Thursday, April 8, 2010

ශුද්ධ වූ කඳුමුදුන කරා 2

3 comments
ශ්‍රීපාද වන්දනා ගමන ගැන දෙවනි ලිපිය ඉක්මණින්ම ලියල ඇතුලත් කරන්න හිටියත් විවිධ හේතූන් නිසා සතියක්ම ප්‍රමාද වුනා.සිදුවූ ප්‍රමාද දෝශය පිළිඹඳ මගේ බලවත් කණගාටුව.
මමත් මගේ මිතුරෙකුත් පළමු වරට ශ්‍රීපාද වන්දනාවේ යෙදුන චාරිකාව ගැන පළමු ලිපිය කියවන්න නොහැකි වුණ අය මෙතනින් ඒක කියවන්න.
කලින් ලිපිය නතර වුනේ අපේ සුන්දර මධ්‍යම කඳුකරය හරහා දුම්රිය ඇදෙන අතරෙදියි.තීර්ත යාත්‍රිකයා හිතන හැටියට නං අපේ මේ පුංචි රටේ තියන ලස්සන,චමත්කාරය හොඳින්ම දැක ගන්න පුලුවන් ගමනක් තමයි කොළඹ බදුල්ල දුම්රිය ගමන...
ගම්පොළ,නාවලපිටිය පැත්තට එනකොට පරිසරය තවතවත් ශීතල වුනා.සීතල සුළං රැල්ලක් මුලු ගතම වෙලාගන හමා යද්දි මමයි මගේ මිත්‍රයායි ඉඳගන හිටපු ආසනයෙන් මදකට බැහැර වෙලා පාපුවරුවට පල්ලම් බැස්සා.
ලේන්සුවක් එළාගන පාපුවරැවේ ඉඳගන පරිසරයේ චමත්කාරය අත්විඳිද්දි අපි දැක්කේ පේරාදෙණියෙන් දුම්රියට ගොඩවුන විදේශීය යුවලත් ඒ ආකාරයටම පරිසරය නරඹන හැටියි.පාපුවරුවට ගියාම හොඳින් අවට පේනවා තමයි.හැබැයි ප්‍රවේශමෙන්.......
නාවලපිටියෙන් දුම්රියේ හිටපු සෙනගින් සැහෙන කොටසක් ඉවත්වෙලා ගියා.ඒ අය අතර වැඩිපුරම හිටියේ දෙමළ අය.නාගරික ප්‍රදේශයෙන් අපි ඉවත්වෙලා හාත්පසින්ම තේ වතු,එළවලු කොරටු දිස්වෙන්න පටන්ගත්තා.කඳුමුදුන් තේ වගාවෙන් වැසීගිහින්.සමහර කඳු වනාන්තරයෙන් වැහිල ගිහිල්ලා.කණගාටුවෙන් වුනත් කියන්න ඕනි තියන වනාන්තරත් එළිකර කර පිරිස් ඒවා වගාවන්ට යොදාගන්න බව.මේ හේතුව නිසා අතරින් පතර මුඩු බිම් දකින්නට නොලැබුනාමත් නෙවෙයි.
අපි‍ට දකින්නට ලැබිච්ච මේ තේකර්මාන්ත ශාලාව මම හිතන හැටියට ලබුකැලේ තේ කර්මාන්ත ශාලාව වෙන්න ඕන.(වැරදි නම් නිවැරදි කරන්න).
වටවල පහුවෙලා ටික දුරක් යද්දි කෝච්චිය එක පාරටම හිටි හැටියේ නතර කලා.මම හිතන්නේ මිනිත්තු 10ක් විතර.එතන නතරවෙලා ඉද්දි දුම්රිය ගාවටම ඇවිත් අපෙන් කෑම ටිකක් ඉල්ලගන්න මෙයා සමත්වුනා.(පහළ ඡායාරූපය)

මම හිතන්නේ මෙයා මේ වැ‍ඩේ‍ට හොඳ පුරුදුකාරයෙක්.සමහර ආහාර කොටස් දානකොටම උඩ පැනලා උඩින්ම අල්ලගන්න මෙයා සමත්වුනා.නලා හඬත් එක්ක දුම්රිය ඉදිරියට ඇදෙද්දි නම නොදන්න අනෝනිමස් සුනඛයාට සමුදිල අපිත් යන්න ගියා.
නාගරික ප්‍රදේශ ටිකෙන් ටික පසුකරගෙන ගිහිල්ලා දුම්රිය කැලෑ බද ප්‍රදේශයක් ඔස්සේ ගමන් කරද්දි මාර්ගයෙන් ඉවතට පැනලා පෙරළිච්චි දුම්රිය මැදිරි කීපයක් වි‍ඩෙන් විඩේ දිස්වුනා.මම හිතන හැටියට සෑහෙන කාලෙකට කලින් වෙච්චි ලොකු සිද්ධියක ඒ දුම්රිය මැදිරිත් සෑහෙන ලොකු චරිතයක් රඟපාන්න ඇති.ඒ වුනාට කෝච්චි පෙට්ටිවලට කතාකරන්න බැරි හින්දා අපිට ඒ කතාව අහගන්න හම්බඋනේ නම් නෑ.කවුරු හරි කෙනෙක් මේ පෙරලුන දුම්රිය මැදිරිවල කතාව දන්නවනම් අපිත් එක්ක බෙදාගන්න.මං හිතන්නේ ගොඩක් අය දන්නෙ නැතිව ඇති.
අපි හැටන් වලට හවස තුන හමාර විතර වෙද්දි ගියා.විමසලා බලද්දි දැනගන්න ලැබුනා ලංගම විශේෂ සේවා බස් දුම්රිය ස්ථානයේ ඉඳලාම තියනවා කියලා. දවල් කෑම ගත්තේ හැටන් දුම්රිය ස්ථානයේ "මහත්වරුන්ගේ විවේකාගැරයේ" ඉඳලා.ඒක ටිකක් අමුතු විවේකාගාරයක් මොකද විශාල බඩු පාර්සල් කිරන "අලි සයිස්" තරාදියක් පැත්තක තියලා තිබ්බා.(ලස්සනට වෙන්න ඇති නේද?)
මම කලින් ලිපියෙදි කිව්වා පොල්ගහවෙල දුම්රියස්ථානයේ තිබුන අපිරිසිදු බව ගැන.නමුත් සාපේක්ෂව බලන කොට හැටන් වඩා හොඳයි.නමුත් පොදු වැසිකිලිය නම් ටිකක් හොඳ මදි.තිබුන විශාලම අඩුපාඩුව තමයි අලෝකයක් නැතිකම.හැටන් කියන්නේ විදේශිකයන් වගේම දේශීය සංචාරකයොත් සෑහෙන්න ගැවසෙන තැනක්.ඉතින් ඒ වගේ තැනක තියන පොදු ස්ථාන ටිකක් පිලිවෙලට තියෙන්න ඕනැ නේද?....
හවස 4 ට නල්ලතන්නිය බලා පිටත් වන බස් රථය දුම්රිය ස්ථානයෙන් පිටත නවතා තිබුනා.එහි කොන්දොස්තරවරයා සමග කථාවට වැටුන අපිට අවට ප්‍රදේශය ගැන තොරතුරු රාශියක් ලබාදෙන්න ඔහු කාරුණික වුනා.(අපිත් කාරුණික වෙන්න කියලා හිතලා අපිගාව තිබිච්ච චුයින්ගම් ලබාදෙන්න අමතක කලේ නෑ ;-))
From Sri Pada
හැටන් වල ඉඳලා නල්ලතන්නියට කි‍ලෝමීටර් 40ක් තියනවා.ගමනට ගතවන කාලය පැය එක හමාරක්.අධික වංගු සහිත අනතුරුදායක පටු මාර්ගයක කිලෝමීටර් 40ක් පැය එකහමාරක් ඇතුලත යනවා කියන එක නම් අසීරු කාර්යයක්.නමුත් මේ බස් රථයේ රියදුරු මහත්මයා ඒ කාර්යය සාර්ථකව ඉටුකලා.
හැටන්-නල්ලතන්නි ගමනේදී වැඩිහරියක්ම හමුවන්නේ තේ වතු.මගීන් හැටියට ශ්‍රීපාද වන්දනාකරුවන්ට අමතරව වැඩිහරියක් ඉන්නේ වතු දෙමළ ප්‍රජාව.ඔවුන්ගෙන් සමහර අයට සිංහල තේරුණත් සිංහල කතාකරන්න බෑ.ගමනේ යද්දි පහළින් විශාල ගංගාවක් හා ජලාශයක් දිස්වුනා.හරිම අලංකාරයි.ඒ ජලයේ තිබුනේ පුදුමාකාර පිරිසිදු පෙනුමක් ඒ වගේම පෙනුමෙන්ම අධික ශීතල බව සිතාගන්න පුලුවන්.ජලාශය මොකක්ද කියල අදහසක් නැති නිසා මම ළඟ හිටපු දෙමළ ‍අයෙක්ගෙන් විමසුවා ඒ මොන ජලාශයද කියලා.......ඔහුගෙන් එකවර පිළිතුරක් අපුනැති නිසා මම ඔහුගේ මුහුණ දිහා බැලුවා.ඒ මුහුනේ තිබුනේ විශාල ප්‍රශ්නාර්ථයක් ????? මම ආයෙ පාරක් ජලාශය දෙසට අත දික්කරලා විමසුවාම ලැබුණ පිළිතුර "ඩෑම්" යන්නයි.එතකොටයි මට තේරුනේ මේ පුද්ගලයාට සිංහල තේරෙන්නේ නැති බව...
අපි කෙමෙන් කෙමෙන් ශුද්ධ භූමියට කිට්ටුවුනා.එක් වරම පාරේ වම්පසින් විශාල ජලාශයක් දිස්වුනා.ඒ මාවුස්සාකැලේ ජලාශය..ඒකනම් හරිම සුන්දර දර්ශනයක්.මිහිදුම් වලාවකින් පරිසරයම වැහිල ගිහිල්ලා.කුඩා වලාකුලු කීපයක් ජලාශය ඉහලින් පාවුනා.විශාල ජලාශය,පාවුන වලාකුලු,මීදුම,අඳුරු පරිසරය හා අවට වනාන්තරය හිත තුල ඇතිකලේ අමුතුම ගුප්ත බවක්.බස් රථයේ යනගමන්ම ඡායාරූපයක් ගන්නත් මට හැකිවුනා.
ගමනාන්තය ළඟා වෙන්න ඔන්න මෙන්න කියා තිබියදී දකින්නට ලැබුනේ බලාපොරොත්තු නොවූ දර්ශනයක්.කන්ද නාය යාම නිසා පාර පස්වලින් වැහිලා.බැකෝ යන්ත්‍ර දෙකක් ආධාරයෙන් කොටසක් ඉවත්කරලා තිබුනත් බස් රථයට ඒ කොටසින් යන්න පුලුවන් වෙයිද කියන සැකය මගේ හිතට ආවා.රියදුරු මහත්මයා පැකිලීමකින් තොරව බස්රථය ඉදිරියට ගත්තා රථය, ලිස්සන ආකාරය හොඳින්ම දැනුනා,ලිස්සීමේ අවසානය ලොකු හෙලක් ,වැඩේ හරි වගෙයි...මට එහෙම හිතුනත් .අවසානයේ රියදුරු මහතාගේ උත්සාහය නිසාම අනතුරකින් තොරව මාරක හරියෙන් ඉවත් වෙන්න පුලුවන් වුනා.
"නල්ලතන්නි" ශුද්ධ කඳුමුදුනට ගමන් ආරම්භවන තැන අසල පිහිටි පොඩිකඩ මන්ඩියක්.මට හිතෙන හැටියට මේක දෙමළ වචනයක් , නල්ල-තන්නි කියන වචනයේ තේරුම "හොඳ වතුර" කියන එකනේ...
නල්ලතන්නියේ පොලිස් ස්ථානයක් තිබෙනවා.ආරක්ෂාවට STF භටයන් පවා හිටියා.නල්ලතන්නි කඩපොලින් අවශ්‍ය ජර්සි,රේන්කෝට් ආදිය ලබාගැනීමේ හැකියාව තිබෙනවා.ගන්න ගියාම හෙට්ටුකිරීමෙන් හෙට්ටුකිරීමේ විනෝදය වගේම බඩු අඩුවට ගැනීමේ වාසියත් හිමිවෙනවා...(හෙට්ටු කරන තියරිය පරණ එකම තමයි.ආයේ වෙනසක් නෑ.. :-))
අපි නල්ලතන්නිය හා ඒ අවට හොඳට ඇවිද්දා.කඩපොලින් අවට තියෙන්නේ වනාන්තරය.ඒ පැත්තට නොයා සිටිම ඇඟට ගුණයි....
අපි හවස 7ට ශ්‍රීපාද කන්ද නැගීම ආරම්භකලා.....................
(ආයෙ කුට්ටිකරන්න වෙනවා කණගාටුවෙන් වුනත්)ඊළඟ ලිපියෙන් හමුවෙනකන් හැමෝටම තෙරුවන් සරණයි....

3 comments:

  1. ඉදිරියත් කියවීමට බලාපොරොත්තුව ඉන්නවා. මේ ලිපියට ස්තූතිය.

    ReplyDelete
  2. අපේ ගෙදරත් බදුලු කෝච්චි පාර ලගම තමා තියෙන්නේ. මේවා දකිනකොට ඉක්මණට ගෙදර යන්න හිතෙනවා.

    ReplyDelete
  3. @ Raven
    බොහෝම ස්තුතියි....මෙදා පාර බැරිවුනොත් ලබනපාරවත් යන්න බලන්න.හරිම සුන්දර ගමනක් ඒක......

    @ Bandara( බණ්ඩාර)
    ඔබ හරිම වාසනාවන්තයෙක් සහෝදරයා.....උපන්දා ඉඳලාම කඳුකරයේ සුන්දරත්වය විඳලා තියනවා එහෙනම්....
    කලින් දන්නවනම් ගෙදරට හරි අතවනාගන යනවා නොවැ..... ;-)

    ReplyDelete

අදහස්, උදහස්....

.