Saturday, June 12, 2010

300, සිනමාවට නැගුන සත්‍ය කතාන්දරය

11 comments
බයස්කෝප් අඩවියේ 300 චිත්‍රපටිය ගැන ලියවුන පෝස්ට් එක දැක්කට පස්සේ අතීත මතකයක් අවදිවුනා වගේ දෙයක් වුනා.හේතුව පොඩි කාලෙ ඉඳලම ලෝක ඉතිහාසය කියන එක මට රසවත් මාතෘකාවක් වෙලයි තිබුනේ.
300 චිත්‍රපටියට පාදක වුන කතාව සත්‍ය කථවක්. සමහර විට කට්ටිය දන්නවත් ඇති,නොදන්නවත් ඇති. මගේ ඉතිහාස පොත් කලෙක්ෂන් එක අවුස්සල මගේ මතකයේ නැතිව තිබුන දින වකවානු එහෙම හොයාගන 300 චිත්‍රපටියේ සත්‍ය කථාව හැමෝම එක්ක බෙදාගන්න හිතුවා.




ක්‍රි.පූ 500 ගනන් වෙද්දි ලෝකයේ ප්‍රභලම රාජ්‍යක් වෙලා තිබුනෙ පර්සියානු (Persians) අධිරාජ්‍යය. දන්නවනේ ප්‍රබල රටවල් වුනහම හදන්නේ අනෙක් රටවලුත් ඈඳගන්නනේ (හොඳින් හෝ නරකින්). ක්‍රි.පූ 520 දී පර්සියන් අධිරාජ්‍යය ආසියාවේ කොටසකත් ඊජියන් දූපත් වලත් තිබුන අයෝනියන් (Ionians) ග්‍රීක පෞර රාජ්‍ය යටත් කරගත්තා.
අවුරුදු 25කට පස්සේ අයෝනීය වරු ඇතන්සයේද සහය ඇතිව කැරුල්ලක් පටන්ගත්තත් එය අසාර්ථක වුනා.ප්‍රතිපලය වුනේ මහා ඩේරියස් (Darius) (පර්සියානු අධිරාජ්‍යයා) ඇතන්සය ඇතුලු අනිකුත් ග්‍රීක පෞර රාජ්‍ය සමගත් වෛර බැඳගැනීමයි.

වෛරයේ ප්‍රතිඵලය ක්‍රි.පූ 490 දී නැව් 600 ගණනක පර්සියානු හමුදාවක් ග්‍රීසිය ආක්‍රමණය කිරීම.මින් කොටසක් ඇතන්සයට සැතපුම් 24 ක් ඈතින් තිබුන මැරතන් (Marathon) වලටත් තව පිරිසක් ඇතන්ස් වෙතටත් ගමන් කරලා තිබෙනවා.ග්‍රීකයන් මැරතන් වල රැඳී හිටපු පර්සියන් හමුදාව වෙතට උපක්‍රමශීලීව පහර දී ඔවුන් පරාජයට පත්කලා. මේ ජයග්‍රහණයේ පණවිඩය රැගෙන ඇතන්සය බලා ගිය ධාවකයා "පිඩිපයිඩ්ස්" (Phidippides) , පණිවිඩය සැල කල වහාම ගමන් වෙහෙස නිසාම මරණයට පත්වුනා. අද ඔලිම්පික් උලෙලේ මැරතන් ඉසව්ව පැවැත්වෙන්නේ මේ ක්‍රියාව සැමරීමටයි.

මැරතන් ජයග්‍රහණයත් සමගම ඇතන්සයෙන් විශාල රිදී ඉල්ලමක් සොයාගැනීමට සමත්වන ග්‍රීකවරු එයින් ලැබෙන ආර්ථික හයියත් සමඟ විශාල නාවික හමුදාවක් සකස්කරන්නේ පර්සියානු ආක්‍රමණයක් බලාපොරොත්තුවෙන්.

පියාට සිදුවූ පරාජයේ කැලල මකා ගැනීමේ සහ පළිගැනීමේ චේතනාවෙන් මහා ඩේරියස් අධිරාජ්‍යයාගේ පුත්‍ර "සර්ෂස්" (Xerxes) සෙබලු  250,000 හමුදා ආක්‍රමණයක් මඟින් උතුරු ග්‍රීසිය අල්ලාගන්නවා. ග්‍රීක පෞර රාජ්‍ය විස්සම ස්පාර්ටාවේ හමුදා නායකත්වයේත්, ඇතන්සයේ නාවික නායකත්වය යටතේත් එක්සත් වෙනවා ආක්‍රමණිකයාට විරුද්ධ වීමට. නමුත් අතිවිශාල පර්සියන් හමුදාව පරාජය කිරීම අපහසු බව වටහාගන්නා ස්පාර්ටාවේ රජතුමා  "ලිඔනිඩාස්" (Leonidas) ඇතන්සයට සැතපුම් 100 ක් පමණ ඈතින් පිහිටි "තර්මොපයිලා" (Thermopylae) නැමති උණූ දිය උල්පත් අසල පිහිටි කපොල්ල රකින්නේ ග්‍රීක පෞර රාජ්‍යන්ගේ වැසියන්ට පලා යාමට ඉඩ සලසා දීමට. අතිවිශාල පර්සියන් හමුදාවකට මුහුණ දෙන ලිඔනයිඩස් ප්‍රමුඛ භටයන් තුන්සිය දෙනා දින තුනක් සර්ෂස් ගේ හමුදාවේ ගමන ප්‍රමාද කරවන්වා. අවසානයේ ලිඔනයිඩස් ඇතුලු වීර භටයන් 300 දෙනා හැරෙන්නට සියලු දෙනා "සලාමීස්" (Salamis) දූපතට වෙතට පලායනවා.

පාලු ඇතන්සය ගිණිබත් කරන  සර්ෂස් ඇතුලු පර්සියන් හමුදාව ඉතිරි ග්‍රීකයන්ද විනාශකරන අරමුණින් තම නාවික හමුදාව සලාමීස් දූපතට මෙහෙයවනවා.නමුත් බලාපොරොත්තු රහිත ලෙස ඇතන්සය හා සලාමිස් දූපත අසල පටුසමුද්‍ර සන්ධියේ සටනින් මහා පර්සියන් නාවික හමුදාව ඇතන්සයේ නාවික හමුදාවට පරාජය වන්නේ ග්‍රීකයන්ගේ උපක්‍රමශීලී භාවය නිසාවෙන්.
ජය ගත නොහැකි බව වටහා ගන්නා සර්ෂස් තමන් අල්ලාගත් ග්‍රීක ප්‍රදේශවල භට කණ්ඩායම් නතරකොට නැවත පර්සියාව‍ට ගියත් ක්‍රි.පූ 479 දී ප්ලැටියා (Platea) සටනින් පර්සියානු කණ්ඩායම් පරාජයකො‍ට ග්‍රීසිය නැවත මුදාගන්නවා.

ඔන්න සත්‍ය කථාව.නැවතත් හමුවනතුරු එහෙනං හැමෝටම ජයවේවා කිව්වා

11 comments:

  1. මමත් ආසයි මෙ වගෙ කථා වලට ... ඔයා බලලා තියනවද spartacus and blood sand කියන කතාව බලන්න.. පට්ට කතාව. එවගෙ ලෙජන්ඩ් හරිම ආසවෙන් බලන්නෙ..

    ReplyDelete
  2. @ රවා
    ස්පාර්ටකස් කියන්නේ රෝම වංශවතුන්ට එරෙහි මහා වහල් කැරැල්ල මෙහෙයවූ සටන් කාමියා නේද? මම පොත කියවලා තියනවා.
    ඇත්තටම මමත් හරිම ආසයි.කියවගෙන කියවගෙන යද්දි නිකං හිතේ මැවීගන මැවීගන යනවා.
    බොහොම ස්තුතියි කමෙන්ටුවට

    ReplyDelete
  3. අයෙත් අහලා ඔන්න ජිවිත කතාව අල්ලලා ටිවි සිරියස් එකක් හදලා.. පුළුවන්නම් torrentz.com වල ඔය නම ගහලා බලන්න.. නියම කතාව.. කොටස් 13 ක් තියනවා පළවැනි වාරයෙ. නියමයි මෙ කස්ටියගෙ කතාවල්. බලන්න අහාන්න ආසයි.

    ReplyDelete
  4. බොහොම ස්තූතියි ඉතිහාස කතාව කියල දුන්නට

    ReplyDelete
  5. @ndm1989
    සාදරයෙන් පිළිගන්නවා තීර්ථ යාත්‍රාවට.ප්‍රතිචාරයට බොහොමත්ම ස්තුතියි.

    ReplyDelete
  6. ග්‍රික කතා වලට නම් මම ගොඩක් ආසයි , කියවන්න කියවන්න තවත් ආසා හිතිනෙවා !!!

    ReplyDelete
  7. @ හිඟන්නා
    අහන්නත් සන්තෝෂයි.
    ඉඩ ලැබෙන විදිහට මේ වගේ කථා ටිකක් ඉස්සරහට දාන්නම්කෝ.
    බොහොමත්ම ස්තුතියි ප්‍රතිචාරයට

    ReplyDelete
  8. මම කොහොමත් ඉතිහාසය කරන මනුස්සයා නිසා මේ වගේ ඉතිහාස කතන්දර වලට ආසයි. ස්තුතියි අයියා මේ කතාව අපිටත් කිව්වාට.

    මේ කතාව ඔයා හොයා ගත්තේ කොහෙන්ද ?

    ReplyDelete
  9. @ Hasitha

    ඉතිහාසය හැදෑරීම හරිම රසවත්.මම ඒක විනෝදාංශයක් විදිහට කරන දෙයක්.

    කතාව ගැන විස්තර
    ස්වර්ණා රණවීර මහත්මිය ලියපු
    "ආදි මානව යුගය සහ පැරණි ශිෂ්ඨාචාර" කියන පොතෙන් තමයි මුලින්ම කියෙව්වේ.
    පොඩ්ඩක් ගුග්ල් අයියගෙන් ඇහුවොත් විස්තර ඕන තරං කියයි

    ReplyDelete
  10. ස්තුතියි අයියා විස්තර කිව්වාට

    ReplyDelete

අදහස්, උදහස්....

.