Wednesday, May 25, 2016

තොප්පිය දාගෙන නෑම

Leave a Comment
ඔය කොයි ගමෙත් තියනවා කසිප්පු පොට්. කචල් ෆැන්ටා, වල් ෆැන්ටා, වෙලේ සුදා ආදී විවිද අනවර්ථ නාම වලින් කසිප්පු හඳුන්වනවා. කසිප්පු නිෂ්පාදනගාර ගමේ නැතත් වෙන කොහෙන් හරි අරගන ඇවිල්ලා බිස්නස් කරන උදවිය ඉන්නවා ගොඩක් ගම්වල. කසිප්පුයි කියල කිව්වට ඕක ඇවිල්ලා මද්‍යසාර නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලියමක්ම තමයි. වෙනස ඉතිං නීත්‍යානුකූල නැති එකයි, අන්තර්ගතය ෂුවර් නැති එකයි තමයි. මධ්‍යසාර නිෂ්පාදනය තනිකර රසායන විද්‍යානුකූල ක්‍රියාවලියක්. ඒ කියන්නේ කසිප්පු පොට් එකේ ආරෙං අයියා රසායන විද්‍යාඥයෙක් කියන එකද ?? නෑ මිනිහා ඔය ගැන දන්න ලබ්බක් නැති වෙන්ට පුුලුවන්. නමුත් මිනිහා කරන්න ඔන දේ දන්න නිසා වැඩේ ගොඩදාගන්නවා ඇති. මං අහල තියනවා කසිප්පු පෙරද්දි දෙවියන්ගෙ කොටස කියලා මුලින්ම කොටසක් අයින් කරනවාලු. දැං කසිප්පු වලට මොන දෙවියොද කියලා හිනාවෙන්න එපා පිංවතුනි. ග්‍රීක, රෝම වගේම විවිද සංස්කෘතීන්ගේ මධ්‍යසාර වලට අධිපති දෙවියෙක් ඉන්නවා. පොඩි ප්‍රශ්නෙකට තියෙන්නේ පරණ මිනිස්සු මධු විත කියලා කිව්වේ අපි දැන් මධ්‍යසාර කියල කියන දේවල්වලටමද කියලා කියන එකයි. ඉතිං ඔය දෙවියන්ගෙ කොටස කියලා මුලින් අයින් කරන දෙයින් වෙන්නේ භාගික ? (කෙමෙස්ට්‍රි මතක නෑ දැං අවුරුදු බර ගානක් නේ උසස් පෙල කරලා) ආසවනයේදී මුලින්ම එළියට එන මෙතනෝල් ටික ඉවත්වීම වෙන්ට ඇති. ඉතිං දෙවියන්ගේ කොටස හරියට වෙන් කලේ නැත්තං තමයි පත්තරවල යන්නේ “ නීති විරෝධී මත් පැන් විෂ වීමෙන් මෙච්චරක් මලා අච්චරක් රෝහලේ කියලා“.

මේක ලු කතාවක්. ඒ කියන්නේ දැකපු කතාවක් නෙවෙයි අහපු කතාවක්.

එක්තරා ගමක එක්තරා පුරුෂයෙක් දැහැමින් සෙමෙන් කසිප්පු පොට් එකක්  කරගන යනවලු. දවසක් හවස් වරුවක රෙගියුලර්,ඉරෙගියුලර් කස්ටමර්ස් ලා පිරිලා ඉන්න පීක් මොහොතේ පැන්නලු කොහෙද යන පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකයේ වැටලීම් අංශයේ කට්ටියක්. උසේන් බෝල්ට් පරාද කරගෙන දුවන කට්ටිය පස්සේන් එලවන පොලීසියේ උදවිය එක එකා පුලු පුලුවන් විදිහට අල්ලගන දාගන්වාලු ජීප් එකට. ඉතිං මෙහෙම රාලහාමිලා කීපදෙනෙක් පස්සෙන් එලවගන යනකොට දුවපු එකා වාෂ්ප උනාලු හොයාගන්න බැරි වෙන්නම. තව ටිකක් ඉස්සරහට ගිහිං බලනවා කියලා හිතපු රාලහාමිලා ඉස්සරහට යනකොට හම්බඋනාලු පිං ලිඳ ගාව නනා ඉන්න මනුස්සයෙක්. අඹුඩයක් එහෙම ගාගන හොඳට වතුර ඇද ඇද නාන මනුස්සයා දිහා ටිකක් වෙලා බලන් ඉඳපු පොලිස් රාලහාමිලා බඩ අල්ලගන හිනාවෙන ගමන් මිනිහවත් අල්ලගන ආපහු අරං යන්න පටං ගත්තලු.  මොකද්ද වෙන්න ඇත්තේ ?? පොලිස් රාලහාමිලා මගාරින්න ඇඳුම් අයින් කරලා නාන්න ගත්ත ඩයල් එකට ඔලුවෙ තොප්පිය ගලවන්න අමතක වෙච්චි එක තමයි වෙලා තියෙන්නේ....

Read More...

Monday, May 23, 2016

දන්සැල් වන්දනාව

Leave a Comment
වෙසක් හරි පොසොන් හරි එහෙමත් නැත්තං ඇසල හරි පෝයට කට්ටිය එක්කාසු වෙලා අහල පහල තියන පංසල්, පුරාවිද්‍යා වටිනාකමක් තියන ස්ථාන බලාගන හැම තැනම තියන දන්සැල් වලින් කාලා එහෙම එන්න යනවට අපේ පැත්තේ උදවිය කියන්නේ දංසැල් වඳින්න යනවා කියලා. පංසල් දිහා පැත්ත පලාතෙ වත් යන්නෙ නැතිව මොකක් හරි රව්ට් එකක් දිගේ දිගට දිගට තියන දන්සැල් වලින් දෙන දෙන දේවල් කාල බීල එන එක තමයි ගොඩක් වෙලාවට වෙන්නේ.

අපි දෙන්නත් පහුගිය වෙසක් දවසේ ගියා දන්සැල් වඳින්න. අපේ පැත්තේ කොහොමටත් වෙසක් පෝයට වඩා පොසොන් පෝයට තමයි සැරසිලි, දන්සැල් එහෙම වැඩි. වෙසක් එකට කොහොමටත් අඩු දන්සැල් මේ පාර නම් හොඳටම අඩුයි. ගංවතුරෙන් අපහසුතාවයට පත්වෙච්චි , අවතැන් වෙච්චි උදවියට, දන්සැල් දෙන්න එකතු කරපු මුදල් වලින් බඩු භාණ්ඩ වලින් උපකාර කරන්න දන්සැල් සංවිධායක මහත්තුරු කටයුතු කරලා තිබුනා. අපේ ගමේ තියන බත් දන්සැලත් අත් හිටවලා ගංවතුර පැති වලට ආධාර අරගෙන ගියා. අපිත් වියලි ආහාර වලින් පුලුවන් විදිහට දායක උනා.

දන්සැල් වලින් අඩු උනත් වෙසක් සිරි බලන්න යන උදවියගෙ නං අඩුවක් නෑ, එක එක ජාතියේ වාහන වල. වැඩි හරියක්ම යන්නේ පිස්සු හැදිලා වගේ බයික් වලින් යන වෛවාරන්න විකාර කාරයො. ඒ පිස්සු යක්කු කීපදෙනෙක් හැප්පෙන එක වලක්වගෙන තමයි අපිත් ගියේ. මොකද්ද හේතුව කියලා කියන්න නම් දන්නෑ වෙනදා හොඳට පාරෙ මිනිස්සු වගේ යන කොල්ලෝ ගොඩක් දෙනෙක් මේ වගේ දවස්වල බයික් එකේ යන්නේ හරිම අනතුරුදායක විදිහට.  හූ කිය කියා, නලා පිඹ පිඹ, පාර පුරාම බයික් එකේ යන්නේ  පිස්සු හැදිලා වගේ. ඒ විදිහට අඟර දඟර දදා ගිය පිරිසක් නිසා වාරියපොල අනතුරක් සිදුවෙලා තිබුනා. අපරාදේ ජීවිත. සමහර විට ස්ට්‍රෙස් පිරිච්චි ජීවිතේට රෙස්ට් එකක් දෙන්න වෙන්න ඇති. පොලීසියත් වෙසක් පොසොන් දවස්වල මිනිස්සු පාරෙ යන ආකාරය ගැන වැඩිය තකන්නේ නැති නිසා මේ තත්වයේ වැඩියක් මිසක් අඩුවක් නැහැ.

තියන තියන හැම දන්සැලක් ගාවම නවත්ත නවත්ත, දෙන හැම ජාතියකම බඩජාරියො වගේ බඩට දාගන්නේ මිනිස්සුන්ට කන්න නැති නිසාවත් , කන්න වියදම් කරන්න සල්ලි නැති නිසාවත් නෙවෙයි. ඒකත් එක ත්‍රිල් එකක් වෙලා තියේනේ. වෙසක් , පොසොන් දවස්වලට එළියට ගිහිං සල්ලි දීල කන්න උනොත් ඒක ෆේලියර් එකක් විදිහට තමයි බහුතරයක් සලකන්නේ. දැං අපේ ගමේ දන්සැල ගත්තාම වෙන්නේ ගමේම මිනිස්සු සල්ලි එකතු කරලා ගමේම මිනිස්සු එකතු වෙලා උයලා ගමේම මිනිස්සු ඒක කන එකයි :D .

පෝලිම වැඩි බත් දන්සැල් වල තමයි. දන්සැල් වලින් කනකොටත් පෝලිම් පැනලා කන්න කට්ටිය දාන එක එක ට්‍රික්ස් තියනවා.ප්‍රධානම ට්‍රික් එකක් තමයි වඩාගත්තාම කකුල් දෙක බිම ගෑවෙන සයිස් එකේ පොඩි එකෙක්ව වඩාගන පෝලිම් පැනලා ගිහිං කන එක. පොඩි එකා බලනවා ඇති කවදාවත් නැතිව ඇයි මේ වඩාගන තියෙන්නේ කියලා.එකම පොඩි එකා දෙතුන් පාර වඩාගන ගිහිං නඩේම උදවිය පෝලිම් පැනලා කන අවස්ථාත් අනන්තවත් තියනවා. සමහර වෙලාවට ඇත්තටම කිරි දරුවො වඩාගන අම්මලා පෝලිමේ ඉන්දැද්දි දඬු දිග පොඩි උං වඩාගත්ත අම්මලා පට්ටි පිටින් කෙලින්ම පෝලිම බයිපාස් කරලා ඇතුලට රිංගනවා.

එකම දෙයක් ලබාගන්න මිනිස්සු පෝලිමේ ඉන්දැද්දි බොරු හේතු දාලා ඒක බයිපාස් කරන්න හදන එක ලංකාවේ මිනිස්සුන්ගේ තියන කැතම කැත වැඩක්. මගෙ පුද්ගලික මතය තමයි ලංකාව රටක් විදිහට ඉස්සරහට යන්නෙ නැත්තෙ මිනිස්සුංගෙ තියන ආකල්ප හොඳ නැති නිසා කියන එක. කොහෙට ගියත් තමන්ගෙ කනෙක්ෂන් එකක් පාවිච්චි කරලා තියන සිස්ටම් එක බයිපාස් කරලා වැඩේ කරගන්න හදන එක ගමේ ගොඩේ අප්පුහාමිගෙ විතරක් නෙවෙයි කොලඹ හතේ පොෂ් මනුස්සයින්ගෙත් තියනවා. ෂෙඩ් එකක තෙල් ගහන්න ගියත්, පොලීසියෙන් දඩ කොලයක් දුන්නත්, රජයේ කාර්යාලයකින් වැඩක් කරගන්න ගියත්, අඩුම ගානේ කඩේකින් බඩුවක් ගන්න ගියත්  අනිත් එකාට හෙන ගැහුණත් තමන්ගේ වැඩේ ෂෝට් කට් එකකින් කරගන්න තමයි අපේ රටේ බහුතරයක් බලන්නේ.

අනිත් දේ තමයි තැන නොතැන බලලා කෙල ගහන එක, කාපු ටොපි කොලේ, බිස්කට් කවරේ, ඉඳුල් බත් එක ෂේප් එකේ කොහෙට හරි විසිකරලා දාන එක. අපේ බහුතරයක්ගෙ තියන ජරාම ජරා පුරුද්දක්. දන්සැලෙන් දෙන කෙසෙල් ගෙඩිය කාලා ලෙල්ල එතනම තියන කුණු බක්කියට දාන්නෙ නැතිව යන ගමන් පාර අයිනට ෂේප් එකේ විසිකරලා යන උදවිය මේ පෝය දවසෙත් අපි දැක්කා. මගෙත් තිබුනා ඒ ජරා පුරුද්ද. ඒක මං අත්හැරියේ සුද්දෙක්ගෙන් ඉගනගත්ත පාඩමකින්. ඉස්සර ඉස්කෝලේ ඇරිලා මං එන්නේ බස් එකේ. පොඩි කාලේ බස් එකේ ඉස්සරහටම වෙලා පාර දිහා බලාන යන එක ඕන පොඩි එකෙක්ගෙ පුරුද්ද. දවසක් මං මෙහෙම එන ඉස්කෝලේ බස් එකේ සුදු ජාතික පවුලක් හිටියා. ඒ උදවිය හිටියේ බිස්කට් වගයක් කන ගමන්. මමත් කඩල හරි මොනාහරි දෙයක් කන ගමන් හිටියේ. කාලා ඉවරවෙලා සුපුරුදු පරිදි කොලේ ජනේලෙන් එළියට විසික්කරලා බස් එකේ කර්ටන් එකෙන් අත පිහින කොට මට දැකපු දර්ශනේට පොලොව පලාගන යන්න හිතුනා පිංවතුනි. එතකොට මට වයස අවුරුදු දහතුනක් දාහතරක් ඇති. අර සුදු පවුලේ හිටපු පොඩි එකා.. මං හිතන්නේ උට අවුරුදු අටක් දහයක් ඇති. බිස්කට් ටික ඔක්කොම කාල ඉවරවෙලා හිස් පැකැට් එක අරගන ඌ බෑග් එකේ සයිඩ් පොකට් එකකට දාගත්තා. ඊට ටිකකට පස්සේ මගේ වයසෙම වගේ හිටපු උගෙ අක්කත් ඒදේම කලා. අන්න එදයින් පස්සේ කසල තැන තැන නොදා ඉන්න මං පුරුදු උනා. අදටත් කවුරු හරි කෙනෙක් ටොපි කොලයක් හරි පාරට දාද්දි මට ඒ සිද්දිය මැවිලා පේනවා. කොහේ හරි ගමනක් යන කොට මමත් බිරිඳත් අහකට දාන්න ඕන කෑම දවටන, ඉඳුල් කොල ආදී සියලුම දේවල් ආපහු අරං එන්න මල්ලක් අරගන යනවා. මොකද මේ විදිහට ගියොත් අපේ රට කසලින් පිරෙන්න වැඩි කාලයක් යන්නේ නෑ.

එසේනං දංසැල් වන්දනා කතා වස්තුව අවසානයි. අපි ගියාවේ!!!




Read More...

Friday, May 20, 2016

ගංවතුර සහ අපි

Leave a Comment
“අව්ව මල්ල බැඳපියෝ!
වැස්ස මල්ල ලෙහපියෝ
වතුර උඩට නැගපියෝ
ගංවතුරක් ගලපියෝ“

කුඩා අවධියේ ළමා පොතක තිබූ කවියක් තමයි ඒ. “පුංචි සටනක්“ නම් වූ එම පොතේ කතුවරයා කවුරුන්දැයි මා හට මේ වන විට මතක නැතත් රත්නපුර පලාතේ කුඩා ළමෝ කීපදෙනෙක් මූලික කරගන ගෙතූ ඒ කතාව මැණික් ඉල්ලම් ගැනත් මහ වැසි වැටී ගඟ උතුරා ගංවතුරක් ගැලීම සම්බන්ධයෙනුත් යමක් තිබූ බව මතකයි.

“ගං වතුරේ ඔරු පැදීමු“ යනුවෙන් මා පාසල් යන කාලයේ සිංහල පොතේ පාඩමක්ද තිබුනා. හරියටම මතක නැතත් පහ වසර හෝ ඒ ආසන්නයේ පන්තියක පොතක් බව නම් මතකයි. ගංවතුරක් ගැලීමෙන් අනතුරුව ළමෝ කීපදෙනෙක් පාරුවක් සාදාගන එ් ගංවතුරේ සිරි නරඹමින් ගමන් කරන අයුරු එහි රසවත් ලෙස විස්තර කොට තිබුනා. ගංවතුරක් යනු හරිම චමත්කාර අාශ්වාද ජනක දෙයක් බවත් ගංවතුරක ඒ අත්දැකීම විඳීමට පුදුමාකාර කැමැත්තක් ඒ පාඩම කියවූවාට පසු කුඩා තීර්ථ යාත්‍රිකයාගේ සිතේ ඇතිවූවා.

පොල්ගහවෙල සිටි සමයේ ගංවතුර ලෙස අත්දැකීමක් තිබුනේ තද වැස්සෙන් අනතුරුව පන්සලට පහලින් තිබුන ඇල දෙගොඩතලා ගොස් වෙල් යාය එකම සයුරක් ලෙස පෙනෙන ආකාරයට ජලයෙන් යට වී යෑම පමණයි. පොල්ගහවෙල අප පදිංචි වී සිටි ප්‍රදේශය විශාල ඇලවල් , ගංගා සහ වැව් වලින් තොර වීම නිසා ජලය සමඟ වූ අත්දැකීම් පහල වෙලටත්, වත්තේ ළි‍ඳටත්, නිවසේ නාන කාමරයටත් පමණක් සීමා වූවා.

බිංගිරිය ප්‍රදේශයට පදිංචියට ආපසු ලැබුනු නව කජු ගස් මිතුරන් පිළිඹඳවත් ඒ ප්‍රදේශයේ ගලාගන යන එබ ඇල සහ කොළමුණු ඔය සම්බන්ධයෙනුත් මා පෙර සටහන් තැබුවේ “මහ රෑ මෝටරේ රැකපු හැටි“ ගැන ලියවුන පොස්ටුවෙන්. ඒ ජල මූලාශවලට අමතරව විශාල සහ කුඩා වැව් රාශියක්ම සහ “අප්පට පුතේ කිව් දැදුරු ඔයත්“ කිලෝමීටර් දහයක විතර ආසන්න  ප්‍රදේශයේ තිබෙනවා. මහවැසි සමඟ කොළමුණු ඔය පෝෂක ප්‍රදේශ වලට ජලය ලැබීමත් සමඟ කොලමුණු ඔයේ ජලමට්ටම කෙමෙන් කෙමෙන් ඉහල ගොස් “කොලමුණු ඔය අමුණේ“ දොරට විවෘත කිරීමත්, එබ ඇල දෙගොඩතලා යෑමත්, කොලමුණු ඔය පිටාර ගැලීමත් විශාල වැසි සමයන්හි අනිවාර්යෙන් සිදුවන්නක්. එවිට වෙල් යාය එකම සයුරක් බවට පත්වීමත් අපේ පොල් ඉඩම්වල හතරෙන් එකක් පමණ ජලයෙන් යටවීමත් ඊට සමගාමීවම සිද්දවෙනවා.

බෝවත්ත නගරයට අපේ ගම සම්බන්ධ වෙන්නේ කොලමුණු ඔය සහ වෙල් යායන් හරහා වැටී ඇති මාර්ගයකින්. කොලමුණු ඔයෙන් සහ එබෙන් එතෙර වීම සඳහා විශාල පාලමක් , කුඩා පාලම් දෙකක් සහ සපත්තු පාලමක් බඳු පහත් ප්‍රදේශයක් මේ මාර්ගයේ තිබෙනවා. භාවිතයේ පහසුව සඳහා එම ස්ථානයට මා සපත්තු පාලම යැයි කියා මින් ඉදිරියට ව්‍යවහාර කරනවා. මා කුඩා කාලයේදී මේ සපත්තු පාලම උඩින් ජලය දැමීමක් වැසි කාලයේ සිදු නොවුනත් මා උසස් පෙල කරන අවදියට එලඹෙන විට එතෙර නොවිය හැකි ලෙස සපත්තු පාලම හරහා ජලය ගැලීමටත් ඒ සමඟම අපේ ගම්මානය සහ තවත් ගම්මාන රැසක් හුදකලා වීමත් සිදුවීමට පටන් ගත්තා. ප්‍රථමයෙන්ම සපත්තු පාලම යටවීම අලුත් අත්දැකීමක් නිසා විශාල පිරිසක් එය නැරඹීමට එක් රැස් උනා.ඒ සමයේ මා සතුව තිබුනේ මාගේ ප්‍රථම ජංගම දුරකතනය. එහි වූ VGA කැමරාවෙන් දොගොඩතලා ගලන්නාවූ ජලයේ අපහැදිලි වීඩියෝ සටහනක් ගත්තත් මේ වන විට මා සතුව එය නැහැ.

සෑම ගංවතුරකට පසුවම එම ස්ථානය එකම මට ගොහොරුවක් වීමත් ප්‍රාදේශීය සබාව පොල් කොටන් , පස් ආදිය රැගෙන විත් එම ස්ථානය පුරවා තාර පැලැස්තර දැමීමත් ඒ කාලයේ වැසි සමයෙන් අනතුරුව අනිවාර්යෙන්ම දක්නට ලැබුන අංගයක්.  පසුකාලයේ මේ මාර්ගය කාපට් අතුරා අපූරු ලෙස සකස් කෙරුනා. සපත්තු පාලමටද ස්ථිර විසඳුමක් එක්කරමින් එතන උස්සා බොක්කු කැට දමා සකස් කෙරුනා. නමුත් මගේත් එමෙන්ම බොහෝ පිරිසකගේත් හිතේ තිබුන සැකය නිවැරදි බව තහවුරු කරමින් ඊළඟ වර්ෂා සමයේදී  සම්පූර්ණයෙන්ම කාපට් තට්ටුව ගැලවී බොක්කු ගංවතුරේ ගසා ගන ගියා. හේතුව විශ්කම්භය ඉතා අඩු බෝක්කු කැට කීපයක් පමණක් කොන්ත්‍රාත් කරු භාවිතා කිරීම. සිද්දිය ඇසින් දුටු උදවිය ප්‍රකාශකලේ කාපට් තට්ටුව රෙද්දක් ගසනවාක් මෙන් ඉස්සීගිය බවයි. අනතුරුව කොන්ත්‍රාත්තුව බාරගත් කොන්ත්‍රාත් කරු එම ස්ථානය නිසි ප්‍රමිතියට අනුව බෝක්කු කැට විශාල ප්‍රමාණයක් යොදාගනිමින් උස්සා සකස්කලා. මේ වනතෙක් ජලය එතනින් පිටාර ගැලීමක් හෝ මාර්ගය බිඳී යාමක් සිදුවුනේ නැහැ.

ආයෙත් වැසි කාලේ ඇවිල්ලා .. හැබැයි පරක්කුවෙලා. මෙදා පාර වැහි දෙයියෝ හොදි නැතිවම දෙන්න පටන් අරගන. මිනිසාගේම ක්‍රියාකාරකම් නිසාම අවුල්වෙලා ගිය සොබාදහමේ සිස්ටම් එක රිටර්න් එක දෙන්න පටං අරං. පායනකොට මුලු රටටම එකටම පායන්නත්, වහිද්දි මුලු රටටම එකටම වහින්නත් පටං අරගන. මේක ගංවතුර තත්වය වැඩි කරන්නත් බලපානවා ඇති. ඉවක් බවක් නැතිව කඳුකරයේ වනාන්තර විනාශ කිරීම නිසා නාය යෑම් වෙන්න පටන් අරගෙන. මම පුද්ගලිකව විශ්වාස කරන දෙයක් තමයි කඩිනම් මහවැලි ව්‍යාපෘතිය නිසා මධ්‍යම කඳුකරයේ ඉදිකෙරුන අති විශාල ජලාශයන් මධ්‍යම කඳුකරයට ඔරොත්තු නොදෙන බව.ඒ වගේම පසුව සිදුකෙරුන මධ්‍යම කඳුකරය ආශ්‍රිත සංවර්ධන ව්‍යාපෘති මේ වනවිට මධ්‍යම කඳුකරයේ සිදුවන නායයෑම් වලට හේතුවක් විය හැකියි. ගම්පොල කඳුමුදුනක දැමූ කසල විශාල ප්‍රමාණයක් නාය යෑමත් සමඟ ගම්මානයට වැටී ජීවත් වීමට නුසුදුසු තත්වයක් ඇතිවී ඇති බව අද සමාජ ජාල ඔස්සේ විකාශය වනු මාදුටුවා.

මිනිසාගේ දුර දිග නොබලා සිදුකරන ක්‍රියාකාරකම් වලින් පාඩු සිදු වන්නේ මිනිසාටමයි. මෙතරම් කුඩා රටක් වීත් අවුරුද්දක් පාසා සිදුවන මේ ආපදා තත්වයන් කලමණාකරනය කරගැනීමට සහ ඒවා පාලනය කිරීමට සැලසුම් සාදා ක්‍රියාත්මක වීමට නිසි බලදාරීන්ට නොහැකිවීම ජාතියේම අවාසනාවක්. රටට සුදුසු ආපදාකලමණාකරන සැලසුමක් දේශපාලන පාලන අධිකාරියෙන් වියුක්තව රටට තිබිය යුතුයි. එසේ නොමැති නිසා අවුරුද්දක් අවුරුද්දක් පාසාම විශාල දේපල සහ ජීවිත විනාශයක් සිදුවීමත් දෛනික කටයුතු අකර්මණ්‍ය වීමත් සිදුවෙනවා.

ශ්‍රී ලාංකිකයන් සතුව තිබෙන පරිත්‍යාගශීලීත්වය මේ මොහොතේ ආයෙත් කරලියට ඇවිත්. මීට මද මොහොතකට කලින් අපේ ගමේත් පිරිසක් සංවිදානය වී හෙට දිනයේදී ගංවතුරින් විපතට පත්වූවන් අවශ්‍ය ද්‍රව්‍ය ඒකරාශී කිරීමට කටයුතු කරන බවට දැනුම් දුන්නා. සමාජ ජාල ඔස්සේ විවිද උදවිය ආපදාවට පත්වූ උදවියට සහන සේවා කටයුතු සැලසීමට මූලික වී කටයුතු කරනුද දක්නට ලැබුනා. බොහෝ විට ඔබේ ගමේත් මේ වන විටත් ආධාර එකතු කිරීමේ කටයුතු ආරම්භ වී ඇති. එයට හැකි පමණින් දායක වී අසරණ භාවයට පත්වී සිටින අපේම රටේ මිනිසුන්ට හැකි පමණින් උදව් කිරීම අප හැමගේම යුතුකමයි.




Read More...

Tuesday, May 17, 2016

මහ රෑ මෝටරේ රැකපු හැටි

Leave a Comment
මතකනේ වතුර කපල පෝර වැවේ තිබ්බ කතාව. මේ ඒකෙදි ලියන්නම් කියපු අනිත් කතාව

කුඹුරුවලට වතුර ගහන්න පටන් ගත්තට පස්සේ සමහර දවස්වලට රෑටත් වතුර ගහන්න සෙට් වෙනවා(ලු) . එතකොට සමහර අය මෝටරේ දාලා
නැවත ගෙදර ඇවිල්ලා සැරින් සැරේ කුඹුරට යන එකත් තව සමහරු මෝටරේ ගාවටම වෙලා ගිනි මැලයක්
එහෙම ගහගන ඉන්න එකත් කරනවා. ගොඩක් වෙලාවට කට්ටිය කීප දෙනෙක් සෙට් වෙලා තමයි මේ වතුර ගැහීමට
සෙට් වෙන්නේ.

අපේ ගමේ කුඹුරුවලට වතුර වැවෙන් වගේම කොලමුණු ඔය කියන ඔයේ අතු ගංගාවක් වෙච්චි “එබ“ කියල හඳුන්වන
ඇලකිනුත් ලැබෙනවා. කොලමුණු ඔයෙන් පටන් අරගන කුඹුරු යායවල් , සරු සාර පොල් ඉඩම් සහ එලවලු කොටු වටේට
 හොඳ රවුමක් ගහලා ආපහු කොලමුණු ඔයටම මේ එබ ඇල සම්බන්ධ වෙනවා. පොල්ගහවෙල අතෑරලා අපි බෝවත්තට
පදිංචියට ආවට පස්සේ එබ ඇලත් එක්ක සුන්දර මතකයන් රාශියක් මටත් තියනවා.

වැස්ස නැතිවෙලා තද ඉඩෝර කාලේ ආපුහාම එබ ඇලේ වගේම ගමේ වැවෙත් වතුර සීග්‍රයෙන් අඩුවෙලා ගිහිං ගොවි තැන් කටයුතු වලට
වතුර හිඟ වෙනවා. එහෙම උනාම ගොවිතැන් කරන උදවියට පිහිටට එන්නේ තද නියඟෙටත් හිඳෙන්නේ නැති කොලමුණු ඔයේ මහ කලි
ටික තමයි. කොලමුණු ඔයේ ඉඳං කිලෝමීටරයක් විතර දුරට අඟල් තුනේ විතර බට දාලා වගා භූමි වලට වතුර සපයගන්න එක ඉතිං සෑහෙන වෙහෙස
කර කටයුත්තක්. බට් නපුරු කලට වට් ටු ඩූ.

අපේ නෑදෑ වෙන මාම කෙනෙක් , අයිය කෙනෙක් සහ බාප්පා කෙනෙක් ඉඩෝර කාලෙක , රෑ ජාමෙක කොලමුණු ඔයේ ඉඳං වෙලට බට එහෙම ඇදල ඔය
අයිනේ වතුර මෝටරේ ගාවට වෙලා ගිනිමැලයක් එහෙම ගහගන ඉන්නවලු.  මොටරේ නතර වෙන්නේ නැතිව සැරින් සැරේ තෙල් දාන්න ඕන නිසා එක්කෙනෙක්
ඇහැරිලා ඉන්න කොට අනිත් දෙන්නා කුඹුක් ගහකට හේත්තුවක් දාගන නිදාගන්නවා. ඇහැරිලා ඉන්න කෙනා පැය කීපයක් ඉඳලා තව කෙනෙක් ඇහැරවලා එයා නිදාගන්නවා.
ඔහොම තමයි වැඩේ වෙන්නේ.  එදා මේ කියන දවසේ මුලින්ම මාමා ඇහැරගන ඉන්නවා.ඊට පස්සේ අයියා ඇහැරගන ඉන්නවා. ඊළඟට බාප්පා ඇහැරගන ඉන්නවා. ඔහොම තමයි තුන් දෙනා කතා වෙලා තියෙන්නේ.

පාන්දර ජාමේ “ජබොස්“ ගාල යමක් වතුරට වැටෙන සද්දෙට අයියාට ඇහැරුනාලු. මෝටරේ නම් නතර වෙලා, බාප්පා හොඳට නිදිලු ගහකට හේත්තුවක් දාගන. හැබැයි මාමා නම් පේන්න නැහැල්ලු. මෙන්න මාමා හිමීට ඔයෙන් ගොඩට එනවලු.

“පුදුම රස්නයක් පුතේ මං මේ මූණ ටිකක් සෝදගන්න ඔයට බැස්සා“ කියාගන එන මාමා දිහා බලපුවාම අයියට වෙලා තියන දේ හිතාගන්න පුලුවන් උනාලු. මොකද මූණ හෝදන්න ඔයට බැස්ස මනුස්සයගේ ඇඳුම් ටිකත් යහමින් තෙමිලා තියන නිසා. ඒ එක්කම ඔයේ ඉවුරේ උඩ ඉඳං පහලට එනකල් තියනවාලු මනුස්සයෙක්ගෙ අත්පාරවල් දෙකක් හරියට පහලට ඇඳිච්චි ඉරි දෙකක් වගේ.

වෙලා තියෙන්නේ ඉවුර අයිනට වෙලා හිටපු මාමා කාරයට දන්නෙම නැතිව නින්ද ගිහිං ඔයට වැටිච්චි එක. හැබැයි කියපු බොරුවෙන් වැඩේ තවත් නෝන්ඩි වෙන එක තමයි උනේ. හරියට තොප්පියක් දාගන නාපු මනුස්සය වගේ.





Read More...

Monday, May 16, 2016

පෝර ටික වැවේ ඇත

2 comments
වී ගොවිතැන කියන්නේ ඉතිං ලංකාවේ ගම්වල යහමින් සිද්දවෙන ගොවිතැනක්නේ. කොච්චර අමාරුයි කිව්වත් , වියදම සැරයි කිව්වත්, ආයෙ කරන්නේ
නෑ කිව්වත් කන්නෙ ලංවෙද්දි වී ගොවිතැන් කරන උදවිය කුඹුරු හාලා වැඩ පටංගන්නවා. මමතුමාට නං කුඹුරු වැඩ ගැන තියෙන්නේ
ජෙනරල් අයිඩියාවක්. ඒකට හේතුව කුඹුරු වැඩ වලට සම්බන්ධ වෙලා නැති නිසා.

ඉස්සරකාලේ නං කුඹුරු කරද්දි දැං වගේ වතුර එහෙම ගහන්න අවශ්‍යතාවක් තිබුනේ නැහැල්ලු. නමුත් දැන් නං කාලගුණික විපර්යාසත් එක්ක  භූමිතෙල්,ඩීසල්,පෙට්‍රල් එහෙමත් නැත්තං ලෑන්මාස්ටර් වලට අමුණපු පොම්ප කෑලි සහ කරන්ට් පොම්ප පාවිච්චි කරලා කට්ටිය හරි හරියට වතුරගහනවා.

වෙලට වතුර පොම්ප කලාම ඉවරවෙනකල් කවුරුත් වෙල ගාවට නැත්තං පොම්පෙ ගාවට වෙලා ඉන්නේ නෑ, එහෙම ඉන්නවනං පැය ගානක් ඉන්න ඕනා. ඒ හින්දා හැමෝම වගේ කරන්නේ අවශ්‍ය ප්‍රමාණයට ඉන්ධන යොදලා යන එක තමයි කරන්නේ. ටයිමිං බලලා ඇවිත් ආයෙ ඉන්ධන දාලා යනවා.
කුඹුරු වැඩ කරද්දි සමහර මිනිස්සු කරන අපත වැඩත් තියනවා. ගොඩක් වෙලාවට පරන තරහවල් පිරිමහගන්ට, නැත්තං ඉරිසියාවට.

එක අපත වැඩක් තමයි මොටරේ එන්ජින් ඔයිල් දාන තැනින් යකඩ කුඩු දාල යන එක. ආයෙ ඉතිං ඉවරෙටම ඉවරයි. කොණක ඉඳලා හැදිල්ලක් තියෙන්නේ. තවත් වැඩක් තමයි ෂේප් එකේ වක්කඩ නැත්තං නියර කපලා යන එක. අයිතිකාරයා එද්දි පැය ගාණක් වෙන එකෙක්ගෙ වෙලට තමයි වතුර ගිහිල්ලා තියේනේ. නැත්තං වතුර ටික අහකට. පැය ගානක කාලයයි , ඉන්ධනයි දෙකම විනාසයි.

සමහර පැතිවල ඔය වතුර කැපිල්ල නිසා මිනීමැරුම් “හිටං“ සිද්ද වෙලා තියනවා. අයිතිකාරයා හොරෙං බලං ඉන්දැද්දි වතුර කපන්න ආපු සමහර උදවිය නතර වෙලා තියෙන්නේ එලොව ගිහිං තමයි. උදලු පාරක් හරි පොලු පාරක් හරි කාලා.

අපේ ගමේ කෙනෙක් හිටියා X කියලා. තව කෙනෙක් හිටියා Y කියලා. මේ දෙන්නා කාලෙක ඉඳං හිත අමනාපයි. දෙන්නම කුඹුරු වැඩ කරනවා. X සහ Y අමනාප වෙන්න හේතුව මොකද්ද කියලවත් වඩා නරක X ද Y ද කියලවත් කියන්න මංනං දන්නේ නෑ.

කාලෙකට කලින් X කුඹුරු කරද්දි හැමදාම Y ඇවිත් වතුර කපලා යනවාලු.දැනං ඉඳලා නෑ Y තමයි මේ වැඩේ කරන්නේ කියලා. කුඹුර ගාවටම වෙලා ඉන්නත් බැරි නිසා දවසක් ගහලා ගියාලු මෙහෙම බෝඩ් එකක් වෙලේ.

පෝර ගසා ඇත. වතුර බැඳ ඇත.
මෙයට X

ආපහු X කුඹුරට එද්දි තව බෝඩ් එකක් තියනවාලු මෙහෙම......

වතුර කපා ඇත. පෝර ටික හිරිපිටිය වැවේ ඇත.

X වතුර කපපු එකාගේ අම්මා අප්පා මතක් කර කර යන්න ඇති ගෙදර. Y ගෙ නහය කාලයක් දන්න ඇති :D .

X ගෙ අවසානයත් සෝචනීය විදිහට සිද්ද උනේ. ඉඩම් ආරවුලකට ගිහිං විරුද්ධ පාර්ශවයෙන් වැදුන පොලු පාරක් නිසා මාස ගාණක් කෝමා තත්වයේ ඉඳලා තමයි X මිය ගියේ.

ප.ලි : වතුර ගහන්න රෑ සෙට් උනාම කට්ටිය ගිණි මැල ගහගන මෝටරේ ගාව ඉන්නවා. එහෙම ඉද්දි අපේ නෑදෑ මාමා කෙනෙක්ට උන මරු වැඩක් තියනවා. ඒකත් දාන්නං ඊළඟ පෝස්ට් එකෙන්.

Read More...

Monday, May 2, 2016

බුරීටෝ Burrito ? (වගේ ජාතියක්) සෑදීම.

7 comments
බුරීටෝ කියල කියන්නේ ඇවිල්ලා අවුරුදු බර ගාණක ඉතිහාසයක් තියන මැක්සිකන් කෑමක්. අවුරුදු බර ගාණක් කියන්නෙ ඇස්ටෙක් අධිරාජ්‍ය තිබ්බ කාලෙටම යනවා. ඉතිං ඒ වගේ කෑමක් කාල නැත්තං වැඩක් තියෙයිද කියල කල්පනා කරලා මමතුමා සෙනසුරාදා දවසක අාදරණීය බිරින්දෑ එක්ක බුරීටෝ වගේ ජාතියක් හදන්න ට්‍රයි එකක් දුන්නා.  මෙතන බුරීටෝ වගේ ජාතියක් කියල කිව්වේ මම ඔරිජිනල් බුරීටෝ එකක් තාම කාල නැති නිසා සහ ඒකෙ ටෝර්ටිලා හෙවත් ඔතන රොටිය හදන පදම හරියටම දන්නේ නැති හින්දා.

මේ කෑම වර්ගයේ ප්‍රධාන කොටස් දෙකක් තියනවා. ඒ පිරවුම සහ රොටිය කියලා. පිරවුමට අපිට කැමති දෙයක් දාගන්න පුලුවන්. තම්බපු හරි ග්‍රිල් කරපු හරි එලවලු, හතු,මස්,මාලු ඕන එකක්. එහෙම නැත්තං එලවලු දාල ෆ්රයිඩ් කරපු බත් උනත් අවුලක් නෑ.රොටිය හදාගන්නේ ටිකක් තුනියට තිරිඟු පිටි වලින්.

මුලින්ම රොටිය හදාගමු. පිටි 250 g. බිත්තර 1යි. මාජරින් මේස හැඳි 1යි. ලුණු ස්වල්පයක්. පොල්තෙල් මේස හැඳි 1ක්. වතුර.

පිටි වලට මුලින්ම ලුණු එකතු කරනවා. ඒකට බීට් කරපු බිත්තරේ දාන්න ඕන. ඊට පස්සේ මාජරින් එකතු කරලා ලෑල්ලක් උඩ තියලා හොඳට අනනවා. (අනන්න කලින් ලෑල්ල හෝදලා ගන්න :D ) . මතක තියාගන්න ඕන දේ තමයි අනන තරමට තමයි රොටියෙ රසේ එන්නේ. ඒ හින්දා හොඳට අනාගන්න. පදම ආව කියල තේරෙන්නේ පිටි මිශ්‍රණය අතේ ඇලෙන්නැත්තං. ඒ ගානට එනකල් අනාගන්න. අවශ්‍ය නං වතුර චුට්ටකුත් දාන්න.ඊට පස්සේ මේ අනාගත්ත මිශ්‍රණයට පොල් තෙල් දාල ආයේ අනන්න.

ඊට පස්සේ මේ අනාගත්ත පිටි මෝලිය සිලින්ඩරාකාර හැඩයක් එන ආකාරයට හදාගන්න. ඒකෙන් පොඩි පොඩි කෑලි කඩාගන පිටි බෝල අකාරයට සකස්කරගන්න. එහෙම සකස්කරගත්ත පිටි බෝල ටික ලන්ච්ශීට් එකකින් වහලා පැය දෙකක් විතර පිපෙන්න තියන්න ඕනි. නැත්තං හරියට හැදෙන්නේ නෑ.

ඒක පිපෙනකල් පිරවුම හදාගන්න පුලුවන්. මම පාවිච්චි කලේ ඔය කට්ලට් රෝල්ස්වලට හදන පිරවුම. සැමන් එකක් අරගන ඒක පොඩි කෑලි වලට කඩලා අල ගෙඩියක් තම්බලා කැරට් බෝංචි එක්ක තෙම්පරාදු කරලා ගත්තා තෙලට දාලා.
පැය දෙකකට පස්සෙ ලෑල්ලක් උඩ පිටි බෝල් එක බැගින් අරගන ලෑල්ලට පොල්තෙල් ටිකක් දාලා (නැත්තං ඇලෙන්න බලනවා) පිටි බෝලේ රොටිය වගේ හොඳට තුනී කරගන්න. ගොඩ ගනකම් කරන්නත් එපා. ගොඩක් තුනී කරන්නත් එපා.

දැන් තියෙන්නේ හදාගන්න එක. රොටී තැටියක් හරි එහෙම නැත්තං ටිකක් ලොකු තාච්චියක් හරි ලිපේ තියලා පොල තෙල් , බටර් හෝ මාජරින් ටිකක් දාලා ඒක ගානට රත් උනාට පස්සේ රොටිය තැටියෙ තියලා කර වෙන්න තියනවා. හැබැයි මතක තියාගන්න ඕන දේ තමයි එක පැත්තක් අනිත් පැත්තට වඩා අඩුවෙන් තමයි කර කරන්නේ.
ඊට පස්සේ මේ රොටිය බාගන ඒකෙ බාගෙට කර කරපු පැත්තට එලියට හිටින්න හොඳට කර කරපු පැත්තට පිරවුම දාලා පිරවුම මැදි වෙන්න රෝල් කරලා ආයෙ තැටියෙ තියලා විනාඩි කීපයකින් බාගන්නවා. එච්චරයි.

දැන් මේකෙ රෙසිපිය කස්ටම් මේඩ් එකක්. ඒ කියන්නේ මමතුමාට හිතිච්චි විදිහට තමයි හැදුවේ. ඔරිජිනල් රෙසිපි එක වෙනස් ඇති. හැබැයි මේ ක්‍රමේ ලේසියි. පහසුයි..

Read More...

Wednesday, April 27, 2016

වේයෝ බඳුනෑයෝ

2 comments
ළඟදි දවසක මගේ හොඳම මිත්‍රයෙකුගෙ පියා අඝාතයකට(Stroke) භාජනය වෙලා ප්‍රාදේශීය රෝහලේ වගේම කොළඹ ජාතික රෝහලෙත් නැවතිලා ප්‍රථිකාර ගන්න සිද්ද උනා. ඉතිං ඒ දවස් කීපය තුල මගේ මිත්‍රයාට මුහුණ දෙන්න සිද්ද සිදුවීම් හරහා මටත් අතීතයේ මං මුහුණ දුන්න සිදුවීම් මතක් උනා. විශේෂයෙන්ම නෑදෑයෝ ගැන.

අපි හැමෝටම නෑදෑයෝ ඉන්නවා. අම්මලාගේ පැත්තෙන් , අප්පච්චිලාගේ පැත්තෙන්, දුරින් , ළඟින් නෑදෑ වෙන ආටෝරාසියක නෑදෑ සනුහරයක් අපි හැමෝටම ඉන්නවා. ඉතිං මේ නෑදෑ සමූහයෙන් අපි ගැන ඉත සිතින් ක්‍රියාකරන , අපේ යහපත ප්‍රාර්ථනා කරන ගුණ යහපත් නෑදෑයෝ ඉන්නෙ අතේ ඇඟිලි ගාණට බව මම නං අත්දැකීමෙන්ම දන්නවා. බහුතරයක් “තොට  හෙණ ගහ මට පොල් ගහ“ තියරිය හිතේ තියාගන දිය යටින් ගින්දර ගෙනියන ,  “අනේ තොපිට කෙලම වෙලා පලයං“ කියල හිතන ගමන් මූණට හිනාවෙන ,තියන දෙයක් කඩා වඩා ගන්න බලාගන ඉන්න ආස්සරේට කොටින්ම නුසුදුසු අසත්පුරුෂ මනුස්ස කොට්ඨාසයක්. සමහර පවුල් වල නම් ඒ වගේ නැතිව ගුණ යහපත් ඥාති සමූහයා ඉන්නවා. “අනේ වාසනාවන්“.

නෑදෑයෝ ගැන මට තියන අත්දැකීම් එක්ක බලනකොට මට හිතෙන දෙයක් තමයි ළඟම නෑදෑයන්ගෙන් ඉතාම ස්වල්පයයි අවංකවම හොඳ උදවිය ඉන්නෙ. ඒ වගේම ටිකක් ඈතින් නෑදෑවෙන අය සාපේක්ෂව වඩා හොඳයි. ඒත් ඉතිං එක එක්කෙනාගෙ කර්ම ශක්තිය අනුව ලැබෙන ඥාති සමූහයාගේ ගුණ අගුණත් වෙනස් වෙනවා නෙව.

සමහර නෑදෑයෝ හමුවෙන්නේ අවුරුද්දකට වතාවක්. ඒ මූණිච්චාවට වගේ අලුත් අවුරුද්දට ගියාම. එහෙමත් නැත්තං කාගේ හරි විවාහ උත්සවයකදී. එහෙම හම්බ උනාමත් ගොඩාක් වෙලාවට කරන්නේ තමන් සහ තමන්ගේ ඥාතීන් සසඳන එක. එහෙම නැත්තං තමන්ගේ දරුවන් සහ ගෙදරට ආපු අනිත් නෑදෑ කෙනාගෙ දරුවන් සසඳන එක. එහෙම කරුණු කාරනා කතා බහ කරද්දි තමන්ට වඩා ඒ අනිත් කෙනාට හරි ගිහිල්ලා තියනවා නම් බහුතරයක් දෙනාට වෙන්නේ සතුටු වෙන එකට වඩා හිත කැඩෙන එක. “චික් විතරක් මුන්ට හරි ගිහිල්ලානේ යකෝ“ කියලා හිතෙන එක. ඒ දේ මූණෙන් කතා විලාසයෙන් හොඳින් පෙන්නුම් කෙරෙනවා. ඥාතීන් අතර එක වයසේ ඉන්න ළමයි එහෙම ඉන්නවා නම් මේ තත්වය හොඳටම වැඩියි. නිරන්තරයෙන් තමන්ගෙ දරුවා අනිත් උදවියගේ දරුවන් හා සන්සන්දය කරමින් ඒ දරුවන්ට වඩා ඉහලට යන්න රේස් එකක් දුවවන එක තමයි වෙන්නේ. ඒක කමක් නෑ කියමුකෝ. එහෙම රේස් එකක් දුවවන ගමන් අනිත් දරුවන්ට ඊරිසියා කරන එක, පුලුවන් නම් වලක් දෙකක් කපලා දාන එක. තමන්ගෙ දරුවන්ටත් කුඩුකේඩුකම පුරුදු කරන එක තමයි බහුතරයක් නෑදෑයෝ කරන්නේ.

නෑදෑයෝ දෙන්නෙක් හම්බුනාම තව කරන අමතර වැඩක් තමයි වෙනත් නෑදෑයෙක්ව දෙන්නා එකතු වෙලා පතුරු යවන එක. තමන් ළඟ ඒ නෑදෑයා ගැන තියන හොට් ගොසිප් ටික බෙදා හදාගන්න එක. යන්තං සත්‍ය දේට ලුණු ඇඹුල් එකතු කරලා හාත්පසින්ම වෙනස් කතාවක් ගොතලා පබ්ලිෂ් කරන එක. අඩු ලුහුඬු කම්, කේලාම් කිය කියා නෑදෑයෝ කොටවන එක.

ඉතිං මේ නෑදෑයොම පිට තැනකට ගියාම පිට කෙනෙක් එක්ක තමන්ගෙ වෙන නෑදෑයෙක් හෝ නෑදෑ දරුවෙක් යම් උසස් තැනක ඉන්නවා නම් ඒ කෙනාගේ සමාජ තත්වය හරහා තමන්ටත් යම් සමාජ තත්වයක් ගන්න උත්සාහ කරන එකත් සිද්ද වෙනවා. උදාහරණයක් විදිහට කියනවා නං “ඕකා දොස්තර විභාගේ හොරට පාස් කරලා දොස්තරෙක් උනේ, අපි නං යයි ඕකගෙං බේත් ගන්න මැරුණත්, අපි දන්නෙ නැද්ද ඕකගෙ හැටි“ කියලා නෑදෑයෝ දෙන්නෙක් කතා වෙද්දි කියන උදවියම පිට කෙනෙක් එක්ක “අර අහවල් ඉස්පිරිතාලේ අහවල් දොස්තර මහත්තයා අපේ අහවලාගේ අහවලානේ“ කියලා ගුණ වර්ණනා කරනවා.

පිට මනුස්සයන්ගේ දියුණුව ගැන අල්පමාත්‍රයක් වත් ඊරිසියා කරන්නේ නැති උදවිය තමන්ගේ නෑදෑයන්ට වල කපනවා මං අනන්තවත් දැකලා තියනවා. ඒ තමන්ගේ සමීපයන් එක්ක අනවශ්‍ය තරඟයක් ඇතිවීම නිසාවත්දෝ කියලා මට අනන්තවත් හිතෙනවා. නමුත් එහෙම වෙන්න හේතුව තමයි මට අදටත් හිතාගන්න බැරි. 

ඉතිං ලියන්න හිතං ආවේ එකක්.ලිව්වේ තව එකක්. වේයෝ බඳු නෑයෝ ගැන තවත් කතාවක් වෙන පෝස්ට් එකකින් දාන්නම්. එහෙනං ජය වේවා !!!
Read More...

Monday, April 25, 2016

එන්ට , කැති පාරක් කාල යන්ට

6 comments
මාතෘකාව දැක්කාම අබ්ලික්ද ? වැඩිය හිතන්න දෙයක් නෑ. පරණ ගම කතාවක්.

මීට අවුරුදු පාලොවකට විස්සකට එහා අපේ ගම් පලාතෙ තරුණ උදවිය හිරිගඩු පිපෙන ආශ්වාදයක් ගන්න (ඇඩ්රිනලින් රෂ්) , බයිසිකලේක තමන් පස්සෙන් කෙනෙක් කැත්තං උස්සං එලවං එනවා බලන්න, ඔය ඔක්කොටමත් වඩා නොමිලේ කැති පාරක් කන්න මේ හැම වැඩේටම කලේ එක දෙයයි , ගමේ එක්තරා ගෙයක් ඉස්සරහින් යන ගමන් “අඹ දල්ලෝ........“ කියලා කෑගහන එක විතරයි. 

ඒ මාමට ? සීයට , අපි කියමු X සීයා කියලා. අවුරුද්දේ දවස් තුන්සිය හැටපහේම , දවසේ පැය විසි හතරේම , පෝය දින, රජයේ නිවාඩු දින ආදී කිසිම දෙයක් අදාල නෑ. “අඹ දල්ලෝ....“ කියලා කිව්වනං X සීයා කැත්තක් උස්සං එලවං එන හැටි බලන්න පුලුවන් කම තිබුනා. 

දැං මේ වෙන කොට පාඨක හැම දෙනාගෙම ටිකිරි මොල වලට වැටහෙන විදිහට මේ X කියන සීයගේ කෝඩ් නේම් එක එහෙම නැතිනං අනවර්ථ නාමය “අඹ දල්ලා“ . මේ X සීයගේ දරු මුනුබුරු පරම්පරාව අදටත් ගමේ ජීවත් වෙනවා. ඉතිං එ කෙනෙක්ගේ ඇහට මේ සටහන ගැටුනොත් මේක මේ ලියන්නේ X සීයාට අපහාසයක් උපහාසයක් කරන අරමුනින් නොවන බවත් පරණ ගම කතාවක් සයිබර් ගත කිරීමක් බවත් තේරුම් ගෙන තීර්ථ යාත්‍රිකයාත් එක්ක අමනාප නොවේවායි ඉත සිතිං ප්‍රාර්ථනා කරනවා.

කෝඩ් නේම් එකක් හැදෙන්න නිධාන කතාවක් තියෙන්න ඕන.නිධාන කථා නැති කෝඩ් නේම් නෑ. “අඹ දල්ලා“ කෝඩ් නේම් එක හැදිලා තියෙන්නේ “ගජබින්නාලංකාරය“ ප්‍රගුණ කරපු X සීයා ගමේ කට්ටියත් එක්ක කියපු කතාවකින්ම තමයි.

අඹ දල්ලා - නිධාන කතාව (X සීයා කියන කතාව)

ළමයිනේ මං ඒ දවස්වල හොඳ වෙඩික්කාරයා. පතුරොං තුවක්කුව අතට ගත්තනං මුවෙක්, වල් ඌරෙක් එලාගෙන මිසක් පස්ස බලන්නෙ නෑ. ඒ සංදියේ මගේ මේ ඇස් දැන් වගේ නෙවෙයි පුදුමාකාර දුරක් පේන්නේ. හප්පා ඒ කාලේ මගේ දිවිල්ල තමයි දිවිල්ල , කඟවේනා පරාදයි.

ඔන්න දවසක් හැන්දෑකොරේක තුවක්කු බටේ සුද්ද කර කර ඉන්දැද්දි “මලත්තව වැවේ“ ඉහත්තාවේ වල් ඌරෙක් වතුර බොනවා. දැං කාලේ වගේ නෙවෙයි, ඒ කාලේ වල් ඌරෝ හරි විසාලයි. දල නිකං ඇතෙක්ගෙ වගේ. ඌරු නාම්බා ඇහැ ගැටුන විඩේ වල් ඌරු මස් ඩිංගිත්තක් ඇත්තං කියලා හිතුනා. හනික වෙඩිල්ලක් පත්තුකරලා තුවක්කුව පැත්තකින් තියලා ගම වෙලේ මහ නියර දිගේ වැව් ඉහත්තාවට හැල්මේ යන කොට... මෙන්න බොලේ ඌරු තඩියා තාම වතුර බොනවා. අම්ම මුත්ත කාලෙවත් නොවිච්චි වැඩක් නේ බොලේ, වෙඩිල්ල වැරදුනේ කෝමෙයි කියලා කම්පනා කොර කොර ඉන්නකොට කේතලේ උතුරන්නැහේ වගේ “පෂූ“ සද්දයක් එන්න ගත්තා. වට පිට බලලා අාපහු හැරෙද්දි අම්මද බොලේ මෙන්න උන්ඩේ එනවා, අඹ දල්ල වගේ ලා රතු පාටට. කකුලක් උස්සලා උන්ඩෙට යන්න දුන්නා විතරයි “දඩිස්“ උෟරු මොටා බිම. හැක් හැක්... අන්න එහෙමයි අපි ඒ කාලේ. කොහෙද උඹලට දැං පුලුවනෑ හරියට කැටපෝල පාරක් වත් තියාගන්ට........

නිධාන කතාව නිමි

ඔය වගේ අදහාගන්ඩ බැරි ගල් පර්වත දෙබෑවෙන සයිස් එකේ දාර සයිස්  නයෙක් යවපුවාම කෝඩ් නේම් එකක් හැදෙන එකත් අහන්ඩ දෙයක්ද :D .

ගෙවිච්චි නයා. (අමතර කතා 01)

මරඳවිල කියන්නේ අක්කර දෙදාස් ගාණක් විසාල පොල්වත්තක්. මේක කලින් පුද්ගලික වත්තක්. දැනට රජයට අයිති , නමුත් බොහෝම හොඳට නඩත්තු වෙන විශාල වතු යායක්. වත්තෙ පොල් කඩන දවස කියන්නේ ඉතිං වත්තේ සුපිරින්ටෙන්ඩන්ට් උන්නැහේගෙ ඉඳලා පොල් අහුලන කුලී කාරයාට වෙනකල් වැඩ රාජකාරි අධික දවසක්.X සීයා දවසක් ගියාලු කුලියට පොල් අහුලන්ට මේ කියන මරඳවිල වත්තට. ඒ කාලේ ඉතිං බූට්ස් නෑනෙ සත්තු සරපයින්ගෙන් බේරෙන්න. කටු ඇනුනොත් කියලා පොල්ගහ මක් අලුත්ම ඩී එස් අයි සෙරෙප්පු දෙකකුත් දාගනලු ගියේ. ඉතිං පොල් අහුලගන අහුලගන යනකොට පූෂ් ගාල පිඹින සද්දයක් ඇහුනලු. බැලින්නම් බොහොම විසාල පත නාග රාජයෙක්ලු. පෙනේ කරගෙන පිඹින්නෙ හොඳකට නෙවෙයි කියලා හිතුන හින්දා X සීයා දුවන්න ගත්තලු පණ එපා කියලා. හැරිලා බලනකොට නාග රාජයත් එලවගන එනවලු. ඉතිං මේ අක්කර දෙදාස් ගාණක් තියන මරඳවිල වත්ත වටේ වට හයක් දිව්වත් මේ නාගරාජයා එලවගන එනවලු. මියෙම්වා රැකෙම්වා කියලා හත්වෙනි වටෙත් දුවල ඉවරවෙනකොට කකුලේ ඇනුනලු කට්ටක්. අලුත්ම බාටා දෙකේ කොහොමද කට්ටක් ඇනුනෙ කියලා බලනකොට සෙරෙප්පු දෙකේ පටි දෙක විතරක් තියනවාලු. නයා කෝ කියල බලද්දි පොඩි පෙත්තක් වගේ තියනවාලු පෙනේ විතරක්. ඒ කොහොමද ?? ගෙවිලා යකෝ... මරඳවිල වටේ වට හතක් දුවනවා කියන්නේ සෙල්ලමක්ද ? ඒ කාලේ ඔලිම්පික් තේරීම් කමිටුව එහෙම දැක්කනං ඔලිම්පික් යවන්න තිබ්බා මැරතන් එකට :D

මේවගේම ජෝක් එකක් ටෙනිසන් කුරේගේ මොකද්ද නාට්ටියක තියනවා මං අහලා තියනවා. හැබැයි මේවා ඔරිජිනල්. 70 දසකෙ කතා. 

නටන විලක්කු (අමතර කතා 02)

දෙවියන්ට කිරි ඉතිරවීම කියන්නේ අපේ පලාත්වල නිරතුරුව කෙරෙන දෙයක්. මොකක් හරි අලුත් වැඩක් පටන්ගනිද්දි එහෙම නැත්තං බාරයක් ඔප්පු කරද්දි, එහෙම විශේෂ හේතුවක් නැතිවත් මේ දෙවියන්ට කිරි ඉතිරවීම සිද්ද වෙනවා. මං මේ කියන කිරි ඉතිරවීම , මුට්ටියට කිරි විතරක් දාලා උතුරලා යන්න කරන කිරි ඉතිරවීම නෙවෙයි. හාල්, සීනි, කිරි, වියලි මිදි, රට ඉඳි එහෙම දාලා කිරි ඉතිරවීම කරලා මුට්ටියේ ඉදෙන කිරිබතින් දෙවියන්ට ගොටු එහෙම දීලා ,ඒකට සහභාගී වෙච්චි උදවියත් ඒකෙන් අනුභව කරලා අවසාන කරන කිරි ඉතිරවීමක්. මේකෙදි හැදෙන කිරිබත බොහොම රසයි. ඒක කන එකට අපේ පැත්තේ කියන්නේ “දෙයියන් වඳිනවා“ කියලා.

ඉතිං මේ දෙවියන්ට ගොටු දීමට ප්‍රධාන වශයෙන් හදනවා මල් පැලක්. ඒකට අමතරව උස් මට්ටම් දෙකක කණු දෙකක් හදලා ඒ කණුවලත් ගොටු රඳවනවා. මේ දේවල් බොහොම සද්භාවයෙන් පිරිසිදු කමින් තමයි කරන්නේ.ඒ වගේම කල යුතු චාරිත්‍ර වගේකුත් තියනවා.
ගොටුව කියන්නේ මොකද්ද කියලා කල්පනා කරන උදවියට : කෙසෙල් කොලයකින්  ගොටුවක් හදලා ඒකෙ පොඩි කෙලවරේ ගහනවා ඉරට කෑලි කීපයක්. උඩින් කිරිබත් පුරවනවා. ඒවා තමයි අර කණුවල රඳවන්නේ.මේ ගොටුවලට විලක්කුව බැගින් ගහනවා. පොල් හණස්සක් අරගන ඒකේ තෙලේ පොඟවපු රෙදි කෑල්ලක් ඔතලා ඒකට ගිනි තියලා තමයි විලක්කුව හදන්නේ.

හරි ඔන්න ඉතිං අඹදල්ලා සීයා දවසක් තනියම කිරි ඉතිරවීමකට ලෑස්ති උනාලු වත්ත කෙලවර වෙන්නට තියන වැවේ ඉස්මත්තේ. සියලු වැඩ කටයුතු කරලා ගොටු තියලා විලක්කු පත්තු කරලා බලන කොට කහ දියර එක අරං ඇවිත් නැහැල්ලු. ඉතිං ආයෙත් ගෙදර ගිහිල්ලා කහ දියර එක අරගන එනකොට විලක්කු දෙක වැවේ එහෙට මෙහෙට යනවාලු. මේ මොන හාස්කමක්ද ? කියලා වැඳගන කල්පනා කරන කොට එහෙට මෙහෙට නටන විලක්කු පැත්තෙන් ඇහෙනවාලු මෙහෙම...

“අඹ දල්ලෝ හූ“.........

තොපෙ අම්මලාට %**$&##$&%#%$&$* ආදී වශයෙන් ජාතිය අමතපු අඹදල්ලා සීයා කැත්ත ගේන්න ගෙදර දුවද්දි.. මේ අවලං වැඩේ කරපු 36 වත්තෙ කොල්ලො දෙන්නා ගොටු දෙකත් උස්සගන වාෂ්ප උනාලු...

ඉතිං මෙව්වා පරණ ගම කතා. කට්ටිය එකතු වෙලා කතාකරන කොට ඇහෙන කතා නැතිවෙලා යන්ට දෙන්න හොඳ නැති හින්දා මේ විදිහට සයිබරයට එකතු කලා.
Read More...

Sunday, April 17, 2016

අවුරුදු කජු, අවුරුදු අඹ

6 comments
ගොඩක් පොඩි උං වගේ තීර්ථ යාත්‍රිකයත් පොඩි කාල‍ෙ ගස් නඟින්න හරිම ආසයි. දෙතුන් පාරක් ගස්වලින් වැටිලා තිබුනත් කිසිම හානියක් නං උනේ නෑ ඒ කාලේ. තීර්ථ යාත්‍රිකයලා පොල්ගහවෙල ගෙදර ඉන්න කාලේ ප්‍රියතම ගස් ජාතිය උනේ අඹ ගස්. ගෙදර තිබුනා කරතකොලොම්බන් ගහකුයි, විලාඩ් ගහකුයි, මී අඹ ගහකුයි. ඕකෙන් ප්‍රියතම ගහ උනේ බිම ඉඳලම හතර අතට අතු විහිදුන හුරුබුහුටි විලාඩ් අඹ ගහ. ඕක මුදුනෙ අට්ටාලයක් එහෙමත් හදලයි තිබුනේ. පහල අත්තක ලෑලි ටිකක් තියලා පැදුරක් දාලා හදල තිබුන “නිදි පොට් එක“ පාවිච්චි කලේ තීර්ථ යාත්‍රිකයට වඩා පවුලේ අනික් උදවිය. කරත කොලොම්බන් ගහේ අතු විහිදිලා තිබුනේ උඩ හරියෙන්. ඒ හින්දා ඒ කාලෙ පොඩි එකෙක් වෙච්චි තීර්ථ යාත්‍රිකයාට ඒ ගහ out of scope වෙලා තිබුනේ. අනික මී අඹ ගහ. ඒක දිමි විමානේ. තීර්ථ යාත්‍රිකයා හිතන හැටියට දිමියන්ගෙ අධිරාජ්‍යයක් තිබුනා ඒ ගහේ. හැබැයි අවුරුද්දට දෙපාරක් පිස්සු වැටෙන්න අඹ හැදෙන ඒ ගහේ අඹ පුදුමාකාර රසක් තිබුනේ. ගෙඩි හැදෙන කාලෙට දිමි අධිරාජ්‍යගෙ ආච්චිට හාල් ගරාගන්න කියලා තීර්ථ යාත්‍රිකයලා කොහොම හරි ඔය ගහේ අඹ ටිකත් කඩා ගන්නවා.හැබැයි ඒ ගහේ අඹ වල රසේට ගහන්න රසක් තියන අඹ ජාතියක් තීර්ථ යාත්‍රිකයට තාම හොයාගන්න බැරි උනා.

පොල්ගහවෙල අතෑරලා හලාවත බෝවත්තට පදිංචියට එනකොට තීර්ථ යාත්‍රිකයට අවුරුදු 10යි. අලුතින් ගත්ත ඉඩමේ තීර්ථ යාත්‍රිකයව පිළිගන්න අලුත් ගස් ජාතියක් බලාගන උන්නා. කජු.... පොල්ගහවෙල ඉන්න කාලෙ අවුරුද්දට වතාවක් අප්පචිචිගෙ මහගෙදර ආපුවාම කෑම මේසෙ වරදින්නෙ නැති ව්‍යංජනයක් වෙච්චි කජු කියන්නේ තීර්ථ යාත්‍රිකයට ඒ හැටි හුරු පුරුදු ගස් ජාතියක් නෙවෙයි. පොල්ගහවෙල ගෙදරත් කජු ගස් තිබුනා වත්ත පහලට වෙන්න.ඒත් පාලු ස්වාභාවයක් තිබුන ඒ හරියට පොඩි තීර්ථ යාත්‍රිකයා ඒ කාලෙ වැඩිය ගියේ නෑ.පොල්ගහවෙල තිබුන කලු ලෝම පසට වඩා බෝවත්තෙ තිබුන වැලි පස තීර්ථ යාත්‍රිකයට ගෙනාවෙ අමුතු හැඟීමක්. අප්පච්චි අලුතින් නිවස හදන වැඩ වලට මැදි වෙලා කාර්යබහුලව ඉන්නකොට තීර්ථ යාත්‍රිකයා කලේ අලුතින් හම්බවෙච්චි ලෝකෙ ගවේෂනය කරපු එක.අලුත් ඉඩමේ තිබුනා කජු ගස් 5ක්. ඒ එක්කම සුපුරුදු ගස් ජාතියක නුපුරුදු නෑදෑයො වෙච්චි ඇපල් අඹ ගස් තුනකුත් තිබුනා. උසින් අතු පිහිටලා දිමියො හමුදාවක් බොඩි ගාඩ්ලා විදිහට තියාගන හිටපු අඹ ගසවලට වඩා පහලින් අතු විහිදිලා ගියපු හරි විශාල සුන්දර පෙනුමක් තිබුන කජු ගස් එක්ක තීර්ථ යාත්‍රිකයා පයුරුපාසානම් පවත්වන්න පටං ගත්තා.ළිඳ ගාව තිබුන කජු ගහේ  අඩි දොලහක් විතර උසින් පොලවට සමාන්තරව ගිය අත්තක අප්පච්චි තීර්ථ යාත්‍රිකයාට හොඳ ඔන්චිල්ලාවක් බැඳලා දුන්නා.පොඩි කාලෙ හොඳ ඔන්චිල්ලාවක් කියන්නේ සිහිනයක් සැබෑ වීමක්. ලොකු කඹේකින් බැඳලා, ඉඳගන්න හොඳ පලල ලෑල්ලක් දාලා , ඒක උඩින් කොට්ටයක් දාලා හදපු ඒ ඔන්චිල්ලාව තීර්ථ යාත්‍රිකයා සෑහෙන කාලයක් පැද්දා. හිටගන පදින්න ගිහිං ගුවන් ගත වෙලා බෙල්ල නොකඩාගෙන අනූනවයෙන් බේරිච්චි එක වෙනම කතාවක්. හැබැයි ඒක හොඳ ඔන්චිල්ලාවක් :) .

ගෙදර තිබුන කජු ගස් වලින් තීර්ථ යාත්‍රිකයගෙ ප්‍රියතම කජු ගහ උනේ අලුතින් හදන ගෙදර ආසන්නයේම තිබුන මහ විශාල කජු ගහක්. ඒකේ පහලින් පටන් ගත්ත අතු ඉනිමඟේ පඩි වගේ තිබුන නිසා පහලින් පටං ගෙන මුදුන් දල්ලටම එනකල් යන්න පුලුවන්.ඒ කාලෙ තීර්ථ යාත්‍රිකයගෙ විනෝදාංශය උනේ පොලවට අඩි පහලොවක් විස්සක් උඩින් තිබුන ඒ මුදුන්ම අත්තට ගිහින් හුලඟට පැද්දි පැද්දි ලඟ පාරෙ යන මිනිස්සු දිහා බලාන ඉන්න එක.සමහර වෙලාවට පොඩි හූවක් කියලා ඒ මිනිස්සුන්ව කන්ෆියුස් කරන එකත් හොඳම විනෝදාංශයක් ඒ කාලේ.
අවුරුදු කාලෙ එනකොට කජු ගස් පුහුලන් වලින් පිරෙනවා. පොල්ගහවෙල ඉන්න කාලෙ අප්පච්චි තීර්ථ යාත්‍රිකයාට කියලා දීලා තිබුනා කජු පුහුලන් රසට කන්නේ කොහොමද කියලා. හොඳට ඉදිච්චි කජු පුහුලන් ගහෙන් කඩලා ගන්නවා. ඊට පස්සේ හොඳට හෝදලා පුංචි පුංචි කෑලි වලට කපනවා. ඒ ටික පිඟානකට දාලා ලුණුයි මිරිසුයි ගම්මිරිසුයි දාලා හොඳට කලවං කරනවා.ඉරට කෑල්ලක් අරගන අර කජු පුහුලන් කෑලි වලට ඇන ඇන කන එක තමයි ඊලඟ වැඩේ :) . පුහුලන් කඩද්දි කැහි කොට්ට කඩන්නෙ නැතිවෙන්න ප්‍රවේසම් වෙන්න ඕනි. නැත්තං කැස්ස හදාගන තමයි නතර වෙන්න වෙන්නේ. කැහි කොට්ට කියලා කියන්නේ කජු පුහුලම සම්පූර්ණයෙන්ම ඉදුනේ නැති උනාම. සමහර පුහුලන් තියනවා පහල හොඳට ඉදිලා උඩ හරිය හරියට ඉදුනෙ නැති එව්වා. අන්න ඒවා තමයි කැහි කොට්ට කියන්නේ. කීපයක් කෑවොත් ෆ්රී ඔෆ් චාර්ජ් කැස්සක් හදාගන්න පුලුවන්.

කජු පුහුලන් කන්න පොඩි උං වගේම සත්තුත් හරිම ආසයි.විස ඝෝර පොළොංගුත් කජු පුහුලං බොන්න හරිම ආසයි. ඒ නිසා තමයි උදේ පාන්දරට , හවස පහ හමාරෙන් විතර පස්සේ කජු ගස් යට කැරකෙන එක ඇඟට ගුණ නෑ  කියලා කියන්නේ.ඒ එක්කම බිම වැටිලා තියන කජු පුහුලන් කන්න හොඳත් නෑ. පොළොංගු හප කරපුවා වෙන්න පුලුවන්.

ඉතිං තීර්ථ යාත්‍රිකයා කජු ගස්වල ඔන්චිල්ලා බැඳපු, කජු ගස් වලට බඩගාපු කාලෙන් සෑහෙන අවුරුදු ගාණක් දැන් ගෙවිලා. දැන් ගෙදර වත්තේ තියෙන්නේ කජු ගස් එකම එකයි. අනිත් ගස් විවිද හේතූන් මත කපා දැම්මා. පොල් හිටවන්න ඉඩ ගන්න, ලිඳට කොල වැටෙන හින්දා, ගෙදර වහලෙට කොල වැටෙන නිසා, ගෙදර වහලෙට සත්තු ගොඩවෙන නිසා ආදී වශයෙන්.

අවුරුදු ගාණකට පස්සේ තීර්ථ යාත්‍රිකයා ආයෙත් ගෙදර ඇවිල්ලා. කජු ගහයි අඹ ගසුයි සුපුරුදු විදිහට මල් වලින් සැරසිලා. ඇත් දෙමට ගහ පීදිලා, මල් පිපිලා, ගෙඩි හැදිලා, බට්ටිච්චෝ, සූටික්කෝ පිරිලා. හරියට වැස්සෙ නැති නිසා වියලි කාලගුණය නිසා වෙන්න ඇති මේ පාර  ගෙඩි ටිකයි හැදිලා තියෙන්නේ අඹ ගස්වල. කජු ගහෙත් වැඩිහරියක් තාම මල්. හැබැයි පුහුලන් ටිකක් කඩා ගන අප්පච්චි මීට අවුරුදු ගණනාවකට කලින් කියලා දීපුවිදිහට කජු පුහුලන් හදාගන කෑවා, තීර්ථ යාත්‍රිකයායි තීර්ථ යාත්‍රිකාවයි දෙන්නම එකතු වෙලා.එහෙම කන කොට තමයි සිනමා සිත්තමක් වගේ පොඩි කාලෙ සිද්දීන් දාමයම ආයෙ මැවිලා පේන්න ගත්තේ.ඒක බ්ලොගේ පෝස්ට් එකක් විදිහට ලියන්නේ අද ජීවතුන් අතර නැති උනත් තීර්ථ යාත්‍රිකයට මනුස්සයෙක් වගේ ජීවත්වෙන්න කියලා දුන්න,තීර්ථ යාත්‍රිකයා වෙනුවෙන් අනේක කැපවීම් කරපු  මගේ ඒ ආදරණීය අම්මවයි අප්පච්චියි ආදරයෙන් මතක් කරන ගමන්.
Read More...

Saturday, April 2, 2016

වැටකොලු කොස්සේ ආතල්

2 comments
වැටකොලු කොස්සේ ආතල් දන්නේ ඒක පාවිච්චි කරලා තියෙන උදවියම තමයි මහත්තයෝ :D . දැං උඩ බිම බලන උදවියට සහ වැටකොලු කොස්ස කියන්නේ අතුගාන දෙයක් වගේ කියල හිතන මහත්ම මහත්මීන්ගේ පහන් සංවේගය උදෙසා තමයි පහත රූපය එකතු කරන්නේ.

තවත් අවුල් වගේනම් , මේ තියෙන්නේ වැටකොලු කරල්. හරි දැන් මේවා මොකටද පාවිච්චි කරන්නේ ? නාද්දි ඇඟහෝදද්දි ඇඟ අතුල්ලන්න තමයි. සබන් ගාලා මේ වැටකොලු කොස්සකින් අතුල්ලලා කුණු හෝදලා දානකොට , මේක පාවිච්චි කරලා තියන උදවිය නං කියාවි “හම්මා තියන සනීපේ“  කියලා.

හරි දැං කොහොමද මේකක් හදාගන්නෙ ? හරිම ලේසියි.

  1. මොරපු වැටකොලු කරලක් ගන්න. වැටකොලු වැලෙන් හොඳ කරලක් තෝරලා ඒක වැලේම මෝරලා වේලෙන්න තියන්න ඕනි. ගානට මොරලා වේලුනාට පස්සෙ ඒක තමයි ගන්නේ. ඒකෙ බීජ පාවිච්චි කරලා ඊළඟ පරම්පරාවෙ වැටකොලු වැලක් හදාගන්නත් පුලුවන් ඉතිරි ටිකෙන් වැටකොලු කොස්ස හදාගන්නත් පුලුවන්.
  2. ඇට ටික අරන් දාන්න. ඇට ටික අරන් දාන්නේ මෙහෙමයි. වැටකොලු කරලෙ සිදුරු සටහන් වෙලා තියනවා යන්තමට. විරිදු කියද්දි සිලි බිලි සද්දෙ ඇහෙන්න රබාන හොල්ලන විදිහට වැටකොලු කරලින් අතට තට්ටු කීපයක් දාද්දි ඔය වැටකොලු ඇට ටික සට සට ගාල වැටෙනවා.
  3. පැයක් දෙකක් වතුර බාජනේකට දාල තියන්න.
  4. අරගෙන පිටත තියන පොතු ටික අයින් කරන්න.
  5. දැන් ඔබටත් තියනවා අලුත්ම දිලිසෙන “වැටකොලු කොස්සක්“. ප්‍රීතිවන්න :D

Read More...
.