Sunday, March 14, 2010

එලොව ගිහින් මෙලොව ආවා.

5 comments


මේක නං මට වෙච්චි තාමත් මතක් වෙද්දිත් ඇඟ කිලිපොලා යන අත්දැකීමක්.
මරණයට ලං වුනාම දැනෙන්නෙ මොනවගේද එතකොට මිනිස්සු මොනතරම් අසරණ වෙනවද කියන එක මම මේ සිදුවීමෙන් හොඳින් තේරුම් ගත්තා.වෙලාවකට මට හිතෙනවා මේක මට හොඳ අත්දැකීමක් කියලා.මරණය එනකොට කරගන්න කිසිම දෙයක් නැතිව ඒක තමන් කරා ටික ටික ළං වෙනහැටි බලාගන ඉන්නකොට දැනෙන්නේ මොනවගේද කියලා දැං මං දන්නවා.


දිනය හරියටම කියනවනම් පෙබරවාරි 20 වෙනිදා හවස හයට විතර.21 වෙනිදා අපේ ගෙදර දානමය පිංකමක් යෙදිලා තිබුනා. ඉතිං ඒකට සහභාගි වෙන්නත් වැඩවලට උදව් වෙන්නත් කියලා මාත් එක්ක එකට ඉන්න අපේ බැජ් එකේ යාලුවො කලින් දවසෙ ඇවිල්ලා හිටියා.අපේ කට්ටියේ අනුරාධපුර,ගල්ගමුව, තලාව,රාජාංගනේ පැත්තෙ අයට ටැප්,ළිං ෂවර් වලින් නාල එපා වෙලා තියෙන්නේ. මොකද හිතේ හැටියට ගිලිල නාගන්න හම්බ වෙන්නෙ සෙමෙස්ටර් නිවාඩුවට ගෙදර ගියාහමනෙ.කට්ටියට ඕනවෙලා තිබුනා හොඳට නාගන්න. ඉතින් අපේ පැත්තෙ මල්ලි කෙනෙක් යෝජනා කලා කොළමුනු ඔයට නාන්න යමු කියලා.අනුරාධපුරේ පැත්තේ වාරි ඇලක් වගේ පෙනුනට අපිට නං කොළමුනු ඔය කියන්නෙ ලොකු ඔයක්.
හවස් වෙද්දි සැරසිලි කටයුතු හට් ගැහිලි ඔක්කොම ඉවරවෙලා අපේ කට්ටියම කතා වෙච්චි තැනට ගියා නාන්න කියලා. යද්දි මට කසින් වෙන මල්ලි කෙනෙකුත් ඇවිටිලි කරලා ඇවිටිලි කරලා අපිත් එක්ක යන්න ආවා.මම මිනිහට කොන්දේසි දාල අරං ගියේ වතුරට බහින්නෙවත් නෑ කියලා.මොකද ගෙදරින් පර්මිෂන් හම්බුනේ මම කියන දේ අහනවනං විතරක් යන්න කියලා.
නාන්න ආපු තැන කුඹුක් ගහක් වතුර හරහට වැටිලා තියන ලස්සන තැනක්.අපේ කට්ටියම වතුරට බැස්සා.මට පිනන්න බෑ පුරුදුවෙන්න උත්සාහ අරන් තිබුනත් හරිගියේ නෑ.මම සාමාන්‍යයෙන් නාන්න ගියාම කරන්නේ මගේ පපුව මට්ටමෙන් ගැඹුරට නොයා ඉන්න එක.එහෙම කරන්නෙත් අනික් අය සේරම බැහැලා ගැඹුර හරියටම කන්ෆර්ම් කරගත්තට පස්සෙ.දැං කට්ටියම වතුරෙ බැහැල නාන අතරෙ වතුරට බහින්නෙවත් නෑ කියලා පොරෙන්දු වෙලා ආපු එකා එපා කියන්නත් කලින් වතුරට බැහැලා.දැං මොනව කරන්නද ඉවුරට වෙලා හිටපන් කියලා මම මගේ සීමාවෙ ඒ කියන්නෙ පපුව ළඟට එනකල් වතුරෙ ගිලිලා (එතනින් එහාට ගැඹුරයි) ඉන්නකොට අර මල්ලිත් හිමින් හිමින් මගේ ළඟටම ඇවිත් කතා කර කර ඉන්න අතරෙ විහිලුවට මාව පොඩ්ඩක් තල්ලු කලා. වතුරෙ පොඩිතල්ලුවක් කියන්නෙ සෑහෙන බලයක්නෙ.මාව ටිකක් ගැඹුරට තල්ලුවුනා.මගේ නිකට හරියට දැං වතුර.මට තේරුණා දැං වහාම ආපහු සීමාවට ගියොත් හොඳයි කියලා නමුත් හිතාගන්නත් කලින් මම දන්නෑ මොකද්ද හේතුව කියලා ,සමහර විට හුළඟ නැත්තං වතුරෙ රළ පාර හින්ද වෙන්න ඇති මාව තවත් ගැඹුරට තල්ලුවුනා.දැං නහය ළඟට වතුර මම ආපහු එන්න උත්සාහ කලත් එන්න බෑ ටික ටික තල්ලු වෙලා යන්නෙ ගැඹුරටමයි. ඒ අතරෙ ආපු සිතුවිල්ල තමයි කට්ටිය ගිලෙන්නෙ මෙහෙම වෙන්ඩ ඇති නේද කියන එක."මට අතදෙන්න මට අත දෙන්න" ඒක තමයි මම ඊළඟට කියපු දේ.මල්ලි හිතුවෙ මම විහිලුවක් කරනවා කියලා.ඒ නිසා ඔහෙ බලාගන හිටියා.
මාව තවත් ගැඹුරට ගියා.උත්සාහ අරගෙන උඩපැනලා කෑ ගහද්දි මල්ලිට තේරුණා මොකක් හරි අවුලක් කියලා. එයා ඉක්මණට ටිකක් ඉස්සරහට ඇවිල්ලා මට අතදුන්නා.මම අත අල්ලගන ටිකක් විතර ගොඩට ආවත් ආයෙ ගැඹුරට ඇදිල ගියා. ඹලුවත් වතරෙන් යටට ගිහිල්ලා වතුර පෙවෙන්න ගත්ත හින්දා උඩ පැන පැන කෑගැහැව්වා "ගිලෙනවා ගිලෙනවා" කියලා.ඒ අතරෙ අත් පුලුවන් තරම් ගැහැව්වා. නමුත් හරිගියේ නෑ.තව දෙපාරක් විතර යටට ගියත් උඩ පැනලා හුස්ම ගන්න පුලුවන් වුනා.නමුත් උඩ පැනපු හැම වතාවෙම මාව තව තවත් තල්ලු වුනේ ගැඹුරටමයි.මාව ටික ටික ගිලෙන්න ගත්තා.
එතනින් එහාට වෙච්චි දේවල් මට හරියටම මතක නෑ.මට අන්තිමටම මතක මට උඩ පැන්නත් උඩට එන්න බැරිව මාව යට ගිය එකත් ටික ටික වතුර පෙවෙද්දි හුස්ම ගන්න අපහසු වෙච්චි බවත් .ඒ වගේම අත් කකුල් අකර්මණ්‍ය වුනා වගේත් දැනුනා.පෙනිච්චි දර්ශනය ඇත්තටම ස්ලෝමෝෂන්.ෆ්රීස් ‍ෆ්රේම් ස්ලයිඩ් ෂෝ එකක් වගේ. හැබැයි මට හිතිච්චි දෙවල් නම් හොඳට මතකයි.
මුලින්ම හිතුනෙ මිනිස්සු ගිලිලා මැරෙද්දි ඒගොල්ලන්ට දැනෙනව ඇත්තෙ මෙහෙම නේද කියන එක.කෙනෙක් ගිලෙන්න යද්දි බේරගන්න කෙනෙක් එද්දි එයා හරි විදිහට එන්නැතිව ළඟට ආවොත් ගිලෙන කෙනා බෙරගන්න කෙනාගෙ ඇ‍ෙඟේ එල්ලෙනවා, හරි විදිහනම් කොන්‍‍ඩෙන් ඇදලා අල්ලගන්න එක බවත් මම කොන්ඩෙ කොටට කපල තියන හින්දා ඒ ටෙක්නික් එක මං සම්බන්ධයෙන් හරි යන්නැති බවත් මම අඩි 6ක් උසයි සෑහෙන්න බරයි ඒ හින්ද අපේ කාටවත් මාව ගොඩට ගන්න බැරිවෙයි කියල ඊළඟට හිතුනා. අන්තිමට ම හිතුනෙ මාව මැරෙන්නයි යන්නෙ කියන එක.
එකවරම වතුරෙන් උඩට ආපු බවත් වට පිට බලද්දි නොගැඹුරු දියේ ඉඳගෙන ඉන්න බවත් දැනුනා.වේගයෙන් ඉහළට හුස්ම අරගෙන කැස්සකින් පෙවිච්චි වතුර ටික පිට කරද්දි මගේ යාලුවො ඔක්කොම වගේ මම වටේ ඉන්න බව දැක්කා.ම‍ට පොඩ්ඩක් එහායින් කසින් මලයා කැහැ කැහැ හයියෙන් හුස්ම ගන්නවා දැක්කෙ ඊටත් පස්සේ.
යථා තත්වයට පත්වෙන්න සෑහෙන වෙලාවක් ගියා.ඇතිවෙච්ච තිගැස්ම අදටත් සිද්දිය මතක් වෙද්දි චුට්ටක් විතර තියනවා.
පස්සෙ තමයි කතාව පැහැදිලි වුනේ.මම මුලින්ම ගිලෙද්දි කසින් මලයා මට අතදීපු වෙලාවෙ මම ඒ අත සෑහෙන වේගයෙන් ඇදලා තියනවා. ඒ ඇදපු පාර මල්ලි විසිවෙලා ගිහින් මටත් වඩා ගැඹුරට වැටිලා එයත් ගිලෙන්න අරගෙන. මාව බේරගන්න මගේ එක යාලුවෙක් මුලින්ම ආවත් එයා ඇවිල්ලා තියෙන්නෙ මට ඉස්සරහින් එයාට මාව අරන් එන්න බැරිවෙලා තියෙන්නෙ මම එයාගෙ ඇ‍‍ෙඟේ එල්ලෙන්න ගත්ත නිසා.ඊට පස්සෙ වැව් වල හොඳට පීනලා තියන,රජරට පලාත ගම වෙච්චි මගේ යාලුවෙක් පිටිපස්සෙන් ඇවිත් මාව අල්ලගෙන තමයි ගොඩට අරන් ඇවිල්ලා තියෙන්නේ.ඒ අතරෙ තව දෙන්නෙක් මගේ කසින් මල්ලි වත් බේරගෙන තියනවා.
ඔහොමයි මම එලොව ගිහින් මෙලොව ආවේ.ඒ වෙලාවෙ අපේ කට්ටිය මත්පැන් බීල හිටියනම් ,නැත්තං මං කරන්නෙ විහිලුවක් කියලා හිතුවනං එහෙමත් නැත්තං මාව අරන් ගොඩට එන්න කට්ටියට බැරිවුණානං අද ‍මේ පෝස්ට් එක ලියන්න තීර්ථයාත්‍රිකයා මේ ලෝකෙ නෑ. මම මගේ පණ බේරපු යාලුවන්ට ණයගැතියි.
වෙච්චි සිද්ධිය මට හිතන්න‍ ගොඩක් දේවල් ඉතුරු කරලා ගියේ.අවසානයේ මම මටම පොරෙන්දුවක් වුනා.ඒක තමයි ආයෙ නං කවදාවත් ජලාශ වලින් නාන්නෙ නෑ කියන එක.
ජලයේදී කවදාවත් සෙල්ලං කරන්න නං හොඳ නෑ.මොකද පොඩි අත්වැරදීමක් මහා ඛේදවාචකයකින් කෙලවර වෙන්න හොඳටම ඉඩ කඩ තියන නිසා.එදා බැරිවෙලාවත් මම හරි අර මල්ලි හරි නැත්තම් අපි දෙන්නම හරි ගිලිල මැරුණ නං කට්ටිය කොහොමද ගෙවල් වලට මූණ දෙන්නෙ.හැමෝටම ඉන්න වෙන්නෙ ජීවිතය පුරාවටම තියන තුවාලෙකුත් එක්ක තමයි.ඒක හින්දා වතුරට බහින්නේ ප්‍රවේසමෙන්.
හැමෝටම තෙරුවන් සරණයි. ඊළඟ පෝස්ට් එකෙන් හමුවෙමු.

5 comments:

  1. වාසනාවට බේරිලා තියෙන්නෙ.අපේ පැත්තෙ මල්ලිලා දෙන්නෙක් ඊයෙ කැළණි ගගේ ගිලිලා නැතිවුනා. ඒ මළගෙදර ගියාම මට සන්සාරෙ කළකිරුණා.මමත් මේ ගැන පෝස්ට් එකක් ලියන්න හිතාගෙනම තමයි අද ආවේ.

    ReplyDelete
  2. ඇති යන්තං ඔයින්ගියා..

    ReplyDelete
  3. ගියදේ ගියා මලේ...පීනන්න ඉගෙන ගත්තානම් හොඳ නැද්ද... මට ඒ නිසා ඔය වගේ දරුවෝ දෙදෙනෙක් දෙවතාවකදි බේරගන්න ලැබුනා.... මාස 3න් පුරුදු වෙත හැකි...

    ReplyDelete
  4. @ තිස්ස දොඩන්ගොඩ
    පීනන්න ඉගන ගන්න මම ටිකක් උත්සාහ කළා.ඒත් අපේ පැත්තේ හොඳ වතුර තියන තැන් අඩුයි අයියේ.එදා නං මොකක් හරි හිතිලා බැස්සා ඇරෙන්න මම ලේසියෙන් ඔයට බහින්නෙ නෑ.
    ජීවිතයක් බේරාගන්න එක ලොකුම ලොකු පින්කමක්.ජිවිත දෙකක් බේරා ගත්තා කියන්නේ .......අහන්නත් සන්තෝශයි

    ReplyDelete
  5. hafoi deyyane math sarayak kolamunu oye gilenna gya :]

    ReplyDelete

අදහස්, උදහස්....

.