Friday, April 9, 2010

ශුද්ධ වූ කඳු මුදුන කරා 3

2 comments

හිතුවට වඩා ඉක්මණින් තුන් වෙනි කොටස ලියන්න පුලුවන් වීම සතුටට කාරණාවක්.මේ ලිපි පෙළි ලියවෙන්නේ තීර්ථ යාත්‍රිකයාගේ සහ සමීප මිතුරෙකුගේ කුලුඳුල් සිරිපා වන්දනාවේ කථාවයි.මුල් ලිපි නොකියවූ අයට පළමු ලිපිය මෙතනින් සහ දෙවනි ලිපිය මෙතනින් කියවන්න පුලුවන්….

දෙවනි ලිපිය අවසන් වුනේ හවස හතට ශ්‍රීපාද තරණය ආරම්භ කල බව පවසමිනුයි.එහෙනම් මෙන්න එතැන් සිට………..

ගමනේ විස්තරයට පෙර ශ්‍රීපාද වන්දනාවේ යන්න බලාපොරොත්තුවන අය හටකරුණු කාරනා කීපයක් මතක් කරන්නට කැමතියි.

1)ශ්‍රීපාදය යනු බුදුරජාණන්වහන්සේගේ ශ්‍රීපාද ලාංඡනය පිහිටා ඇති ශුද්ධ භූමියයි.දේවානුභාවය මුලු භූමිය පුරාම පවතිනවා. ශ්‍රීපාද ගමන කිසිසේත්ම විනෝද චාරිකාවක් නෙවෙයි.සැදැහැ සිතින් ගෞරවය උපදවාගෙන යෑමෙන් පමණයි නිසිඵල ලබාගත හැක්කේ…

2)කිසිම විටෙක මත්ද්‍රව්‍ය භාවිතා නොකරන්න.ඒ වගේම ඔබගේ වචනය සංවර කරගන්න.නැතිනම් බොහෝවිට අනිටු විපාක අතිවිඳීමට සිදුවේවි.

3)සමනොල අවට කාලගුණය පිළිඹඳ අනාවැකි කීම අපහසු කාරනයක්, සමනොල තරණයේදී වර්ෂාවට මුහුන පෑමට දරාගැනීමට අපහසු වියහැකියි.එමනිසා වැහිකබායක් හෝ ඉටි කොළයක් රැගෙන යාම නුවණට හුරුයි.

4)සමනොළ තරණයේදී හැකි තරම් සැහැල්ලු ඇඳුමකින් සැරසෙන්න.මතක ඇතිව ජර්සියක්,අතට දැමීමට අතිවැසුම්,උඩමලුවේ පැය කිහිපයක් නතර වීමට බලාපොරොත්තු වෙනවානම් පොරවාගැනීමට රෙද්දක් රැගෙන යන්න.සෙම් රෝගය අධිකව තිබෙනවා නම් පමණක් ආරම්භයේදීම ජර්සි,අතිවැසුම්,හිස්වැසුම් පැළඳ ගැනීම යෝග්‍යයයි.නැතිනම් උඩමලුවට යනතෙක් අවශ්‍ය වන්නේ නැහැ.

5)ගමන් මලු හැකි තරම් සැහැල්ලු කරගන්න.බීමට ජලබෝතලයක් සහ කෑමට සැහැල්ලු ආහාරයත්(බිස්කට් වගේ)ගමන් මල්ලට එකතු කරගන්න.ගමනේදී කුස පිරෙන තෙක් ආහාර ගැනීම සහ කුස පිරෙන තෙක් ජලය පානය කිරීම ඔබව අපහසුතාවට ලක්කරන බව මතක තබාගන්න.

6)වේදනා නාශක රැගෙන යන්න අමතක කරන්න එපා.(මගදී නොමිලේ ලැබීමට ඉඩ තිබුනත් අරන් යන එක කෝකටත් හොඳයි).වි‍ශේෂයෙන් සිද්ධාලේප වැනි යමක් කන් වලට ඉහලින් ආලේප කරගැනීම ඉහලට යන්න යන්න ප්‍රයෝජනවත් වේවි.

……………………………….

නල්ලතන්නියේ සිටි සිරිපා මස්තකයට කිලෝමීටර් 7ක පමණ දුර ප්‍රමාණයක් තිබෙනවා.සම්පූර්ණ දුර ප්‍රමාණය ගෙවන්නට වෙන්නේ පාද යාත්‍රාවෙන් තමයි.නියම ආරම්භය තිබෙන්නේ මකර තොරණක් අසලින් නමුත් ඊට සෑහෙන දුරක සිටම දෙපස පන්සල්,කඩවල් දකින්නට පුලුවන්.(මම හිතන හැටියට මේ නිසා දුර ප්‍රමාණය කිලෝමීටර් 7ට වඩා මදක් වැඩියි)

DSC00119

DSC00121

DSC00115

DSC00120

සිරිපා තරණයට පෙර මමත් මිතුරාත් විහාරයකට වැද පන්සිල් සමාදන් වුනා.ගමනේදී අපිව ආරක්ෂාකරන ලෙස සමන් දෙවියන්ගෙන් ඉල්ලා සිටියා.ඒ වගේම උඩ මලුවේදී ශ්‍රීපාද පත්මය නමස්කාර කර රැස්කරගන්නා කුශල සම්භාරය සමන් දෙවියන් ඇතුලු සියලු දෙවිවරුන්ට අනුමෝදන් කරන බවට ඉටා ගත්තා.

ගමන ආරම්භකල අපිට දෙපස පිහිටි පන්සල් වලින් ආරක්ෂාවට පිරිත් නූල් ලැබුනා.තේවතු සහ කඩ දෙපස තිබු පාරෙන් ගමන් කළ අපි මකර තොරණක් අභියසට ළඟා වුනා.

DSC00123

මේ තමයි නියම ආරම්භය.(ඡා‍යාරූප ගැනීමට අපි යොදාගත්තේ සොනි එරික්සන් K750i වර්ගයේ ජංගම දුරකථන කැමරාවක්.)

මකර තොරණ පසුකර සෑහෙන දුරක් යනවිට මාර්ගය දෙපසට බෙදෙනවා(මාර්ගය කිව්වට පඩිපේලි).එයින් වම්පැත්තට යන පඩිපෙල ඔබව “ජපන් විහාරය” හරහා ශ්‍රීපාද මස්තකයට ගෙනයාවි.එම පඩිපෙලෙහි බෑවුම වැඩි නිසා ගමන කෙටියි නමුත් වෙහෙස වැඩියි.දකුනු පස මාර්ගය සාපේක්ෂව දීර්ඝයි නමුත් සීඝ්‍ර නැග්මක් නැතිනිසා වඩාත් පහසුයි.(පසුව මෙම මාර්ග දෙකම නැවතත් එකතුවෙනවා)

අපි තෝරාගත්තේ පළමු මාර්ගය.මොකද අපිට ජපන් විහාරය නැරඹීමේ අවශ්‍යතාවයක් තිබුනා.අපි යොදාගත් දිනය සෙනඟ ඉතාම අඩු දිනයක්.ඒ අවස්ථාවේ ජපන් විහාර මාවතේ ගමන් කළ එකම වන්දනා නඩය මමත් මගේ මිතුරාත් පමණයි.මද දුරක් ගමන් කරද්දී කය වෙහෙසා වැඩ කිරීම ඉතාමත් අඩු මට ගමනේ විඩාව හොඳින් දැනෙන්න උනා.කඩින් කඩ නතර වෙමින් ඉහළට ඇදුන අපේ දෙසවන පිරීගියේ ,ආගන්තුක බවක් දැනවුන එහෙත් මිහිරි බෙරහඩක් සමඟ අමුතුම ශෛලියක ගායනාවකින්……….

“ජපන් විහාරය”", ජපන් ආකෘතියකට ඉදිවුන විහාරගෙයක් පඩිපෙලේ ඉහළ අන්තයෙන් දිස්වුනා.බෙර හඬ සහ ගායනාව නිකුත් වුනේ එයින්.හිමින් සීරුවේ ගමන් කළ අපි විවෘත කර තිබූ ද්වාරයෙන් විහාරගෙට ඇතුල් වුනා.මහායාන සම්ප්‍රදායට අනුව තනන ලද බුද්ධ ප්‍රතිමා විශාල සංඛ්‍යාවක් අපේ නෙත් ඉදිරියේ දිස්වුනේ අමුතුම හැඟුමකින් අපේ මනස් පුරවාලමින්.ඉදිරි පස විශාල බෙරයක් නාද කරමින් ආගන්තුක ආකාරයට යමක් සජ්ගායනා කරමින් සිටියේ ජපන් ජාතික හිමිනමක්.හඬක් නොනගාම ආපසු එන්න හැරුනත් අපේ සුලු ශබ්දයකට ආපසු හැරුණ ජපන් හිමිනම හස්ත මුද්‍රාවෙන් අසලට පැමිනෙන ලෙසට දැනුම් දුන්නා.උන්වහන්සේ අසල භාජනයක් දමා තිබුන කුඩා රසකැවිලි වර්ගයක් අපට ලබාදුන්නා.හිමිනමට නමස්කාර කර ආපසු හැරුන අපි නැවත ගමන් අරඹද්දී බෙර හඬ සමඟ සජ්ගායනාවත් නැවත ඇරඹුනා.ජපන් විහාරය ඉදිරියෙන් දකින්නට ලැබුනේ පුදුමාකාර දර්ශනයක්.”සෙන් උද්‍යානයක්” ඔව් ඇතිතටම සෙන් උද්‍යානයක්.ඡායාරූපයන්ගෙන් පමණක් දැක තිබූ සෙන් උද්‍යානයක් අපේ ඇස් හමුවේ දිගහැරී තිබුනා.නමුත් එහි ජල අලංකරණය තිබු‍නේ නැහැ.තිබුනේ ශිලා අලංකරණය සහ ශාඛ අලංකරණය පමණයි.(සමහර විට රාත්‍රිය නිසා අපි නොදැක්කා වෙන්නත් පුලුවන්)

ආගන්තුක ගායනය,බෙරහඩ,සෙන් උද්‍යානය,ජපන් ගෘහනිර්මාණ ශිල්පයට අනුව හදාපු ගොඩනැගිලි අපිව අපේ රටේ ඉඳන්ම අපට ආගන්තුක දේශයකට ගෙනියන්න සමත්වුනා.නැවත ගමන් ආරම්භකල අපිට හොඳින්ම දැනුන දෙය නම් තිබූ විඩාව සම්පූර්ණයෙන්ම දුරුවූ බවයි……………

ටිකෙන් ටික ඉදිරියට ඇදුන අපි අසල විශ්‍රාම ශාලාවක මදක් නැවතී විඩා නිමාගෙන ආහාර ස්වල්පයක් සහ වතුර සුවල්පයකින් බඩ පුරෝගන නැවතත් ඉදිරියටම ඇදුනා.ඉඳිකටුපාන,…..ආදී වශයෙන් හඳුන්වන ස්ථාන පසුකරගෙන ඉදිරියටම ගියා.ආ අමතක වුනා කියන්නම හිටපු සිද්ධයක් තව ටිකෙන් අමතක වෙනවා.මත්පැන් පානය කර සිරිපා තරනයට ගිය පිරිසක අයෙකුට සර්පයෙක් දශ්ඨ කර තිබුනා.ඔවුන් වෙත හැමෝගේම යොමුවු නේ අනුකම්පාවට වඩා පිළිකුලයි…….මත් ලෝලින් සිරිපා කරුණා කිරීමට නොහැකිව ආපසු හැරී ගියා………

කෝඩුකාරයන් ඇදගෙන ගිය නූල් මග දෙපස දකින්නට ලැබුණා(අපි නම් දැම්මේ නැහැ)සමහර නූල් ගමන් මාර්ගය හරහා පවා ඇදී තිබුන නිසා අපි ඒවා ඉවත් කරමිනුයි ගමන් කලේ.ඒ අනතුරක් සිදුවීම වැළැක්වීමේ අරමුනින්…යමක් කරද්දී අවදානයකින් තොරව කටයුතු කිරීම අපේ රටේ බොහෝ දෙනෙකුගේ ජන්ම පුරුද්දක් වීම ඇත්තටම අවසනාවන්ත කාරණයක්………

ගමන් විඩාව තදින්ම දැනෙන්න ගත්ත නිසා අපි බොහොම හිමිනුයි ගමන් කලේ .නමුත් සාපේක්ෂව අපි අනෙක් නඩයන්ට වඩා ‍වේගයෙන් ගමන් කර තිබුනා.අපිට මගින් මුනගැසුනා විදේශීය(ආසියාතික) වන්දනා නඩයක්.හිමිනමක් පෙරටු කොටගෙන ගමන් කළ ඔවුන් නම් විශාල බෑග් රැගෙන ඉතා අපහසුවෙනුයි ගමන් කලේ.ඔවුන් සමඟ අදහස් උවමාරු කරගන්නත් ඔවුන්ට තුන්සරණේ කවි කියා දිමටත් අපි අමතක කලේ නම් නැහැ…..

දන්සැල් කිහිපයකුත් මගදී හමුවුනා.එම දන්සැල්වල සිට වන්දනාකරුවන්ට සංග්‍රහ කළ සියලුම දෙනාව මෙහිදී ගෞරව පූර්වකව සිහිපත් කරනවා………

ඉහළට නගිද්දී ගමන් මාර්ගය දිස්වුනේ මෙහෙමයි…(පහළ රූපය)ඉතා ඉහලින් කහ පාටින් දිලෙන්නේ සිරිපා මස්තකයයි.

DSC00131

අතරමගදී විවිධ වයස් කාණ්ඩවල දේශීය වගේම විදේශීය කණ්ඩායම් ද දැකගත හැකිවුනා.විශේෂ කාරනාවක් මෙහිදී මතක් කළ යුතු වෙනවා.ඇතැම් තරුණයන් වගේම තරුණියනුත් යන්නේ කොහාටද යන්න අමතක කර ඇති වගක් පෙනුනා…ඇත්තටම ඒක නම් කණගාටුවට කරුණක්.

කෙමෙන් කෙමෙන් අපි සිරිපා මලුවට ළං වුනා…ශීතල ටික ටික දැනෙන්න ගත්තත් අපි ජර්සි දාගත්තේ නම් නැහැ.විශේෂයකට කියන්න තියෙන්නේ අපි අහස් ගවුවේදී බඩගිනි වෙලා පඩි පෙළ උඩ ඉඳගනම ක්‍රීම් ක්‍රැකර් කාපු එකයි…..

උඩ මලුව ආසන්නයට යනතෙක්ම විටින් විට කඩ දැකගන්නට ලැබෙනවා.ටොපියේ සිට බත් දක්වා බොහෝ ආහාර මිලදී ගැනීමේ හැකියාව තිබෙනවා.නමුත් ඉහළට යන්න යන්න මිල තරමක් ඉහළයි.(සාධාරනයිනේ බඩු ඔක්කොම උස්සන් යන්න එපායැ)අපි ඉහළින් අලියා මිලිලිටර් 450 බීම බෝතල් දෙකක් රු 100ක් වැනි මිලකට ලබාගත්තා….

පඩියෙන් පඩිය ඉහළට ගිය අපිට අන්තිමේ නගින්න පඩියක් නැතිවුනා….අන්තිමේ අපි ඉහළටම ඇවිත්……

හිතට අප්‍රමාණ සන්තෝෂයක් දැනුනා…..වහාම ගිහින් ‍ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපාද පත්මය නලල තබා නමස්කාර කලා……..

පුදුමාකාර දෙයක් සිදුවුනේ එවිටයි….අපිව මෙතෙක් වෙලා පෙලු ගමන් මහන්සිය ක්ෂන‍යකින් නැතිව ගියා….උඩ මලුවේ වාඩිවුන අපි පහළින් ඉටාගත් දෙය ඒ අයුරින්ම ඉටුකළා……….

උඩමලුවෙන් ඉවත් වෙලා අසලම පහල පඩිපෙලේ වාඩිවුනේ පසුදා පහන් වනතෙක් රැඳී සිට ඉර සේවය බැලීමේ අරමුණින්.එතෙක් නොදැනුන ශීතල දැනෙන්න ගත්තේ එවිටයි…….පුදුමාකාර දැඩි ශීතලක්.අපි සිටියේ මධ්‍යම කඳුකරයම පිසගෙන හමන සුළඟට සම්පූර්ණයෙන්ම නිරාවරණය වෙලා.රැගෙන ගිය ජර්සි අත්වැසුම් වල වටිනාකම දැනුනේ එවිටයි.නමුතු ශීතල සම්පූර්ණයෙන්ම දුරු කරන්න නොහැකිවුනා.

සමනොල මස්තකයේ සිට රාත්‍රී 11 ට මගේ ජංගම දුරකථනයත් ඔපෙරා මිනි බ්‍රවුසරයත් ආධාරයෙන් තීර්ත යාත්‍රාවේ කෙටි සටහනක් තබන්නත්, ෆේස්බුක් හි සටහනක් තබන්නත් මම අමතක කලේ නැහැ….සමහර විට සිංහල බ්ලොග් කරුවන් අතර මේ ආකාරයේ සටහනක් තැබුන පළමු අවස්ථාව මෙය වෙන්න ඇති :-)

ඒත් බ්ලොගර් ටෙම්ප්ලේට් එකෙහි ටයිම් සෝන් නිසි ලෙස සකස් කර නොතිබූ වරදට මට දඬුවම් ලැබුනේ මෙතනදීයි.පෝස්‍ට් එක පබ්ලිෂ් කල වෙලාව ලෙස සටහන් වී තිබු‍නේ පෙරවරු කියායි…(ටයිම් සෝන් අලය සකස් කරන ලදී)

ඉර සේවය බලන අදහසින් සිටියත් අධික ශීතල හා පසුවදා උදේ 6.55ට නැවතත් දුම්රියට නැගීමට හැටන් බලා යා යුතු නිසා රෑම ආපසු ගමන අපි ආරම්භ කලා.ආපසු ගමනේ එතරම් විශේෂයක් නැහැ.පාන්දර 4.00ට නල්ලතන්නියට ළඟාවුන අපි උදේ 6.15 පමණ වෙද්දි නැවත හැටන් වලට ළඟා වුනා.

දුම්රිය ස්ථානාධිපතිවරයා විමසීමේදී දැනගන්නට ලැබුනේ 6.55 දුම්රිය කෙළන්ම කොළඹ බලා නොයන බවත් අපිට පිළිවෙලින් නාවලපිටියේදී සහ පේරාදෙණියේදී දෙවරක් මාරුවෙන්නට සිදුවන බවයි.කෙලින්ම කොළඹ බලා යන දුම්රිය පෙරවරු 11ට පිටත් වනබව වැඩිදුරටත් තොරතුරු දැනුවූ ස්ථානාධිපතිතුමා කියා සිටියා.දුම්රියේ ගමන පසෙක තැබා බස් රථයෙන් ආපසු යන්න අපි තීරණය කලේ උක්ත තොරතුරු අපේ සතුටට හේතුනොවූ නිසා….නැවත හැටන් බස් නැවතුම් පළට පයින් ගමන් කළ අපි අසල කඩයකින් උදේ ආහාරය ගත්තා.මාංශ පේශීන්ගේ විඩාව සෑහෙන්න දැනෙමින් තිබුනත් තව සෑහෙන දුරක් ගමන් කළයුතු නිසා ඒ ගැන එතරම් සිතුවේ නම් නැහැ.හැටන් වලින් –මහනුවරටත්,මහනුවරින් කුරුණෑගලටත්, කුරුණෑගලින් ගම්පලාතටත් ඉතා වෙහෙසකාරී ගමනකින් පසුව අපි ආපසු ආවා…….

ගෙදර ඇවිත් උණුවතුර නා කියා ගෙන දවස් දෙකක හොඳ විවේකයක් ගැනීමෙන් ඇ‍‍ෙඟේ පතේ තිබූ වෙහෙසකාරී ගතිය දුරුවීගියා……..

තීර්ථ යාත්‍රිකයගෛ් සිරිපා වන්දනාවේ කථාව මෙතනින් නිමයි…….

ඇත්තටම ඒක නම් පුදුමාකාර ගමනක්….ගිහිල්ලා නැත්නම් වරක්වත් යන්න.

එහෙනම් ඊළඟ පෝස්ට් එකෙන් හමුවෙමු

හැමෝටම තෙරුවන් සරණයි………..

2 comments:

  1. ඉතාම සුන්දරසටහන් පෙළකි. මෙපමණ පමාවී හෝ සටහනක් තබන්නට අවස්ථාව ලැබීම මා ලද වාසනාවකි. ඔබේ සටහන තුළින් හැඟවෙන සියල්ල නොසලකා හැරි "නූතනයන්ගේ" හැසිරීම් රටාව කාලෝචිතයි. "නූතනයා" මේ බව වටහා ගන්නා දවසට තමන් කෙතෙක් පමා වී ඇද්දැයි තේරුම් ගනු ඇත.එහෙත් එවිට ඔබ වැනි සුන්දර පිරිසකට මේ වාසනාවන්ත පියස අහිමි වි තිබෙනු ඇතැයි සිතෙන විට දැනෙන්නේ අපමණ ‍කණගාටුවකි. ස්තුතියි හිතවත !

    ReplyDelete
  2. ස්තුතියි කමෙන්ටුවට. වසර තුනකට පෙර ගිය ගමනක් මේක. වෙලාව ඇතොත් අනෙකුත් ලිපිත් කියවා බලන්න. තීර්ථ යාත්‍රාවට ගොඩවැදුනාට ස්තුතියි.

    ReplyDelete

අදහස්, උදහස්....

.