Sunday, March 28, 2010

ශුද්ධවූ කඳුමුදුන කරා

5 comments

ශ්‍රීපාදය සෑම බෞද්ධයෙකුම ජීවිතයේ එක්වරක් හෝ වැඳපුදා ගැනීමට කැමැත්තෙන් සිටින ඒ අසිරිමත් පින්බිම වැඳ පුදා ගැනීම තීර්ත යාත්‍රිකයාගේත් ජීවිතයේ එක් අරමුණක් වෙලා තිබුනේ.ඒ අරමුණ මුදුන් පමුණුවාගන්න පසුගිය අඟහරුවාදා මධ්‍යම රාත්‍රිය ආසන්නයේදී මට හැකිවුනා. පහතින් දිගහැරෙන්නේ තීර්ථ යාත්‍රිකයාගේ සමනොළ සිරස දක්වා වූ ගමනේ විස්තරයයි.
වන්දනා නඩය සමන්විත වුනේ දෙන්නෙක්ගෙන්.ඒ මම සහ මගේ හොඳ යාලුවෙක්.දෙන්නම මීට කලින් ශ්‍රීපාද වන්දනාවෙ ගිහින් නැහැ.කෝඩු කාරයො දෙන්නෙක් තනියම (ගොඩක් අය කියන විදිහට, දෙන්නෙක් කොහොමද නැත්තම් තනියම යන්නේ......)මේ ගමන යන එක ගැන සමහර අය විරෝධය පල කලේ ඒක එච්චර නුවණට හුරුනැති බව කියමින්.ඒත් අපි යන්නේ ශ්‍රීපාද වන්දනාවේ නැතිව ආතල් ගන්න නෙවෙයිනේ.අනික බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල වන්දනාවේ යන ගමනට කෝඩුකා‍රයොද ,පලපුරුදු අයද යන්නෙ කියන එක නෙවෙයිනේ වැදගත්, හිතේ භක්තිය තියාගන සංවරව ගමන යනවනං එච්චරයි.අපේ මතය වුනේ ඒකයි.

ගමන යන්න තීරණය කලේ 23 අඟහරුවාදාට.සතිය මැද දවසක් නිසා සෙනග ඒතරම් නැතිවෙයි කියන බලාපොරොත්තුවෙනුයි ඒ විදිහට සතිය මැද දවසක‍් යොදාගත්තේ.අනික අපි ගියේ පොදු ප්‍රවාහන සේවයේනේ ඉතින් එපා වෙන්නැතිව යන්නත් ඕනෑනේ.අපේ අනුමාන නිවැරදි බව පස්සේ තේරුනා.අනික සෙනඟ අස්සේ රිංගන්න මගේ කිසිම කැමැත්තක් නෑ.
ගමන් මාර්ගය වුනේ අපේ ගෙදර ඉඳල පොල්ගහවෙල දක්වා බස් රථයෙන් ගිහිල්ලා එතනින් 11.07ට බදුල්ල බලා යන උඩරට මැණිකේ දුම්රියෙන් හැටන්වලටත් හැටන්වලින් නල්ලතන්නියට නැවත බස්රථයෙනුත් ගිහිල්ලා හැටන්-නල්ලතන්නි මාර්ගයෙන් සමනොල මුදුනට ළඟාවීමයි.දුම්රිය ගමන් සම්බන්ධයෙන් තියන අඩු අත්දැකීම් හින්දම අපි හිතුවේ පොල්ගහවලින් 1 පන්තියේ ටිකට් අරන් යන්න පුලුවන් වෙයි කියලා.නමුත් අපේ නිගමනය වැරදි බවත් පළමු පන්තියේ ටිකට් කොළඹින්ම වෙන් කලගත යුතු බවත් දැනගන්න ලැබුනේ සඳුදා.ඒ කියන්නේ ගමනට කලින් දවසේ.ගිය හකුරට නාඩන්නේ තිබෙන හකුර රැකගන්නේ කියනවානේ.ඉතින් අපේ තීරණය වුනේ පොල්ගහවෙලින් දෙවන පන්තියේ ටිකට් අරන් දෙවනි පන්තියේ ඉඩතිබුනොත් ඉඳගෙන නැත්තන් හිටගන හරි යමු කියලයි.(වෙන අහවල් එක කරන්නැයි).
මේ විදිහෙ ගමන් යනකොට මම දන්න හැටියට මූලිකම තියරිය තමයි පුලුවන් තරම් සැහැල්ලුවෙන් යනඑක.ඒනිසා ගත්තේ අත්‍යාවශ්‍ය යැයි හිතුන දේවල් කීපයක් පමණයි.ඇඳගන ගියේ ‍‍ඩෙනිමක් සහ ටී ශර්ට් එකක්.ගොඩක් දුර යන්න තියන නිසා දාගන ගියේ සෙරෙප්පු දෙකක්.(සපත්තු දාගන ගියා නම් කකුල් තැම්බෙන්න ඉඩතිබුනා).බෑග් එකේ අමතර ටී ෂර්ට් එකක්,සැහැල්ලු කලිසමක් ,ජර්සියක්,ක්‍රීම් ක්‍රැකර් 500 පැක් එකක්,වතුර බෝතලයක් සහ පැන‍‍ඩෝල්,සිද්ධාලේප කුප්පියක් දාගත්තා.ආ කියන්න අමතක වුනා තව ග්ලවුස් දෙකකුත් දාගත්තා.විශේෂයෙන් කියන්නේ රෑ නගින්න බලාගන යනවානම් මතක ඇතිව අතට දාන්න ග්ලවුස් දෙකක් ගන්න.මොකද රෑට කඳු මුදුන ඉවසන්න බැරි තරම් ශීතලයි.
උදේ 6.00 ටවිතර ගෙදරින් පිටත් වුන අපි උදේ 9.30 වෙද්දි පොල්ගහවෙලට ආවා.වේලාසන වැඩියි...මොනව කරන්නද 11.00 වෙනකන් බන්කුවක් උඩ කයියක් ගහගන හිටියා.දුම්රිය ස්ථානය නම් හොඳටම අපිරිසිදු වෙලා.හරිහමන් නඩත්තුවක් නැතිපාටයි.අපිරිසිදු කමට නම් මූලිකවම වගකියන්න ඕන ගමන් කරන ජනතාවම තමයි.හොඳට පැහැදිලිව පේන්න කුණුදාන්න තැන් හැමතැනම සකස්කරල තිබුනත් ගොඩක් කට්ටියගේ කුණුදැමීමට බුලත් කෙල ගැසීමට ප්‍රියතම තේරීම වෙලා තියෙන්නේ දුම්රිය මාර්ගයයි.අනේ මන්ද මේ මගේ රට මේක කැතවෙන එක ‍හොඳනෑ නේද කියන එක අපේ රටේ ගොඩක් දෙනෙක් තුල නැහැනේ.රටක් දියුණු වෙන්නනම් ඉන්න මිනිස්සුන්ගේ ආකල්ප සංවර්ධනය වෙන්නත් ඕනැනේ.(ට්‍රැක් එක පැන්නා වගෙයි,ඇත්තටම දුකයි ඒකයි.).ඊට අමතරව පොල්ගහවෙල දුම්රිය ස්ථානය ගැන කියන්න තියෙන්නේ තමන් වටේ තව මිනිස්සු ඉන්න බවත්,ඒ මිනිස්සුන්ටත් තමන්ට වගේම එකාට ඇස් දෙක ගානේම තියන බවත් අමතක වෙච්ච බවක් පෙනුන කපල් එකක් හිටිය කියන එකත් විතරයි.

"කොළඹ සිට බදුල්ල බලා ගමන් කරන උඩරට මැණිකේ දුම්රිය 4 වන වේදිකාවට දැන් ළඟා වනවා ඇත.එය නවත්වනු ලබන්නේ.... කඩුගන්නාව,පේරාදෙණිය,...........,නාවලපිටිය,හැටන්......බ්ලා බ්ලා බ්ලා"
අපි බැග් එහෙමත් එල්ලගෙන දුම්රියට නගින්න ලෑස්තිවුනා.ඈත තියා නිලට නිලේ දිලිසි දිලිසි ඔය එන්නේ........දුම්රිය ඇන්ජිමක් 4 වෙනි වේදිකවෙන් යන්න ගියා.(ස්ටේෂන් මාස්ටර් විහිලු කරනවද මන්දා).ඊළඟට ආවෙ රඹුක්කනට යන දුම්රිය.අනිතිමට ලංකාවේ රිද්මයට අනුව මිනිත්තු 15ක් විතර ප්‍රමාදයකින් පස්සේ උඩරට මැණිකේ 4 වෙනි වේදිකාවෙ නැංගුරම් ලෑවා.
අපි ටිකට් ගත්තේ 2වන පන්තිය‍ට.ඉතින් ඉක්මණටම නැගගත්තා.පොඩි අවුලක් වගේ තේරුනේ දුම්රිය මැදිරිය පුරාම මේස හයිකරලා තියනවා දැක්කට පස්සේ.සමහර අය මේසවලට හේත්තුව දාගනත් හිටියා.මේකනං කීයටවත් දෙවනි පන්තිය වෙන්නබෑ.අන්තිමට අපි දෙවනි පන්තිය කියලා හිතාගන නැගලා තියෙන්නේ දුම්රිය ආපන ශාලාවට.මොනවා කරන්නද සෙනග අස්සෙන් රිංගලා අදාල හරියට සේන්දු වුනා.සීට් නං ඇතිවෙන්න තිබ්බා.හැබැයි හැම එකේම එක්කෙනෙක් හරි ඉඳගෙන හිටියා.හිටගන හිටියේ අපි දෙන්නා විතරයි.හැබැයි ටික වෙලාවකින් දෙන්නටම ඉඳගන්න හම්බවුනා.
අපි ගිය මැදිරියේ සම්පූර්ණයෙන්ම වගේ හිටියෙ දෙමල අය.සිංහල අය කීප දෙනයි.මේ අයගෙ මම දැකපු වි‍ශේෂත්වය තමයි රත්‍රන් අභරණ සෑහෙන්න පළදල හිටපු එක.කඩුගන්නාවෙන්,පේරාදෙණියෙන් පස්සේ අවට පරිසරය නම් හරිම සුන්දරයි.මීදුමින් වැහිච්ච කදු ,වෙල්යායවල්, බෑවුම්....හරිම චමත්කාරජනකයි.විටින් විට හමුවුන බිංගෙවල් ගමනට අමුතුම මිහිරියාවක් එක් කලා.හරියට නිකං ජීවිතේ වගේ.නරක කාල වගේම හොද කාලත් තියනවා.
ටිකෙන් ටික පරිසරය සෞම්‍ය වුනේ අපි හැමෝගෙම පෙණහලු පිරිසිදු කඳුකර වාතයෙන් පුරවිලමින්.ඇත්තටම ඒ හුළ‍‍‍ෙඟෙ තිබුනෙ හරිම නැවුම් බවක් හරිම පිරිසිදු බවක්.වටපිටාවේ තිබිච්ච සුන්දරත්වය හදවතට එක්කලේ ආඩම්බරයක්.,ඒ මේ මගේ රටයි කියන හැඟීම නිසා......
හිතුවෙ කෙටියෙන් ලියන්න උනත් දිගවැඩිවෙනවා එන්න එන්නම.අකමැත්තෙන් හරි කුට්ටි කරන්න වෙනවා.ඉතින් නැවත එනකන් හැමෝටම තෙරුවන් සරණයි.........

5 comments:

  1. කෝ ඉතින් ඉතුරුටිකත් ලියන්න..

    ReplyDelete
  2. නුවර එලියෙන් එහාට බදුල්ල පැත්තට කොච්ච්යෙන් යනවානම් මාර ලස්සනයි.මම මරදානේ ඉදන් නුවර එලියට ගිහින් තියෙනවා. ඊට වඩා අර ටික ලස්සනයිලු.

    ආ තව දෙයක් , ඔබතුමාගේ ලිපියේ මේ ටික මම මගේ පොඩි අදහසක් දෙන්නම්.

    ................................රටක් දියුණු වෙන්නනම් ඉන්න මිනිස්සුන්ගේ ආකල්ප සංවර්ධනය වෙන්නත් ඕනැනේ.(ට්‍රැක් එක පැන්නා වගෙයි,ඇත්තටම දුකයි ඒකයි.).......

    හෙන ගහන ඇත්ත. ආකල්පමය දියුණුව !

    "........... තමන් වටේ තව මිනිස්සු ඉන්න බවත්,ඒ මිනිස්සුන්ටත් තමන්ට වගේම එකාට ඇස් දෙක ගානේම තියන බවත් අමතක වෙච්ච බවක් පෙනුන කපල් එකක් හිටිය කියන එකත් විතරයි........" එතකොට ප්‍රසිද්ධියේ ආදරය කිරිම සහ ඒ දෙස මැජික් ලෙස බලාසිටිමද ආකල්පමය වශයෙන් දියුණු අපි කල යුතුතේ.

    ReplyDelete
  3. @ änthräX
    ඉතිරි ටික මඟ එනවා සහෝ.....ප්‍රතිචාරයට ස්තුතියි.

    @ V
    කඳුකරය හරිම සුන්දර තැනක්.කඳුකර දුම්රිය මාර්ගයෙන් යනකොට ඒ සුන්දරත්වය හොඳින්ම බලාගන්න පුලුවන්.

    මගේ මිත්‍රයා ඔබ මතුකරලා තියෙන්නේ හොඳ කරුණක්....
    නමුත් මම මෙහිදී ප්‍රසිද්ධියේ ආදරය කිරීම ගර්හාවට ලක්කිරීමවත්....ඒ දෙස මැජික් ලෙස බලා සිටීම දියුනුකල යුතු ආකල්පයක් කියලවත් සඳහන් කරල නැහැ.

    ගොඩක් වෙලාවට කරන කියන දේවල් දිහා රටේ සංස්කෘතිය තියන සීමාව ඇතුලත ඉඳලා හොඳ නරක තීරනය කිරිමක් සිදුවෙනවා....තරුණ යුවලක් ප්‍රසිද්ධයේ අ‍‍ශෝභන විදිහට හැසිරුනාම ඒකෙන් වැඩිපුරම නම කැතවෙන්නේ තරුණියගේ.
    ආදරයේ නාමයෙන්, ආදරය කරනවා කියලා ප්‍රසිද්ධියේ රටේ සංස්කෘතික සීමා මායිම් වලින් ඔබ්බට යෑම අනුමත කරන්න අමාරුයි නේද මිත්‍රයා.
    නිකමට හිතන්න ඒ හිටියේ ඔබේ සහෝදරියනම්........
    ප්‍රතිචාරයට බොහොමත්ම ස්තුතියි.නැවත ඇවිල්ල යන්න එන්න.ඒ වගේම ඔබේ වැදගත් අදහස් වලින් සටහනක් තියන්නත් අමතක කරන්න එපා......

    ReplyDelete
  4. යන්නට ආසාවෙන් හිටියත් තාම යන්න නොලැබුණ තැනක් මේක. ඔබේ ලිපි පෙළ බොහෝ ප්‍රයෝජනවත් වේවි මට. ඉතිරියත් ලියන්න මිත්‍රයා.

    ReplyDelete
  5. @ Raven
    ස්තුතියි කෙමෙන්ටුවට.ලිපිපෙල ළඟ එනවා සහෝදරයා...ආයෙත් ඇවිල්ල යන්න එන්නකෝ......

    ReplyDelete

අදහස්, උදහස්....

.