Monday, August 9, 2010

ඇයි අපි ඔටුවොද? පොලිස් කතාවක්.

5 comments
අද උසස් පෙළ විභාගෙත් පටන් ගත්තානේ. කාලෙකට කලින් තීර්ථ යාත්‍රිකයත් උසස් පෙළ ලියපු හැටි මතක් වුනා.අම්මෝ බයෝ,කෙමෙස්ට්‍රි, ෆිසික්ස්, ළමයි 1000ට වැඩි හෝල් ක්ලාස්.....මතක් වෙද්දිත් ඇඟ හිරි වැටිල යනවා.

උසස් පෙළ කාලෙ විඳපු මිහිරි අත්දැකීම් නැතුවමත් නෙවෙයි. ඇත්තටම ඒක අමුතුම යුගයක්. බ්ලොග් අවකාශයේ සහෘදයෝ කීප දෙනෙකුත් උසස් පෙළ ලියනවා ආරංචි හැටියට. හැම දෙනාටම සුභ පතනවා එහෙනං. උසස් පෙළ සමයෙ විඳපු ජොලි පහේ අත්දැකීමක් හැමෝම එක්ක බෙදා ගන්න හිතුනා. කතන්දරය කියන්න නං අවුරුදු කීපයක් ආපස්ස​ට යන්න වෙනවා.

කතාවට පදනම් වෙන්නේ  "එක් සමයෙක්හි තීර්ථ යාත්‍රිකයා පළමු ලැජ්ජාව කරන කාලයහි."........(මක්ක කිවුවා ??????? පළමු ලැජ්ජාව....ඒ අහවල් එකද????) . දන්නවනේ ලැජ්ජා 3ක් තියනවා.

1) පළමු ලැජ්ජාව හෙවත් උසස් පෙළ පලමු වර

2) දෙවන ලැජ්ජාව හෙවත් උසස් පෙළ දෙවන වර කිරීම

 ( හෝව් හෝව් මං කියන්නං ඕක මහ ලොකු දෙයක්යැ "තුන්වන ලැජ්ජාව හෙවත් උසස් පේළ.........................................) වැරදියි

3) විලි ලැජ්ජාව හෙවත් උසස් පෙළ තෙවන වර.

තීර්ථ යාත්‍රිකයා නං පළමු ලැජ්ජාවෙන් පස්සේ දෙවන ලැජ්ජාවත් කරල ලැබ්චිචි ප්‍රතිථල වලින් සෑහීමකට පත්වෙලා ලැබුන විදිහට උසස් අධ්‍යාපනයට යොමු වුනා. ඒත් සමහර යාලුවො නං විලි ලැජ්ජාවත් කරල ​වෛද්‍ය විද්‍යාලයටම ඇතුල්වුනා. අවුලක් නෑ නොමිලේ බේත් ගන්න ඕන තරං අඳුනන ඩොකාල ඉන්නවා නෙව එතකොට.

වැල්වටාරම් නවත්වලා බැක් ටුද ටොපික්.....

ඔය කියන කාලෙ තමයි ඉන්දියන් මෝටර් සයිකල් ටික ටික ෆේමස් වෙලා ආවෙ.අර දර ගොඩවල් වගේ බොක්සර් බයික් නෙවෙයි....පල්සර් කියයි, සීටී 100, කියයි ඩිස්කවරි කියයි...එක එක හැඩ වැඩ දාපු බයික් ආවෙ ඒ කාලෙ තමයි. තීර්ථ යාත්‍රිකයා ඔය කාලෙ වෙනකොට බයිසිකලය සහ මෝටර් සයිකලය යන දෙකම පාවිච්චි කරන අතරමැදි කාලයේ හිටියේ...ලයිසනුත් නැති වුනාට අප්පච්චි පැදපු පරණ හොන්ඩා සීඩී 50 ක් තමයි පැද පැද හිටියෙ.



 

මෙන්න මේ වගේ එකක්.තීර්ථයාත්‍රිකයාගේ ඇ​ඟෙ සයිස් එකට ඕක ටිකක් කුඩායි. ඉතින් ඒ කාලෙ සමහර එවුන් මං එද්දි ටිකක් බය වෙලා වගේ බලාගන ඉඳලා
..... ආ........උඹ බයික් එකේද ආවෙ බන්..... අපි මේ බැලුවේ උඹ කොහොමද පාවෙලා එන්නෙ කියලා...ඇතට බයික් එක පෙනුනේ නෑනෙ බන්....කියල කින්ඩි දාන්නත් පුරුදු වෙලා හිටියා...
කොහොමෙන් කොහොම හරි අලුත ආපු ඉන්දියන් බයික් හිතට අල්ලපු හින්දම අප්පච්චිට පොඩි අයිඩියා එකක් දාල බැලුවා....වැඩේ හරි.... මහා භාණ්ඩාගාරයෙන් මුදල් අනුමත වුනා.බයික් එකක් අරන් ආවා...
 
අලුත්ම එකක් නේ ඒ හින්දා අන්ජිම පදං වෙනකන් අනුගමනය කරන්න ඕන උපදෙස් ගොඩයි.හැම එකක්ම පිළි පැද්දා ඒත් ගෙදරින් වැඩි ඇතට පොලීසියෙන් ගැවසෙන පැති වල​ට යාම තහනම්... ඇයි ලයිසන් නැහැ නොවැ.ඔන්න ඇසල සමය උදාවුනා.අපේ ගමේ හැම අවුරුද්දෙම වගේ තරමක් විශාල පෙරහැරක් තියනවා. විශාලයි කියන්නේ අලියෙක් එහෙමත් යන හින්දා.... වෙනදා තරම් සක්‍රීයව නොවුනත් යම් තරමකින් තීර්ථ යාත්‍රිකයා පෙරහැරට දායක වුනා ( විභාගෙත් තියනවා නේ) . ගමට තරමක් ඇතින් නගරයේ තියන රජමහා විහාරයේ ඉඳලා කිලෝමීටර් 6ක විතර දුරක් ගෙවාගන එන පෙරහර එක්කම එන එක ඒ කාලෙ අපේ විනෝදාංශයක්. (මේ පාරනං ගෙදර ළඟින් යද්දි ඈහැරිලා බැලුවෙ වත් නැහැ). බයික් එකත් අරන් යන්න පොඩි චකිතයක් තිබුනත් (පොලෝසියෙන් ඇල්ලුවොත් හෙම)බයිසිකලේ ගියොත් පැදලා පණ යන හින්දා බයික් එකේම යන්න පර්මිෂන් ගත්තා.මාත් එක්ක තවත් යාලුවෙකුත් ඒ වගේම තවත් බයික් එකක යන්න තව ගමේ අයියලා දෙන්නෙකුත් සෙට් වුනා.
"අයියේ පොලීසියෙන් ඉඳීද දන්නේ නෑ" ඒ මම.
"පිස්සුද මල්ලියා පොලීසියෙන් ඇල්ලුවොත් මම බලාගන්නං" ඒ සිංහ නාදය අනික් බයික් එකේ පිටිපස්සේ ගිය අයියාගෙන්.

අපි ගමනට පිටත් වුනා. රජමහා විහාරයට පෙරහැර කණ්ඩායමත් එක්කම ළඟා වුන අපි ඇඳිරි වැටීගන එනකොට පෙරහැර පිටත් වෙන්න තව වෙලා තියන නිසාත් (මතක හැටියට බඩගිනි නිසාත්) නගරයේ පොඩි රවුමක් ගැහුවා. ඕප්ස්..... පාර අයිනේ ට්‍රැපික් ඩබලක් ඉන්නවා.... පිටිපස්සෙ ඉන්න යාලුවට හෙල්මටුත් නැහැ...තීර්ථ යාත්‍රිකයත් ඉතින් පුරුෂ ​ධෛරය අරගෙන ගණන් ගන්නැතිව ඉදිරියටම ඇදුනා....විසිල් පාරක්...ම්හ් නැහැ.... අවුලක් නෑවගේ, පොලිස් ඩබල ඔහෙ බලන් හිටියා විතරයි. කන්න මොනව හරි ගන්න නගරෙ වටේ දෙතුන් පාරක් කැරකිලා යනකො​ට මෙන්න බොලේ දඩ විසිල් පාරක් ගහන ගමන් අර ට්‍රැපික් ඩබල බයික් එකේ අපිව ඉස්සර කරන් ගිහිල්ලා නවත්තන්න කියල සංඳාවක් දුන්නෙ නැතෑ. මොනව කරන්නද බයික් එක නතර කලා...හිමින් හිමින් ට්‍රැපික් ලා දෙන්නා ගාවට යනකොට චුට්ටක් ඉස්සරහා පොලිස් ජිප් එකත් නතර කරා....අද හරි තමයි....
 
අවිහිංසක හිනාවක් දාගන තීර්ථ යාත්‍රිකයා ට්‍රැපික් ඩබල ඉස්සරහට යන ගමන් බැලුවේ සිංහ නාදෙ දාපු අයියා කෝ කියලා.... මොන......... ඒකා ඈත බයික් එක නවත්තං බලාගන ඉන්නවා....

මම : අවිහිංසක සිනාවකින් මුව සරසාගෙන

පොලිස් මාමා:    හ්ම් ලයිසන් තියනවාද ඔයාට???

මම:  නැහැ සර්! සිනාව තවත් අවිහිංසක වේ.

 අනික් පොලිස් ඩබල එකිනෙකා දෙස බලමින් හිස සලති..

පොලිස් මාමා:  බලන්න ඔයාට ලයිසන් නැහැ. බයික් එක රෙජිස්ටර් නැහැ.පිටිපස්සේ එකාට හෙල්මට් නැහැ.ඔයාල ඔහොම රවුං ගහද්දි පොලිසියේ අපි නිකං ඔටුවො වගේ බලා ගන ඉන්න කියලද කියන්නේ ......................................අර ජිප් එකේ ට්‍රැපික් ඕ අයි සී අපේ තත්වෙ මොකද්ද කියල පොඩ්ඩක් කල්පනා කරනවකො හලෝ.......
 (හොඳ වෙලාවට සවලක් අහල පහලක තිබුනෙ නෑ)

මම : සර් අපි මේ..............................පෙරහැරේ වැඩ වලට ආවේ.........

පොලිස් මාමා.: . හා යනවා යනවා...ආයෙ එහෙම ඔහොම ගිහිල්ලා අහුවෙනවා නෙවෙයි......



 දඩයක් වත් නැතිව ශේප් වෙලා එන්න ලැබිච්ච එක ලොකුම ලොකු දෙයක්....ඒ තමයි මාව පොලීසියෙන් චෙක් කරන්න නවත්තපු මුල්ම වතාව.
එදා ඉඳලා සෑහෙන කාලයක් ගෙවිලා...ගම නගරය වගේම අපිත් වෙනස් වෙලා.....කාලයත් සමඟ.. ඒ කාලෙ අපිත් එක්ක හිටපු අපි ආදරය කරපු කවදාවත් අපේ හිත්වලින් මැකිල යන්නෙ නැති සමහර චරිත සදහටම අපෙන් වෙන් වෙලා ගිහිල්ලා.... කාලය ඔහෙ ගලාගන යනවා.... මට මතක් වෙන්නෙ රවාගෙ බ්ලොග් එකේ තීම් එක " අතීතයෙන් ගඟ ගලා බසී"


EAVB_LZCSLDEPDD

5 comments:

  1. මට නම් හිතෙන්නේ...කාලය ඔහෙ නැවතිලා බලාන ඉන්නවා...අපි රවුමේ යනවා....

    ReplyDelete
  2. ඔයා ඔය කියන්නෙ 2003-2004 කාලෙ නේද?මමත් ඒ කාලෙ තාත්තට වැඳල වැඳල ගත්ත tvs එකක්.මමත් රෙජිස්ටර් නොකර පැදල ඔය වාගෙ පොඩි සීන් එකක් උනා.කාලයනම් හරි පුදුමයි තමා.අද ඒ බයික් එක කොහෙ තියනවද දන්නෙ නෑ.ඒකෙ පිටිපස්සෙන් තුරුල් වෙලා ගිය එක්කෙනා වෙන කවුදෝ ලඟ.දැන් බබෙක් ඉන්න අම්ම කෙනෙක්.

    ReplyDelete
  3. ඒ කාලෙ අපිත් එක්ක හිටපු අපි ආදරය කරපු කවදාවත් අපේ හිත්වලින් මැකිල යන්නෙ නැති සමහර චරිත සදහටම අපෙන් වෙන් වෙලා ගිහිල්ලා.... කාලය ඔහෙ ගලාගන යනවා...

    :'(

    ReplyDelete
  4. හපොයි ඒ කාලේ. අපේ සංකය වංගු ගත්තු හැටි... කට්ටිය වංගු කෙලින් කර හැටි... එහෙමත් කාලයක්.

    පොලිස් රාළහමිල ඔහොම කතා කල පුදුමයි නේ බන්. හුඟ දෙනෙක් දෙකක් ඇනල දඩේකුත් දෙයි නවත්තන්නෙ නැතුව ගියා නම්. ඇතුලට දාන්න ත් බැරි නැහ.

    ReplyDelete
  5. @ Shadow/හේමලයා

    අනේ මන්දා සහෝදරයා.....කාලය ගෙවිලා යනවා.ජීවිතය පුදුමාකාර දෙයක්නේ....


    @ dinesh
    නැහැ සහෝදරයා මේ සිද්ධිය වුනේ 2006-2007 කාලෙ....
    ඔයාගෙ කමෙන්ට් එකේ ඉතිරි ටිකට කියන්න තියෙන්නේ නම්
    කාලය මැවු වෙනසක අරුමේ නේද?කියලා තමයි.

    @ බුද්ධික

    මොනවා කරන්නද නේද

    @ පිස්සා පලාමල්ල
    අපි පෙරහැරේ වැඩ වලට ආපු නිසා වැඩේ ශේප්

    ReplyDelete

අදහස්, උදහස්....

.