැක් 2 වලට බැස්සේ

    ReplyDelete
  3. k 750 ආපසු එනවා 8000 වැනි අඩු ගානට

    ReplyDelete
  4. මටනම් තවම මගෙම කියල ජංගමයක් වත් සිම් එකක්වත් තිබිල නෑ.2003 ආපු ගමන්නෙ තවම මේ...අපේ තාත්තටනම් තිබුන 2000දි විතර nokia පතයක්.මොඩ්ල්නම් මතක නෑ.පස්සෙ තාත්ත 1100 එකක් ගත්ත.අර phone එක බුවෙක් අරන්ගියා ,ඉස්සර ඔය phone එක ගලවල ලෑන්ඩ් phone system එකකට හැදුවනෙ. එහෙම එකකට කියල.

    ReplyDelete
  5. මාත් කාලයක් SE W200i 1ක් පාවිච්චි කලා.
    walkman phone 1ක් හින්ද සින්දු අහපු එක තමයි වෑඩියෙන්ම කලේ.

    ReplyDelete
  6. මාත් මුලින්ම පටන් ගත්තේ k 300 i 1 kin තමා 2005 දී තාමත් ලෙඩක් නැතුව පාවිච්චි කරනවා.. hehee

    ReplyDelete
  7. @Anonymous

    ඒ 8000 වගේ ගණනකට එන දුරකතන බොහෝ වෙලාවට ජොයිස්ටික් පිළිසකර කරපු හෝ රෙගියුලේටරයේ සුලු සුලු අවුල් තියන දුරකතනයි.

    @ dinesh
    වෙලාවකට නම් ෆෝන් එක මල වදයක් තමයි.මම එතකොට කරන්නේ ෆෝන් මෝඩ් එක ඕෆ් කරලා දාන එක.

    @ BVIC
    මචන් උඹේ කමෙන්ට් එක පබ්ලිෂ් කරන්න විදිහක් නැහැ.මොකද උඹ මගේ නියම අනන්‍යතාවයෙන් අමතලා තියන නිසා.....
    අහපු ප්‍රශ්නෙට උත්තරේ.... ඔව් හොඳට බලල ගත්තේ...චෛනීස් එකක් නෙවෙයි

    @ Anonymous
    සෝනි එරික්සන් වෝලක්මන් සීරිස් එක නම් කියල වැඩක් නැහැ.සින්දු අහන්න කියාපු භාණ්ඩේ..

    @ පසන්
    300 නම් ෂෝක් ෆෝන් එක.මටත් කිසිම වදයක් දුන්නේ නැහැ.හොඳ හුරුබුහුටි දුරකතනයක්

    ReplyDelete
  8. Ericson T10 > Nokia 3310 > Sajem [dont remember the model] > Ericsson T20 > Motorola W220 > Samsung E250 > Sony Ericsson K800i > HTC Smart :)

    ReplyDelete
  9. මගේ මනාපයත් SE ට තමා. මොකක් වුණත් හිතට අල්ලන ගතියක් අනික් ඒවාට වඩා SE ට මගේ තියෙනවා :)

    ReplyDelete
  10. @ Anonymous
    ෆෝන් ගැන ලොකු අත්දැකීම් තියන කෙනෙක් වගේ. ඇයි බ්ලොග් සටහනක් ලියන්නැත්තේ...

    @ Hasitha
    සෝනි එරික්සන් මගේ ප්‍රියතම ෆෝන් මොඩලය.ගොඩාක් පහසුකම් අඩු මුදලට ලබාදෙනවා.ඒ වගේම හරිම හැන්ඩි..

    ReplyDelete
  11. ඔයාගේ ඉන්ටනෙට් සෙටින්ග්ස් වැඩේ හරි...
    ඒක ගැන බ්ලොග් පෝස්ට් එකක් අද හවස 4ට හරි ඊට කලින් හරි වැටයි...
    වින්ඩෝස් මොබයිල්ස් ලෝකයට සාදරයෙන් පිළිගන්නවා මිත්‍රයා !!!

    ReplyDelete
  12. බොහොමත්ම ස්තුතියි මගෙ කෙටි කමෙන්ට් එක වෙනුවෙන් විශාල වෙහෙසක් දැරීම සම්බන්ධයෙන්.....

    ReplyDelete
  13. Blackjack 2 එකට වෛරස් වලින් හානි වෙලා නැද්ද

    ReplyDelete
  14. වින්ඩෝස් මෙහෙයුම් පද්දතියක් නිසා වෛරස් බලපෑමක් නැහැයි කියන්න බැහැ.හැබැයි භාවිතා කරන තමන් අතේ තමයි තියෙන්නෙ වෛරස් වලින් ආරක්ෂාවීමත්.මට නම් කිසිම අවුලක් වුනේ නැහැ වෛරස් වලින් නම්.හැබැයි ෆෝන් එක බිම වට්ටගන්න නම් එපා.එහෙම වුනොත් නං “අහෝ බේදයකි ඉරකි තිතකි“ තමයි

    ReplyDelete

අදහස්, උදහස්....

.